සිතියමේ කඩ ඉරෙන් පෙන්වන්නේ 1974 ඉන්දිරා - සිරිමා ගිවිසුම අනුව තීරණය වූ පෝක් සමුද්‍ර සන්ධියේ දෙරට අතර මුහුදු සීමාවයි.
පසුගියදා ඉන්දියාවත් ශ්‍රී ලංකාවත් අතර සිදුවූ විවිධ සාකච්ඡා හා යාම් ඊම් අතරතුර කොළඹ පැතිර ගිය කතාවක් වූයේ 13 වැනි සංශෝධනයේ සඳහන් පොලිස් හා ඉඩම් බලතල ඉවත් කිරීම නවතා ගැනීම සඳහා ඉන්දියාව කච්චතිව් දූපත ඇපයක් හැටියට පාවිච්චි කරන බවයි. එය පසුපස ඇති තර්කය වන්නේ 13 වැනි සංශෝධනයට පාදක වූ ඉන්දු - ලංකා ගිවිසුම ඉන්දියාවත් ශ්‍රී ලංකාවත් අතර ද්විපාර්ශ්වික එකඟතාවක් වන නිසා එම එකඟත්වය ඒක පාර්ශ්වයකට තමාගේ තනි අභිමතය පරිදි වෙනස් කළ නොහැකි බවයි. ඉන්දු - ලංකා ගිsවිසුමෙහි එවැනි වෙනසක් ඇති වුවහොත් මේ දෙරට අතර ඇති කරන ලද වෙනත් ගිවිසුම්වල වලංගු භාවයද ප්‍රශ්නයකට භාජනය වන බවයි. ඒ වෙනත් ගිවිසුම් අතර 1974 දී ඉන්දිරා ගාන්ධි හා සිරිමා බණ්‌ඩාරණායක අත්සන් කළ කච්චතිව් ගිවිසුමද වෙයි.
මේ තර්කයට යම් කිසි පදනමක් තිබෙන බව කිව යුතුය. 1987 ජුලි 29 වැනිදා අත්සන් තබන ලද ඉන්දු - ලංකා සාම ගිවිසුමේ 2.15 වගන්තියේ කියවුණේ ශ්‍රීS ලංකාවේ ආණ්‌ඩුවත් ඉන්දීය ආණ්‌ඩුවත් 4.5.1986 හා 19.12.1986 අතර සාකච්ඡා කළ බලය බෙදීමේ යෝජනා ශ්‍රී ලංකා ආණ්‌ඩුව විසින් පිළිගත යුතු බවයි. මෙකී කාලපරිච්ඡේදය තුළ ඉන්දීය ඇමැති පී. චිදම්බරම් ප්‍රමුඛ කණ්‌ඩායමට ඡේ. ආර්. ජයවර්ධන ආණ්‌ඩුව සමග කළ සාකච්ඡා වල ප්‍රතිඵලයක් හැටියට මතු වූ 1986 ජුලි 9 වැනිදා එළිදක්‌වන ලද ලියවිල්ලේ ඉඩම් හා පොලිස් බලතල පළාත් සභාවලට බෙදී යායුතු ආකාරය ගැන සවිස්‌තරව සඳහන් වුණි. අද ශ්‍රී ලංකා ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාවේ 9 වැනි පරිශිෂ්ටයේ පළවැනි හා දෙවැනි උපලේඛන හැටියට ඇතුලත් වී ඇත්තේ 1986 ජුලි 9 වැනිදා ලියවිල්ලේ අඩංගු දැමය. පළාත් සබාවලට පොලිස් හා ඉඩම් බලතල ලබාදීම ඉන්දියාවත් ශ්‍රී ලංකාවත් අතර එකඟත්වය අනුව සිදුවූ දෙයක් නිසා ලංකාව විසින් ඒකපාර්ශ්විකව එම බලතල ඉවත් කිරීම ඇත්ත වශයෙන්ම ඉන්දු ලංකා සාම ගිවිසුමේ කොන්දේසි උල්ලංඝනය කිරීමක් වන බව අපි පිළිගනිමු.
ශ්‍රී ලංකාව ඒකපාර්ශ්විකව ඉන්දු - ලංකා සාම ගිවිසුමේ කොන්දේසි උල්ලංඝනය කළහොත් මේ ආකාරයටම දෙරට අතර අත්සන් කරන ලද 1974 කච්චතිව් ගිවිසුම ඒකපාර්ශ්විකව උල්ලංඝනය කිරීමට ඉන්දියාවට අවකාශ සැලසෙනවා යෑයි කීමට යම්කිසි තාර්කික පදනමක් ඇත. ඉන්දියාව කච්චතිව් ගිවිසුම අහෝසි කළහොත් එයින් කච්චතිව් දූපත ඉන්දියාවට ඉබේටම හිමි වන්නේ නැත. සිදුවන්නේ 1974 ට පෙර තිබුණාක් මෙන් එම දූපත දෙරට විසින්ම හිමිකම් කියන මතභේදයට තුඩුදුන් දූපතක් බවට පත් වීමයි. එමෙන්ම කච්චතිව් දිවයින නැතිවුවහොත් ශ්‍රී ලංකාවේ මුහුදු සීමාවද වෙනස් වන නිසා එයින් ලංකාවේ මසුන් මැරීමේ අයිතියටත් මුහුදු පතුලේ ඇති සම්පත්වල අයිතියටත් බලපෑමක් සිදුවන බව නොකියමනාය. පසුගියදා කොළඹ පුරා පැතිර ගිය කතාවක් වූයේ ඉන්දියාව කච්චතිව් ගිවිසුම අහෝසි කළහොත් ඒ මත චන්ද්‍රිකා කුමාරතුංග නැවතත් දේශපාලනයට පැමිණ තම මව වූ සිරිමා බණ්‌ඩාරනායක කච්චතිව් දූපතේ නිරවුල් අයිතිය ලංකාවට ලබා දුන් බවත් තමාට බලය දුන්නොත් කච්චතිව් දූපතේ අයිතිය නැවත ලබා ගන්නා බව කියමින් ඊළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවයි. ඉන්දියාවට කච්චතිව් දූපත පාවිච්චි කොට ලංකාවට කළහැකි බලපෑම කුමක්‌ද යන්න මෙහිදී සලකා බැලීම වටී.
1974 ඉන්දිරා ගාන්ධි හා සිරිමා බණ්‌ඩාරනායක මැතිණිය අතර ඇතිවූ ගිවිසුම අපි පහසුව සඳහා කච්චතිව් ගිවිසුම යෑයි හැඳින් වුවද එයින් ඇත්ත වශයෙන්ම සිදුවූයේ පෝක් සමුද්‍ර සන්ධියේ ඉන්දියාවත් ශ්‍රී ලංකාවත් අතර මුහුදු සීමාව නිර්නය කිරීමය. එම ගිවිසුම 1974 ජුනි 26 වැනිදා නවදිල්ලියේදී ඉන්ධිරා ගාන්ධි විසින් අත්සන් කරන ලද අතර ඊට දින දෙකකට පසු ජුනි 28 වැනිදා සිරිමා බණ්‌ඩාරනායක අගමැතිනිය විසින් කොළඹදී අත්සන් කරන ලදී. මෙකී ගිවිසුමෙන් ඉන්දියාවත් ශ්‍රී ලංකාවත් අතර මුහුදු සීමාව නිර්නය කරන ලද අතර කච්චතිව් දූපත ගැනද සඳහනක් එහි විය. මෙම ගිවිසුම ඇති කිරීමට පෙර තිබූ තත්ත්වය තවදුරටත් පවත්වාගෙන යමින් එම දිවයින ලංකාවට අයත් වුවත් ඉන්දීය ධීවරයන්ට හා වන්දනාකරුවන්ට කච්චතිව් දූපතට ලංකාවෙත් වීසා බලපත්‍රයක් නොගෙන පැමිණීමට අයිතියද තහවුරු කරන ලදී. එයට අමතරව මෙකී මුහුදු සීමාව දෙපස ඇති ඛනිජ සම්පත් බෙදා ගැනීම සම්බන්ධයෙන් දෙරට අතර සාකච්ඡා ඇතිවිය යුතු ආකාරය ගැනද එහි සඳහනක් විය. කච්චතිව් ගිවිසුම 1974 ජුලි 8 වැනිදා සිට බලාත්මක විය.
කච්චතිව් දිවයින ඉන්දියාවත් ශ්‍රී ලංකාවත් අතර මුලින්ම ප්‍රශ්නයක් බවට පත්වූයේ 1956 මහ මැතිවරණයට දින කීපයකට පෙරය. ඉන්දීය ලෝක් සභාවේ එක් මන්ත්‍රීවරයෙක් කල් තැබීමේ විවාදයක් ඉල්ලමින් ශ්‍රී ලංකාවේ ආණ්‌ඩුව විසින් කච්චතිව් දූපත අල්ලාගෙන එය ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බෝම්බ දැමීමේ පුහුණුව සඳහාත් ලංකා නාවුක හමුදාවේ කාල තුවක්‌කු වෙඩි යායක් හැටියට 1956 අප්‍රේල් 1 වැනිදා සිට පාවිච්චි කිරීමට යැම ගැන ප්‍රශ්න අසා සිටියේය. ඔහු මෙහිදී කියා සිටියේ කච්චතිව් දූපත අයත් වන්නේ රාම්නාද් හි ප්‍රාදේශීය රජතුමාට බවත් ඔහුගේ සමින්දාර් ඉඩම් අතර කච්චතිව් දූපත ද වූ බවයි. මේ අවස්‌ථාවේදී පාර්ලිමේන්තුවේ සිටි ඉන්දීය අගමැති ජවහල්ලාල් නේරු පවසා සිටියේ මේ කාරණය ගැන ඔහුට ප්‍රමාණවත් තොරතුරු නැති බවත් ඒ ගැන තොරතුරු ඔහු මදුරාසි ප්‍රාන්ත ආණ්‌ඩුවෙන් ඉල්ලා ඇති බවත්ය. 1956 අප්‍රේල් 14 වැනිදා මෙකී කාරණය නැවතත් ඉන්දීය පාර්ලිමේන්තුවේ සාකච්ඡාවට ගැනුණි. එහිදී ඉන්දීය නියෝජ්‍ය විදේශීය ඇමැතිවරයා පාර්ලිමේන්තුවට දන්වා සිටියේ කච්චතිව් දූපත ලංකා ගුවන් හමුදාවේත් නාවුක හමුදාවේත් වෙඩි හා බෝම්බ දැමීමේ පුහුණුවීම් කටයුතු සඳහා භාවිතා කරන බව ලංකා ආණ්‌ඩුව විසින් ඔවුන්ට දැනුම් දී ඇති බවත් කච්චතිව් දූපතේ අයිතිය තහවුරු කර ගන්නාතුරු එවැනි කටයුත්තක් සඳහා එම දූපත භාවිතා නොකරන මෙන් ඉන්දියාව ඉල්ලා සිsටි බවත් ලංකාව එම ඉල්ලීමට එකඟ වී ඇති බවත්ය.
මේ අවස්‌ථාවේ පාර්ලිමේන්තුවේ සිටි ජවහර්ලාල් නේරු අගමැතිවරයා පවසා සිටියේ ඉන්දියාවත් අසල්වැසි ලංකාවත් අතර පිහිටි කුඩා දිවයිනක් ගැන ගැටුමක් ඇතිකර ගත නොහැකි බවයි. "මෙතන ජාතික අභිමානය ගැන ප්‍රශ්නයක් නැති" බවද ඔහු පාර්ලිමේන්තුවට කියා සිටියේය. ඉන්දීය නායකයන් මේ කච්චතිව් දූපතේ ප්‍රශ්නය එතරම් ගණන් ගත්තේ නැත. 1960 දශකයේද මේ කච්චතිව් දූපත පිළිබඳව ඉන්දීය පාර්ලිමේන්තුව තුළ විටින් විට ප්‍රශ්න අසනු ලැබුවත් ඉන්දියාවේ නායකයන්
ඒ ගැන එතරම් උනන්දුක් දැක්‌වූයේ නැත. 1966 මැයි 17 වැනිදා ඉන්දියාවේ උත්තර මන්ත්‍රී මණ්‌ඩලය වන රාජ්‍ය සභාවේ ද කච්චතිව් දිවයින පිළිබඳ ප්‍රශ්නය සාකච්ඡා විය. එහිදී ඉන්දීය විදේශ කටයුතු ඇමැති රාජ්‍ය සභාවට දන්වා සිටියේ කච්චතිව් දූපත රාම්නාද් හි ප්‍රාදේශීය රජවරයාගේ සමින්දාරි ඉඩම් අයිතිය යටතට වැටුණත් සමින්දාරි අයිතියෙන් ස්‌වාධිපත්‍ය බලයක් ලැබෙන්නේ නැති බවයි. 1921 දී ඉංගී්‍රසි පාලන සමයේ කච්චතිව් දිවයින ගැන ඇතිවූ සාකච්ඡාවකදී එකල මදුරාසි ආණ්‌ඩුව කච්චතිව් දිවයිනේ හිමිකම ශ්‍රී ලංකාව සතුව තිබෙන අතර රාම්නාද් හි ප්‍රාදේශීය රජවරයාගේ සමින්දාරි අයිතිය ද එසේම පවතින බව පිළිගෙන තිබුණු බව දිනේෂ් සිං ඇමැතිවරයා තවදුරටත් පවසා සිටියේය.
1968 අප්‍රේල් 1 වැනිදා ඉන්දීය මන්ත්‍රීවරයකු වූ මොහොමඩ් ෂෙරීෆ් ඉන්දීය ආරක්‍ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයට එක්‌වෙමින් පවසා සිටියේ ලංකාවට කච්චතිව් පිළිබඳ කිසිදු අයිතියක් නැති බවත් එම දූපත රාම්නාද් හි ප්‍රාදේශීය රජවරයාට අයත්ව තිබූ බව තහවුරු කරන ලියවිලි ගණනාවක්‌ම තිබෙන බව පවසා සිටියේය. ඒ අතර 23.6.1880 රාම්නාද් ඉඩම් ලියාපදිංචි කාර්යාලයේ අංක 510/80 බදු ඔප්පුව ද 4.12.1885 අංක 134/85 දරණ තවත් එවැනිම බදු ඔප්පුවක් ද 1913 සිට 1936 දක්‌වා තවත් බදු ඔප්පුවක් ද ඇතුළු ලියවිලි ගණනාවක් ගැන මෙම මන්ත්‍රීවරයා සඳහන් කළේය.
1974 ඉන්දිරා ගාන්ධි හා සිරිමා බණ්‌ඩාරනායක අගමැතිවරියත් අතර පෝක් සමුද්‍ර සන්ධියේ මුහුදු සීමාව නිර්නය කරමින් ගිවිසුම අත්සන් කරන ලද්දේ ඉන්දීය පාර්ලිමේන්තුව තුළ විටින් විට කච්චතිව් දූපත සම්බන්ධ අයිතිවාසිකම් කියන අතරතුරය. එම ගිවිසුම බිහි කිරීමෙන් පසු ඉන්දීය ලෝක් සභාව තුළ මහා ගාලගෝට්‌ටියක් හටගත්තේය. එක් මන්ත්‍රීවරයෙක් මැසිවිලි නගමින් කියා සිටියේ මේ ගිවිසුම පාර්ලිමේන්තුවෙන් විමසනවා තබා පාර්ලිමේන්තුවට දැනුම්දීමක් වත් නොකර ඇති කරන ලද ගිවිසුමක් බවයි. තවත් මන්ත්‍රීවරයෙක් කියා සිටියේ මෙය ජාති විරෝධී ගිවිසුමක් බවයි. එකල විපක්‍ෂ මන්ත්‍රීවරයකු වූ අටල් බිහාරි වඡ්පායි කියා සිටියේ පාර්ලිමේන්තුවටත් නොදන්වා ඉන්දීය භූමියක් වෙනත් රටකට පවරා ඇති බවයි. මේ ආකාරයට ඉන්දියාවේ ඇතැම් අය කච්චතිව් දූපත ලංකාවට ලැබීම ඉන්දියාවේ පරාජයක් හැටියට අර්ථකතනය කරගෙන සිටි බවට අපට පෙනේ. එමෙන්ම ලංකාවේ බොහෝ අය අදටත් කච්චතිව් දූපත ලබාගැනීම සිරිමා බණ්‌ඩාරනායක මැතිනියගේ රාජ්‍යතාන්ත්‍රික ජයග්‍රහණයක් හැටියට සලකයි. මෙහි ඇත්ත තත්ත්වය කුමක් ද යන්න අප සලකා බැලිය යුතුය.
1974 ඉන්දියාවත් ශ්‍රී ලංකාවත් අතර පෝක් සමුද්‍ර සන්ධියේ මුහුදු සීමාව නිර්නය කළ ගිවිසුම අත්සන් කිරීමෙන් පසු ඉන්දීය පාර්ලිමේන්තුව තුළ හට ගත් ගාලගෝට්‌ටිය මධ්‍යයේ ඉන්දීය විදේශ ඇමැති ස්‌වරන් සිං පෙන්වා දුන්නේ කච්චතිව් දූපත වර්ග සැතපුම් තුන්කාලක භූමියකින් යුක්‌ත වන අතර එය ශ්‍රී ලංකාවේ කිට්‌ටුම වෙරළේ සිට මුහුදු සැතපුම් 10.5 ක් ඈතින් පිහිටි අතර ඉන්දියාවේ සමීපම වෙරළේ සිට මුහුදු සැතපුම් 12.5 ක් ඈතින් පිහිටි බව පෙන්වා දුන්නේය. එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ මුහුදු නීතිය පිළිබඳ ප්‍රඥප්තියේ 15 වැනි වගන්තියට අනුව සමුද්‍රසන්ධියක් වැනි පටු මුහුදු තීරයක් දෙපස වෙනම රටවල් දෙකක් පිහිටි විට ඒ රටවල් දෙක අතර හරි මැදින් මුහුදු සීමාව පිහිටිය යුතු බවයි. එම රටවල් දෙකේ අෙන්‍යාaන්‍ය එකඟත්වය මත ඊට වෙනස් සීමාවක් නිර්නය කරන්නේ නම් මුහුදු නීතියට අනුව ඒ විශේෂ සීමාව ද පිළිගැනේ. 1974 කච්චතිව් ගිවිසුම ඇතිකරන විට එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ මුහුදු නීතිය පිළිබඳ ප්‍රඥප්තිය තිබුණේ නැත. එසේ වුවත් සමුද්‍ර සන්ධියක් දෙපැත්තේ පිහිටි රාජ්‍යයන් දෙකක් අතර හරි මැද මුහුදු සීමාව පැවතිය යුතු බව අනාදිමත් කලක සිට පැවති භාවිතයක් වන අතර දැන් මුහුදු නීතියට ඇතුළත් වී ඇත්තේ ඒ භාවිතයයි.
ලංකාවත් ඉන්දියාවත් අතර පෝක් සමුද්‍ර සන්ධියේ මුහුදු සීමාව නිර්ණය කරන විට එය කෙරුණේ මේ දෙරට අතර පෝක්a සමුද්‍ර සන්ධියේ හරි මැද මුහුදු සීමාව බවට පත් කරමිනි. ඒ අනුව එම සීමාව වැටුණේ කච්චතිව් දූපටත එක් මුහුදු සැතපුමක් එහා පැත්තෙන්ය. කච්චතිව් දූපත ලංකාවට අයත් වුණේ ඒ පදනම මතය. මෙය ඉන්දියාව විසින් ලංකාවට කරන ලද උදව්වක් නොවේ. බැරිවෙලාවත් අදාළ සිමාව කච්චතිව් දූපටත නැගෙනහිරින් වැටුනේ නම් ලංකාව මොන අයිතියක් කීවත් එය අයත් වන්නේ ඉන්දියාවටය. ඒ අනුව ඉන්දියාව කච්චතිව් දූපත නැවත ලබාගැනීමට උත්සාහ කළ හොත් ඔවුන් වර්තමානයේ බලපවත්වන මුහුදු නීති ප්‍රඥප්තියේ 15 වැනි වගන්තිය උල්ලංඝනය කරනු ඇත. 1974 දී ඉන්දියාවත් ශ්‍රී ලංකාවත් අතර ඇතිකර ගන්නා ලද මේ මුහුදු සීමාව පිළිබඳ ප්‍රශ්නය ගැන කතා කරමින් ඉන්දීය විදේශ ඇමැති ස්‌වරන් සිං පවසා සිටියේ ඔවුන් තමිල්නාඩුවේ, ගෝවේ හා බොම්බායේ පමණක් නොව බ්‍රිතාන්‍ය හා ඕලන්ද ඓතිහාසික ලියවිලි ද හදාරා බලා මේ මුහුදු සීමාව පිළිබඳ තීන්දුවට පැමිණි බවයි. එමෙන්ම ඔහු පෙන්වා දුන්නේ 1921 දී ලංකාවත් ඉන්දියාවත් බ්‍රිතාන්‍ය යටත් විජිතයන් වූ සමයේදී බ්‍රිතාන්‍ය ආණ්‌ඩුව විසින් දෙරට අතර මසුන් මැරීමේ සීමාවන් ඇති කළ බවත් එම රේඛාව කච්චතිව් දූපටතට මුහුදු සැතපුම් 3.5 ක් බටහිරින් පිහිටි බවත් එම රේඛාවෙන් බටහිර කොටස ඉන්දීය ධීවරයන්ටත් නැගෙනහිර කොටස ලංකාවේ ධීවරයන්ටත් වෙන් කෙරුණු බවයි.
මේ අවස්‌ථාවේදී ඉන්දියාවත් ශ්‍රී ලංකාවත් අතර පෝක් සමුද්‍ර සන්ධියේ මුදු සීමාව දෙරට අතර මුහුදේ හරි මැදින් දිවයන නිසා එය ජාත්‍යන්තර මුහුදු නීතියටත් අනුකූලය. මේ සීමාව උල්ලංඝණය කරමින් ඉන්දියාව කච්චතිව් දිවයින අල්ලා ගැනීමට උත්සාහ දැරුවොත් එය ජාත්‍යන්තර යුක්‌තිය පිළිබඳ අධිකරණයට හෝ බේරුම් කරණයට යොමු විය යුතු කාරණයකි. ඒ කෙසේ වෙතත් ඉන්දියාව කච්චතිව් දූපත අල්ලා ගත්තත් නැතත් පෝක් සමුද්‍ර සන්ධියේ ඇති තත්ත්වය කිසිදු ලෙසකින් වෙනස් වන්නේ නැත. දැනටත් මොන මුහුදු සීමාවක් තිබුණත් තමිල්නාඩුවේ ධීවරයන් ලංකාවට අයත් මුහුදේ මහ පරිමාණයෙන් මසුන් මරති. එය නැවැත්වීමට ලංකාවට නොහැක. ලංකාවේ මුහුදු සීමාව තුළ මුහුදු පතුල යට තෙල් තිබුණත් ඉන්දියාව කරන්නේ ඔවුන්ගේ පැත්තෙන් ළිං හාරා ලංකාවේ තෙලුත් පොලොව යටින් ඒ පැත්තට ඇද ගැනීමයි. කුවේට් රාජ්‍යය විසින් ඉරාකය තුළ පිහිටි තෙල් අදිනවා යෑයි සදාම් හුසේන් ද චෝදනා කර සිටි බව අපට මතකය. කච්චතිව් දූපත ලංකාවට තිබුණත් නැතත් පෝක් සමුද්‍ර සන්ධියේ සිදුවන මේ මහා සම්පත් කොල්ලය කිසි ලෙසකින් වෙනස් වන්නේ නැත.
මේ නිසා කච්චතිව් දූපත අල්ලා ගැනීමට ඉඩ තිබෙනවා යෑයි කියා පළාත් සභාවල පොලිස් බලතල හා ඉඩම් බලතල අහෝසි නොකර සිටීම බොරු වැඩකි. පළාත් සභා පොලිස් හා ඉඩම් බලතල ක්‍රියාත්මක කළහොත් මේ රටේ ඇතිවන්නේ මහා පරිපාලන අවුලකි. රටේ පාලනය අඩාල වන තැන දක්‌වා එය යනු ඇත. නමුත් ඉන්දියාව කච්චතිව් දූපත අල්ලා ගත්තා යෑයි කියා පෝක් සමුද්‍රසන්ධියේ හැමදාම පැවති තත්ත්වයේ අබ ඇටයක වෙනසක් ඇතිවන්නේ නැත.
සී. ඒ. චන්ද්‍රප්‍රේම - වම් ඉවුර
http://www.divaina.com/2013/07/15/feature01.html
2 comments:
අපි ඇයි බයවෙන්නේ කච්චතිවු දූපත ඉන්දියවට දීලා දෙමලු ටිකත් ඉන්දියවට යවමු.එතකොට එක ප්‍රශ්නයක් ඉවරයි.....
e mokatada parayonta kachchathiw liyala denne. eka api gawa thiyan demalu tika witharak yawamu
Post a Comment