Pages

Sunday, August 4, 2013

උතුරේ ඡන්දය ගැන උතුරේ අය කියන කතා

උතුරේ මංගල පළාත් සභාවත් අතුරේ යන ගමනක්‌ වෙයිද?

ඒ නවය මාර්ගය මහනුවරින් ආරම්භ වී යාපනයෙන් කෙළවර වෙයි. එකම බටයක දෙපැත්තක්‌ වූ මේ කෙළවරවල් දෙකේම මැතිවරණයන්ය. ශ්‍රී ලංකාවේ මැතිවරණ සමය උණුසුම්ය. මේ නිසා ඒ නවය මාර්ගයේ දෙකෙළවර දෙපැත්ත ගිනිගත් විලක්‌කුවක්‌ මෙන් ඇතැයි අපටද සිතෙයි.

නාම යෝජනා සමයේදී අපි මධ්‍යම පළාත පසුකරන විට නාමයෝජනා බෙදා ගැනීමට නොහැකි වූ අරගල අවසන්වී තිබුණේ පිස්‌තෝලද ඔළුවට තබමින්ය. වාහන කුඩුපට්‌ටම් කරමින්ය. නාඋල පළාතම මහා භීෂණයකින් වෙළී තිබිණි. කුරුණෑගල පුත්තලමද එසේමය. එහෙත් වසර තිහකටත් වඩා වැඩි කාලයක්‌ අවි ආයුධවලින් පිරුණු උතුර මැතිවරණ නාම යෝජනා සමයේදී නිහඬය. කිළිනොච්චියේදී දක්‌නට ලැබුණේ ආණ්‌ඩුවේ අමාත්‍යවරයෙකුගේ මුහුණ යෙදූ පෝස්‌ටර් පෙළක්‌ පමණි.

කිළිනොච්චිය පරන්තන් මං සන්ධිය ජනාකීර්ණ වී තිබුණේ මැතිවරණ උණුසුම නිසා නොව පරන්තන් හරහා මුලතිව් යන බස්‌ රථ දෙකම එදා ධාවනය නොවූ නිසාය. උයන පිහන බඩුමුට්‌ටු ස්‌වල්පයක්‌ මිලදී ගෙන එය පොහොර උරයක දමාගෙන බස්‌ රථයක්‌ එනතුරු සිටි එස්‌. වේලායුදම් පිල්ලේ විශ්‍රාමික ලිපිකරුවෙකි.

මේ ආණ්‌ඩුව යුද්දෙන් පස්‌සේ මේ පළාතට ගොඩාක්‌ සංවර්ධන වැඩ කරනවා. හැබැයි පාරවල් හදන එකයි ගොඩනැඟිලි හදන එකයි තමයි මූලික වෙලා තියෙන්නේ. පාරවල් හැදුවට ඒ පාරවල්වල යන බස්‌ කලට වේලාවට එන්නෙනෑ. පෞද්ගලික බස්‌ තියෙන්නෙත් දෙකයි. ලංගම බස්‌ එකකට වඩා පෞද්ගලික බස්‌ එකට රුපියල් හතළිහක්‌ වැඩියෙන් ගෙවන්න ඕනේ. ඉතිං අපිට රුපියල් හතළිහක්‌ ලොකු ගාණක්‌ නිසා අපි කොහොම හරි ලංගම බස්‌ එකකම තමයි යන්න බලන්නේ. ඒත් බස්‌ නෑ.

උතුරේ මැතිවරණයට වඩා එතැන සිටි පිරිසගේ මූලික ප්‍රශ්නය වී තිබුණේ තම ගමට යාමට බස්‌ රථයක්‌ නොමැති කමයි. ඔවුන්ගේ දැවෙන ප්‍රශ්නය ගැන ඔවුන් කතා කළ පසුව මම උතුරේ මැතිවරණය ගැන වේලායුදම්පිල්ලේ සමග කතා කළෙමි.

ඡන්දේ කියන්නේ මහා බොරුවක්‌ මහත්තයෝ. උතුරට මේ දවස්‌වල ඡන්දයක්‌ නෙමෙයි ඕන. යුද්දෙ ඉවරවෙලා අවුරුදු හතරයි. මේ පළාත්වල බිම් බෝම්බ ටිකවත් හරියට අයින් කරල නෑ. අපේ කුඹුරු තියෙන්නේ ඈත. ඒ පළාතේ බිම් බෝම්බ ගලවල නැති හින්දා අපේ කුඹුරුවලට අපිට යන්න බෑ. කඩෙන් සල්ලි දීලා හාල් ගන්න වෙලා තියෙන්නේ. මම දැන් ඉන්නෙ මගේ ජීවිත කාලේ හතරවෙනි ගෙදර. යුද්ද කාලේදී වරින්වර මගේ ඉස්‌සරවෙල ගෙවල් තුනම කැඩිලා ගියා. දැන් ඉන්න ගෙදරත්, ගෙදරක්‌ නෙමෙයි. ටකරන් ගහපු කූඩාරමක්‌. මෙහෙ මිනිස්‌සුන්ට ඕනේ ඡන්දයක්‌ නෙමෙයි. බෝම්බ අයින් කරලා වැව් ටික හදලා කුඹුරු ටික වැඩ කරගන්න ක්‍රමයකුයි. විනාශවෙලා ගිය ගෙවල් ටික වෙනුවට ස්‌ථිර ගෙවල් ටිකක්‌ හදලා දෙන විදිහකුයි. මේ ඡන්දෙ ඕනෙ නෑ ඒකට. ආණ්‌ඩුවට ඒක කරන්න පුළුවන්නේ. දැන් ඡන්දෙදී වෙන්නෙ දෙමළ ජාතික සන්ධානෙ පිරිසක්‌ බලයට පත්වෙන එකයි. ඒ අය ආණ්‌ඩුවත් එක්‌ක එක එක ප්‍රශ්නවලට පොර බදයි. ආණ්‌ඩුව ඒවා අහන්නෙ නැති කොට රට යයි. දෙගොල්ලො අතරේ මේ ප්‍රශ්න වලින් අපිට කියලා දෙයක්‌ ලැබෙන්නෙ නෑ. අවසානෙ දුක්‌ විඳින්නේ අපි තමයි. මමනම් හිතන්නෙ මේ පළාත් සභා මැතිවරණය උතුරට දාන්න කාලය වේලාසන වැඩියි කියල.

මැතිවරණය පිළිබඳව උදාසීන බවක්‌ ඇත්තේ ඔහුට පමණක්‌ම නොවේ. කතා කළ බොහෝ දෙනෙකු පැවැසුවේ ඡන්දය දානවට වඩා තමන්ට දෛනිකව කළ යුතු බොහෝ දේ ඇති බවයි. යාන්තමට සුද්ධ කරගත් ඉඩමේ ඉදිරි මාස්‌ මෝසම් වැස්‌සට එළවළු ඇට ටිකක්‌ සිටුවා ගැනීම මැතිවරණයට වඩා වැදගත් බව බොහෝ දෙනෙකුගේ අදහස වී තිබේ.

බෝතල් මූඩි කණ්‌ණාඩි කුට්‌ටමක්‌ පැළඳ සිය බිරිඳ සමග ඊළඟ බස්‌ නැවතුමේ සිටියේ අසූව දශකය වනතුරු දිවයිනේ බොහෝ සිංහල පළාත්වල සේවය කළ විශ්‍රාමික තැපැල් නිලධාරියෙකි. ඔහුගේ ගම යාපනයේ චාවකච්ෙච්රියයි. නමින් එස්‌. ඥන ප්‍රගාසම්වූ ඔහු රටතොට ගැන යමක්‌ දන්නා අයෙකි.

ඡන්දේ කියන එක මිනිස්‌සුන්ට ඕනේ දෙයක්‌. ඒ වගේම තමයි ඒ ඡන්දවලට ඉදිරිපත් වෙන අපේක්‍ෂකයෝ ගැන මහජනතාවට හොඳ විශ්වාසයක්‌ තියෙන්න ඕනෙ. අනිත් එක තමයි දැන් ඡන්දවලට ඉදිරිපත් වෙන්නෙ අපරාධකාරයො. මුදලාලිලා බුද්ධිමතුන් ඇතොත් ඒ එක්‌කෙනෙක්‌ දෙන්නෙක්‌ විතරයි.

දැන් බලන්න දයා මාස්‌ටර් ඡන්දෙ ඉල්ලනවා කියලා උඩ පැන්නා. පත්තරවල පින්තූර දැම්මා. පත්තරකාරයෝ කියන්නෙත් දැන් මහ මෝඩ රැළක්‌. දයා මාස්‌ටර් නාම යෝජනා දෙන්නත් කලින් පත්තරකාරයොයි රූපවාහිනි කාරයොයි ඒ මනුස්‌සයව මන්ත්‍රී කෙනෙකුත් කළා. දැන් මොකද වුණේ. ඒ මිනිහට රෙද්දක්‌ ඇඳගෙන පාරේ යන්න බෑ. අනික කව්ද දයා මාස්‌ටර් කියන්නේ. පඩියට හරි ස්‌වෙච්ඡාවෙන් හරි එල්ටීටීඊ සංවිධානෙට වැඩ කරපු කෙනෙක්‌. ඒ මනුස්‌සය මහජනතාවට මොනවද කළේ මොකුත් නෑ. ඡන්දෙන් මන්ත්‍රී වුණත් ඒ වගේ අය මිනිස්‌සුන්ට සලකන්නේ නෑ. හේතුව ඒ අය පුරුදු වෙලා ඉන්න වෙනම ක්‍රමයකට. කොහොම හරි දයා මාස්‌ටර්ට ආණ්‌ඩුවෙන් නාම යෝජනා නොලැබුණු එක නම් මම දකින්නෙ හොඳ දෙයක්‌ විදිහට.

එල්ටීටීඊයේ හිටපු වවුනියාව, ත්‍රිකුණාමලය දිස්‌ත්‍රික්‌කවල දේශපාලන නායක එලිලන්ගෙ බිරිඳ දෙමළ ජාතික සන්ධානයෙන් යාපනයට නාම යෝජනා දීලා තියෙනවා. මේකත් ඒ තරම් හොඳ වැඩක්‌ නෙවෙයි. මොකද දෙමළ ආයුධ සන්නද්ධ කණ්‌ඩායම්වල හිටිය අය ගැන මිනිස්‌සුන්ට විශ්වාසයක්‌ නෑ. ඉස්‌සර කරපු දේවල් වගේම ඉස්‌සර ඒ අයගේ ඔලුවල තිබුණු දේවල් එච්චර හොඳයි කියලා කාටවත් කියන්න බෑනේ.

දැන් බලන්න ජනතා විමුක්‌ති පෙරමුණට මොකද වුණේ. එයාලා ඉස්‌සර වෙලාම අවි ආයුධ ගත්තා. මිනිස්‌සු මැරුවා. ගෙවල් ගිනි තිබ්බා. එල්ටීටීඊ එක කළ දේවල්මයි එයාලත් කළේ. පස්‌සෙ දේශපාලනයට ආවත් මිනිස්‌සු එයාලව විශ්වාස කරන්නේ නෑ. ඒ වගේ කණ්‌ඩායම් ජනතාව අතරේ දවසින් දවස දියවෙලා යනවා.

දෙමළ ජාතික සන්ධානෙත් මෙවර මහ ඇමැති අපේක්‍ෂකයා විදිහට නම් කළ විග්නේෂ්වරන් මහත්තයට ජනතාව ගොඩක්‌ කැමතියි. ඔහු වෘත්තියෙන් විනිශ්චයකාරවරයෙක්‌. නම කැත කරගන්න කෙනෙක්‌ නෙවෙයි. සාමාන්‍ය ජීවිතේදීත් එයාගේ ක්‍රියා කලාපය බොහොම හොඳයි. දේශපාලනයට යන්න ඕනෙ මෙන්න මේ වගේ අය. දෙමළ ජාතික සන්ධානය මහ ඇමැති අපේක්‍ෂකයා විදිහට සම්බන්ධන් මහත්තයා හරි මාවෙයි සේනාධිරාජා මහත්තය හරි දැම්මනම් අර්බුද ගොඩයි. හේතුව ඒ අය කතාකරන දේශපාලනඥයෝ මිසක්‌ වැඩ කරන දේශපාලනඥයෝ නෙවෙයි. මිනිස්‌සුන්ට ඕනෙ වැඩ කරන දේශපාලනඥයෝ. දෙමළ මිනිස්‌සු ඔය සම්බන්ධන් මහත්තයටත්, මාවෙයි සේනාධිරාජා මහත්තයටත් අභියෝග කළොත් ඔබලා දේශපාලනයේදී දෙමළ මිනිස්‌සුන්ට මොනවද කළේ කියලා. ඒ අයට දෙන්න උත්තරයක්‌ නෑ. ඕකයි ඇත්තම තත්ත්වය.

මේ සැරේ උතුරු පළාත් සභාවේ බලය දෙමළ ජාතික සන්ධානය ලබාගන්න බවක්‌ තමයි පේන්න තියෙන්නේ. මමත් දෙමළ මනුස්‌සයෙක්‌ වුණාට ඒකට කැමති නෑ. හේතුව තමයි මහත්තයට මතකයිනෙ චන්ද්‍රිකා බණ්‌ඩාරනායක මැතිනිය මේ රටේ ජනාධිපතිනිය වෙලා ඉන්න කාලේ රනිල් වික්‍රමසිංහ මහත්තය අගමැති වුණා. රටේ අගමැති විදිහට රනිල් මහත්තයට මොනවත් කරන්න බැරිවුණා. අන්න ඒ වගේ තත්ත්වයක්‌ තමයි ඉදිරි කාලේදී උතුරේ ඇතිවෙන්නේ. ආණ්‌ඩුවයි ජනාධිපතිතුමයි එක පැත්තක. උතුරේ පළාත් සභාවේ කට්‌ටිය වෙන පැත්තක.

උතුරේ පළාත් සභා ඇමැතිවරු මන්ත්‍රීවරු මහ ඇමැතිත් එක්‌ක එකතු වෙලා අයිතිවාසිකම් ඉල්ල ඉල්ලා අවුරුදු පහම කෑ ගහ ගහ ඉඳියි. මිනිස්‌සුන්ගෙ ප්‍රශ්න ටික ඒ විදිහටම හැමදාම තියෙයි. මේ දෙමළ මිනිස්‌සු තරම් කරුම කරපු වෙන ජාතියක්‌ මේ ලෝකෙ කොහෙවත්ම නැතුව ඇති.

එක දිගටම කතා කළ විඩාව ඔහුගේ නළල මත රැඳුණු දාඩිය බිඳුවලින් සංකේත වුවත් කියා ගන්නට ඕනෑ යමක්‌ කියා ගත්තා යෑයි යන සතුට ඔහුගේ මුවේ 

රැඳී තිබිණි. කලින් මට හමුවූ පුද්ගලයා කී පරිද්දෙන් බස්‌ රථ පැමිණෙන්නේ ඉතා කලාතුරකින් වීම නිසා අපේ කතාවට කිසිදු බාධාවක්‌ එල්ල නොවුණි.

මේ වන විට පළාත් සභා මැතිවරණය සඳහා නාම යෝජනා ලබාදී අවසන්ය. උතුරු පළාත් සභාව සඳහා මැතිවරණයක්‌ පැවැත්වෙන්නේ මුල්ම වරටය. පළාත් සභා ව්‍යqහය ආරම්භ වූ කාලයේම උතුරු නැගෙනහිර තනි පළාත් සභාව වෙනුවෙන් වර්ධරාජා පෙරුමාල් මහතා නාමික වශයෙන් මහ ඇමැති වුවත් ඔහු ඡන්දයකින් මහ ඇමැති නොවීමත්, ක්‍රමානුකූල ව්‍යqහයක්‌ පළාත් සභාව තුළ නොවීමත් නිසා එදා මේ පළාත් සභාව බෝඩ් ලෑල්ලකට පමණක්‌ සීමාවිණි.

උතුර නැගෙනහිර පළාත් දෙක වෙන් වීමෙන් පසුව නැගෙනහිර පළාත සඳහා පළාත් සභා මැතිවරණයක්‌ පැවතියද උතුර වෙනුවෙන් පළාත් සභා මැතිවරණයක්‌ පැවැත්වෙන්නේ ලබන සැප්තැම්බර් මස 21 වැනිදාය. ඒ දිනය උතුරේ වැසියන්ට ඉතා වැදගත් දිනයක්‌ වන්නේය.

උතුරු පළාත් සභාව සඳහා පරිපාලන දිස්‌ත්‍රික්‌ක පහක්‌ ඇතුළත් වෙයි. යාපනය කිළිනොච්චිය, මුලතිව්, මන්නාරම හා වව්නියා එම පරිපාලන දිස්‌ත්‍රික්‌ක පහ වෙයි. මේ පළාත් සභාව සඳහා මන්ත්‍රීවරු 36 දෙනකු ඡන්දයෙන් තේරී පත්වන අතර තවත් දෙදෙනකු තේරී පත්වන්නේ පක්‍ෂ විසින් ලබාගන්නා ඡන්ද සංඛ්‍යාව මත ලැබෙන බෝනස්‌ ක්‍රමයෙනි.

දෙමළ ජාතික සන්ධානය ගණන් බලන අන්දමට මැතිවරණයේදී ආසන 36න් 24 කට වැටි සංඛ්‍යාවක්‌ ඔවුන් ජයග්‍රහණය කොට උතුරු පළාත් සභාවේ බලය පිහිටවීමේ උත්සාහයක ඔව්හු නිරත වෙති. නමුත් එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන රජයේ කර්මාන්ත සංවර්ධන අමාත්‍ය රිෂාර්ඩ් බදියුදීන් අමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ යුද්ධය අවසන් කළ රජය උතුරු පළාත් සභාවේ බලය හිමිකර ගන්නා බවයි.

යුද්ධය හමාර කොට රටකට සාමය උදාකොට දීම ඉතා විශිෂ්ට මෙන්ම දැඩි අසීරු කාර්යයකි. ඒ පිළිබඳව දකුණේ ජනතාවට වඩා ඉපිල ගිය දැඩි සතුටක්‌ උතුරේ හා නැගෙනහිර ජනතාව තුළ තිබුණද යුද්ධයෙන් පසුව යුද්ධයෙන් පීඩාවට පත් ජනතාව සුත මුදිත නොකිරීමේ චෝදනාව තවමත් රජය පිට පැටවී තිබේ.

කිළිනොච්චිය හා මුලතිව් යන දිස්‌ත්‍රික්‌ක දෙකේම වෙසෙන සියලු ජනතාව යුද්ධයෙන් පීඩා විඳීමෙන් පසුව යළි පදිංචි වූ වැසියෝය. ඔවුන් සතුව තිබූ සියලු දේ අහිමි වී ඇත්තේ යුද්ධය නිසාවෙනි. මියගිය මිනිස්‌ ජීවිත හැරෙන්නට දැන් සියලු දේම රජයෙන් ලබාදෙන බවට පොරොන්දු වී ඇතත් මේ වනතුරු ඔවුනට ලැබුණු දේ අල්පය. මෙවැනි වාතාවරණයක්‌ හා පසුබිමක්‌ මත රජය උතුරු පළාත් සභා මැතිවරණය පැවැත්වීම රජයට බෙහෙවින්ම අවාසිදායක තත්ත්වයකි. සම්බන්ධන්, මාවෙයි සේනාධිරාජා වැනි මන්ත්‍රීවරුන් දහතුන් වැනි සංශෝධනය දහතුන ප්ලස්‌ ඉල්ලුවද උතුරේ ජනතාව ඉල්ලා සිටින්නේ බලතල නොව ඔවුන්ගෙන් නැති වී ගිය දේවල් පමණි. මේ නිසා උතුරේ වැසියන් පළමුව සුත මුදිත කොට දෙවනුව උතුරු පළාත් සභා මැතිවරණය පැවැත්වීමට රජය තීරණය කළේ නම් ලබන සැප්තැම්බර් 21 වැනිදා උතුරු පළාත් සභාවේදී ලැබෙන මැතිවරණ ප්‍රතිඵලය මීට වඩා බෙහෙවින්ම වෙනස්‌ වන එකක්‌ බව ඉතා පැහැදිලිය.

* දිනසේන රතුගමගේ
http://www.divaina.com/2013/08/04/politics07.html

0 comments: