Pages

Thursday, January 30, 2014

පහේ ශිෂ්‍යත්වය 21 වැනි සියවසට ගැලපේද?

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන හා උසස්‌ අධ්‍යාපන අමාත්‍යාංශ දෙක දැනට මහජනතාවට පුවත් සපයන ප්‍රධාන රාජ්‍ය ආයතන බවට පත්ව ඇති බව කවුරුත් දන්නා කරුණකි. නමුත් ඒ හැම පුවතක්‌ම යහපත් ඒවාද නොවේය. මේ දිනවල කරළියේ උණුසුම්ම මාතෘකාව වන්නේ පහ වසර ශිෂ්‍යත්වය හා ඒ හා සම්බන්ධ නිදහස්‌ අධ්‍යාපනයයි. ඒ ගැන කථා කරන වැඩි දෙනකු කියන්නේ ඒ දෙකම ඒ විදියටම පවත්වා ගත යුතු බවය. කෙසේ වෙතත් දශක ගණනාවක සිටම මෙම වචන යුගලය අතිශයින්ම ජනතාව රවටන දේශපාලකයන්ගේ ප්‍රබල දේශපාලන අවියක්‌ වශයෙන් භාවිත කරන බවද රහසක්‌ නොවේ. පසුගිය දිනක අධ්‍යාපන ඇමතිවරයා පහ ශිෂ්‍යත්වය නැවැත්වීම සම්බන්ධයෙන් ගත් (හෝ ගන්නට අදහස්‌ කිරීම) තීරණය පැය කීපයක්‌ ඇතුළත වෙනස්‌ කිරීමෙන්ම එම අවියේ තියුණු බව සනාථ වී ඇත. අතීතයේ සිටම සිදුවූ පරිදිs මෙහිදී ද ප්‍රබල විරුද්ධත්වය ප්‍රකාශ වූයේ බංකොලොත් දේශපාලන පක්‌ෂවලින් හා ඒවා අනුකරණය කරන කණ්‌ඩායම්වලිනි. ඒ බොහොමයක්‌ දෙනා නිදහස්‌ අධ්‍යාපනය ගැන තබා අධ්‍යාපනය කියන්නේ කුමක්‌දැයි ගැනවත් අවබෝධයක්‌ නැති අයයි. පහ අහෝසියි යන අදහස එළිකළ විගසින් මුලින්ම මහත් කලබලයට පත් වූයේ සිසුන් දෙමවුපියන් හා උගතුන්ට වඩා ඉහතින් සඳහන් කළ බංකොලොත් දේශපාලුවන් වීමෙන්ම ඔවුන්ගේ වංචනික බව පෙන්වූහ.

එහෙත් අනාගත පරපුර වෙනුවෙන් අප සැම ඒ යථාර්ථයට මුqහුණ දීමට සිදුව ඇත. පෞද්ගලික අධ්‍යාපන ආයතනයකට සම්බන්ධ වුවද අධ්‍යාපන අධීක්‌ෂණ ඇමැති මොහාන් ලාල් ග්‍රේරු මහතා සති අග පුවත්පතකට කළ ප්‍රකාශය ඊළඟ මැතිවරණය දෙවැනි තැනට දමා කළ එකක්‌ විය හැකිය. ඉතාම කෙටියෙන් ඔහු සඳහන් කළේ පහේ ශිෂ්‍යත්වයේ හොඳ අවුන්සයයි නරක ටොන් 1 යි යනුවෙනි. තිත්ත වුණත් ඇත්ත එයයි. ඔහු පවසන අන්දමට මුට්‌ටිය නොව කල්දේරමක්‌ දමා හෝ වරද සොයාගන්නේ නම් වැදගත් එයයි. කන්නන්ගර මැතිතුමා අදත් සිටියා නම් ඔහු පිළිගන්නා සත්‍යයද එයයි. 50 දශකයේ අප ගල්ලෑල්ල ගල්කූර අතැතිව පාසලට ආවද, වත්මන් දරුවාට පාසලට එන්නට සිදුව ඇත්තේ කොම්පියුටරයටත් එහා ගිය සාක්‌කුවේ ගෙන යා හැකි මොබයිල් උපකරණයක්‌ අතැතිවය. එදා හෝඩි පොත වෙනුවට අද සමස්‌ත විශ්ව හෝඩි පොතට ප්‍රවේශ වීමට කුඩා දරුවකුට ගතවන්නේ තප්පර ගණනකි.

21 ශත වර්ෂයේ තාක්‍ෂණයට අද දරුවන් හුරුවීමේ වේගයට හා ශක්‌තියට සම කළ හැකි වසර පනහ ඉක්‌ම වූ කිසිවකු ඇතැයි මා නම් විශ්වාස නොකරමි. සන්නිවේදන හා නවීන තොරතුරු තාක්‌ෂණය ඔස්‌සේ වේගයෙන් දිනෙන් දින වෙනස්‌වන ලෝකයේ 21 ශතවර්ෂයේ දරුවාගේ ලෝකය ඩිජිටල් තාක්‌ෂණයයි. අද එය ඔවුන්ගේ ජීවිතය බවට පත්ව ඇත. ලොව අධ්‍යාපන විශේෂඥයින් අද දරුවන් හඳුන්වන්නේ digital native, digital generation නැතහොත් mobile generation යන නම්වලිනි. (වැඩිහිටි අප හඳුන්වන්නේ digital immigrant නමිනි) තාක්‌ෂණය භාවිතය අතින් අප පාසල් පද්ධතිය තවමත් ඉතා පහළ මට්‌ටමක පැවතියත් පාසලින් සවසට එළියට යන දරුවාගේ ලෝකය ඩිජිටල් ලෝකයයි. ඉන්ටර්නෙට්‌ සහිත කුඩා මොබයිල් උපකරණයෙන් ඔවුන්ට කළ හැකි දෑ අපමණය. ගීතයක්‌ ඇසීම හා නැරඹීම, චිත්‍රපටයක්‌ හෝ නාට්‍යයක්‌ හෝ සජීවීව ක්‍රීඩාවක්‌ නැරඹීම, ලොව ඕනෑම තැනකට ඊ මේල් යෑවීම හා බැලීම ටෙක්‌ස්‌ කිරීම හා චැට්‌ කිරීම, පුවත්පත් හා සඟරා කියෑවීම, තමන්ට අවශ්‍ය ඕනෑම තොරතුරක්‌ ඕනෑම තැනකින් ලබා ගැනීමට හා තවත් අය හා බෙදා ගැනීමට ආදී වශයෙන් කළ හැකි තවත් දෑ අප්‍රමාණය. පාසලක ගුරුවරයකු නොමැතිව හෝ ශිෂ්‍යයකුට පූර්ණ හා ගැඹුරු අධ්‍යාපනයක්‌ ලබා දීමට තරම් ප්‍රබල හැකියාවක්‌ නවීන ඩිජිටල් තාක්‍ෂණයට ඇත. දුරස්‌ථ අධ්‍යාපනය අද පාසලටද පැමිණෙමින් ඇත. මේ සියල්ල අප පාසල්වලට එන දිනය වැඩි ඈතක නැත. මෙවන් වාතාවරණයක්‌ තුළ ඇත්තටම 5 ශිෂ්‍යත්වය හා දශක 7 ට වඩා පැරණි නිදහස්‌ අධ්‍යාපනයේ මූලිකාංග ශිෂ්‍යයා ඉල්ලන දේද, ඔහුට අවශ්‍ය දේද, 21 ශතවර්ෂයේ රටට ලොවට ආර්ථිකයට අවශ්‍ය දේද නැතහොත් 19 හා 20 ශතවර්ෂවල සිටින වැඩිහිටි අප දන්නා අපට ඕන දේ බලහත්කාරයෙන් දරුවාට දීමද යන්න පිළිබඳව වඩා පුළුල්ව ගැඹුරින් සිතා බැලිය යුතුව ඇත. එයට කෙලින්ම විරුද්ධ වීම පමණක්‌ සමස්‌ත අනාගත දරු පරපුරම තව තවත් අඳුරේ හෙළීමක්‌ වනු ඇත. මෙය කන්නන්ගර මැතිතුමාට කිසිසේත්ම කරන අපහාසයක්‌ නොව අනාගත පරපුර වෙනුවෙන් ඉටු කළ යුතු වගකීමකි.

කෙසේ වෙතත් පහ වසර ශිෂ්‍යත්වය පමණක්‌ නොව සාමාන්‍ය හා උසස්‌ පෙළ විභාග ඇතුළත් සමස්‌ත නිදහස්‌ අධ්‍යාපනයම 21 ශතවර්ෂයට අදාළ වන අන්දමට විශාල වෙනසකට ලක්‌ කළ යුතු බව මාගේ මූලික නිගමනයයි. එහෙත් එම කාර්යය තනි පුද්ගලයකුට හෝ පක්‌ෂයකට කළ හැකි බව යමෙකු සිතන්නේ නම් එයද වැරදිය. නිදහස්‌ අධ්‍යාපන සංකල්පය ඉදිරිපත් කළ කාලයේ නිදහස්‌ සටන සමඟින් එය දේශීය වශයෙන් ජනතාවට අතිශයින් අවශ්‍ය වූවකි. එහෙත් ඉන් පසුව දේශපාලන වාසි සඳහා කරනු ලැබූ බලවත්ම වරද වූයේ අධ්‍යාපනය සිංහල භාෂාවට පමණක්‌ සීමා කිරීමය. ඉන් සිදු වූයේ එම සීමාව අදාල වූයේ ගම්බද දුප්පත් අයට පමණක්‌ වීමය. ධනවත් හා ප්‍රභූ පැලැන්තියට දිගටම සුද්දාගේ බසින් හෙවත් ඉංග්‍රීසි බසින් මෙරට හෝ ඉංග්‍රීසි රටකින් අධ්‍යාපනය ලබා ගැනීමේ වරප්‍රසාදයට හානියක්‌ නොවීය.

ලොව සෑම දෙයක්‌ම වේගයෙන් වෙනස්‌වන තත්ත්වයක්‌ යටතේ නිදහස්‌ අධ්‍යාපන සංකල්පය වෙනස්‌ නොවිය යුතුයි කෙනෙකු කියන්නේ නම් ඔහුට මානසික ආබාධයක්‌ තිබිය යුතුය. අද අපගේ අධ්‍යාපනය දරුණු කඩාවැටීමට මූලික හේතුව ලෙස මා දකින්නේ අවශ්‍ය කලට වේලාවට අවශ්‍ය වෙනස්‌කම් සිදු නොකිරීමයි. යටත්විජිතවාදී අත්තිවාරම මත ගොඩ නැගුනු කම්හල් ආකෘතිය (factory model) කුඩා කුඩා පැලැස්‌තර අලවමින් පල් වෙන්නට හැරීමයි. සුද්දා ඉන්දියාවට හා ලංකාවට නිදහස දුන්නේ එක ළඟ වසර දෙකක දීය. එහිදී අප නිදහස්‌ අධ්‍යාපනය සමඟම ඔවුන්ගේ භාෂාවද එපා කියුවද ඉන්දියාව සුද්දාගේ බස එරටේ අධ්‍යාපනයට හා සංවර්ධනයට ආභරණයක්‌ කර ගත්තේ අනාගතයේ විශ්ව භාෂාව හා ලොව ජය ගත හැකි වන්නේ ඒ තුළින් බව අවබෝධ කොට ගත් බැවිනි. 

එම තීරණ ගත් අයගේ කකුල්වලින් අදින්නට හෝ දේශපාලන වාසි තකා ඒවා හෙළා දකින්නට තරම් එම දේශපාලකයන් මන්ද බුද්ධික හෝ ආත්මාර්ථකාමී වූයේ නැත. එහි ප්‍රතිඵලය වශයෙන් එරට අද අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ ලොව පතාක යෝධයකු බවට පත්ව ඇති අතර ලොව දස දෙසට ඉංජිනේරුවන් වෛද්‍යවරුන් හා තාක්‍ෂණ විද්‍යාඥයින් සහ එම සේවාවන් සපයන ප්‍රධාන පෙළේ රටක්‌ වී ඇත. අප රටට වඩා වසර ගණනාවකට පසුව නිදහස ලැබූ සෙසු ආසියාතික රටවල් අප නිදහස ලබන අවස්‌ථාවේ අපට වඩා ඉතාමත් පහළ මට්‌ටමක හා බරපතළ ලෙස දරුණු යුද්ධවලට මුහුණ පෑ අතර එම රටවල් විශේෂයෙන් කොරියාව, හොංකොං, මලයාසියාව, සිංගප්පූරුව ඇතුළු සෙසු ආසියාතික රටවල් බොහොමයක්‌ අද අධ්‍යාපනය අතින් (හා ආර්ථික) ලොව දියුණුම රටවල් සමඟ කරට කර පැමිණ ඇත. අද කොරියාවේ පාසල් ගුරුවරයකුගේ මාසික වැටුප ඇමරිකානු ඩොලර් 5000 සිට 10000 දක්‌වා වේ. නිදහස ලැබූ සෙසු ආසියාතික රටවල තත්ත්වය එබඳු නම් මෙවන් සුවිශේෂී අධ්‍යාපන සංකල්පයක්‌ හා උතුරා යන ජාත්‍යාලයක්‌ පවතින අපගේ ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයට මෙවන් ව්‍යසනයක්‌ ඇති වූයේ කෙසේද යන්න මුට්‌ටි ඉනිමං මුසාවාදවලින් බැහැරව බුද්ධිමත්ව ගැඹුරින් හා අනාගත පරම්පරා ගැන වැඩි වගකීමෙන් යුතුව සිතීම හා කථා කිරීම අප කාටත් අයිති කාර්යයකි. 

අපගේ වත්මන් අධ්‍යාපන ක්‍ෂේත්‍රයම බලවත් අර්බුද රාශියකට මුහුණ පා ඇති බව රහසක්‌ නොවේ. කොතැනක හෝ භයානක වරදක්‌ සිදුව ඇත. නිදහස්‌ අධ්‍යාපනය අපගේ අධ්‍යාපනයේ අත්තිවාරම නම් ඒ ගැන විභාග කිරීමකින් තොරව ඒ වරද හඳුනා ගැනීමට හෝ පිළියම් යෙදිය නොහැක. ග්‍රීක හා ලතින් භාෂා ඉංග්‍රීසි ඇතුළු ලොව භාෂා සියල්ලේම මවු බස ලෙස සැලකිය හැක. දැනට දශක හත අටකට පෙර (කාලය නිශ්චිතවම කිව නොහැක) ඉන්දියාව ලංකාව ඇතුළු රටවල් ගණනාවක ප්‍රධාන භාෂාවන් වූයේ පාලි හා සංස්‌කෘතය. අපේ මුතුන් මිත්තන් අකුරු ලිව්වේ වැල්ලේ හා තල් පත්වලය. 50 හා 60 දශකවල පාසල්වල භාවිතා කළේ ගල් ලෑල්ල ගල් කූරය. එම භාෂා අද සංරක්‌ෂණය කරනවා මිස ව්‍යවහාරයේ නැත. එලෙසින් දශක හයකට වඩා පැරණි නිදහස්‌ අධ්‍යාපනයේද අදට නොගැලපෙන දේවල් ඉවත් කිරීමට අවශ්‍ය දේ වෙනස්‌ කිරීමට අප මැළිවිය යුතු නැත. 

5 වසර ශිෂ්‍යත්වය පමණක්‌ නොව සාමාන්‍ය හා උසස්‌ පෙළ විභාග ද ඉවත්කොට ඒ වෙනුවට 21 ශතවර්ෂයට ගැලපෙන එම විභාග ක්‍රමවල අඩුපාඩු හා ගැටලු නිරාකරණය වන අන්දමේ නව විභාග ක්‍රම ඇති කළ යුතුම ය. මෙම පවතින විභාග තුනම කඩඉම් මිස අධ්‍යාපනයේ අවසන් ප්‍රතිඵලය නොවේ. කුමන විභාගයක්‌ කෙසේ සමත් වුණත් වාර්ෂිකව පාසලට ඇතුළත්වන ලක්‌ෂ 4 පමණ වන සිසුන්ගෙන් 22000 ක්‌ හැරෙන්නට සෙසු සියල්ල අනාථය. මන්ද පොඩි පොඩි වෘත්තීය පාඨමාලා කෑලි අලවා තිබුණ ද සුපිරි අධිවේගී මාර්ග ඇත්තේ එකකි. එනම් විශ්වවිද්‍යාල පමණක්‌ ඉලක්‌ක කරගත් ක්‍රමයයි. එම අධිවේගී මාර්ගයේද ඇත්තේ මංතීරු දෙකකි. වෛද්‍ය හා ඉංජිනේරු යනුවෙනි. සෙසු ඒවා අඩි පාරවල් නැතහොත් කටු පාරවල් ලෙසයි ජනමතය සැකසී ඇත්තේ. කලා, වාණිජ හෝ භෞතික විද්‍යා (විශේෂයෙන් කලා හා වාණිජ) යන්නෙන් කියන්නේද පිළිකුල් සහගතවය. කවුරුන් හෝ ඔළුවෙන් හිටගෙන එසේ නැතැයි කීවත් තිත්ත ඇත්ත එයයි. ඒ අතරිනුත් සිසුන් වැඩි පිරිසකට වරම් ලැබෙන්නේ අර වඩාත් අප්‍රසන්න (කලා) ක්‍ෂේත්‍රයටය. අඩුම රැකියා අවස්‌ථා හෝ රැකියා නොමැති ගොඩටය. එහෙත් අවශ්‍ය වන්නේ එක්‌ මංතීරුවකින් යුත් එක්‌ පැහැදිලි මාර්ගයකි. නැතහොත් බාලාංශයේ සිට 13 වසර දක්‌වා සැමට සමාන විෂයමාලා ධරාවක යැමේ අවස්‌ථාව ලබා දීමය. ( ඒ කෙසේද යන්න ඉදිරි ලිපියකින් විග්‍රහ කිරීමට බලාපොරොත්තු වෙමි.) එය විවිධ දිශාවන්ට ප්‍රවේශ විය හැකි ගමනාන්තයකින් යුක්‌ත විය යුතුය. 

විශ්වවිද්‍යාලයට යැම ඒ ප්‍රවේශ අතරින් එකක්‌ විය යුතුවා මෙන්ම සෙසු ප්‍රවේශයන්ද සමාන වැදගත් කමකින් යුක්‌ත විය යුතුය. පාසල් අධ්‍යාපනය අවසන් කරන අවස්‌aථාවේ ශිෂ්‍යයාගේ දක්‌ෂතාව හා කැමැත්ත අනුව ඔහුට හෝ ඇයට තමන්ගේ ප්‍රවේශය තෝරා ගැනීමේ අවස්‌ථාව තිබිය යුතුය. ප්‍රධාන විෂය ධාරාවන් හතර ඔස්‌සේ යැම තුළිsන් සමාජයේ පන්ති භේදය ඇති නැති භේදය වැඩි වී ඒ තුළින් සමාජ විෂමතාවය තව දුරටත් වර්ධනය වේ. රට තුළ දැනට මහා ව්‍යසනයක්‌ බවට පත්වෙමින් ඇති විවිධ ජාතිවාදී බෙදීම් එකම ආගම තුළ විවිධ බෙදීම් අන්තවාදී හා විනාශකාරී දේශපාලන කණ්‌ඩායම් වර්ධනය වීමට බලපෑ ප්‍රබල හේතුවකි මෙය.

කොටින්ම මෙම පවතින ක්‍රමය පෙරුම්කායම් ගුලියක්‌ කටේ තබාගෙන මී පැණි රස බව පෙන්වන්නට උත්සාහ ගන්නක්‌ වැනිය. 5 ශිෂ්‍යත්වය ඇතුළු අඩසිය වසරකට වඩා පැරණි නිදහස්‌ අධ්‍යාපනයේ වෙනසක්‌ එපායෑයි කියන්නන් මතු සඳහන් ප්‍රශ්නවලට ද පිළිතුරු සැපයිය යුතුව ඇත. ලංකාවේ දූෂණ වංචා අතර ප්‍රමුඛත්වය අධ්‍යාපන අමාත්‍යාංශයට ලැබී ඇත්තේ ඇයිs? ශ්‍රී ලංකාව අධ්‍යාපනය අතින් කලාපයේ පහළම තැනට වැටී ඇත්තේ ඇයි? වාර්ෂිකව පාසල්වලට එකතුවන ලක්‌ෂ 4 පමණ වන සිසුන්ගෙන් සරසවිවලට ඇතුළුවිය හැක්‌කේ 22000 පමණ කුඩා සංඛ්‍යාවක්‌ වන්නේ ඇයි? (එයින්ද වෛද්‍ය හා ඉංජිනේරු සුළු පිරිසකට හැර බහුතරයකට සුදුසු රැකියා නැත. නැතිනම් ඉතා අල්පය) රටේ ප්‍රධාන රැකියා මාර්ගය විශේෂයෙන් කාන්තාවන්ගේ විදෙස්‌ රටවල වහල් මෙහෙය වී ඇත්තේ පවතින නිදහස්‌ අධ්‍යාපනය නිසා නොවේද? සෑම ප්‍රධාන විභාගයක්‌ම අවුල්වන්නේ මන්ද? උසස්‌ අධ්‍යාපනය ඉතාමත් අවුල් සහ කලාපයේ ඉතාම පහළ මට්‌ටමක පවතින්නේ ඇයි? විටින් විට මතුවන තරුණ අසහනය හා සරසවි සිසුන්ගේ නොනවතින අරගලවලට හේතුව නොගැලපෙන අධ්‍යාපනය මිස තරුණයන්ගේ අසංවර බවද? වසංගත රෝගයක්‌ මෙන් පාසල් අභිබවා පැතිර යන ටියුෂන්වලට හේතුව අධ්‍යාපනය රේස්‌ එකක්‌ බවට පත්ව ඇති නිසා නොවේද? එමඟින් අනාගත දරු පරපුර විනාශ නොවන්නේද? ප්‍රතිපත්තියකින් හා ප්‍රමිතියකින් තොරව පාසල් හා උසස්‌ අධ්‍යාපන ආයතන අති මහත් වේගයෙන් වර්ධනය වීම ජාතික හා නිදහස්‌ අධ්‍යාපනයේ අවසානයට හේතු නොවන බව කාට නම් කිව හැකිද? 

නිදහස්‌ අධ්‍යාපනය හා 5 ශිෂ්‍යත්වය දේශපාලන පෝස්‌ටරයක්‌ නැතහොත් බංකොලොත් දේශපාලන මන්තරයක්‌ කරගන්නා අයට මේවාට පිළිතුරු නැතිබව හා නොදන්නා කම ගැන අප කවුරුත් දන්නෙමු. එහෙත් අධ්‍යාපන ඇමතිවරයාට මඩ ගැසීම නවත්වා ඔහු මතු කළ මෙම වැදගත් කාරණය අනාගත පරපුර වෙනුවෙන් අප කාගේත් අවධානයට යොමු විය යුතුය. ඒ උත්සාහයන් සාර්ථක කරගැනීමට නම් 19 හා 20 ශතවර්ෂයට අයත් ඔළුගෙඩි ටික ඉවත් කොට 21 ශතවර්ෂයට හා ඉන් එහාට සිතන්නට පුළුවන්. ඒ පිළිබඳ දැක්‌මක්‌ ඇති ඔළු කීපයක්‌ ළංකර ගැනීම නම් අවශ්‍යම කරුණක්‌ බව කිව යුතුමය.

එච්. එම්. නවරත්න බණ්‌ඩා, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, බාහිර මහාචාර්ය නිව් යෝර්ක්‌ සිටි විශ්වවිද්‍යාලය
http://www.divaina.com/2014/01/30/feature01.html

0 comments: