Pages

Monday, January 13, 2014

අතටම හසු වුණු දමන මුසලු ගව මස් වැද්දෝ

සීතල අන්ධකාරය දුරු කරමින් සෙමින් සෙමින් රන්වන් පැහැති හිරු කිරණ නැගෙනහිරින් එබී බලන්නට විය. 06 වැනිදා උදෑසනම පිබිදුන දමන, කීනවත්ත ගම්මානයේ වෙසෙන කිරිමැණිකා මහා හඬින් විලාප තබන්නට වූවාය. ඒ හඬින් නිවසේ සිටි සියල්ලෝම පිබිදී එදෙසට දිව එන්නට වූහ. දුටු දෙයින් සියල්ලෝම කම්පනයට පත්වන්නට වූහ. ඇයගේ ආදරයට ලක්‌වෙමින් ඇති දැඩිව සිටි එළ වැස්‌සියන් දෙදෙනා මහ රෑ හරක්‌ සොරුන් විසින් ගෙන ගොස්‌ය. 

අම්පාර දිස්‌ත්‍රික්‌කයේ බොහෝ ගම්මානවල මේ අයුරින් ගවයන් සොරකම් කිරීම ජයටම සිදු වෙමින් තිබේ. ඒ අතරින් දමන පොලිස්‌ බල ප්‍රදේශයේ ගම්මාන රැසකටද ගව සම්පත හොරුන් විසින් රැගෙන යන්නට විය. එසේ ගෙන යන ගවයන් පසුදිනම වේදනාබර මරණයකට ගොදුරු විය. මසට ගිජු මිනිසුන්ගේ බඩජාරි කුස පුරවාලන්නට මස්‌ කඩේ කොක්‌කේ එල්ලී අලෙවි වන්නට විය.

අම්බලන්ඔය, කීනවත්ත, එක්‌ගල්ඔය, මඩාන, මඩවලලන්ද, තිඹිරිගොල්ල, හිඟුරාණ, නීත්ත ආදී ගම්මාන රැසකද ගවයන් දහය පහළොව බැගින් අතුරුදහන් වන්නට විය. දිගින් දිගටම පොලිසියට පැමිණිලි කළද වැඩක්‌ වූයේ නැත. දවස පුරා හෙම්බත් වෙමින් තම ගවයන් සෙව්වද ගවයා තබා ගව නකුටක්‌වත් සොයා ගැනීමට හරක්‌ හිමියන්ට නොහැකි වූයේය.

මෙලෙස සොරා ගන්නා හරක්‌ මහ රෑ විවිධ අතුරු මාවත් ඔස්‌සේ දක්‌කාගෙන ගොස්‌ නතර වන්නේ එහෙමය. එසේත් නැත්නම් අක්‌කරපත්තුවේය. තවත් හොර හරක්‌ ජාවාරම්කරුවෝ වැල්ලවාය, හම්බන්තොට වැනි ඈත ප්‍රදේශවලින්ද හොර හරක්‌ පටවති. පාද බැඳ ඉතා අමානුෂික ලෙස කුඩා ලොරි රථ වෑන් රථවල පටවා උන් රැගෙන යති. පසුදිනම මරා මස්‌ කරති. 

"මම දවසක්‌ රෑ මාළු අල්ලන්න ගිහින් සිටියදී දඩස්‌ දඩස්‌ ගාලා ශබ්දයක්‌ ඇසුණා. ඒ එක්‌කම එක්‌වරම වාහනයක්‌ පණගන්වන ශබ්දයක්‌ ඇසුණා. එම වාහනය කළුවරේම ටිකක්‌ ඈතට ගියා. ඊට පස්‌සේ වාහනේ ලයිට්‌ දාලා වේගයෙන් යනවා දැක්‌කා. උදේ ඒ අවට මී හරක්‌ සහ එළ ගවයන් 06 ක්‌ හොරෙන් අරන් ගිහින් කියලා ආරංචි වුණා. රෑ නිදාගෙන ඉන්න හරක්‌ සිහි නැති කරලා වාහනවල පටවාගෙන යනවා කියලයි ගමේ අය හිතන්නේ. මම එදා දැක්‌කෙත් හරක්‌ හොරෙන් පටවාගෙන යන ලොරියක්‌..." අම්බලන්ඔය ප්‍රදේශයේ අයෙක්‌ තමන් දුටු දේ අපට පැවසුවේ එලෙසිනි. 

මේ අයුරින් දිගින් දිගටම සිය ගවයන් සොරකම් කළත් ගම්වැස්‌සෝ පොලිසියට කීමත් අත්හළහ. කිව්වත් කිසිදු වැඩක්‌ නොවෙති. අම්පාර කොට්‌ඨාස භාර රථවාහන අංශයේ ස්‌ථානාධිපතිවරයාව සිටි පොලිස්‌ පරීක්‍ෂක ප්‍රියන්ත බණ්‌ඩාර මීට දින කිහිපයකට ඉහතදී දමන පොලිසියේ වැඩබලන ස්‌ථානාධිපතිවරයා වශයෙන් වැඩ භාර ගන්නේ මේ අතරය. හේ වාර ගණනාවක්‌ දමන පොලිසියේ රාජකාරි කරමින් අවංක නිලධාරියෙක්‌ ලෙස දමන ප්‍රදේශයේම ජනතාව අතර විශ්වාසය දිනාගත් අයෙකි.

අලුත් ස්‌ථානාධිපතිවරයා පැමිණීමත් සමග මිනිස්‌සු පොලිසිය විශ්වාස කළහ. කීනවත්තේ එම්. කිරිමැණිකා 06 වැනිදා උදැසනම පොලිසිය වෙත දුවගෙන විත් රු. 55000 ක්‌ වටිනා තම එළවැස්‌සියන් දෙදෙනා සොරාගෙන ගොස්‌ ඇති බව පැවසුවාය. පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රියන්ත බණ්‌ඩාර ක්‍රියාත්මක විණි. ඒ සමගම එළ ගවයන් රැගෙන ගිය බවට සැක සිතූ දෙදෙනෙක්‌ පිළිබඳවද තොරතුරු අනාවරණය විය. මේ සමග මේ මහා පරිමාණ හොර හරක්‌ ජාවාරම ගැන තවත් තොරතුරක්‌ ඔහුට ලැබුණේය. 

පොලිසිය තමන් ලද තොරතුරු ඔස්‌සේ හඹා ගියේය. වරිපතන්ෙච්න ප්‍රදේශයේ සල්ලිකාර ව්‍යාපාරිකයෙක්‌ වන හන්සාර් හාඡ්ජියාර් නමැති අයගේ කැළෑවෙන් වැසී තිබුණ ඉඩමක්‌ වෙත පොලිසිය පැමිණියේය. පොලිසිය දකිනවාත් සමග හන්සාර් හාඡ්ජියාර් සමග තවත් අයකු පළාගියේය. සොරාගෙන මරාදමා මස්‌ කරමින් සිටි මී ගවයෙක්‌ සහ එළ ගවයන් දෙදෙනකු ශරීර කොටස්‌ සමග මස්‌ වැද්දො තිදෙනෙක්‌ පොලිසියට කොටුවූහ. පොලිස්‌ පරීක්‍ෂණ දිගටම පැවැත්විණි.

පෙර දිනයේ එළදෙනුන් නැතිවූ බව පැවසූ කිරි මැණිකේද පොලිසියට පැමිණියාය. ලේ ගලමින් තිබූ ගවමස්‌ ගොඩ සමග තිබුණු තම එළ වැස්‌සියගේ හිස දුටු කිරි මැණිකාගේ දෙනෙතින් කඳුළු කැට රූරා වැටෙන්නට විය. 

අනේ මහත්තයෝ... මේ මගේ එළදෙන. ඊයේ රෑ අරන් ගිය මගේ එළදෙන මුන්ට හෙණ ගහනවා මේ කරන අපරාධවලට..." කිරි මැණිකාගේ විලාප නාදය පොලිසිය පුරා පැතිරෙන්නට විය. 

හරක්‌ හොරෙන් ගෙනගොස්‌ මස්‌කර විකුණා රුපියල් කෝටි ගණන් ඉපැයූ හන්සාර් හාඡ්ජියාර් නමැත්තා සොයා පොලිස්‌ මෙහෙයුම් මේ වන විටත් අරඹා ඇත. අම්පාර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි මහගෙදරගේ උපදෙස්‌ මත සහකාර පොලිස්‌ අධිකාරි පවිත්‍ර දයාරත්නගේ මඟපෙන්වීම මත දමන පොලිසියේ වැඩබලන පොලිස්‌ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක බණ්‌ඩාර, උ.පො.ප. සුනිල් ඇතුළු නිලධාරීහු මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වමින් සිටිති.

සුසන්ත අමරබන්දු
http://www.divaina.com/2014/01/12/feature08.html

0 comments: