Pages

Thursday, January 9, 2014

මාධ්‍යයට වඩා ඉතිහාසය මට කාරුණික වේවි - ඉන්දීය අගමැති මන්මෝහන් සිං


*රාහුල් අගමැති අපේක්‍ෂක ලෙස නම් කිරීම ඉතා සුදුසුයි.
*ජීවන වියදම ඉහළ යැම නිසා ජනතාව කොංග්‍රසයට එරෙහි වුණා.
*මෝඩි අගමැතිවීම රටට විපත්තිදායකයි.
*ශ්‍රී ලංකා - තමිල්නාඩු ධීවර ප්‍රශ්නයට ළඟදීම සතුටුදායක විසඳුමක්‌ දෙනවා.

දස වසරක පාලන කාලයක්‌ තුළදී තුන් වතාවක්‌ පමණක්‌ මාධ්‍යයට මුහුණ දුන් දැනට තම දෙවැනි පාලන වාරයේ අවසාන කාලයට මුහුණපා සිටින අගමැති මන්මෝහන් සිං තම රජයේ මෙන්ම කොංග්‍රස්‌ පක්‍ෂයේ ස්‌ථාවර භාවය ගැන පෙනී සිටිමින් මත ගැටුමට භාජන වූ විවිධ ප්‍රශ්න පිළිබඳව කරුණු දක්‌වමින් විනාඩි 75 ක කාලයක්‌ ඉන්දීය මාධ්‍ය හමුවේ පවත්වන ලද සාකච්ඡාවකදී ඉදිරිපත් කළ අදහස්‌වල ඇතැම් කොටස්‌ පහත දක්‌වා ඇත.

ප්‍රශ්නය (- කොංග්‍රස්‌ පක්‍ෂය ඇතුළු සභාග රජයේ දෙවැනි පාලන සමය තුළ අනාවරණය වූ දූෂිත ප්‍රශ්න පිළිබඳව ඔබ දරනා මතය කුමක්‌ද?

පිළිතුර (- එම දූෂණ පිළිබඳව නඟා ඇති චෝදනා ගැන කිව හැක්‌කේ එම සිද්ධීන් පළමු පාලන සමයට සම්බන්ධ ඒවා බවය. ඒ අනුව තවත් අවුරුදු පහක කාලයක්‌ පාලනය කිරීම සඳහා ඉන්දීය ජනතාව අපට වරමක්‌ ලබා දී තිබේ.

ප්‍රශ්නය (- ආපසු හැරී බැලීමේදී යම්කිසි දෙයක්‌ වෙනස්‌ විධියට කළ යුතුව තිබූ බවක්‌ ඔබට හැඟේද?

පිළිතුර (- ඒ පිළිබඳව යම්කිසි කනගාටුවක්‌ මට දැනේ. මක්‌නිසාද යත් එම ස්‌පෙක්‌ට්‍රම් වෙන්කිරීම විනිවිද භාවයෙන් කළ යුතු බැව් තරයේම කියා සිටියේ මමය. එය සාධාරණ විය යුතුය. සමානව සිදුවිය යුතුය. කෝල් බ්ලොක්‌ වෙන්දේසි මගින් ඉවත් කළ යුතු බව කියා සිටියේ මමය. මෙම කරුණු අමතක කර ඇත. විරුද්ධ පක්‍ෂයටද පැවරුන වගකීමක්‌ ඇත. සමහර විට මාධ්‍ය කටයුතු කරන්නේ ඔවුන්ට පක්‍ෂවය. අක්‍රමිකතාවයන් සිදුවිය. නමුත් ප්‍රශ්නවල ප්‍රමාණය මාධ්‍ය මගින් වර්ධනය කර ඇත.

ප්‍රශ්නය (- ඔබ විසින් කතාව ආරම්භයේ දී සඳහන් කළේ තුන්වැනි වාරයේ දී ද ඔබම පාලනය කරන බවය. එසේ නම් රාහුල් ගාන්ධි තුන්වැනි අගමැති අපේක්‍ෂක ලෙස නම් කිරීමට ඔබට අවශ්‍යද?

පිළිතුර (- මම ආරම්භක කතාවේදී සඳහන් කළේ අපේ සභාග රජය යළිත් බලයට පැමිණෙන්නේ නම් මම අගමැති අපේක්‍ෂක ලෙස ඉදිරිපත් නොවන බවය. රාහුල් ගාන්ධි අගමැති අපේක්‍ෂකයා ලෙස නම් කිරීමට අති විශේෂ සුදුසුකම් ඇත. අප පක්‍ෂය විසින් එම තීරණය සුදුසු වේලාවට ගනු ඇතැයි මා බලාපොරොත්තු වෙමි.

ප්‍රශ්නය (- පසුගිය වසර දහයක කාලය තුළ කිසිම අවස්‌ථාවකදී ඉල්ලා අස්‌වීමට ඔබට සිතුණේ නැද්ද?

පිළිතුර (- මා ඉල්ලා අස්‌විය යුතු යෑයි කිසිම අවස්‌ථාවක මට සිතුණේ නැත. මාගේ කටයුතු ඉටු කිරීමෙන් මා විනෝදයක්‌ ලැබුවෙමි. මගේ වැඩ කටයුතු අවංකව ඉටු කිරීමට මා සෑම විටම උත්සාහ කළෙමි. කිසිම අයෙකුට විශේෂත්වයක්‌ හෝ බියක්‌ හෝ මා තුළ නොවීය.

ප්‍රශ්නය (- බොහෝ මහ ඇමැතිවරු පැවසූයේ ඔවුන්ගේ පරාජයට හේතුව රටේ ජීවන වියදම ඉහළ යැම බවය. මේ චෝදනා ඔබට බලපාන්නේ නැද්ද?

පිළිතුර - මා අවංකවම සඳහන් කරන්නේ ජීවන වියදම ඉහළ යැම යනු ජනතාව කොන්ග්‍රස්‌ පක්‍ෂයට එරෙහි වීමට හේතුවූ කරුණක්‌ බවය. එයට හේතු වූයේ අපගේ පාලනයට බැහැරවූ කාරණා නිසා බව මා විසින් පැහැදිලි කර ඇත.

ජාත්‍යන්තරව ආහාර මිල වැඩිවන නිසා බවය. ජාත්‍යන්තරව බලශක්‌ති මිල වැඩිවන නිසා බවය. දුර්වල ජනතාව ආරක්‌ෂා කර ගැනීම සඳහා අවශ්‍ය පියවර මා ගෙන ඇති බවද වැඩිවන මිල අනුව අප ආර්ථිකය මෙන්ම සමාජයද රැකගත යුතු බවද කීවෙමි.

ප්‍රශ්නය (- යළි ප්‍රතිසංශෝධිත න්‍යාය පත්‍රයක්‌ ඉදිරිපත් කිරීමට ඔබ තුළ බලාපොරොත්තුවක්‌ තිබේද?

පිළිතුර (- ප්‍රතිසංශෝධන යනු සිද්ධියක්‌ නොවේ. එය ක්‍රමයක්‌ පමණි. එමනිසා අප බලයේ සිටින තාක්‌කල් අපට ඇති හැකියාව තුළ ප්‍රතිසංශෝධන පිළිබඳව අඛණ්‌ඩවම කටයුතු කරමු. එසේම අවස්‌ථාව ලැබේ නම් ඉදිරියටම යන්නෙමු.

ප්‍රශ්නය (- දේශපාලනඥයෙක්‌ අගමැතිවරයෙක්‌ වශයෙන් ආම් ආද්මි පක්‍ෂය විසින් ඔබව තේරුම්ගෙන ඇත්තේ කොයි ආකාරයටද?

පිළිතුර (- මම යනු වසර ගණනකට පෙර සිටි එකම පුද්ගලයාමය. කිසිම වෙනසක්‌ වී නැත. මා අවංකවම රටට කැපවීමෙන් යුතුව සේවය කිරීමට ප්‍රයන්ත දැරුවෙමි. එය උපරිම වශයෙන් ඉටු කළෙමි. මට පොහොසත් වීමට හෝ මගේ නෑදෑයන් හෝ මිත්‍රයන් පොහොසත් කිරීමට, නැතහොත් ඔවුන්ට තෑගි පිරිනැමීමට මා කටයුතු කළේ නැත.

ප්‍රශ්නය (- ඉන්දියාව හා ඇමෙරිකාව අතර සම්බන්ධතාවයේ වර්තමාන තත්ත්වය කෙසේද? ඔබගේ පාලන කාලයද අවසාන වී ඇති බැවින් එය නැවතත් පතුලටම කිඳා බැස ඇති බව පෙනේ.

පිළිතුර - අප දෙරට අතර සම්බන්ධතාව තවදුරටත් ශක්‌තිමත් කරගැනීම සඳහා ඉහළම ප්‍රමුඛත්වය දෙන්නෙමු. සුළු දුර්වලතාවයන් සිදුවූ නමුත් ඒවා විසඳීම සඳහා තානාපති සේවය මගින් කටයුතු කරන්නෙමු.

ප්‍රශ්නය (- ඔබට ක්‍රියාත්මක කිරීමට නොහැකිවූ බවට පෙනෙන ඔබගේ උරුමය පිළිබඳව ඔබ දකින්නේ කෙසේද?

පිළිතුර - මාධ්‍යයට වඩා ඉතිහාසය මා වෙත කාරුණික වන බව මා අවංකවම විශ්වාස කරමි. නැතහොත් පාර්ලිමේන්තුවේ විපක්‍ෂයද එයට සාක්‍ෂි දරනු ඇත. කැබිනට්‌ ක්‍රමයක්‌ පවතින රජයක සියලුම කරුණු මට හෙළිදරව් කළ නොහැකිය. මුහුණ පෑමට සිදුවූ බාධක සහ සභාග රජයක ප්‍රතිපත්ති මධ්‍යයේ මා විසින් මට හැකි ඉහළම ශක්‌තිය යොදා කටයුතු කර ඇති බව සඳහන් කරනු කැමැත්තෙමි.

ප්‍රශ්නය (- රාහුල් ගාන්ධි සමග නරේන්ද්‍ර මෝඩි තරගයට එළැඹීම කරට කර තරඟ වැදීමක්‌ බව ඔබ සිතන්නේද? ඔහුට රජයක්‌ පිහිටුවීමට හැකි යයි ඔබ විශ්වාස කරන්නේද?

පිළිතුර (- ඊළඟ අගමැති බිහි වන්නේත් කොංග්‍රසයේ සභාග රජයෙන් බව මා තරයේම විශ්වාස කරමි. නරේන්ද්‍ර මෝඩිගේ සම්මානලාභී ක්‍රියා ගැන සාකච්ඡා නොකරමි. නරේන්ද්‍රසිංහ මෝඩි අගමැතිවීම රටට විපත්තිදායක වනු ඇත.

ප්‍රශ්නය (- භාරතීය ජනතා පක්‍ෂයේ සහ මෝඩිගේ ඔබට විරුද්ධ චෝදනාව වන්නේ ඔබ දුර්වල අගමැතිවරයෙක්‌ බවය.

පිළිතුර (- මා දුර්වල අගමැතිවරයෙක්‌ව සිටි බව මා විශ්වාස නොකරමි. එය විනිශ්චය කිරීම ඉතිහාසඥයන්ට භාරය. භාරතීය ජනතා පක්‍ෂය සහ ඔවුන්ගේ හිතවතුන් තමන්ට සිතෙන ඕනෑම දෙයක්‌ පවසනු ඇත. නමුත් ශක්‌තිමත් යනුවෙන් මම අදහස්‌ කරන්නේ අහමදාබාද් වීදිවල අහිංසක ජනයා සමූලඝාතනය කරන අවස්‌ථාවක එහි මුලසුන දැරීමට නම් ශක්‌තිය මැනීමේ මිම්ම එය වනු ඇත. රටට අවශ්‍ය වන්නේ එවැනි ශක්‌තියක්‌ යෑයි මා විශ්වාස නොකරමි, අඩු තරමින් අගමැති තනතුර දරමින්.

ප්‍රශ්නය (- ඉන්දියා - පකිස්‌තාන් ඓතිහාසික සබඳතා මඟහැරී ගිය බවක්‌ ඔබට හැඟේද?

පිළිතුර (- මට හැකි අයුරින් අපේ අසලවැසියන් සමග මිත්‍රත්වය ගොඩනඟා ගැනීමට මා වෑයම් කළෙමි. එක්‌ අවස්‌ථාවක මට පෙනී ගියේ සියලු බාධක මැඬ ඉදිරියට යැමක්‌ සිදුවූ බවය. උදාහරණයක්‌ වශයෙන් පකිස්‌තානයේ සිදුවීම් ගනිමු. ඇත්ත වශයෙන්ම ජෙනරාල් මුෂාරෆ්ට වෙනත් සැලැස්‌මක්‌ අනුගමනය කළ යුතුව තිබුණි. මට සිතෙන්නේ එය එතැනින් එහා ක්‍රියාත්මක නොවුණු වගය. නමුත් මා සිතන්නේ ඉන්දියාව සහ පකිස්‌තානය අතර සම්බන්ධතාව අත්‍යවශ්‍ය බවය. එයට හේතුව මේ අර්ධද්වීපයේ සංවර්ධන ශක්‌තිමත් භාවය ගොඩනඟා ගැනීමටය.

ප්‍රශ්නය (- ආම් ආද්මි පක්‍ෂයේ වේගවත් බව ඔබ දකින්නේ කෙසේද?

පිළිතුර (- දිල්ලි නගරයේ ජනතාව විසින් ආම් ආද්මි පක්‍ෂය තුළ තිබූ විශ්වාසයට විශ්‍රාම දී ඇත. හෙවත් ඔවුන් තුළ තිබූ විශ්වාසය නැතිවී ඇත. මා සිතන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට අප විසින් ගරු කළ යුතු බවය. අපගේ පළපුරුද්ද තුළින් අනාගත අභියෝගවලට හා ආර්ථිකයටද මුහුණ දිය හැකිදැයි පවසන්නේ කාලය පමණි.

ප්‍රශ්නය (- රජයට බැඳෙන ලෙස ඔබ රාහුල්ගෙන් ඉල්ලා සිටිමින් ඉන්නා අතර ඔහු එය ප්‍රතික්‌ෂේප කරමින් සිටියි.

පිළිතුර (- මට නිතරම හැඟෙන්නේ රාහුල් රජයට එක්‌වන්නේ නම් රජය තවත් ශක්‌තිමත් වන බවය. නමුත් රාහුල් පවසන්නේ ඔහුගෙන් පක්‍ෂයට ඉටුවිය යුතු වගකීම් නිසා ඔහුට රජයට එක්‌වීමට අවස්‌ථාවක්‌ නැති බවය. ඔහුගේ එම ප්‍රකාශයට මා ගරු කරමි.

ප්‍රශ්නය (- මැතිවරණයට පෙර තනතුරෙන් ඉවත් වන ලෙස පක්‍ෂයේ නායකත්වය විසින් ඔබට කිසි විටක ඉඟියක්‌ හෝ කර තිබේද?

පිළිතුර (- මා විසින් කිව යුතු දේ මා පවසා ඇත. නමුත් මට තනතුරෙන් ඉවත් වන ලෙස කිසිවෙකු කියා නැත. මක්‌නිසාද යත් මගේ අගමැති තනතුරේ කාල සීමාව තුළ හානිදායක දෙයක්‌ සිදුවී නොමැති බැවිනි.

ප්‍රශ්නය (- තමිල්නාඩු ධීවර ප්‍රශ්නය සම්බන්ධයෙන් ස්‌ථිර විසඳුමක්‌ සොයන්නේ කවදාද?

පිළිතුර (- ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ සැබෑ ප්‍රශ්න පිළිබඳව අප අමතන ලෙස ශ්‍රී ලංකා රජයට නොයෙක්‌ වර කියා ඇත. ඉදිරි අනාගතයේදීද අප එසේ කරන්නෙමු. ධීවරයන් පිළිබඳව කිව හැක්‌කේ අප විසින් මේ පිළිබඳව ශ්‍රී ලංකා රජය සමග බොහෝ වාර ගණනක්‌ සාකච්ඡා පවත්වා ඇති බවය. දැනට අපට දැන ගන්නට ඇත්තේ ද්‍රවිඩ ජනතාව සඳහා ඔවුන්ගේම රජයක්‌ උතුරේ ඇති බවය. අපට හැඟී යන්නේ ශ්‍රී ලංකාවේ ද්‍රවිඩ ජනතාව හා තමිල්නාඩුවේ ද්‍රවිඩ ජනතාවද එකට වාඩිවී සාකච්ඡා කොට දෙරට ධීවරයන් අතර සුහදතාවද ආරක්‍ෂා වන පරිදි සතුටුදායක විසඳුමකට එළැඹීමට ආසන්න බවය.

ප්‍රශ්නය (- ඔබගේ පාක්‍ෂිකයන් පවසන්නේ ඔබ අධිතක්‌සේරු ආර්ථික විශේෂඥයකු හා අඩු තක්‌සේරු දේශපාලනඥයෙකු බවය.

පිළිතුර (- මා අගමැති තනතුරට පත්වූ විට සාමාන්‍ය පිළිගැනීම වූයේ කොංග්‍රස්‌ පක්‍ෂයට කිසිම අවස්‌ථාවක සභාග රජයක්‌ පවත්වාගෙන යැමට නොහැකිවූ බවය. සභාග රජයක්‌ ගොඩනැඟීමට කොංග්‍රස්‌ පක්‍ෂයට තිබූ හැකියාව පරීක්‍ෂා කළ යුතුව තිබුණි. අප පෙන්නුම් කළේ කොංග්‍රස්‌ පක්‍ෂයට ඉතා සතුටුදායක අන්දමින් සභාග රජයක්‌ එක්‌ වරක්‌ නොව දෙවරක්‌ම පැවැත්විය හැකි බවය.

මෙහිදී මත ගැටුම් සිදුවිය හැකියි. මට සහතික විය හැක්‌කේ ඒවා පටන්ගත් තැනටම සීමාවන බවය.

06.01.2014 "දි අයිලන්ඩ්" හි Hසිඑදරහ අසකක ඉe නසබාeර එද පැ එය්බ එයෑ පැdස්‌ල saහි ඵ්බපදය්බ ලිපියේ පරිවර්තනයයි.

එස්‌. කේ. ඡේ. කුරේරා
http://www.divaina.com/2014/01/09/feature01.html

0 comments: