Pages

Tuesday, January 21, 2014

නිල්ගල ඔසු තුරු උයන රැකගන්න රුක්‌ දහසක්‌ මහණ කෙරෙති

මහරජ, තොපට මෙන්ම සියලු සිව්පා සතුන්ටද, පක්‌ෂීන්ටද, මේ දේශයේ ඕනෑම තැනක විසීමට, හැසිරීමට අයිතිය ඇත. භූමිය අයත් වන්නේ මහජනතාවට හා සෙසු සතුන්ටය. තොප එහි පාලකයා පමණකි... දේවානම්පියතිස්‌ස රජු අමතා අනුබුදු මිහිදු හිමියන් මේ ප්‍රකාශය කළේ ක්‍රිස්‌තු පූර්ව තුන්වැනි සියවසේදීය.

නිල්ගල ඌව පතන් බිම වනසා දැමීමේ ජාවාරමක්‌ පිළිබඳව ඉකුත් සතියේ "සොබාසර" ඔස්‌සේ කරුණු හෙළිදරව් කළෙමු. නමුත් කිසිදු වගකිව යුතු බලධාරියකු මෙම මහා පරිමාණ විනාශය පිටුදැකීම සඳහා කිසිදු ක්‍රියාමාර්ගයක්‌ ගෙන ඇති බවක්‌ දැනගන්නට නැත. නමුත් මෙම විශාල වන අපරාධයෙන් නිල්ගල ඔසු තුරු උයන ආරක්‍ෂා කර ගැනීම සඳහා රුක්‌ දහසක්‌ සඟ සතු කිරීමේ පිංකමක්‌ පසුගියදා නිල්ගල වනාන්තරය ආශ්‍රිත කොටබෝව අක්‌කර 90 ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්විණි.

ගස්‌ මහණ කිරීම තායිලන්ත බෞද්ධ ස්‌වාමීන් වහන්සේලා විසින් දැනට දශක තුනක්‌ පමණ තිස්‌සේ සිදු කරනු ලබන ආගමික වතාවතකි. එම කටයුත්ත ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට සංඝයා වහන්සේ ප්‍රමුඛ පරිසර හිතකාමී පිරිස්‌ විසින් සිදුකරන ලද්දේ 1997 වසරේදී බදුරලිය කුකුලේගම මාර්ගය පුළුල් කිරීමේදී බිම හෙළීමට නියමිතව තිබූ අඩි 200 ක්‌ පමණ උස "දුන්" ගස මහණ කිරීමෙනි. දෙවැනි වරට මහණ කළ ගස වන්නේ 2008 වසරේදී මාර්ග පුළුල් කිරීමේදී කැපීමට නියමිතව තිබූ බදුලු නගර මධ්‍යයේ ඇති රත් හඳුන් ගසයි. ඉන්පසු නිල්ගල ඖෂධ වනාන්තරය විනාශයෙන් වළක්‌වා ගැනීමේ අරමුණින් මෙම ගස්‌ දහසක්‌ මහණ කිරීමේ කටයුත්ත සිදුකෙරිණි. එවැනි මහා පරිමාණ රුක්‌ දරුවන් දහසක්‌ මහණ කිරීමේ කටයුත්තක්‌ ශ්‍රී ලංකාව තුළ සිදුකෙරුණේ ප්‍රථම වතාවටය.

පූජ්‍ය බදුල්ලගම්මන සුමනසාර හිමි, කළුපහන පියරතන හිමි ඇතුළු මහා සංඝරත්නය, සොබාදහම පිළිබඳ ක්‍රියාකාරී බෞද්ධ සහයෝගීතාවය, පරිසර යුක්‌ති කේන්ද්‍රය, ශ්‍රී ලංකා පරිසර සම්මේලනය හා මොරුන්දැව, ගලහබැද්ද, දිඹුල්දෙන, අලුත්වෙල, දේවාලෙගොඩ, පඹවැල්කැටිය, තුන්ගල්තොට හා තාරාපොළ පාරිසරික හා සමාජ සුබසාධන සංගම් මෙම උතුම් කටයුත්ත සංවිධානය කළහ.

රමණීය වනාන්තර වෙති
පොදු ජනයා සිත් නොගත්තද 
කම්සැප නොසොයන 
රහතන් වහන්සේලා 
එහි සිත් අලවා වසති

ධම්මපදයේ අරහන්ත වග්ගයේ එසේ සඳහන් වෙයි. අරළු, බුළු, නෙල්ලි ඔසු තුරුවලින් පිරී ගිය නිල්ගල ඖෂධීය වනාන්තරය ද රහතන් වහන්සේට වුව වැඩවසන්නට සුදුසු එවැනි රමණීය වන අරණකි. නමුත් අදූරදර්ශී පාලක කාරකාදීන්ගේ අනුදැනුම යටතේ මෙහෙයවුණු දේශපාලන හෙන්චයියන් විසින් එම රමණීය වන අරණ තමන්ට රිසිසේ කෙලෙසා දමමින් සිටින්නේ දැන් කලක සිටය. ඒ පිළිබඳව වගකිවයුතු බලධාරීන් ද නිලධාරීන් ද නෑසුනු කන් ඇතිව පසුවෙද්දී නිල්ගල වනයේ ඔසු තුරුවලට මැෂින් කියත් පහරට හසුව වැනසී යනු හැර වෙනත් විකල්පයක්‌ නොවීම කනගාටුවට කරුණකි.

මෙම මහා විනාශයෙන් නිල්ගල වන පෙත බේරා ගැනීමට අධ්‍යාත්මික පාරමිතාවන් පුරන්නට බෞද්ධ යතිවරුන්, අන්‍යාගමික පූජකවරුන් සහ පරිසර සංවිධානද අහිංසක දුප්පත් ගැමි ජනතාවද තීරණය කරන්නේ එහි ප්‍රතිඵලයක්‌ වශයෙනි. නිල්ගල වන උයනේ ඔසු තුරු දහසක්‌ පැවිදි කිරීමට කටයුතු සංවිධානය කෙරුණේ එහි ප්‍රතිඵලයක්‌ වශයෙනි.

වනාන්තර සහ ගහ කොළ මගින් මනුෂ්‍ය වර්ගයාට අත්වන සෙත පිළිබඳවත් ඒවා ආරක්‍ෂාකර ගැනීම පිළිබඳවත් දේශනා කළ ආගමික නායකයන් අතර බුදුන් වහන්සේ ප්‍රධාන වෙයි. ඒ අනුව ගිය අතීත වර්තමාන බෞද්ධ භික්‌ෂූන් වහන්සේ ද වනාන්තර ආරක්‍ෂා කර ගැනීමට නායකත්වය ගෙන ක්‍රියා කළේය. නිල්ගල ඖෂධීය වනාන්තරයේ ද මුළු දෙන්නේ එම අද්විතීය නායකත්වයයි. අතීත රජදරුවන්ද බොදු දහම අනුව යමින් මෙරට වනාන්තර හා සතා සිව්පාවුන් ආරක්‍ෂා කර ගැනීමට කටයුතු කළේය.

මහරජ, තොපට මෙන්ම සියලු සිව්පා සතුන්ටද, පක්‌ෂීන්ටද, මේ දේශයේ ඕනෑම තැනක විසීමට, හැසිරීමට අයිතිය ඇත. භූමිය අයත් වන්නේ මහජනතාවට හා සෙසු සතුන්ටය. තොප එහි පාලකයා පමණකැයි දේවානම්පියතිස්‌ස රජු අමතා අනුබුදු මිහිදු හිමියන් ප්‍රකාශ කළේ ක්‍රිස්‌තු පූර්ව තුන්වැනි සියවසේදීය. අතීත රජවරු සියයට සියයක්‌ එම ප්‍රකාශය මත පිහිටා මෙරට වනාන්තර ද වන සතුන්ද ආරක්‍ෂා කර ගැනීමට කැපවූහ. නමුත් සංවර්ධනය යන අවශ්‍යතාවය දඩමීමා කරගනිමින් තමන්ට සිත් සේ මෙරට වනාන්තර හා වන සතුන් කෙලෙසා දමන වර්තමාන පාලක කාරකාදීන් මෙරටට ශාපයකි. නිල්ගල වනපෙත මෙන්ම තවත් අති මහත් වටිනාකම් රැසක්‌ ඇති එවැනි වනාන්තර රැසක්‌ වැනසී යමින් පවතී. එසේ එවැනි පසුබිමක තමන්ගේ පටු අවශ්‍යතා වෙනුවෙන් රටක අනාගතයට හිමි සම්පත් මේ ආකාරයෙන් කෙලෙසා දැමීම කනගාටුවට කරුණකි.

සාරංච සාරතො ඤත්වා

අසාරංච අසාරතො

තෙ සාරං අධිගච්ඡන්ති

සම්මා සංකප්ප ගෝචරා

ධම්මපදයේ යමක වග්ගයේ සඳහන් වන ඉහත ගාථාවෙහි අර්ථය වනුයේ ශීලාදී දේ සරු දේ සරු ලෙසත්, නිසරු දේ නිසරු ලෙසත් සලකන යහපත් නිදොස්‌ සිතිවිලි ඇති පුද්ගලයෝ, සරු දෙයක්‌ම ලබති. නිවන අවබෝධ කර ගනිති යනුවෙනි. නමුත් මෙරට තුළ සිදුකරන විනාශයන් ¼0දකින විට යමෙකුට සිතෙනු ඇත්තේ මෙරට කරවන පාලක කාරකාදීන් එසේ නොවනු ඇති බවය.

නිල්ගල ඖෂධීය වනාන්තරය යනු මෙරට ඇති ඉතා වැදගත් ජෛව ප්‍රජාවන් රැසකගෙන් සමන්විත වනපෙතකි. ඌව පහත් බිම්වලින් වැසීගත් එහි මෙම සුළු භූමිභාගයට පමණක්‌ ආවේණික ජීවීන් රැසක්‌ ජීවත් වෙති. ජලපෝෂක වශයෙන් ගත් කල එහි වටිනාකම මෙම වනයෙන් ඈත දුරබැහැර ගම්මාන රැසකට ද වැදගත් වෙයි. එසේ තිබියදී මෙම රමණීය වනපෙත විනාශ මුඛයට යාමට ඉඩදී බලාසිටීම කොතරම් අනුවණ ක්‍රියාවක්‌ ද යන්න දෙවරක්‌ සඳහන් කළ යුතු නැත.

එබැවින් රට කරවන පාලක කාරකාදීන් කළ යුත්තේ නිල්ගල වනපෙත ආරක්‍ෂා කර ගැනීමට සක්‍රීයව මැදිහත්වීමය. එමගින් සැලසෙන අතිමහත් සේවය තවත් සියවස්‌ ගණනක්‌ ලක්‌ ජනතාවට ලබාගැනීමට ඉඩ හැරීමය. ඒ සඳහා මේ රුක්‌ දරුවන් පැවිදි කිරීමේ කාර්ය මූලික අඩිතාලමක්‌ වේ නම් එය සතුටකි.

ජනතාව උදෙසා

මල් පලතුරු වන්නෝද

රුක්‌ රෝපණ කරන්නෝද

ඒදඬු පාලම් තනන්නෝද

ගිමන් හල් පැන් පොකුණු කරවන්නෝද

දිවා රාත්‍රි දෙකෙහිම පින් වඩති

සුගතියේ උපදිති.

සංයුක්‌ත නිකාය ආදිත්ත වග්ග - වනරෝප සූත්‍රය

ටී. ජී. එස්‌. එල්. ප්‍රකාශ්
http://www.divaina.com/2014/01/21/feature04.html

0 comments: