Pages

Wednesday, January 22, 2014

බොදුනුවන්ට අහිමි වූ උජුපටිපන්න මහ නා හිමිපාණෝ - අතිපූජ්‍ය වැලිගම ඤාණරතන මහ නාහිමිපාණන්ගේ අපවත්වීම පිළිබඳව ශෝක පණිවුඩ

අමරපුර ශ්‍රී ධර්මරක්‍ෂිත මහ නිකායේ සංවේගය

ව්‍යාක්‌ත, විනීත, විශාරද, බහුශ්‍රැත ධර්මධර ධර්මානුධර්මප්‍රතිපන්න බුද්ධ ශ්‍රාවකයාණන් වහන්සේ මුළු ලොවටම සඳු වැනියහ. හිරු වැනියහ. එවන් ගුණ සමුදායකින් පිරිපුන් මහා යතිවරයාණන් වහන්සේ නමකි, රත්මලානේ මල්ලිකාරාමාධිපතිව වැඩ විසූ අපවත් වී වදාළ රාජකීය පණ්‌ඩිත, විනය විශාරද ශ්‍රී සුමංගල විද්‍යාවතංස ධර්මකීර්ති ශ්‍රී අග්ගමහා පණ්‌ඩිත අමරපුර ශ්‍රී ධර්මරක්‍ෂිත මහා නිකායේ මහානායක ධුරීණ අතිපූජ්‍ය වැලිගම ඤාණරතනාභිධාන මහානායක මහා ස්‌වාමින්ද්‍රයාණන් වහන්සේ.

1913 ඔක්‌තෝම්බර් 14 වනදා දකුණු ලක වැලිගම පුරවරයේ දී ජන්ම ලාභය ලබා අමරපුර ශ්‍රී ධර්මරක්‍ෂිත සඟපරපුරේ කීර්තිමත් අහංගම එළුකැටිය සඟපරපුරේ අතිපූජ්‍ය අහංගම විමලසාර මහා ස්‌වාමීන්ද්‍රයාණන් වහන්සේගේ අතිජාත ශිෂ්‍ය රත්නයක්‌ව 1925 දී ප්‍රවෘජා භූමියට පත්වූහ. 1933 දී අධිශීල සංඛ්‍යාත උපසම්පදාව ලැබූ වැලිගම ඤාණරතන ස්‌වාමීන් වහන්සේ කොළඹ මාලිගාකන්ද විෙද්‍යාaදය මහ පිරිවෙනෙහි අධ්‍යාපනය ලබමින් ප්‍රාචීන පණ්‌ඩිත උපාධිය සමත් වූහ.

ඉන් පසු බම්බලපිටියේ සිරි වජිරාරාමයේ නේවාසික ස්‌වාමීන් වහන්සේ නමක්‌ ලෙස අතිපූජ්‍ය පැළෑණේ සිරි වජිරඤාණ මහානායක මාහිමිපාණන් වහන්සේගෙන් තම පැවිදි ජීවිතය අර්ථවත් කරගෙන විනයධර ධර්මානුධර්ම ප්‍රතිපත්තිවලින් පිරිපුන් ව්‍යාක්‌ත ධර්මදේශකයාණන් වහන්සේ නමක්‌ වූහ.

අතිපූජ්‍ය පැළැණේ සිරි වජිරඤාණ මාහිමිපාණන් වහන්සේගේ අපවත්වීමෙන් පසු අමරපුර ශ්‍රී ධර්මරක්‍ෂිත නිකායේ මහානායක ධුරය සඳහා අතිපූජ්‍ය මඩිහේ සිරි පඤ්ඤාසීහ මහා ස්‌වාමීන්ද්‍රයාණන් වහන්සේ පත්කර ගැනීමට පුරෝගාමිත්වය දැරූ වැලිගම ඤාණරතන පණ්‌ඩිත හාමුදුරුවෝ 1955 දී එම නිකායේ සමලේකම්වරයෙකු ලෙස පත්ව වසර 25 ක පමණ කාලයක්‌ නිකායේ අභිවෘද්ධිය සඳහා ක්‍රියා කළහ. පාර්ශ්ව 22 කට බෙදී පැවැති අමරපුර නිකාය සමස්‌ත ලංකා අමරපුර සංඝ සභාව නමින් ඒකාබද්ධ කිරීමට අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහානායක මාහිමිපාණන් වහන්සේ සමග ක්‍රියා කළහ. 

දෙස්‌ විදෙස්‌ රටවල විවිධ ශාසනික කටයුතු සඳහා වැඩම කළ අතිපූජ්‍ය වැලිගම මහානාමිපාණෝ ව්‍යක්‌ත ධර්ම කථිකයන් වහන්සේ නමක්‌ ලෙස මෙන්ම දක්‍ෂ ලේඛකයකු ලෙස ද විවිධ සූත්‍ර - මාතෘකා කැරගෙන ධර්ම ග්‍රන්ථ රාශියක්‌ රචනා කළහ.

අතිපූජ්‍ය වැලිගම පණ්‌ඩිත ස්‌වාමීන්ද්‍රයන් වහන්සේගේ ශීලගුණය, තපෝගුණය, බහුශ්‍රැත භාවය විනයගරුකභාවය අගයකරමින් උන්වහන්සේ ඒකච්ඡන්දයෙන් අනුනායක ධුරයට පත් කරනු ලැබූහ. 2003 සැප්තැම්බර් 8 වන දා පරම පූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහානායක මාහිමිපාණන් වහන්සේ අපවත්වීමෙන් පසු අතිපූජ්‍ය වැලිගම ඤාණරතන අනුනායක මාහිමිපාණන් වහන්සේ මහනායක ධුරයට පත් කැරුණහ.

වසර දශක අටකට අධික කාලයක්‌ ශික්‍ෂාකාමීව අදීනව එඩිතරව උතුම් සසුන් සේවාවක්‌ ඉටුකළ අපේ අතිපූජ්‍ය වැලිගම ශ්‍රී ඤාණරතන මහා නායක මාහිමිපාණන් වහන්සේට අමරපුර ශ්‍රී ධර්මරක්‍ෂිත මහා නිකායේ සියලුම විහාරස්‌ථානයන්හී භික්‍ෂු සංඝයාගේ සාතිශය සංවේගය බුහුමන් පෙරටුව මෙයින් පළ කර සිටිමු.

අමරපුර ශ්‍රී ධර්මරක්‍ෂිත මහා නිකායේ සම ලේඛකාධිකාරි 
දෙනිපිටියේ සෝමරතන මහා ස්‌ථවීර, කිතලගම හේමසාර මහා ස්‌ථවීර

-------------------------------------------------------------------------

තෙවලා දහම පිළිබඳ ප්‍රාමාණික දැනුමක්‌ ලබාගත් මහා පඬිරුවනක්‌
- ජාතික නිදහස්‌ පෙරමුණ 

අමරපුර ශ්‍රී ධර්මරක්‍ෂිත මහා නිකායේ මහ නායක ධුරය හෙබවූ අග්ගමහා පණ්‌ඩිත අතිපූජ්‍ය වැලිගම ඤාණරතන මහ නාහිමිපාණන්ගේ අපවත්වීම පිළිබඳව ජාතික නිදහස්‌ පෙරමුණ සාතිශය සංවේගය පළ කර සිටින්නෙමු. 

ධර්මධර, විනයධර බහුශ්‍රැත පැවිදි පඬිරුවනක්‌ ලෙස සම්බුද්ධ ශාසනයටත්, ප්‍රාචීණ භාෂා ශාස්‌ත්‍රාදියත් වෙනුවෙන් අතිපූජ්‍ය වැලිගම ඤාණරතන මහ නාහිමියන් ඉටුකළ මෙහෙවර අනිභිබවනීය යෑයි ජාතික නිදහස්‌ පෙරමුණේ නායක, ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් ඇමැති විමල් වීරවංශ මහතා අතිපූජ්‍ය වැලිගම ඤාණරතන මහ නාහිමිපාණන්ගේ අපවත්වීම පිළිබඳව ශෝක පණිවුඩයක්‌ නිකුත් කරමින් කියා සිටී.

එම ශෝක පණිවුඩයේ වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.

සංක්‍ෂිප්ත ත්‍රිපිටක ග්‍රන්ථ සම්පාදක මණ්‌ඩලයේ සභාපති ධුරය එය ආරම්භයේ සිට වසර 18ක්‌ තිස්‌සේ හොබවන ලද්දේ අතිපූජ්‍ය වැලිගම ඤාණරතන මහ නාහිමිපාණෝ විසිනි. ත්‍රිපිටක ධර්මය හා එහි අටුවාටිකා පිළිබඳවත් මහ නාහිමිපාණන් තුළ වූ ගැඹුරු දැනුම හේතුවෙන් උන්වහන්සේ ධර්ම භාණ්‌ඩාගාරයක්‌ ලෙස ප්‍රකටව සිටියේය. ලෝකයේ බොහෝ රටවල සංචාරයේ යෙදී ධර්ම ප්‍රචාරය පිණිස කැපවූ අතිපූජ්‍ය වැලිගම ඤාණරතන මහ නායක හිමිපාණන් නේපාලය වැනි රටවල බුදුදහම ස්‌ථාපිත කිරීමට මූලිකත්වය ගෙන ක්‍රියා කළ ආකාරයද මෙහිදී සිහිපත් කළ යුතුව තිබේ.

සැබවින්ම ඥානරත්නයක්‌, ධර්ම භාණ්‌ඩාගාරයක්‌, මහා පඬිරුවනක්‌ වූ අති පූජ්‍ය වැලිගම ඤාණරතන මහ නාහිමිපාණෝ පැරණි පැවිදි මහ පඬි පරපුරේ ශාසන පෞරුෂය, උන්වහන්සේගේ චරිතයෙන් මැනවින් පෙන්වා දුන්නහ. එවැනි ශ්‍රේෂ්ඨ මහා පඬිරුවනක්‌ වූ උන්වහන්සේ අපවත්විම ලෝකවාසී බෞද්ධ ජනතාවටත්, විශේෂයෙන් ශ්‍රී ලාංකේය බෞද්ධ ජනතාවටත් පිරවිය නොහැකි පාඩුවකි. 

අතිපූජ්‍ය වැලිගම ඤාණරතන මහ නාහිමිපාණන් වහන්සේද අජරාමර නිවන් සුව ලැබේවායි ප්‍රාර්ථනා කරන්නෙමු. 

-------------------------------------------------------------------------

උන්වහන්සේගේ උපදෙස්‌ හා අනුශාසනා අපට ශක්‌තියක්‌ වුණා
- කොළඹ තරුණ බෞද්ධ සංගමය

අමරපුර ශ්‍රී ධර්මරක්‍ෂිත මහා නිකායේ මහානායක ධුරන්ධර රාජකීය පණ්‌ඩිත විනය විශාරද ධර්මකීර්ති ශ්‍රී සුමංගල විද්‍යාවතංශ රත්මලානේ මල්ලිකාරාමාධිපති අග්ගමහාපණ්‌ඩිත ආචාර්ය වැලිගම ඤාණරතන මහානායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේගේ අපවත්වීම සම්බුද්ධ ශාසනයට බලවත් පාඩුවක්‌ බව කොළඹ තරුණ බෞද්ධ සංගමය නිවේදනයක්‌ නිකුත් කරමින් කියා සිටී.

බුද්ධ ශාසනයේ චිරස්‌ථිතිය වෙනුවෙන් මහානායක ස්‌වාමින්ද්‍රයාණන් වහන්සේ විසින් සිදු කරනු ලැබූ අනුපමේය වූ සේවය අපි ගෞරවයෙන් අගය කරමු. අපවත්වී වදාළ මහානායක ස්‌වාමීන් වහන්සේ කොළඹ තරුණ බෞද්ධ සංගමය ඉතා ළඟින් ඇසුරු කළ ස්‌වාමීන් වහන්සේ නමකි. උන් වහන්සේ විසින් දෙනු ලැබූ කාලීන උපදෙස්‌ හා අනුශාසනා කොළඹ තරුණ බෞද්ධ සංගමය සහ එහි අරමුණු ශක්‌තිමත් කිරීමට මහෝපකාරි වූ බවද එම සංගමය දන්වා සිටී.

-------------------------------------------------------------------------

බුද්ධ ශාසනයට බරපතළ පාඩුවකි
- අහංගම ආනන්ද නාහිමි

ශ්‍රී ධර්මරක්‍ෂිත අමරපුර මහ නිකායේ මහ නායක ධුරය හෙබවූ රත්මලානේ මල්ලිකාරාමාධිපතිව වැඩ විසූ ශ්‍රී සුමංගල විද්‍යාංවශ අග්ගමහ පණ්‌ඩිත රාජකීය පණ්‌ඩිත විනය විශාරද අතිපූජ්‍යපාද වැලිගම ශ්‍රී ඥාණරතන මහනායක හිමිපාණන් වහන්සේ එකසිය එක වසක්‌ ආයු වළදා අපවත් වීමෙන් රටට ජාතියට විශේෂයෙන් සංඝ සමාජයට බුද්ධ ශාසනයට සිදු වූයේ බලවත් පාඩුවකි. පරම පූජ්‍ය අග්ගමහා, පණ්‌ඩිත මඩිහේ පඤ්ඤාසිහ මහ නායක මා හිමිපාණන් වහන්සේගෙන් පුරප්පාඩු වූ අමරපුර ශ්‍රී ධර්මරක්‍ෂිත මහ නිකායේ මහ නායක ධුරයෙන් පිදුම් ලැබූහ. ත්‍රි මණ්‌ඩලයේ ඒකමතික තීරණය අනුව මහනායක ධුරයට පත්කර ගනු ලැබුහ. උන්වහන්සේ විසින් ලියන ලද ධර්ම ග්‍රන්ථ රාශියකි. ධර්ම දේශනා අනන්තය. අප නිකායට මෙන්ම අන්‍ය නිකායවල මහ නාහිමිවරු අනුනායක හිමිවරුන් සමගත් ඉතා සමගියෙන් හා ජනප්‍රියත්වයෙන් වැඩ වාසය කළ උන්වහන්සේ මහචාර්ය චන්දන ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වන මෙත් සවිය සංසදයේද හෙළ හවුලේ අනුශාසකවරයෙකු, වශයෙන්ද මහ මෙහෙවරක්‌ කළ නා හිමිපාණන් වහන්සේට සියලු සංවිධානවල ධම්ම සංවේගය පළ කරමින් උන්වහන්සේට උතුම් නිවන් සුවය පතමි යෑයි වැල්ලවත්ත ශ්‍රී විජයාරාමාධිපති අධිකරණ සංඝනායක අහංගම ආනන්ද නාහිමිපාණෝ නිවේදනයක්‌ නිකුත් කරමින් කියා සිටිති. 

-------------------------------------------------------------------------

වැලිගම මහනාහිමියන් සෘජු තීරණ ගත්තා
- ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාව

ශ්‍රී ලංකා සම්බුද්ධ ශාසනය බබුළුවමින් ශාසනයේත්, ජාතියේත් උන්නතිය උදෙසා අපරිමිත සේවාවක්‌ ඉටුකළ අතිපුජ්‍ය වැලිගම ඤාණරතන මහනාහිමියන්ගේ අපවත්වීම ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවට සිදු වූ බලවත් පාඩුවක්‌ යෑයි ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාව ශෝක පණිවුඩයක්‌ නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.

අමරපුර ශ්‍රී ධර්මරක්‍ෂිත පාර්ශ්වයේ මහානායක ධුරන්ධර, රත්මලානේ ශ්‍රී මල්ලිකාරාමාධිපති, විනය විශාරද, රාජකීය පණ්‌ඩිත, ආචාර්ය, අග්ගමහා පණ්‌ඩිත, අතිපූජ්‍ය වැලිගම ශ්‍රී ඤාණරතනාභිධාන මහා ස්‌වාමීන්ද්‍රයන් වහන්සේගේ අපවත්වීම සම්බුද්ධ ශාසනයට සිදු වූ බලවත් පාඩුවකි.

1925 නොවැම්බර් මස 31 වැනි දින ප්‍රව්‍රජ්‍යාභූමියට පත් වූ වැලිගම ඤාණරතන මහ නාහිමියෝ වර්ෂ 1933 දී උතුම් උපසම්පත්තිලාභය ද ලැබූහ. විශ්වකීර්තිධර ධර්ම දේශකයාණන් වහන්සේ නමක ලෙස වැඩ සිටි අතිපූජ්‍ය පැලෑනේ ශ්‍රී වජිරඤාණ මහනාහිමියන් වහන්සේගේ සෙවණෙහි වැඩ වෙසෙමින් පදාර්ථ සහිතව ත්‍රිපිටකය අධ්‍යයනය කරමින් ධර්මධර විනයධර භාවය ඇතිකර ගත්හ.

මේ අතර කොළඹ මාලිගාකන්දේ විෙද්‍යාදය පිරිවෙනට ඇතුළත්ව පණ්‌ඩිත ශිරෝමණී කහවේ රතනසාර, බද්දේගම පියරතන, කුකුල්නාවේ ශ්‍රී දේවරක්‌ත, වැලිවිටියේ ශ්‍රී සෝරත යන නායක ස්‌වාමීන් වහන්සේලා වෙතින්, සිංහල, පාලි, සංස්‌කෘත, ඉතිහාසය, පුරාවිද්‍යාව, ඡෙJදාලංකාර, ඉංග්‍රීසි, හින්දි ආදී ප්‍රාචීන ප්‍රතිචීන භාෂා පිළිබඳ නෛපුණ්‍යය ලබා රාජකීය පණ්‌ඩිත උපාධියෙන් ද උත්තීර්ණ වූහ.

තුරුණු වියෙහි සිටම විචිත්‍ර ධර්ම දේශකයාණන් නමක ලෙස ක්‍රියා කළ අප මහනාහිමියෝ වර්ෂ 1947 සිට ශ්‍රී ලංකා ගුවන් විදුලි ධර්ම දේශකයාණන් වහන්සේ නමක ලෙස සුවහසක්‌ බොදු දනන්ගේ හදවත් බුදු බණ පදයෙන් සැනසූහ. ග්‍රන්ථකරණයෙහි ද දස්‌කම් පෑ වැලිගම මහ නාහිමියන්ගේ සුරතින් ග්‍රන්ථ සියයකට ආසන්න ප්‍රමාණයක්‌ ලියෑවුණු අතර, කුදුසික විවරණය නම් වූ ග්‍රන්ථය උන්වහන්සේ තුළ පැවැති විනය විශාරද භාවය ප්‍රකට කරයි.

මෙම සියලු සේවාවන් අතර අප මහනාහිමියන්ගෙන් සිදු වූ විශිෂ්ටතම සේවය ලෙස සැලකිය හැක්‌කේ පාර්ශ්ව විසි දෙකකට භේද භින්නව සිටි අමරපුර නිකායික සංඝයාගේ සාමග්‍රිය පිණිස ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාව ඇති කිරීමට අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහනාහිමියන්ට සහාය වෙමින් ක්‍රියා කිරීමයි. සම ලේඛකාධිකාරීන් වහන්සේ නමක ලෙස ඉටු කළ මෙහෙවර ද අතිශය ප්‍රශංසනීයය.

වැලිගම නාහිමියන් තුළ වූ සෘජු තීරණ ගැනීමේ හැකියාව වර්තමාන භික්‍ෂු පරපුරට සදූපදේශයක්‌ ව පවතී. කිවයුත්ත නිර්භයවම ප්‍රකාශ කොට තම මතය ධර්මානුකූලව දැක්‌වීම උන්වහන්සේගේ චරිතයෙහි කැපී පෙනෙන ලක්‍ෂණයකි.

රත්මලාන මල්ලිකාරාම විහාරස්‌ථානය කේන්ද්‍ර කර ගනිමින් එතුළින් සිදු කළ ශාසනික හා සමාජයීය සේවාව ද මහනාහිමියන්ට ගෞරවයක්‌ වශයෙන් සිහිපත් කළ යුතුම වේ.

මෙවන් අපරිමිත සේවාවක්‌ සිදු කළ මහානායක ස්‌වාමීද්‍රයන් වහන්සේට උතුම් අමා මහ නිවන් සුව අත්වේවා යි ප්‍රාර්ථනා කරමි.

අතිපූජ්‍ය දොඩම්පහල චන්දසිරි මහනාහිමි
ශ්‍රී ලංකා අමරපුර සංඝ සභාවේ සභාපති,
ශ්‍රී කල්‍යාණිවංශ නිකායේ මහා නායක

-------------------------------------------------------------------------

අද දින ආදාහන පූජෝත්සවය සිදුකෙරෙන 
පරම පූජනීය වැලිගම ශ්‍රී ඤාණරතන නාහිමියෝ

ශ්‍රී ධර්ම රක්‌ෂිත වංශාලංකාර රාජකීය පණ්‌ඩිත ශ්‍රී සුමංගල විද්‍යාවතංස ධර්ම කීර්ති ශ්‍රී අග්ගමහා පණ්‌ඩිත අතිගරු වැලිගම ශ්‍රී ඤාණරතන මහානායක මහා ස්‌වාමීන්ද්‍රයාණන් වහන්සේ මෑත යුගයෙහි පහළ වූ ශ්‍රේෂ්ඨතම සංඝ පීතෘවරයාණන් වහන්සේ නමකි. සම්බුදු සසුනෙහි ව්‍යක්‌ත, විනයධර, විශාරද, මහා ගුණයන්ගෙන් පිරි මහා තෙරුන් වහන්සේ නමකි. සම්බුදු සසුනෙහි කුසල් පිරීමෙහිද, ධර්ම විනයෙහිද මහා සඟ පරපුරක්‌ තැනීමෙහිද, ධර්ම ඥානයන්ගෙන් සමන්නාගතව ලිවීමෙහිද, දෙසීමෙහිද, රට, දැය, සමයටම මහා ආදර්ශයෙන් පිරිපුන්ව වැඩසිටි මහ නාහිමි කෙනෙකි. එවැනි වූ, සම්බුදු සසුන ආලෝකමත් කළ මහා යතිවරයාණන් වහන්සේ නමකගේ අපවත්වීම මහත් පාඩුවකි. තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාළ ත්‍රිලක්‍ෂණ ධර්මය මෙනෙහි කරමින්, ධර්ම සංවේගයම උපදවාගෙන, අපවත්වී වදාළ අතිගරු පරම පූජනීය මහානායක ස්‌වාමීන්ද්‍රයාණන් වහන්සේගේ ඒ උත්තම චරිතයෙහි උපලක්‍ෂිත වූ මහා ගුණ කදම්බය සමරා කුසල් සිත් පිහිටුවා අමා නිවන් පිණිස ප්‍රාර්ථනා කරමු. දකුණු පළාතේ මාතර දිස්‌ත්‍රික්‌කයේ, වැලිගම වල්ලිවෙලදී කටුකුරුන්ද වෙල්ලලාගේ ඕදිරිස්‌ ද සිල්වා උපාසකතුමන්ට දාව, කොග්ගල වෙල්ලාලගේ වේරගම්පිට සිරිරේවත මාහිමිපාණන් වහන්සේගේ උපාධ්‍යාත්වයෙන් පාරිශුද්ධ වූ උපසම්පදාව ලැබූහ. 1948 වසරේදී ප්‍රාචීන අවසාන විභාගය ඉහළින්ම සමත් වූහ. 1954 වසරේ බුරුමයේ රැංගුන් නුවර පැවැති ඡට්‌ඨ සංගායනාවට අප ස්‌වාමීන්ද්‍රයාණන් වහන්සේ සහභාගි වූහ. කොඩිතුවක්‌කු හේවා මල්ලිකා රාළහාමි විසින් රත්මලානේ සොයිසාවත්තෙන් මූලිකව පර්චස්‌ 30 ක්‌ මිලට ගෙන පූජාකොට මල්ලිකාරාමය ආරම්භ කිරීම අතිගරු වැලිගම ඤාණරතන ස්‌වාමීන්ද්‍රයාණන් වහන්සේගේ ශාසනික සේවාවෙහි උත්කෘෂ්ඨම අවස්‌ථාවකි. එය සිදුවූයේ 1958 වසරේ මැයි මස 28 වෙනිදාය. රත්මලානට පමණක්‌ ශාසනික සේවාව සීමා නොවී මුළු පළාතටත්, ඉන් නොනැවතී මුළු රටටත්. ලොවටත්, සම්බුද්ධ ශාසනයේ නමින් අති ශ්‍රේෂ්ඨ සේවාවක්‌ සිදු කිරීම මේ අනුව ඇරඹිණි. ළමා, තරුණ, වැඩිහිටි සැමට ශාසනික සේවාව සිදුකරන ගමනේ 1960 වසරේදී ළමා සමාජයක්‌ ද දහම් පාසල ද ආරම්භකොට තම සේවාව ශක්‌තිමත් බවට පත් කෙරිණි. මේ ලෙස වජිරඤාණ දහම් පිහිටුවීමෙන් අනතුරුව ගාමිණී තරුණ බෞද්ධ සමිතිය පිහිටුවා, තරුණ සේවාව රටට, ජාතියට, දහමට යොමු කළේය. ඉන් අනතුරුව විශාඛා කාන්තා සමිතිය ආරම්භ කරමින් ශාසනික සේවාව තවත් පුළුල් කළහ.

පර්චස්‌ 30 කින් ඇරඹි මල්ලිකාරාමය මහා වෙහෙරකට අවැසි සියලු අංගෝපාංගයන්ගෙන් සමන්විත විය. ඒවා පුළුල්ව පැතිර යන ශාසනික සේවාවට අවශ්‍ය ලෙස නිර්මාණය වූ ඒවා මිස අරමුණකින් තොරව සකස්‌ වූ අංගෝපාංග නොවේ. මල්ලිකාරාමයේ වැඩ වාසය කළ මුල් කාලයේ පටන්ම මහරගම ශ්‍රී වජිරඤාණ ධර්මායතනයේ ඉගැන්වීම අප මහා ස්‌වාමීන්ද්‍රයාණන් වහන්සේ සිදු කළහ. එය විශේෂයෙන් පරම පූජනීය මඩිහේ පඤ්ඤාසීහ මහ නාහිමිපාණන් වහන්සේ සමඟ පැවැති කල්‍යාණ මිත්‍ර සම්පත්තියත් හේතුකොටගෙනය. ධර්මධර, විනයධර, සඟ පරපුරක්‌ ඇතිකිරීමේ අගය මෙමගින් වටහාගත් අප මාහිමිපාණන් වහන්සේ 1968 ජුලි 09 වැනිදා ශ්‍රී ධර්මරක්‌ෂිත ධර්මායතනය නමින් එම අනගි කටයුත්ත ආරම්භ කළේය. අමරපුර නිකායේ සියලුම පාර්ශ්ව ඒකරාශිකොට අමරපුර මහා සංඝ සභාව පිහිටුවීමේදී සම ලේකම් ධුරයට පත්ව 19 වසරක්‌ එහි සාමගි්‍රය ද එමගින් මහා ශාසනික මෙහෙවරක්‌ද ඉටුකළහ. එම සේවාව අගය කරමින් උන්වහන්සේට "විනය විශාරද ධර්ම කීර්ති ශ්‍රී" ගෞරව නාමය පුද කළේය.

අප මහානායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේගේ ජීවිතයේ සංවේගාත්මකම දිනයක්‌ බවට පත්ව ඇත්තේ. පරම කල්‍යාණ මිත්‍ර වූ පරම පූජනීය මඩිහේ සිරි පඤ්ඤාසීහ මහානායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේගේ අපවත්වීම සිදුවූ දිනයයි. ඒ 2003 වසරේ සැප්තැම්බර් 10 දිනය. පරම පූජනීය මඩිහේ සිරි පඤ්ඤාසීහ මහ නා සමිඳුන්ගේ අපවත්වීමෙන් පුරප්පාඩු වූ මහානායක ධුරයට 2004 ජනවාරි 11 වැනිදා අප මහා නාහිමිපාණෝ පත්වූහ. සිංහල භික්‌ෂු වංශය පුරාම පැතිරෙන ධර්ම විනයෙන් සමන්නාගත භික්‌ෂු පරපුරෙහි අප මහ නා සමිඳුන් බලකණුවකි. උන්වහන්සේගේ ජීවිතයේ පැවැති යෝධ බැම්මක්‌ව පැවැතියේ විනයයි. "කුඩා අනුකුඩා වරදෙහි පවා බියදක්‌නා සුළුබව" නම්වූ බුදුරජාණන් වහන්සේගේ අවවාදය උන්වහන්සේගේ ජීවිතයෙහි මැනවින්ම දක්‌නට ලැබිණි.

උන්වහන්සේ රචනා කළ වටිනා ධර්ම ග්‍රන්ථ රැසකි. ඒවා අතර කුදුසික විවරණය, මෙහෙණ සස්‌න, බුරුම භාවනා විවේචනය, පරාභව මුඛ, ධම්මපදය, බෞද්ධ ප්‍රතිපදාව, වසලත්ථ දීපනී, චතුරාර්ය සත්‍ය, දියුණුව, සතිපට්‌ඨානය, ලෝවැඩ සඟරා වර්ණනාව ආදී ග්‍රන්ථ ප්‍රධාන තැනක්‌ ගනී.

අමරපුර සංඝ සභාවේ සම ලේකම් ධුරයද අමරපුර ශ්‍රී ධර්මරක්‌ෂිත මහා නිකායේ අනුනායක ධුරයද එහිම මහානායක ධුරයද හොබවමින් ඉටුකළ එම අති උදාර ජාතික, ශාසනික සේවාව මෙවැනි කෙටි සඳහනකින් සම්පූර්ණ කිරීම ඉතා දුෂ්කර කාර්යයකි. අවුරුදු 101 ක්‌ ආයු වැළ» අප මහානායක ස්‌වාමීන්ද්‍රයාණන් වහන්සේ 2014 දුරුතු මස 17 වැනි දින අපවත් වී වදාළහ.

අමරපුර ශ්‍රී ධර්මරක්‌ෂිත මහා නිකායේ මහානායක, රාජකීය පණ්‌ඩිත, ශ්‍රී සුමංගල විද්‍යාවතංස ධර්ම කීර්ති ශ්‍රී අග්ගමහා පණ්‌ඩිත පරම පූජනීය වැලිගම ශ්‍රී ඤාණරතනාභිධාන මහානායක ස්‌වාමීන්ද්‍රයාණන් වහන්සේට උතුම් නිවනම වේවා.

ආචාර්ය මිරිස්‌සේ ධම්මික හිමි

-------------------------------------------------------------------------

ශාසනික ජාතික ගැටලුවලදී අවදියෙන් සිටියා
- සමස්‌ත ලංකා ශාසනාරක්‌ෂක මණ්‌ඩලය

ජාතික, ශාසනික, සමාජයීය ගැටලුවලදී නිරන්තර පෙරමුණ ගෙන කටයුතු කළ අමරපුර ශ්‍රී ධර්මරක්‍ෂිත මහ නිකායේ මහානායක අග්ගමහා පණ්‌ඩිත වැලිගම ඤාණරතන මහනාහිමියන්ගේ අපවත්වීම සම්බුදු සසුනට වූ බලවත් පාඩුවකැයි සමස්‌ත ලංකා ශාසනාරක්‌ෂක මණ්‌ඩලය නිවේදනයක්‌ නිකුත් කරමින් පවසයි.

සමස්‌ත ලංකා ශාසනාරක්‌ෂක මණ්‌ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරි ශාස්‌ත්‍රපති ගෝණදූවේ ගුණානන්ද නාහිමියන්ගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයෙහි වැඩිදුරටත් මෙසේද වේ.

පාලි, සංස්‌කෘත, සිංහල ඇතුළු භාෂා රැසක්‌ම සරිකළ මහ පඬිවර යතීන්ද්‍රයානන් වහන්සේ නමක වූ ඤාණරතන මහනාහිමියන් සසුනේ චිර උන්නතියට සිදුකළ මෙහෙවර සුවිශාලයි. සසුනේ චිර පැවැත්මට උගත් ධර්මධර, විනයධර ශිෂ්‍ය පරපුරක්‌ දායාද කිරීම ද වෙසෙසින්ම සිහිපත් කළ යුතුයි.

ශාසනික, සමාජයීය, ජාතික ගැටලුවලදී නිබඳ අවදියෙන් සහ සෘජු තීරණ ගනිමින් කටයුතු කළ උන්වහන්සේ වත්මන් සඟ පරපුරට මහත් ආදර්ශයන් ද සැපයුවා. ධර්ම ශාස්‌ත්‍රීය වශයෙන් මහ මෙහෙවරක්‌ සිදුකළ මහනාහිමියන්ගේ අපවත්වීම සමස්‌ත සම්බුදු සසුනටම සිදුවූ බලවත් පාඩුවක්‌ බව සිහිපත් කළ යුතුයි. උන්වහන්සේට උතුම් නිවන් සුව අත්වේවා.

-------------------------------------------------------------------------

දසක නවයක්‌ මහණදම් සපිරූ අතිපූජ්‍ය 
වැලිගම ඤාණරතන මහනායක හාමුදුරුවෝ

2014 ජනවාරි 17 වැනිදා එකසිය එක්‌වසරක දිවි සැරිය සමාප්ත කෙරෙමින් අපවත් වී වදාළ අමරපුර ශ්‍රී ධර්මරක්‍ෂිත මහා නිකායේ මහානායක ධුරන්දර අග්ගමහා පණ්‌ඩිත අතිපූජ්‍ය වැලිගම Cඳානරතන මාහිමිපාණෝ රත්මලාන මල්ලිකාරාම විහාරස්‌ථානයේද, රත්මලාන සිරිධම්මරක්‍ෂිත පිරිවෙනේ ද අධිපති ධුරය හෙබවූහ.

සියක්‌ වසරක්‌ ඇතුළත ලොකු කුඩා ධර්ම ග්‍රන්ථ සියයකට (100) අධික සංඛ්‍යාවක්‌ අප මහා නාහිමිපාණන් අතින් සඟරා සඳහා ලියූ ධර්ම ශාස්‌ත්‍රීය ලිපි දහස්‌ ගණනකි. පවත්වන ලද ධර්ම දේශන සංඛ්‍යාව කොතෙක්‌ දැයි ගිණිය නොහැකි ය.

බෙල්ලන්විල රාජමහා විහාරය සමඟ සමීප සබඳතාවක්‌ පැවැත්වූ අපේ මහා නායක හාමුදුරුවෝ විද්‍යෝදය ගුරු කුලයට භූෂණයක්‌ වූ ගුරු තරුවක්‌ ලෙස ප්‍රචලිත වූහ. ශ්‍යාමෝපාලී මහා නිකායේ කෝට්‌ටේ පාර්ශ්වය සමඟ ප්‍රියශ්‍රීලී අතිශය සුහද සම්බන්ධතාවක්‌ දැක්‌වූ උන්වහන්සේ වෙතින් ලද සදුපදේශ මෙනෙහි කරනුයේ අප්‍රමාණ කෘතවේදීත්වයෙනි. අතිපූජ්‍ය පැළෑනේ වජිරඤාණ, අතිපුජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ බඳු වියත් පැවිදි හිමි පරපුරෙහි දිවමත්ව විසූ අවසන් පුරුක වූවෝ පරම පූජ්‍ය වැලිතම ඤාණරතන මහා නාහිමිපාණෝ ය.

කටුකුරුන්ද වෙල්ලාලගේ ඕදිරිස්‌ ද සිල්වා සහ කෝන්ගල වෙල්ලාලගේ බබුන්හාමි දම්පතීන් ලත් එකොළොස්‌ (11) දෙනා අතුරින් බාලම දරුවා උපත ලද්දේ 1913 ඔක්‌තෝබර් මස 14 වැනි දා ය. හේ කරෝලිස්‌ සිල්වා නම් විය. ගිහි ගෙය හැරපියා අවුත් 1925 නොවැම්බර් 30 වැනිදා අහංගම එළුකැටියේ බිම්බාරාම මහා විහාරයේදී පැවැදි බිමට පත් ව වැලිගම ඤාරතන යයි නම් ලද්දේය. පැවිදි ගුරුවරයා වුයේ පූජ්‍ය අහංගම සිරි විමලසාර හිමිය.

විවිධ විහාරස්‌ථාන, විවිධ විද්‍යාස්‌ථාන, නන්විධ නිකායන් ඇසුරෙහි නොයෙක්‌ පෙදෙස්‌වල වැඩ වෙසෙමින් ජීවිත පරිඥානය ලැබීමට ලත් දුලබ වරපත පූජ්‍යපාද වැලිගම ඤාරතන මහ නා හිමියන්ගේ පරිනතභාවය, උද්දීප්ත කරන්නට ඇත. එවක ලක්‌දිව වැඩවිසූ ව්‍යක්‌ත විශාරද, ධර්මධර, විනයධර ධර්ම ශාස්‌ත්‍රොන්නතාමී මහා තෙරුවන් ගේ පාද මූලයෙහි ම උකහාගත ධර්ම විනය මෙන්ම ශාසනික චරණය පරමාදර්ශී සිංහල භික්‍ෂුන් වහන්සේ පිළිබඳ අභිෂ්ඨ ප්‍රතිරූපයක්‌ නිර්මාණය කිරීමට හේතු සාධක වන්නට ඇතැයි හඟිමි.

වැලිගම වල්ලිවෙල දෙණිය ගෙදරින් ඇරැඹුණු ජීවිත චාරිකාව, අහංගම එළුකැටියේ බිම්බාරාම මහා විහාරය, විද්‍යෝදය මහා පිරිවෙන, බම්බලපිටියේ වජිරාරාමය ආදී කීර්තිධර පුණ්‍යභූමි ඔස්‌සේ ඇදී ගොස්‌, භාරතය, නේපාලය, බුරුමය ආදී දේශ දේශාන්තර තෙක්‌ විහිදී පැතිර ගියේ පුරාකෘත පුණ්‍ය මහිමයකිනි. මේ සියලු ධර්ම ශාස්‌ත්‍රීය සේවාවන් සවිවේක, ප්‍රසන්ත, පූණ්‍ය භූමියක ස්‌ථාපිත වූයේ 1958 මැයි මාසයේ 28 වැනිදා රත්මලාන මල්ලිකාරාම විහාරස්‌ථානයට මුල්ගල තබමින් පසු කලෙක සකල විහාරාංග සමුපේත අභිරමණීය ආරාමයක ආධිපත්‍යයට පත්වීමෙනි. රත්මලාන සිරි ධර්මරක්‍ෂිත පිරිවෙන එහිම ඇරඹුණේ සසුන්පත් කුළ දරුවනට බෞද්ධ දර්ශනයට හා චරණයන්ට මංපෙත් පාදමිනි.

කලණ ගුරු ඇසුර මෙන්ම කල්‍යාණ මිත්‍ර සේවනය අප මහ නා හිමියන්ගේ ජීවන චාරිකාව එළිය කළ පහන් කෙත් සේ දිස්‌වන්නේය.

1931 මැයි මස කොළඹ මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙනට ඇතුළු වන්නට ලැබීම වැලිගම ඤාරතන සාමණේරයන් වහන්සේට ශ්‍රේෂ්ඨ වියත් පැවිදි පරපුරක හා පසු කලෙක සසුන් කෙත බැබැලවූ සමකාලීන ගිහි පැවිදි විද්‍යාර්ථීන් සමූහයක සතත ඇසුර ලැබීමටත් විවරණ වූ නවමු මං පෙතකි.

එවක විද්‍යෝදය පරිවෙණාධිපතිව වැඩ විසුවේ පණ්‌ඩිත ශිරෝමණී කහවේ ශ්‍රී සුමංගල රතනසාර නායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේය. පන්තිය භාර ව සිටියේ පූජ්‍යපාද කළුකොඳයාවේ පඤ්ඤාශේඛර මහානායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේය.

මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමි
http://www.divaina.com/2014/01/22/feature02.html

සබැඳි ලිපි -
[
අතිපූජ්‍ය වැලිගම ඤාණරතන මාහිමියන්යන්ගේ අපවත්වීම - ජනපති, විපක්ෂ නායකද ඇතුළුව දසතින් සොව පළවේ
http://denethharinna.blogspot.com/.../01/blog-post_1526.html
අවුරුදු 101ක්‌ ආයු වළඳා වැලිගම ඤාණරතන මහනාහිමියෝ අපවත් වෙති
http://denethharinna.blogspot.com/2014/01/101.html
]

0 comments: