Pages

Thursday, January 16, 2014

අභියෝග හමුවේ බෞද්ධ සංවිධානවල වගකීම

බහුතරයක් බෞද්ධයන් වෙසෙන මේ රටේ බෞද්ධයාගේ අභියෝග මොනවාදැයි බැලූ බැල්මට කෙනෙකුට සිතෙනු ඇත. එහෙත් අප මේ රටේ අනාථයන් බවට පත්ව ඇති අයුරු බලධාරීන් හමුවේ කියාපෑම මෙම ලිපියේ අරමුණ වේ. සිංහලකම ගැන බෞද්ධකම ගැන ලියැවෙන විට, එය නොඉවසන බෞද්ධ නාමිකයෝ ද අප රටේ සිටිති. ඔවුන් සියල්ලෝම මෙම ලිපිය කියවත්වා. ජනපති ප්‍රමුඛ රටේ නායක කාරකාදීහු ද ෙතේ‍රනිකායික මහ සඟරුවනේ බලධාරීහු ද මේ ලියන දෑ ගැන අවධානය යොමු කරත්වා.


බුදු කෙනෙකු භාරතයේ ඉපදීම ආසියාවට මතු නොව මුළු ලොවටම අභියෝගයක් වූයේ අතීතයේමය. මානව සමාජය බෙදා වෙන් කොට තලා පෙළා පීඩාවට පත් කළ බමුණු යුගය තුළ පිරිපුන් මිනිසකුගේ බුද්ධිගෝචර දැක්ම ඔවුනට කෙතරම් අභියෝගයක් වන්නට ඇත්ද? කෝලිත, උපතිස්සලා, යසකුල පුත්තලා දෘඪතර බ්‍රාහ්මණ තරුණයෝය. එවැනි තරුණයන් පිරිවරාගත් බුදුහිමියන් වනසන්නට කළ අභියෝග බුදු බලයෙන්ම මිස වෙනත් අයුරකින් ජයගත නොහැකි තරම් විය. විමුක්තිකාමීන් ලෙස ජනයා මුලා කරගත් ආගම්වාදීනට බුදුහිමියන් අභියෝගයක් වූයේ ලොව පහල වූ එකම අදේවවාදී ශාස්තෘවරයා වීම හේතුවෙනි. මිනිසාගේ විමුක්තිය පිළිබඳ බුද්ධිගෝචර දහමක් ද දායාද කළ බුදුහිමියෝ විශ්වාසයෙන් හෝ භක්තියෙන් මිනිසා මුළා නොකළහ. බුදු දහම කවර කලෙකත් මෝහයෙන් පිරි ලොවට අභියෝගයක් වන්නේ එනිසාය.

බුද්ධ පරිනිර්වාණයෙන් පසුව භාරතයෙන් බුදු සමය අවසන් වන්නේ එය දේවවාදීන්ගේ ක්‍ෂේම භූමිය වූ බැවිනි. නාලන්දා, වික්‍රමශිලා වැනි ලොව මුල්ම මහා බෞද්ධ සරසවි පවා  වනසා දමන්නේ මෙම බුද්ධ විකාශනයට අගුළු දැමීම සඳහාය. මේ විනාශය ජීවමාන බුදුහිමියන් දුටු හෙයින්දෝ එය ශ්‍රී ලංකාවේ පැලපදියම් කිරීමට අවශ්‍ය කටයුතු බුද්ධ කාලයෙහිම ඉටු කළ වදාළහ. මිහිඳු හිමියෝ මෙය ස්ථාපිත කළහ. දකුණු ඉන්දීය සොළීහු වරින් වර පැමිණ භාරතයේ කළ දේ මෙහි කරලීමට වෙර දැරූහ. එහෙත් දැවැන්ත දාගැබ්හි කොත් බිඳ හෙලන්නට හැර ඔවුනට දහම වැනසිය නොහැකි විය.

දහම රැකෙන්නට දහම රකින්නකු පැවැතිය මනාය. සිව්වනක් පිරිසෙන් සැදි බෞද්ධ සමාජයේ වගකීම වන්නේ එය නොවේද? බෞද්ධ සමාජය පවතින්නට බෞද්ධ ශිෂ්ටාචාරයක්, සංස්කෘතියක් පැවැතීම අනිවාර්ය වනු ඇත. අතීතයේ ගොඩනැගුණු ශිෂ්ටාචාරයන්, සංස්කෘතීන් දහමේ අභියෝග පසක් කොට ඒවා පරාජය කෙරිණි. අතීත රජවරුද සාහිත්‍යධරයෝද කලාකරුවෝද එම කාර්යභාරය ඉටු කළහ. එම සෙවනේ දහමත්, ජනයාත් සුරැකුණු අතර සියලු ජාතිකයෝද ආගමිකයෝද සහජීවනයෙන් ජීවත් වූහ.

එහෙත් වත්මනෙහි අපට සිදුව ඇත්තේ කුමක්ද? කොටින්ම ශාසනයේ බලධාරීහු කවරහුද? යන්න නිවැරදිව අර්ථ නොගැන්වීම නිසා කවරෙකු වෙතින් හෝ වගකීම් ඉටු නොවීම අප මුහුණදෙන ප්‍රබලතම අභියෝගය වී තිබෙයි. ජනාධිපතිවරයා රටේ බලධරයා ලෙස සසුන සුරකිනු ඇතැයි අපි බලා සිටිමු. මහානාහිමිවරුන් එම වගකීම දරන්නැයිද අපි බලා සිටිමු. දියවඩන නිලමේ මේ කාර්යය කරනු ඇතැයි ද බලා සිටිමු. එහෙත් සියල්ලෝම වගකීම නොදරති.

අගරදගුරුතුමන් හෝ කතෝලික සභාව කිතුනුවන්ගේ සසුන සුරකින්නට කැපව සිටී. උලමාවරුන්ගේ සංවිධානය ඇතුළු තවත් සංවිධාන ජාලයක් ඉස්ලාම්වරුන් සහ දහම රකින්නට පෙළ ගැසී සිටී. හින්දූන්ට ද එසේමය. එහෙත් බෞද්ධ අපට ඇත්තේ කවරෙකුද? කවරකු කරන ප්‍රකාශයක් පිළිගන්නේද? වලංගු වන්නේද? යන්න අද බෞද්ධයාට ඇති ප්‍රබල අභියෝගයකි.

1956 බුද්ධ ජයන්තියෙන් උදා කරගත් කිසිදු උරුමයක් 2600 සම්බුද්ධත්ව ජයන්තියෙන් අපට උරුම කර ගත නොහැකි විය. පිළිවෙතින් පෙළගැසෙන්නට විසිවැදෑරුම් වැඩසටහනක් ඔස්සේ රට පෙළ ගස්වන්නට රජයට භාරදුන් වැඩසටහන් ව්‍යර්ථව ගියේය. ප්‍රේමදාස ජනපති බිහිකළ බුද්ධශාසන අමාත්‍යංශය චන්ද්‍රිකා මහත්මිය අගමැති රත්නසිරිට පැවැරුවේය. මහින්ද රාජපක්ෂ ද ඒ ටික එලෙසම කළේය. රත්නසිරි හෝ දි. මු. හෝ බුදු සසුනට ඉටු කළේ මොනවාද? අමාත්‍යංශයට ගොඩනැගිල්ලක් ඉදි කළේය. එහෙත් එය බුද්ධශාසන නොවේ. සර්වාගමිකය. ඒ පිළිබඳ අපගේ විවේචනයක් නොමැති වුවද දි.මු. ජයරත්න අගමැතිවරයා බුද්ධ ශාසනය පිළිබඳ අල්පමාත්‍ර අවබෝධයකින් ක්‍රියා කර නැත.

එතුමා සම්බුද්ධත්ව ජයන්තිය සඳහා අම්බුළුවා දර්ශනයක් දියත් කළා විනා විසි වැදෑරුම් වැඩසටහන සමාජගත කරන්නට රාජ්‍ය නායකයකුගේ මැදිහත්වීම කිසිම ආකාරයකින් ඉටු කළේ නැත. සම්බුද්ධත්ව ජයන්ති ‍ලේකම් කාර්යාලය හා අමාත්‍යංශය දෙමගක ගමන් කළේය. කැෂියන් හේරත් ‍ලේකම්වරයා අවසන ඉවත්ව යන්නේ බෞද්ධ නායක කාරකාදීන් බොහෝ දෙනකුගේ විරෝධතාව ද මධ්‍යයේය. අග්‍රාමාත්‍යතුමා සෑම සභාවකදීම කියා සිටියේ බුදු සසුන සුරකින්නට පනත් පහක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවයි. ඒවාට සිදුවූයේ කුමක්දැයි අප එතුමාගෙන් අසමු.

එතුමාගේ පනත් පහ කෙසේ වෙතත් බුද්ධශාසන කාර්ය සාධක මණ්ඩලයේ ද අනු දැන්ම මත පනත් කීපයක් සම්මත කරවීම සඳහා පසුගිය වසර පහකටත් අධික කාලයක් තිස්සේ සියලු කටයුතු සපුරා දී තිබෙයි. ශාසන කතිකාවක් ලියාපදිංචි කිරීමේ පනත හා   බුද්ධ ශාසන පනත ඒ අතර වෙයි මෙම පනත් දෙකට අමතරව විහාර දේවාලගම් පනත, සිල්මාතා පනත හා බෞද්ධ ප්‍රකාශන නියාමන පනත යනුවෙන් පනත් පහක් බුද්ධ ශාසනයේ ආරක්ෂාව සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සූදානම් කර ඇතත් මේ කිසිම පනතක් නීතිගත තත්ත්වයට පත් වූයේ නැත. අන්‍යාගමිකකරණය වැළැක්වීමේ පනතක්ද මේ අතර වෙයි.
මෙම එකදු පනතක් හෝ අන්‍ය ජාතිකයන්ට හෝ අන්‍ය ආගමිකයන්ට අදාළව කිසිදු බලපෑමක් ඇති නොකරයි.

2013 දී රජය මැතිවරණ ආරම්භ කළේය. එය 2016 ජනාධිපතිවරණය දක්වා ගලා යන මැතිවරණාවලියකි. සියලු ප්‍රශ්න මේ මත දමා කල්මරන්නට රජයට හැකිය. 

ෙතේ‍රනිකායික මහා නාහිමිවරුන් හා දියවඩන නිලමේතුමා එක්ව ධර්මදීප සභාව නිර්මාණය වීම ඉතා යහපත් ප්‍රවණතාවක් ලෙස දැකිය හැකිමුත්, රජයේ කොන්ද පිරිමදින කවර සංවිධානයකින් හෝ බොදු අභියෝග ජයගත නොහැකි බව අප තේරුම් ගත යුතුය. වසර ගණනාවක් කල් මරන බෞද්ධයාගේ යහපත වෙනුවෙන් සැකසු පනත් එළියට ගන්නට මහානාහිමිවරුන් බුද්ධශාසන අමාත්‍යංශය ඉදිරිපිටට වඩින්නේ කවදාද? තවදුරටත් අපව රවටන්නට ඉඩදිය යුතු දැයි කල්පනා කළ යුතු කාලය දැන් පැමිණ තිබේ. යුද්ධය ජය ගන්නට, රටේ සාමය සහජීවනය ගොඩනගන්නට බෞද්ධ ජනතාව වෙතින් ලද සහයෝගය, ආශිර්වාදය අමතක කොට අපව නළවා නිදි කරන්නට ඉඩ දී බලා සිටිය හැකිද?

තායිලන්තයේද බුරුමයේද ථෙරවාදයට එරෙහිව ඉස්ලාම් මූලධර්ම සංවිධාන සටන් වැදී සිටී. තායි භික්ෂුවට ඊට එරෙහිව වීමට බලයක් නැත ද බුරුමයේ විරාතු හිමියන්ගේ 969 සංවිධානය වීරෝධාර සටනක නිරතව සිටී. මේවා බෞද්ධ අන්තවාදයක් ලෙස දකින්නට එරට ජනයා හෝ මාධ්‍ය ක්‍රියා නොකළේය. අපට විරාතු හිමි කෙනකු අවශ්‍යව ඇති යුගයකි. කවරෙකු කවරාකාරයෙන් විවේචන එල්ල කළද, ජාතික හෙළ උරුමය, බොදු බල සේනා සංවිධානය, සිංහල රාවය, වැනි සංවිධාන වඩාත් නිවැරදිව හා උචිත පරිදි සංවිධානය වීමේ අවශ්‍යතාව අද ඉස්මතුව තිබෙයි. ජනයා කලකිරවන අත්තනෝමතික ක්‍රියාවන් වෙත නොව බුද්ධිමතුන් ලෙස අපගේ අභියෝග ජය ගැනීම උදෙසා වඩාත් ශාස්ත්‍රීය පිළිවෙළින් සංවිධානගත වීම මෙන්ම ධම්මදීප සභාව ඒවායෙහි නියාමනය ඇති කරවන උත්තරීතර සභාවක් ලෙස ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාව අපි පෙන්වා දෙමු. කෙසේ වෙතත් බුද්ධශාසන අමාත්‍යංශයේ නව ‍ලේකම්තුමාගේ මෙන්ම බුද්ධශාසන කොමසාරිස් ජනරාල්තුමන් බුදුදහම නගාසිටුවීමට ගන්නා මෙහෙවර අතිශයින්ම ඇගැයීමට ලක්වන බවද මෙහි සඳහන් කරන්නෙමු. 

අගලකඩ සිරිසුමන හිමි අංශ ප්‍රධාන / සිංහල අංශය කොළඹ විශ්වවිද්‍යාලය

Pic Source

0 comments: