Pages

Monday, January 27, 2014

සෝනියා, රාහුල් ගාන්ධි අගමැති අපේක්‍ෂක නොකළේ ඇයි? මව් සෙනහස පුතුගේ දේශපාලන අනාගතය ආරක්ෂා කළාද?

ඉන්දිරා ගාන්ධි අගමැතිනිය ඡේ. ආර්. ජයවර්ධන රජය සමග සුහද මිතුදමක්‌ පවත්වාගෙන නොගිය බව ප්‍රකට කරුණකි. එනිසාම ඇය රෝ ඔත්තු සේවාව හරහා දෙමළ සටන්කාමී කණ්‌ඩායම්වලට ඉන්දීය භූමිය තුළදීම ආයුධ පුහුණුව ලබා දුන්නාය. බ්‍රිතාන්‍ය ලේඛනාරක්‍ෂක දෙපාර්තමේන්තුව මගින් මෑතදී නිකුත් කරනු ලැබූ වාර්තාවකට අනුව ඉන්දිරා ගාන්ධි, මාග්‍රට්‌ තැචර්ට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කළ ඉල්ලීමක්‌ පිළිබඳව කරුණු හෙළිදරව් විය. එය කවරක්‌ද? සික්‌ භටයන් දෙදෙනකු අතින් වෙඩි ප්‍රහාරයට ලක්‌ව මියගිය මේ ඉන්දීය අගමැතිනිය ඊට ටික කලකට පෙර තැචර් හමු වී ප්‍රකාශ කර ඇත්තේ බ්‍රිතාන්‍ය විශේෂ බළකා සාමාජිකයන් විසින් ලංකා ආරක්‍ෂක අංශ වෙත ලබාදෙන පුහුණුව නවතා දමන ලෙසය. නමුත් පසුව බ්‍රිතාන්‍ය රජය ඉන්දියාවට දන්වා ඇත්තේ ඒ පුහුණුව ලබාදීම සිදුකරන්නේ පෞද්ගලික සමාගමක්‌ විසින් බවත් එයට රැජිනගේ ආණ්‌ඩුවේ සම්බන්ධයක්‌ නොමැති බවත්ය.

දෙමළ අන්තවාදයට සහාය පළ කළ ඉන්දිරා ගාන්ධි සික්‌ අන්තවාදීන් අතින් මැරුම් කෑවාය. එදා සික්‌ අන්තවාදීන් විනාශ කර දමන්නට ඉන්දියන් හමුදාව අම්රිත්සාර්හි රන් දෙවොල තුළ සිදුකළ මෙහෙයුමට බ්‍රිතාන්‍ය විශේෂ බළකායේ සහාය ලැබුණ ද යන්න සෙවීමට ඩේවිඩ් කැමරන් විශේෂ පරීක්‍ෂණයක්‌ අරඹා ඇත. ඉන්දිරා ගාන්ධිවත් මාග්‍රට්‌ තැචර්වත් අද ජීවතුන් අතර නැත. මේ ඉතිහාසය යළි සිහිකළේ ඒ අතීත සිදුවීම් වර්තමානයටත් වැදගත් වන නිසාය. ඉන්දිරා ගාන්ධි ගැන මතක්‌ වන විට ඇගේ මුණුපුරා වන රාහුල් ගාන්ධි ද සිහි වේ. ඉදිරි අප්‍රේල් මැයි මාසවලදී පැවැත්වෙන ඉන්දීය මැතිවරණයේදී කොන්ග්‍රස්‌ පක්‍ෂයේ අගමැති අපේක්‍ෂකයා ලෙස රාහුල් ගාන්ධි පත් කෙරුණේ නැත. මෙය ඉන්දීය සමාජයේ බෙහෙවින් කතාබහට ලක්‌ වූ පුවතක්‌ විය.

43 හැවිරිදි රාහුල් ගාන්ධි ඉන්දීය කොන්ග්‍රස්‌ පක්‍ෂයේ උප සභාපතිවරයාය. ඔහුගේ මවත් පියාත් කොංග්‍රස්‌ පක්‍ෂයේ සභාපතිවරුන්ය. ඉන්දියාවේ වඩාත් බලවත් නේරු - ගාන්ධි පවුලේ දිදුලන තාරකාව වන්නේ රාහුල් බව රහසක්‌ නොවේ. එහෙත් නේරුගේ මී මුණුපුරා තවමත් දේශපාලන වශයෙන් ප්‍රමුඛ චරිතයක්‌ බවට පත් වී නොමැත. කොන්ග්‍රස්‌ පක්‍ෂයේ විධායක කමිටුව 2014 වසරේ අගමැති අපේක්‍ෂක නම් කිරීම සඳහා රැස්‌වූ විට රාහුල් ගාන්ධි අගමැති අපේක්‍ෂක ලෙස නම් කළ යුතු නැතැයි ප්‍රකාශ කර සිටියේ සෝනියා ගාන්ධි මැතිනියය. ඇය, සිය පුතා තවමත් මේ තනතුරු දැරීමට මෝරා නැතැයි සිතන්නේද? නැත්නම් ඔහුගේ දේශපාලන ජීවිතය තරුණ කාලයේදීම විනාශ වීමට ඉඩ නොදිය යුතු යෑයි සිතන්නීද? සෝනියා ගාන්ධිගේ තීරණය රාහුල්ට දීර්ඝ කාලීනව වාසිදායකය. නමුත් කොන්ග්‍රස්‌ පක්‍ෂයට කෙටි කාලීනව අවාසිදායකය. ඉදිරි මැතිවරණයේදී කොන්ග්‍රස්‌ පාක්‍ෂිකයන්ට නම් කළ අගමැති අපේක්‍ෂකයකු නොමැතිව දේශපාලන උද්දීපනයක්‌ ලැබෙන්නේ නැත. දේශපාලන වශයෙන් මෙවර මැතිවරණයේදී තමන්ට වාසිදායක තත්ත්වයක්‌ ඇති නොවන බව ඉවෙන් අවබෝධ කරගෙන සිටින සෝනියා තම පුතුගේ දේශපාලන අනාගතය අඳුරට වැටීමට ඉඩ නොදී බේරාගෙන ඇති බව සටහන් කළ යුතුය. එසේ නම් සෝනියා ගාන්ධි හොඳ මවකි. ඇය අගය කළ යුතුය.

භාරතීය ජනතා පක්‍ෂය නම් කොන්ග්‍රසය තම අගමැති අපේක්‍ෂකයා නම් නොකිරීම ගැන බලවත් සතුටට පත්විය. එය ඔවුන්ගේ ආධාරකරුවන් තවත් ප්‍රබෝධ කිරීමට හේතුවක්‌ විය. භාරතීය ජනතා පක්‍ෂයේ අගමැති අපේක්‍ෂක ගුජරාටි මහ ඇමැති නරේන්ද්‍ර මෝඩි පවසන්නේ ඉදිරියේදී අත්විඳීමට නියමිත මැතිවරණ පරාජය ගැන දැනගෙන සෝනියා තම පුතු බිල්ලට නොදීමට තීරණය කර ඇති බවය. රදල පවුල්වල අය තමාට බිය වී ඇති බවත් කුඩා කල තේ වෙළෙන්දකු වූ තමා, රටේ ඉහළම ධුරයට තරග කරන බවත් ඔහු ඉකුත් ඉරිදා දිල්ලියේ පැවති භාරතීය ජනතා පක්‍ෂ සමුළුවේදී ප්‍රකාශ කර සිටියේය. වසර හැටක්‌ තිස්‌සේ ඉන්දීය ජනතාව පාලකයන්ට බලය පවරා ඇති බවත් ඉදිරි මහ මැතිවරණයේදී මාස හැටකට පාලකයකුට නොව සේවකයකුට බලය පවරන ලෙස තමා ඉල්ලා සිටින බව මෝඩි තම ආධාරකරුවන් අමතමින් පවසා සිටියේය.

භාරතීය ජනතා පක්‍ෂ අගමැති අපේක්‍ෂකයා රාහුල් ගාන්ධි ඉලක්‌ක කරගෙන ප්‍රහාර එල්ල කරද්දී කොන්ග්‍රස්‌ පක්‍ෂයේ අමාත්‍ය මනීෂ් තිවාරි ප්‍රකාශ කළේ නරේන්ද්‍ර මෝඩි යනු විස තේ වෙළෙන්දෙක්‌ බවය. තේ විකුණූ කොල්ලෙක්‌ කිසිවිට අගමැති විය නොහැකි බවත් බලවත් අගමැතිවරයකු බිහි කළ හැක්‌කේ කොන්ග්‍රස්‌ පක්‍ෂයෙන් පමණක්‌ බවත් තිවාරි ප්‍රකාශ කර ඇත. කනගාටුදායක කරුණ නම් රාහුල් ගාන්ධිගේ ජනප්‍රියතාවය ආම් ආද්මි පක්‍ෂයේ නායක වර්තමාන දිල්ලි මහ ඇමැති අරවින්ද් කෙජිරිවාල්ටත් වඩා පහළ බව පසුගියදා සිදුකළ සමීක්‍ෂණවලදී හෙළිව තිබීමය. එහෙත් "තේ කොල්ලා" ගේ ජනප්‍රියකම රාහුල් ගාන්ධිට වඩා ගව් ගානක්‌ ඉහළින් තිබේ. මේ අතර ස්‌විස්‌ටර්ලන්තයේ ඩාවොස්‌හි පැවැත්වෙන 44 වැනි ලෝක ආර්ථික සැසියට සහභාගි වූ ඉන්දීය මුදල් අමාත්‍ය පලනිඅප්පන් චිදම්බරම් ප්‍රකාශ කර සිටියේ ඉදිරි මැතිවරණය කොන්ග්‍රසය ජයග්‍රහණය කළහොත් අගමැති වන්නේ රාහුල් ගාන්ධි බවයි. නමුත් මෙවර මැතිවරණයේදී කිසිම පක්‍ෂයකට බහුතර බලය ලබාගැනීමට අපහසුවන බව චිදම්බරම් පවසා ඇත.

ඉන්දීය පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මණ්‌ඩලය එනම් රාජ්‍ය සභාවේ විපක්‍ෂ නායක අරුන් ජෙට්‌ලි විසින්ද රාහුල් ගාන්ධිගේ හැකියාවන් පිළිබඳ ප්‍රකාශ කර තිබිණි. ජවහර්ලාල් නේරුට, ඉන්දිරා ගාන්ධිට තිබූ ප්‍රතාපවත් බව, ඒ රාජතාන්ත්‍රික කෞශල්‍යය රාහුල් ගාන්ධි තුළ පවතින්නේද යන්න ප්‍රශ්නයක්‌ බව අරුන් ජෙට්‌ලි පවසා තිබිණි. රාහුල් ගාන්ධිගේ "ප්‍රභාව" අඩු නිසා ගාන්ධි පවුල තම දියණිය, එනම් ප්‍රියංකා වද්රා කරලියට ගෙන ආවේ මීට සති දෙකකට පමණ පෙරය. උත්තර් ප්‍රදේශ ප්‍රාන්ත මැතිවරණයේදී කොන්ග්‍රස්‌ පක්‍ෂය අකිලේෂ් යාදෙව් නම් තරුණ දේශපාලකයාටත් පැරදිණි. එනිසාම 2014 මැතිවරණයේදී ප්‍රියංකාගේ ප්‍රතිභාවෙන් රා බේරලි හා ඇමෙති ආසන ජයගැනීම සඳහා කොන්ග්‍රසය උත්සාහ කරනු ඇත. ප්‍රියංකාට කොංග්‍රස්‌ පක්‍ෂයේ කිසිදු තනතුරක්‌ නැති නමුත් ඇය ඉන්දියාවේ බලවත්ම දේශපාලන පවුලේ සාමාජිකාවක්‌ නිසා මේ නේරු මී මිණිපිරියට දේශපාලනය කිරීමට කිසිම බාධාවක්‌ නැති බව කොන්ග්‍රසයේ ලේකම් ජනර්දාන් විවේදි පවසා තිබිණි. කෙසේ නමුත් ප්‍රියංකාගේ සැමියා එනම් රොබට්‌ වද්රාට එරෙහිව නම් පසුගිය කාලයේ දූෂණ චෝදනා එල්ල විය. හර්යානා හා රාජස්‌ථාන් ප්‍රන්තවල ඔහු සිදුකළ ඉඩම් ගනුදෙනු දූෂිත යෑයි චෝදනා නැගිණි.

රාහුල්ට සහයට ප්‍රියංකා කරලියට පැමිණීම කොන්ග්‍රස්‌ පක්‍ෂය ආලෝකයක්‌ වෙයිද? නැත්නම් කලකිරුණු කොන්ග්‍රස්‌ පාක්‍ෂිකයන් විශේෂයෙන්ම නගරබද ඡන්ද දායකයන් අරවින්ද් කෙජිරිවාල්ගේ ආම් ආද්මි පක්‍ෂයට ඇදී යයිද? ඉදිරි ඉන්දීය මැතිවරණය රාහුල් ගාන්ධිගේ දේශපාලන අනාගතය වඩා තීරණාත්මක වන බව පැහැදිළිය. ඉන්දීය මැතිවරණ උණුසුම මෙරට දේශපාලනයද කළඹනු ඇත. ඒ ගැන විවාදයක්‌ නැත. එනිසා අපි ඒ දෙස වඩාත් උනන්දුවෙන් බලා සිටිමු.

චතුර පමුණුව
http://www.divaina.com/2014/01/26/forign.html

0 comments: