Pages

Tuesday, January 21, 2014

'පුංචි පවුල රත්තරන්' කියා පවුල් සැලසුම් කළ නිසා ජාතියත්, ශාසනයත් වැනසුනා - ජනපති

එදා පුංචි පවුල රත්තරන් කියා හඳුන්වාදුන් වැකියෙන් ඇති කළ පවුල් සැලසුම හේතුවෙන් ජාතියත්, ශාසනයත් විනාශ වූ බව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය පිහිටුවා වසර එකසිය පනහක්‌ පිරීම නිමිත්තෙන් අනුරාධපුර ස්‌වර්ණමාලි සෑරදුන් අබියසදී පෙරේදා (18 දා) පැවති ද්‍රවිඩ දරුවකු ඇතුළු කුල දරුවන් එකසිය පනස්‌ දෙනකු පැවිදි කිරීමේ පුණ්‍ය මහෝත්සවයට සහභාගි වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

එසේම 1960 - 70 දශකවලදී ද්‍රවිඩ දරුවන් සසුන්ගත කිරීමට හැකියාවක්‌ ලැබුණා නම් පසු යුගයකදී ඇතිවූ මහා විනාශයෙන් රට බේරා ගැනීමට හැකියාව තිබූ බවත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කළේය. 

මෙම උත්සවයේදී ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ උතුරු මැද පළාත් ප්‍රධාන සංඝනායක ධුරයට පත් අනුරාධපුර අභයගිරි පූර්වාරාම විහාරාධිපති ත්‍රිපිටකවේදී පොතානේ ධම්මානන්ද හිමියන් වෙත සන්නස්‌ පත්‍රය සහිත අක්‌තපත්‍රය පිරිනැමීම, විශේෂ ව්‍යාපෘති අමාත්‍ය එස්‌. එම්. චන්ද්‍රසේන මහතාට ගොවිජන රංජන දේශමාමක ශාසන කීර්ති ගෞරව නාමය සහ සිවිල් ආරක්‍ෂක බළකායේ අධ්‍යක්‍ෂ, රියර් අද්මිරාල් ආනන්ද පීරිස්‌ මහතාට දේශකීර්ති ගෞරව නාමය, පිළිගැන්වීමද සිදුකෙරිණි.

මෙහිදී වැඩිදුරටත් කතා කළ ජනාධිපතිවරයා මෙසේද කීය.

1863 ජුනි මස 13 වැනිදා ගාල්ලේ නදී උපෝසථාගාරයේදී උපසම්පදා සතිය කර්මය සිදුකිරීමෙන් පසු රාමඤ්ඤ මහා නිකාය බිහිවුණා. ඒ වගේම මෙම නිකාය ගොඩනැඟීමට පූජ්‍ය අඹගහවත්තේ ඉන්දසභවර ඥනසාම හාමුදුරුවොත්, අපේ ගමේ පුවක්‌දණ්‌ඩාවේ පඤ්ඤානන්ද හාමුදුරුවොත් කළ සේවය අමතක කිරීමට බැහැ. ගතවූ වසර එකසිය පනහක කාලය අපේ රටේ බුද්ධ ශාසනයට රාමඤ්ඤ මහා නිකායේ මහා නායක හාමුදුරුවන් ප්‍රධාන සංඝ සභාවේ හාමුදුරුවන් විශාල මෙහෙයක්‌ සිදුකළා.

අද මේ පැවිදි දිවියට පත්වන කුඩා කුලදරුවන් දුටුවම අපට මහත් සන්තෝෂයක්‌ දැනෙනවා. අද හාමුදුරුවො කිව්වා දෙමවුපියන් තමන්ගෙ දරුවන් ශාසනයට භාර කරනව අඩුයි. හාමුදුරුවරුන් සිවුරු හැර යනව වැඩියි. ඒ නිසා ශාසනය පිරිහිලා කියලා. ගතවූ වසර දෙදහස්‌ හයසියය තුළ බුද්ධ ශාසනය මෙතරම් රඳා පැවතුනේ ගරුතර මහා සංඝරත්නයේ නිකායන් නිසා මිස වෙන කිසිවක්‌ නිසා නොවෙයි.

යුද්ධයට යනවිට එදානම් එක දරුවෙක්‌ හමුදාවෙ හිටිය. ශාසනයට තව දරුවෙක්‌ හිටිය. ගොවිතැනට තවත් දරුවෙක්‌ හිටිය ගෙදරක දරුවො දහයක්‌ පමණ හිටියා. අපේ පවුලෙ නව දෙනෙක්‌ ඉන්නවා. ඉන් එක්‌කෙනකුට මහණවීමට විතරයි බැරි වුණේ. අනික්‌ හැම වැඩේටම යොදවා තිබෙනවා. එදා කුඩා පවුල රත්තරන් කියල අපට හඳුන්වා දුන් වාක්‍යයෙන් අපේ ජාතියත් ශාසනයත් විනාශ වුණා.

අද පවුලක ඉන්න දරුවො දෙන්නාගෙන් එක්‌ අයෙක්‌ ශාසනයට භාර කිරීමට ගියාම දෙමව්පියන්ට ලොකු වේදනාවකුත්, සතුටකුත් සමග එක්‌තරා චකිතයකුත් ඇති වෙනව. මේ තත්ත්වය පිළිබඳව අපිම වගකියන්න ඕනෑ කියල මා විශ්වාස කරන්නෙ.

අද ද්‍රවිඩ පවුලක දරුවකු මහණවීම ගැන මා ඉතා සන්තෝෂ වෙනවා. මේක අපට කරන්න තිබුණෙ 1970 ගණන්වල. අපි ඒ කාලෙ ද්‍රවිඩ දරුවන් මහණ කිරීමට කටයුතු කළා නම් පසු යුගයක ඇතිවූ දරුණු විනාශයෙන් අපේ රට බේරා ගැනීමට තිබුණා. 

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක සහ අනුරාධපුර ශ්‍රී සාරානන්ද පිරිවෙන් විහාරාධිපති ගිරාඹේ ආනන්ද නාහිමියෝ -

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය ආරම්භ කොට වසර එකසිය පනහක්‌ පිරීම නිමිත්තෙන් වැඩසටහන් ගණනාවක්‌ ක්‍රියාත්මක කරනවා. එහි එක වැඩසටහනක්‌ තමයි ද්‍රවිඩ දරුවකු ඇතුළු කුල දරුවන් එකසිය පනස්‌ දෙනෙක්‌ පැවිදි කිරීම. මේ රට දෙස බලන විට ශාසනික විපර්යාසයක්‌ ඇතිවේගෙන යනවා. දිනෙන් දින මහා සංඝරත්නය අඩුවෙනවා. ඒ නිසා අපි රාමඤ්ඤ නිකාය හැටියට මේ ශාසනයේ ඇතිවන අඩුව පුරවන්න නම් මහා නායක හාමුදුරුවො ප්‍රධාන මහා සංඝරත්නය සාකච්ඡා කළා දරුවන් සසුන්ගත කරන්න ඕන කියල. 

අපි ඉරිදියේදී උත්සාහ කරනවා ද්‍රවිඩ කුලදරුවන් විසි පස්‌ දෙනෙක්‌ මහණ කර වෙනමම පිරිවෙනක්‌ ආරම්භ කිරීමට. මේ රටේ උතුර නැගෙනහිර පළාත්වල ජීවත්වන ජනතාව අප සමග ආගමික සහජීවනයෙන් කටයුතු කළා නම් ඇති වුණ විනාශය වළක්‌වා ගැනීමට තිබුණා. 

මෙම උත්සවයට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අතිපූජ්‍ය නාපානේ පේමසිරි නාහිමි, එම නිකායේ ලේඛකාධිකාරි මහාචාර්ය වරාගොඩ පේමරතන රුවන්වැලි සෑයාධිපති පල්ලේගම පේමරතන, බුද්ධශ්‍රාවක භික්‍ෂු විශ්වවිද්‍යාලයේ හිටපු කථිකාචාර්ය මහාචාර්ය අත්තංගනේ රතනපාල යන හිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය, උතුරු මැද පළාත් ආණ්‌ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ, විශේෂ ව්‍යාපෘති අමාත්‍ය එස්‌. එම්. චන්ද්‍රසේන, උතුරු මැද පළාතේ ප්‍රධාන ඇමැති එස්‌. එම්. රංජිත් සමරකෝන්, ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍ය තිස්‌ස කරල්ලියද්ද නියෝජ්‍ය අමාත්‍යවරුන් වන ඩබ්ලිව්. බී. ඒකනායක, වීරකුමාර දිසානායක, එක්‌සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී, නායකත්ව මණ්‌ඩල සභාපති සහ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ දායක සභාවේ සභාපති කරු ජයසූරිය, එම දායක සභාවේ ලේකම් කේසර ලාල් ගුණසේකර යන මහත්වරුන් ඇතුළු ගිහි පැවිදි විශාල පිරිසක්‌ සහභාගි වූහ.

අනුරාධපුර විශේෂ - පර්සි කුරුනේරු 
http://www.divaina.com/2014/01/20/news04.html

Pic Source

0 comments: