Pages

Friday, January 31, 2014

රස ගුණ පිරි වස

ආහාර රසකරනය ලංකාවේ ජනතාවට නුහුරු දෙයක්‌ නොවේ. තුනපහේ නොහොත් ලුණු ඇඹුල් හා පස්‌කුලු බඩු යොදා ගනිමින් කළ මේ රසකරනය නිසා ආහාරයේ සුවඳ මෙන්ම ගුණය ද ආරක්‌ෂා විය. වැඩි වර්ධනය විය. එසේම ජීර්ණයට පහසු කරවිය. රුචිකත්වය ඇති කිරීමට ද විස නැසීමට ද ප්‍රධාන වූ කහ මේ කුලු බඩු අතරින් අග්‍රස්‌ථානය ගනී. වසර දහස්‌ ගණනාවක්‌ තිස්‌සේ ආහාරයට කරන ලද මේ සාත්තුව නිසා සිංහලයන්ගේ නිරෝගීකම මැනවින් ආරක්‌ෂා වීය. මෙයට පදනම් වූයේ ආයුවේද ශස්‌ත්‍රයයි. නමුත් යටත් විජිතකරණයෙන් පසුව ලංකාවට හඳුන්වාදෙනු ලැබූ විවිධ ආහාර වර්ගයන් රසකර ගැනීමට කෘත්‍රිම ලවණයන් යෙදීම ජනප්‍රිය වූයේ අසූව දශකයෙන් පමණ පසු බව කිවයුතුය. එයට හේතුව නවීන විද්‍යාවේ ආහාර තාක්‌ෂණය දියුණු වීමයි. ආහාර නරක්‌ නොවී කල් තබා ගැනීමට ද ආහාරයේ පෝෂණ සංගුණකයන් වැඩි වර්ධනය කිරීමට ද රසය වැඩි කිරීමට ද මේ කෘත්‍රිම රසකාරක යොදන බව නවීන ආහාර තාක්‌ෂණවේදීන් පවසයි. ස්‌වභාවිකව හමුවන රසකාරක යොදනවාට වඩා කෘත්‍රිමව සකස්‌ කර ගන්නා ලද රසකාරකවලට ජනතාව පුරුදු පුහුණු කරවීමෙන් වානිජ ව්‍යාපාර දියුණු කරලීමට හැකි බව ප්‍රබල සමාගම් තේරුම් ගත්හ. ඒ අනුව ඔවුහු රසායන ද්‍රව්‍ය කර්මාන්තය ව්‍යාප්ත කරලීමට මුදල් යෙදවූහ..

වට්‌ටානා පරිප්පු හෝ කව්පී ඇතුලු අඩුවැඩිය යොදා සකස්‌ කරන වඩය දෙමළ මිනිසුන් ගේ රස කෑමකි. එහි අන්තර්ගතයට අද නොයෙකුත් දෑ එකතු කර තිබේ. ස්‌වභාවිකව ලැබෙන ලුණු වෙනුවට මොනෝ සෝඩියම් ග්ලුටමේට්‌ (ඵීඨ) නම් ආහාර රසකාරකයක්‌ මෙයට එකතු කරති. මෙය සාමාන්‍ය ව්‍යවහාරයේ දී මොනෝ සෝඩියම් ග්ලුටමේට්‌ වෙයි. ජපානයේ දී 1909 දී කිකුනෙ අකිඩා විසින් නිර්මාණය කරන ලද මේ ලවණය පසුව 1917 දී සුසුකි සමාගමේ මහා පරිමාණ නිෂ්පාදනයක්‌ වශයෙන් එළිදක්‌වන ලදී. දැන් රටවල් විශාල ගණනක ආහාර රසකාරකයක්‌ ලෙසට මෙය භාවිතා කරමින් ඇත. ලංකාවේ ආහාර පාන වෙළෙඳසල්වලට මේ ලවණය දැන් නැතිවම බැරිව තිබේ. ව්‍යාංජන රසකාරකයක්‌ ලෙසට පැටිස්‌ හෝ රෝල්ස්‌ රසකාරකයක්‌ ලෙසට බිස්‌කට්‌ රසකාරකයක්‌ ලෙසට මෙය විශාල පරිමාණයෙන් භාවිතා කරති. හන්දියේ කඩමණ්‌ඩියේ තිබෙන වඩේ කරත්තයට මෙම ලවණය නැතිවම බැරිය. ඊට අමතරව පොල්කුඩු සහ පාන්පිටි ද වඩයට එකතුකරන්නේ රසය වැඩි කරලීමටයි. ඒ සමගම ලාභයට ලබා ගන්නා (ආර්.බී.ඩී.) තෙල් නොහොත් රසායන ද්‍රව්‍ය යොදා සුද්ද කරන ලද ෆාම්තෙල් මගින් මේ වඩය ගැඹුරු තෙලේ බැදෙන්නේ ය.

මොනෝ සෝඩියම් ග්ලුටමේට්‌ නිසා මොළයේ ස්‌නායු ආබාධයට පත් වන බව සොයා ගෙන ඇත. එයට හේතුව මෙම ලවණයට පදනම් වන ග්ලූටමික්‌ අම්ලය මගින් මොළයේ මතකය සම්බන්ධ ස්‌නායු දැඩි ලෙසට උත්තේජනය කරන බැවිනි. මේ නිසා කාලයක්‌ මේ ලවණයේ ආභාෂය ලබාගන්නා පාකින්සන් වැනි රෝගවලට නිතැතින් භාජනය වේ. ඊට අමතරව ස්‌නායු පද්ධතියේ අසමබරතාවය නිසා පිළිකා ශෛල වධනය වීමද මේ මගින් සිදු වේ. සාමාන්‍යයෙන් ලාංකික ජනතාවට ග්ලූටමික්‌ අම්ලය ලැබෙන ප්‍රධාන ආහාරය වශයෙන් ගැනෙන්නේ බත්ය. වෙසෙසින්ම සිංහල සහල්වල මෙම ග්ලූටමික්‌ අම්ලය අධික වශයෙන් අඩංගු වේ යෑයි කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ කරන ලද පර්යේෂණයකින් සොයාගෙන ඇත. අපේ අම්මලා කුඩා දරුවන්ට සහල් නිවුඩ්ඩෙන් සෑදූ අග්ගලා කන්නට දුන්නේ මේ නිසාය. සහල් පිටිත් කොහොල්ලෑ හෝ කොස්‌ ඇට පිටිත් එකතු කළ කල්හි වඩේ ලෑල්ලේ තිබෙන රසයට වඩා වැඩි රසයක්‌ ලබා ගත හැකි වඩේ ගෙදරදීම සාදා ගතහැකි යෑයි බොහෝ අය නොදනිති. ගස්‌යට කොස්‌ඇට වැටී නරක්‌ වී යද්දී මොනෝ සෝඩියම් ග්ලුටමේට්‌ වලට වහල් වන රටක සෞඛ්‍ය පිළිබඳව ක්‍රියාමාර්ග ගැනීම ඉතාමත් අසීරුය. වර්තමානයේ බහුල ලෙසට පැතිර තිබෙන ඩෙංගු වෛරසවලට ශරීරය ඔරොත්තු නොදෙන්නේ මේ රසායනික ලවණයන් නිසා බව ද පෙන්වා දිය යුතුය. වඩේ ලෑල්ලේ වෙළෙඳාමෙන් පවුලක්‌ නඩත්තු කරන දුප්පත්කම නැතිකරගන්නා පිරිස අපමණ බව අපි දනිමු. එහෙත් එය කළ යුත්තේ අප කාගේ කාගේත් සෞඛ්‍ය රැකෙන පරිද්දෙනි.

දුප්පතාගේ වෙසෙසින්ම නාගරික දුප්පතාගේ බඩගිනි නිවන පාන්ගෙඩිය හා වෙනත් බේකරි නිෂ්පාදනයන් නිසා ලංකාවේ ගොවියාට සෙතක්‌ නැත. එහෙත් සහල් පරිභෝජනය වැඩි කරලිය හැක්‌කේ එකවර පාන්බනිස්‌ පරිභෝජනය ඉවත් කිරීමෙන් නොවේ. සහල් ආශ්‍රිත නිෂ්පාදන බේකරි ක්‍රමයට ක්‍රමානුකූලව පරිවර්ථනය කරලීමෙන් පමණක්‌ මෙය කළ හැකිය. මීට වසර තිහකට පමණ එපිටදී බේකරි හිමියන් යොදා ගත් අමුද්‍රව්‍ය ඉතාමත් ස්‌වභාවික දෑ විය. මාගරින් ඊශ්ට්‌ ආදිය පමණක්‌ නොව තිරිඟු පිටි ද යම් තරමකින් ස්‌වභාවික විය. බිස්‌කට්‌වලට ගන්නා අමුද්‍රව්‍යයන්හි තත්ත්වය ද එලෙසම විය. එයට එක්‌ හේතුවක්‌ වූයේ නිෂ්පාදන සමාගම් අතර වැඩි තරගයක්‌ නොවීමයි. එදා දේශීය කර්මාන්ත වශයෙන් ඇරඹි මැලිබන් හා විලියම්ස්‌ වැනි ආයතන මගින් ජනතාවට සරිලන යහපත් ආහාර සැපයීමට උත්සුක වූ හැටි අපට මතක්‌ වෙයි. නමුත් වර්තමානය එලෙස නොවේ. තරඟකාරිත්වය නිසා එකිනෙකා පරයා තම නිෂ්පාදනවලට ඉහළ ඉල්ලුමක්‌ ලබා ගැනීමට නොයෙකුත් රසායන වර්ග භාවිතා කරන්නට පටන් ගෙන ඇත. 

එහි එක්‌ ද්‍රව්‍යයක්‌ වන්නේ බිස්‌කට්‌ ඇමෝනියා නොහොත් ඇමෝනියම් හයිඩ්රජන් කාබනේට්‌ නම් රසායන ද්‍රව්‍යයි. මෙය බිස්‌කට්‌වලට පෙනුමක්‌ ගෙන දෙන්නකි. කරකරස්‌ ගා හැපෙන ගතිය ගෙන දෙන්නකි. මෙහි රසදිය, ආසනික්‌, ඊයම් වැනි ලෝහමය ද්‍රව්‍යයන්ද සුලු ප්‍රමාණයෙන් අන්තර්ගත වන අතර බේකරි හිමියන් මෙන්ම මහා පරිමාණ නිෂ්පාදන සමාගම් ද මේවා යොදා ගැනීමට වැඩි කැමැත්තක්‌ දක්‌වන්නේ ඒවායේ ක්‍රියාකාරිත්වය නිසාවෙනි. එයට අමතරව රස ගැන්වීම පිණිස භාවිතා කරන රස කාරක විශාල ප්‍රමාණයකි. මේවාද රසායනික ලවණයන්ය. ඇමෝනියම් ලවණ මෙන්ම මෙවැනි රසකාරකයන්ද වැඩිතරම ශරීරයට එක්‌කාසු වීමෙන් ආමාශයේ ක්‍රියාකාරිත්වය දුර්වල වන අතර ආහාර නොදිරවීමෙන් පටන් ගෙන අම්ල පිත්ත රෝගය හටගැනීම දක්‌වා එය වර්ධනයය වේ. එයට අමතරව ශරීරයේ ප්‍රතිශක්‌තිය හීනවීම මගින් බැහැරින් එන රෝගාබාධවලට නිරන්තරයෙන් ශරීරය ගොදුරු වනවා නියතය. මාගරින් වගද එසේමය. දැනට පාන් නිපදවීමට ගැනෙන මෙවැනි වර්ග සියල්ල ඌරු තෙල් සහ වෙනත් ඉවත්කරන තෙල් වර්ගවලින් සාදා ගන්නා අඩු මිල නිෂ්පාදනයන්ය. පාන්ගෙඩියේ පිපීම මෙන්ම අදෙන ගතියද එයින් ශක්‌තිමත් වෙයි. බටර් හෝ සැබෑ මාගරින් යොදා සාදන බේකරි නිෂ්පාදනයන්හි මිළ අධික බව කිව යුතු නොවේ.

රසකාරක යෙදීමේ ප්‍රවණතාවය පසුගිය දශක දෙක තුළ දී විශාල වශයෙන් වැඩි වී ඇත. මෙයට තවත් හේතුවක්‌වී ඇත්තේ ලංකාවේ රාජ්‍ය ආයතන වන කාර්මික සංවර්ධන මණ්‌ඩලය හා කාර්මික තාක්‌ෂණ ආයතනයන්හි ආහාර විද්‍යාඥයන් පවා මේවා අනුමත කිරීමයි. කෙසේ වෙතත් වර්තමානය වන විට කුඩා දරුවන්ගෙන් විශාල ප්‍රමාණයකට දියවැඩියා රෝගය ඇත. ක්‌ෂණික නූඩ්ල්ස්‌ වැනි ආහාර නිරන්තර පරිභෝජනය නිසා මේ අයගේ තරබාරුව වැඩිවී තිබේ. ඔවුන් ගෙන් වැඩි පිරිසක්‌ ගණිතය අසමත් වන්නේ මේ රසායන උත්තේජනයෙන් මොළයේ සියුම් ස්‌නායුන්ට සිදුවන ආබාධ හේතුවෙනි. මේ නිසා තර්කානුකූල බුද්ධිය දරුවන්ට අහිමි වී ගොසින්ය. රජරට වකුගඩු රෝගය පිළිබඳව සමාජයේ අවධානය යොමු වීමෙන් දැන් සෞඛ්‍ය අංශවලද ඇහැ ඇරී තිබේ. ඒ අනුව පසුගියදා ඇලොයින්, බර්බරීන් බීටා, ඇසරෝන්, සීනමයිල් ඇන්ත්‍රක්‌සිලේට්‌, කේඩ් ඔයිල්, කැලමස්‌ ඔයිල්, කොකේන්, කුමරීන්, ඩයිඑතිලීන් ග්ලයිකෝල්, ඩයිඑතිලීන් ග්ලයිකෝල් මොනෝඊතයිල් ඊතර්, එස්‌ට්‍රගෝල්, ඉයුජිනයිල් මීතයිල් ඊතර්, හයිපරිසීන්, නයිට්‌රොබෙන්සීන්, පයිරොලිනස්‌ ඇසිඩ්, සැප්රෝල්, සැන්ටොනික්‌, සසාප්‍රස්‌ ඔයිල්, තුජෝන්, අයිසොතුජොන්, ඇල්පා ඒ බීටා තුජෝන්, ටොන්කා බීන්, ඩිප්ට්‍රයිල්ඇඩොරට්‌ ආදී රසකාරක විස්‌සක්‌ තහනම් කර තිබේ. නමුත් මොනෝසෝඩියම් ග්ලුටොමේට්‌, ඩයිසෝඩියම් 5 ග්වානිලේට්‌, ඩයිසෝඩියම් 5 ඉනොසිනේට්‌, යන ද්‍රව්‍යව්‍යයන් තුන තහනම් කර නොමැත. මේ තීරණයන් ගන්නා අතරම යම් රසකාරකයක්‌ ආනයනය කරන්නේ නම් ඒවායේ නිෂ්පාදන රටේ ආහාර සුරක්‌ෂිතතා සහතිකයක්‌ අවශ්‍ය බවද දන්වා ඇත. මේ නම් හොරාගේ අම්මාගෙන් පේන ඇහීමකි. මේ කෘත්‍රිම රසායනයන් කිසිසේත්ම මනුෂ්‍යයන්ට යෝග්‍ය නොවන බවට දැනටමත් සමාජය තුළින්ම තහවුරු වී ඇත. වෙනත් සහතික අවශ්‍ය නැත. තහනම් කර ඇති ඩයිඑතිලීන් ග්ලයිකෝල් ආහාර බැඳුම් ද්‍රව්‍යයක්‌ ලෙසට යොදා ගන්නා අතර ඒවා තීන්ත නිෂ්පාදනයටද කෝක්‌ වර්ග නිෂ්පාදනයට ද යොදා ගැනේ. මේවා නිසා ආහාර ජීර්ණ පද්ධතියේ ආසාදන හටගත හැකිය. තහනම් කර නොමැති මොනෝ සෝඩියම් ග්ලුටමේට්‌ නිසා ඇති වන සෞඛ්‍ය අනාරක්‌ෂිත බව දැනටමත් ඔප්පු වී තිබේ. ඒ නිසා මේ තහනම් කිරීම පිටිපස ඇත්තේ මේවා ගෙන්වන සමාගම් හා සමග ඇති කර ගත් එකඟතාවයන් බව නම් සහතිකය. වසකෑම පිළිබඳව සමාජය තුළ ඇතිවී ඇති ආතතිය සමහන් වූ පසු මේවා නැවතත් ගෙන්වීමට අවසර ලැබෙන බව නම් නිසැකය.

මතුගම සෙනෙවිරුවන්
http://www.divaina.com/2014/01/31/feature01.html

Pic Source

0 comments: