Pages

Tuesday, January 21, 2014

දම්පල් අනුස්‌මරණ වසර ලෙස 2014 නම් කරන්න - මහ නාහිමිවරුන්ගෙන් ජනපතිට ඉල්ලීමක්‌

2014 වසර ශ්‍රීමත් අනගාරික ධර්මපාල අනුස්‌මරණ වර්ෂය ලෙස නම් කරන ලෙස ශ්‍යාමෝපාලි මහ නිකායේ මල්වතු පාර්ශ්වයේ මහා නායක තිබ්බටුවාවේ සුමංගල, අස්‌ගිරි පාර්ශ්වයේ මහානායක උඩුගම ශ්‍රී බුද්ධරක්‌ත, ශ්‍රී ලංකා අමරපුර නිකායේ උත්තරීතර මහා නායක දවුල්දෙන ඤාණිස්සර, ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහානායක නාපාන පේමසිරි යන මහ නාහිමිවරුන් සිවු නමගේ අත්සන් සහිතව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙත ලිපියක්‌ යවා ඇත.

එම ලිපියේ මෙසේ සඳහන් වේ.

මෑත ඉතිහාසයෙහි බෞද්ධ සංස්‌කෘතික පුණර්ජීවනයක්‌ ඇති කිරීම සඳහාත්, ජාතික වශයෙනුත්, අන්තර් ජාතික වශයෙනුත්, බුද්ධශාසනය උද්දීප්තියට පත් කිරීම සඳහාත්, බෞද්ධ සිද්ධස්‌ථාන ආරක්‍ෂා කිරීම සඳහාත් අන් කිසි කෙනකුන් නොකළ අයුරින් ජීවිත පරිත්‍යාගයෙන් හා අප්‍රතිහත ධෛර්යයෙන් විශිෂ්ට ජාතික මෙහෙවරක්‌ සිදු කළ ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ 150 වන ජන්ම සංවත්සරය මෙම 2014 වසරේ සැප්තැම්බර් 17 දිනට යෙදෙයි.

මෙම අගනා අවස්‌ථාව විවිධ අංශවලින් පිරිහෙමින් පවතින ශ්‍රී ලාංකේය සමාජය තුළ ආර්ථික අධ්‍යාපනික සදාචාරත්මක සහ බෞද්ධ සංස්‌කෘතික අභිවර්ධනයක්‌ ඇති කොට සියලුම ජනතාවට සහෝදරත්වයෙන් හා සමගියෙන් ජීවත් විය හැකි ආගමික හා සමාජ ප්‍රතිසංවර්ධනයක්‌ උදෙසා උපයෝගී කර ගත හැකි බව අප ගේ විශ්වාසයයි. ඒ සඳහා මහා සංඝරත්නයේත්, රජයේත්, සියලු මහ ජනතාවගේත් සහභාගීත්වය ඇති වන අයුරින් ඵලදායී වැඩපිළිවෙළක්‌ ආරම්භ කිරීම ඉතා සුදුසුවේ.

එම වැඩපිළිවෙළේ ආරම්භක පියවර වශයෙන් එළැඹෙන පෙබරවාරි 4 දාට යෙදෙන නිදහස්‌ දින සමරුවෙහි දී 2014 වසර "ශ්‍රීමත් අනගාරික ධර්මපාල අනුස්‌මරණ වර්ෂය" ලෙස නම් කරන ලෙස ඉතා කරුණාවෙන් දන්වමු.

ඒ සමග පහත සඳහන් කරුණු පිළිබඳව ශ්‍රීමත් ජනාධිපතිතුමා ගේත් රජයේත් අවධානය යොමු කරවනු කැමැත්තෙමු.


  1. සැප්තැම්බර් 17 වැනි දින මෙම වසර සඳහා රජයේ නිවාඩු දිනයක්‌ ලෙස ප්‍රකාශයට පත් කිරීම.
  2. සැප්තැම්බර් 17 වැනි දින නිදහස්‌ චතුරශ්‍රයේ ශ්‍රීමත් ජනාධිපතිතුමාගේ සහභාගීත්වයෙන් රාජ්‍ය උත්සවයක්‌ පැවැත්වීම.
  3. නිදහස්‌ මන්දිරය ආශ්‍රිත චතුරශ්‍රය, "ශ්‍රීමත් අනගාරික ධර්මපාල චතුරශ්‍රය" ලෙස නම් කිරීම සහ එම භූමියේ එතුමාගේ පිළිරුවක්‌ ස්‌ථාපිත කිරීම.
  4. ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා නමින් සංසරණය වන සමරු මුද්දරයක්‌ නිකුත් කිරීම.


http://www.divaina.com/2014/01/21/news09.html

Pic Source

0 comments: