Pages

Wednesday, October 8, 2014

බෙල්ලන ඥානවිමල මාහිමිපාණන් විසිවන සියවසේ බිහි වූ පැවිදි මහ පඬිවරුන්ගේ කක්‍ෂයෙහි අවසාන පුරුකකි - බෙල්ලන්විල විමලරතන හිමි

කෝට්‌ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවෙහි මහානායක ධුරන්දර අග්ගමහා පණ්‌ඩිත රාජකීය පණ්‌ඩිත ශාස්‌ත්‍රපති අතිපූජ්‍ය බෙල්ලන ඥානවිමල මාහිමිපාණන් වහන්සේ අනූ හතර වර්ෂයක්‌ ආයු වළඳා අපවත් වී වදාළහ. උන්වහන්සේ මහා පාණ්‌ඩිත්‍යයකින් හෙබි අපේ පැරණි සඟ පරපුරේ අවසාන පරපුරේ අවසාන පුරුකක්‌ ලෙස හැඳින්විය හැකිය.

ඉගෙනීම සහ ඉගැන්වීම ජීවිතයේ රසවත්ම දෙය වශයෙන් සැලකූ බෙල්ලන ඥානවිමල මහනායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ එමගින් භාෂාන්තර හා සමයාන්තර ඤාණයෙන් පරිපූර්ණ මහා පඬිවරයෙක්‌ මෙන්ම දහස්‌ ගණන් ශිෂ්‍ය ගණයාගේ ධර්ම ශාස්‌ත්‍රාභිලාෂය සංසිඳවීමට ප්‍රතිෂ්ඨාවක්‌ වූ සම්මානනීය ආචාර්යයන් වහන්සේ නමක්‌ වශයෙන් ද ස්‌වකීය පැවිදි ජීවිතය ශක්‌තිමත් පදනමක පිහිටුවීමට සමත් වූහ.

ආත්ම ප්‍රතිරූපතාවයෙන් යුක්‌තවම පර ජනාර්ථ පෝෂණයෙහි නිරත වන්නවුන්ගේ අකිලිෂ්ට පාණ්‌ඩිත්‍යය ලෝක පූජිත තත්ත්වයට පාත්‍ර වන සුන්දර විලාශය පෙන්වීමේ කදිම දෘෂ්ටාන්තයක්‌ හැටියට ශ්‍රී ඥානවිමල චරිතාපදානය මා දකින්නේ එහි ගැටී බිඳී කාවැදි සංගතව පවත්නා ගුණාංගයන් විසින්ම උන්වහන්සේගේ පූජනීය ප්‍රතිරූපතාව සාධනය කොට ඇති බැවිනි.

සංසිඳීමක්‌ නැති ධර්ම ශාස්‌ත්‍ර පිපාසයක්‌ ඇති උන්වහන්සේ උගත් දේ කෙතෙක්‌ වුවත් නිරන්තර ඉගෙනීමෙහි යෙදුණු යතිවරයන් වහන්සේ නමකි. බෙල්ලන ගමෙහි ඉපිද බෙල්ලන ප්‍රාථමික විද්‍යාලයෙන් අකුරු කරවීම අරඹා බෙල්ලන ධර්මපාල මහ පිරිවෙණින් ධර්ම ශාස්‌ත්‍ර අධ්‍යාපනය නිමකළේ රාජකීය පණ්‌ඩිත උපාධිය ලබාගැනීමෙන් අනතුරුවය. සාම්ප්‍රදායික පිරිවෙන් අධ්‍යාපනයේ පුළුල් ගැඹුරු හරය ප්‍රකට කර පිරිපුන් ධර්ම ශාස්‌ත්‍රීය ඤාණයෙන් හා පාණ්‌ඩිත්‍යයෙන් පරිපූර්ණව සිටි උන්වහන්සේ බොහෝ ප්‍රාචීන පඬිවරුන් ඉක්‌මවා ගිය භාෂාන්තර ඤාණයෙන් යුක්‌තවීම විශේෂත්වයකි. උන්වහන්සේ පාලි, සංස්‌කෘත, සිංහල, ප්‍රාකෘත ආදී භාෂා මෙන්ම හින්දි, දෙමළ, ඉංග්‍රීසි ආදි භාෂා ගණනාවක්‌ හොඳින් දැන සිටියහ. ඒවා දන්නා බව අපට කියාපෑවේ ලිවීම, කථාකිරීම, දේශන පැවැත්වීම වැනි මාධ්‍යයන් මගිනි. උන්වහන්සේ ලියන ලද පොත පත, ශාස්‌ත්‍රීය ලේඛන රාශිය උන්වහන්සේගේ භාෂාන්තර ඤාණයට සාධක වෙයි.

ජ්‍යෙතිර්විද්‍යාව පිළිබඳ ගැඹුරු පර්යේෂණාත්මක අවබෝධයක්‌ ඇති උන්වහන්සේ එහි විද්‍යාත්මක අංශයෙන් මිනිස්‌ ජීවිත සඳහා ලබාගත හැකි සහාය බොහෝ බව පෙන්වා දෙන අතර සිය පාණ්‌ඩිත්‍ය අවියක්‌ කරගෙන එය බැහැර කිරීමට යුහුසුළු නොවීය. මිනිස්‌ ජීවිතයෙහි මුහුණපෑමට සිදුවන නා නා දුෂ්කරතා මඟහරවා ගැනීමට සමාජගත පැරණි විද්‍යා ශාස්‌ත්‍රවල වටිනාකම උන්වහන්සේ හේතු සාධක සහිතව පෙන්වා දුන්නේ ලාභාපේක්‌ෂාවනේ නොව ඒවා අභාවයට යැමට වඩා නිරවද්‍ය භාවිතයන් ලාභයක්‌ම වන හෙයිනි.

මේ බහුශ්‍රැත පඬිවරයන් වහන්සේ ස්‌වකීය ධර්ම ශාස්‌ත්‍ර ඤාණය ලෝකෝපකාරය සඳහා කැපකිරීම ප්‍රථම වරට අරඹන ලද්දේ මහාබෝධි සමාගමට අනුයුක්‌තව ධර්ම දූත සේවාව සඳහා ඉන්දියාව බලා පිටත්ව යැමෙනි. එහෙත් වසර දහයකින් පමණ උන්වහන්සේ පෙරළා දිවයිනට පැමිණියේ ධර්මපාල මහ පිරිවෙනේ පරිවේනාධිපතීන් වහන්සේ ලෙස අධ්‍යාපන පරිපාලන කටයුතුවල නිරත වීමට සිදු වූ බැවිනි.

අධ්‍යාපන ක්‍ෂේත්‍රයෙහිලා ආදර්ශවත් ප්‍රතිභාපූර්ණ ආචාර්යවරයකු වූයෙන් පිරිවෙනේ ඉගැන්වීමට අමතරව විෙද්‍යාදය විශ්වවිද්‍යාලයෙහි බාහිර කථිකාචාර්යවරයෙක්‌ වශයෙන්ද ක්‍රියා කළහ. 1976 වර්ෂයෙහි මාලිගාකන්ද විෙද්‍යාද්‍ය පිරිවෙනෙහි ආචාර්ය පදවියක්‌ ලැබූ උන්වහන්සේ පසුව එහි උප ප්‍රධානාචාර්ය පදවිය ද ලබා දිගු කලක්‌ සේවය කළහ. සුපේශල ශික්‌ෂාකාමිත්වයත්, ධර්ම විනය ගරුත්වයත් යනාදී ගුණාංගයන්ගෙන් පිරිපුන්ව වැඩසිටි මහනාහිමියන් වහන්සේ, භික්‌ෂුවගේ ආකල්ප, භික්‌ෂූන්ගේ කාර්යභාරය මනාව හඳුනාගෙන සාම්ප්‍රදායික වගකීම් බරින් තොරව භික්‌ෂු සමාජයේ පෝෂණය, චිරපැවැත්ම සහ ආරක්‌ෂාව පතා හැමදාමත් ක්‍රියාකාරී වූහ. එහෙයින්ම උන්වහන්සේ 1969 දී කෝට්‌ටේ කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ බෙන්තර විහාර පාර්ශ්වයේ කාරක සභික ධුරයකට පත් කළහ. පසුව එම පාර්ශ්වයේ ප්‍රධාන සංඝනායක පදවියෙන් ද සම්මානිත වූහ. සංඝ සභාවේ අනුනායක ධුරයට 1999 වර්ෂයේදී පත්වූ උන්වහන්සේ 2000 වසරේදී සංඝ සභාවේ උතුම් මහානායක පදවියට පත්වූහ. හැම ශාසනික පදවියක්‌ම උන්වහන්සේ වෙතට පත්වූයේ උන්වහන්සේගේම වචනවලින්ම සඳහන් කරතොත් බලාපොරොත්තුවක්‌, ආයාචනයක්‌, තරගයක්‌. හඹායැමක්‌ ඇතිව නොව නිරායාසයෙනි. ඒ මහණ මහලු පැවිද්දේ පටන් ගිහි පැවිදි සියල්ලන්ගේම චිත්තාරාධනයට සමත්වූ නිසාය.

උන්වහන්සේගේ වියත් බව, පාණ්‌ඩිත්‍ය සහ පරාර්ථය අප ලියන කියන දෙයින් හඳුනාගන්නවාට වඩා උන්වහන්සේ පශ්චිම ජනතාව වෙත ලියා තබා ඇති ධර්ම ශාස්‌ත්‍රිය ග්‍රන්ථාන්තරයෙන් හඳුනාගත හැකි වෙතැයි සිතමි. උන්වහන්සේගේ කෘති අතුරෙන් "පෙනෙන ලොව තුළ නොපෙනෙ ලොවක්‌" නම් කෘතිය අඳුරේ අතපතගාමීන් ජීවත්වන ලෝකයාට ජීවිතය විනිවිද දකින්නට සහාය වන ප්‍රදීපාලෝකයක්‌ සේ සහාය වෙයි. "මනස සරු කරන දැහැමි සිතුවිලි" ග්‍රන්ථය ද හිතුවක්‌කාර කමින් දිවිගෙවීමේ ආදීනව වටහාගෙන චිත්ත දමනයෙන් කෙතරම් මහත් අනුසස්‌ ලද හැකිද යන්න පෙන්වා දෙයි. භාෂාන්තර ඤාණයෙන් මතු නොව විෂයාන්තර ඤාණයෙන් ද පිරිපුන් අද්විතීය පඬිරුවනක්‌ වූ බෙල්ලන මහනාහිමිපාණෝ විසිවන සියවසේ බිහි වූ පැවිදි මහ පඬිවරුන්ගේ කක්‌ෂයෙහි අවසන් පුරුකක්‌ වූ මහ තෙරනමක්‌ වූහ.

ජීවිතයේ අවසන් කාල පරිච්ඡේදයේ කොල්ලුපිටිය වාළුකාරාම විහාරස්‌ථානයෙහි වැඩ වාසය කරමින් ධර්ම ශාස්‌ත්‍රීය සේවාවෙහි නිරතව සියලු වගකීම්වලින් මිදී සැහැල්ලු සිතින් ගතකිරීමට තරම් උන්වහන්සේ වාසනාවන්ත වූහ. මේ සඳහා සියලු පහසුකම් සැපයූ එම විහාරාධිපති මහරගම නන්ද නාහිමියන් සහ අවසන් මොහොත දක්‌වා සමීපව උපස්‌ථාන කළ කෝට්‌ටේ විසුද්ධි හිමියන්ද මෙහිදී අමතක කළ නොහැකිය. අප මහ නාහිමිපාණන් වහන්සේට නිවන්සුව අත්වේවායි ප්‍රාර්ථනා කරමි.

අපවත් වී වදාළ කෝට්‌ටේ ශ්‍රී කල්‍යාණ සාමග්‍රී සංඝ සභාවේ මහානායක අතිපූජ්‍ය බෙල්ලන ඥානවිමල මහනාහිමියන්ගේ දේහය කොල්ලුපිටිය වාලුකාරාමය මහා විහාරස්‌ථානයේ දැනට තැන්පත්කර ඇත.

නාහිමියන්ගේ ශ්‍රී දේහයට ගෞරව දැක්‌වීම සඳහා මහා සංඝරත්නය, පූජකතුමන්, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් දයා රත්නායක මහතා ඇතුළු පිරිස එක්‌වූ අයුරු.

බෙල්ලන්විල රජමහා විහාරාධිකාරී මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමි, ඡායාරූපය - ධර්මසේන වැලිපිටිය
http://www.divaina.com/2014/10/07/feature04.html

Pic Source

0 comments: