Pages

Sunday, October 12, 2014

නිදහස්‌ අධ්‍යාපනය හා බැඳුණු ශ්‍රී නාමය සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර

ශ්‍රී ලංකාව තුළ අසමසම සමාජ පරිවර්තනයකට තුඩුදුන් නිදහස්‌ අධ්‍යාපන ක්‍රමයෙහි පීතෘවරයා වූ ආචාර්ය සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහතා වූ කලී ශ්‍රේෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රිකයෙකි. ආකර්ෂණීය දේශපාලනඥයෙකි. අග්‍රගණ්‍ය ජාති හිතෛෂියෙකි. ඔහු විසි වැනි සියවස තුළ අපේ මවුබිමට ස්‌වාධීනත්වය දිනාගැනීම සඳහා ජාතික නිදහස්‌ සටන මෙහෙයවූ ජාතික වීරයන් අතර දීප්තිමත් ජන නායකයෙක්‌ ද වූවේය.

පාසලින් සමුගැනීමෙන් පසු සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහතා ගුරුවරයකු වශයෙන් මොරටුවෙහි කුමාර විද්‍යාලයෙහි ද කොළඹ වෙස්‌ලි විද්‍යාලයෙහි ද සේවය කළේය. විද්‍යාලයෙහි ඉගැන්වීම කරන අතරම ඔහු නීති විද්‍යාලයට ද ඇතුළත් විය. 1910 දී එනම් එවකට අවසර දී තිබූ අවම කාලසීමාව වන අවුරුදු තුනක්‌ ඇතුළත දී නීතිඥවරයකු වශයෙන් සාමාර්ථය ලබාගැනීමට ඔහුට හැකි විය.

සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර සිය වෘත්තිය කටයුතු ගාල්ලෙන් ආරම්භ කළේය. ඔහු ඉතා කෙටි කලකින් අවංක, සෘජු, කාර්යක්‍ෂම, නීතිඥවරයකු වශයෙන් කීර්තියක්‌ දිනා ගත්තේය. 1915 වන විට ඔහු ගාල්ලේ වෘත්තීමය වශයෙන් කීර්තියට පත්වෙමින් හොඳ තත්ත්වයක සිටියේ ය. 1915 සිදුවූ අවාසනාවන්ත කැරැල්ල සඳහා අත්අඩංගුවට ගත් අහිංසක මිනිසුන් වෙනුවෙන් පෙනී සිටිමින් දක්‍ෂ ලෙස ඔවුන් වෙනුවෙන් කරුණු ඉදිරිපත් කළේය.

1923 පවත්වන ලද අතුරු මැතිවරණයේදී ආචාර්ය සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහතා ව්‍යවස්‌ථා දායක මන්ත්‍රණ සභාවේ දකුණු පළාත නියෝජනය කිරීම සඳහා අතිමහත් බහුතර ඡන්දයකින් තෝරා පත්කර ගන්නා ලදී. 1924 දී ව්‍යවස්‌ථාදායක මන්ත්‍රණ සභාවේ පළාත් ආසන සංඛ්‍යාව 11 සිට 23 දක්‌වා වැඩි කරන ලදී. දකුණු පළාත, ගාල්ල, මාතර සහ හම්බන්තොට යන මැතිවරණ දිස්‌ත්‍රික්‌ක තුනකට බෙදන ලදී.

1924 හි පැවැති මැතිවරණයේදී ආචාර්ය සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහතා ගාලු ආසනයට තරග කරන ලදී. මෙම තරගයේදී ඔහුගේ විරුද්ධවාදියා වූවේ බලවත් පුද්ගලයකු හා සුප්‍රසිද්ධ අධිනීතිඥවරයෙකු වූ ප්‍රැන්සිස්‌ ද සොයිසා මහතාය. ප්‍රැන්සිස්‌ ද සොයිසා මහතාගේ ඡන්ද ව්‍යාපාරය ඇෆ්. ආර්. සේනානායක මහතා විසින් මෙහෙයවන ලදී. කන්නන්ගර මහතාගේ ආධාරකරුවන් සියල්ලම දිස්‌ත්‍රික්‌කයේ අය වූහ. කෙසේ වුවද අවසානයේ සීමිත ඡන්ද ක්‍රමය යටතේ පවත්වන ලද අතිශයින් තියුනු තරගයකින් පසු ආචාර්ය සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහතා සෑහෙන වැඩි ඡන්ද ප්‍රමාණයකින් ජහග්‍රාහකයා විය.

ආචාර්ය සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහතා ව්‍යවස්‌ථාදායක මන්ත්‍රණ සභාවෙහි විවාදයන්හි ප්‍රමුඛ භූමිකාවක්‌ රඟ පෑවේය. ඔහු යටත් විජිත පාලනය තියුණු විවේචනයකට ලක්‌ කළ අය අතර ප්‍රමුඛයෙකි. සෑම විටම ඔහුගේ අදහස අර්ථවත් වූ හෙයින් ආණ්‌ඩුකාරවරයා පවා ඒවාට ගරු කළ බව කියනු ලැබේ. ඔහුගේ අනර්ඝතම දේශන පවත්වා ඇත්තේ ව්‍යවස්‌ථාදායක මන්ත්‍රණ සභාව තුළය.

1936 පැවැති රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණයේදී තමාගේ ආසනය වෙනස්‌ කිරීමට ආචාර්ය කන්නන්ගර මහතා තීරණය කළේය. ඔහු මුලදී දැදිගම ආසනයට තරග කිරීමට බලාපොරොත්තු වූ අතර පසුව ඔහු මතුගම ආසනයට තරග කිරීමට තීරණය කළේය. මතුගම ආසනය තෝරා ගැනීමට පෙළඹුණේ ඔහුගේ පාරම්පරික ගම වන ලූල්බද්දාව එම ආසනයට අයත් වූ බැවිනි. මෙම මැතිවරණයේදී ප්‍රතිවාදි බලවත් අපේක්‍ෂකයන් හතරදෙනකුට මුහුණ දීමට කන්නන්ගර මහතාට සිදු විය.

අතිශයින් ම තියුණු තරගයක්‌ ව පැවැති මැතිවරණ ව්‍යාපාරයේ දී කන්නන්ගර මහතාගේ ප්‍රතිවාදීන් කියා සිටියේ ගාල්ලේ ඡන්ද දායකයන් ඔහු එලවා ගත් නිසා ඔහු මතුගමට පැමිණ ඇති බවයි. එහෙත් කන්නන්ගර මහතාට ආධාර කළ සර් ඩී. බී. ජයතිලක මහතා ප්‍රකාශ කළේ මතුගම නියෝජනය කිරීම සඳහා කන්නන්ගර මහතා වැනි පුද්ගලයකු ඉදිරිපත්වීම මතුගම ජනතාවගේ වාසනාවක්‌ බවත් එවැනි දක්‍ෂ දේශපාලනඥයෙකු මතුගම ආසනය නියෝජනය කිරීම ගෞරවයක්‌ බවත්ය. එම මැතිවරණයේදී සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහතා මතුගම ආසනය වැඩි ඡන්ද 5000 කින් පමණ ජය ගත්තේය.

1931 දී ආචාර්ය සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහතා අධ්‍යාපන කාරක සභාවෙහි සභාපතිවරයා වශයෙන් තේරී පත්වූ අතර එම නිසා අධ්‍යාපන ඇමැතිවරයා වශයෙන් ද පත් විය. 1931 සිට 1947 දක්‌වා වූ මුළු රාජ්‍ය මන්ත්‍රණ සභා කාලය තුළම ඔහු එම තනතුරෙහි සේවය කළේය.

ආචාර්ය කන්නන්ගර මහතා අධ්‍යාපන ඇමැතිවරයා වශයෙන් සහභාගි වූ පළමු වැනි වැදගත්ම උත්සවය වූයේ ජාතික ප්‍රතිසංස්‌කරණ සමිතියේ ආරම්භක රැස්‌වීමයි. මහාචාර්ය ජී. පී. මලලසේකර, ආචාර්ය පී. ද ඇස්‌. කුලරත්න, එස්‌. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්‌ඩාරනායක මහතා, සුසන්ත ද ෆොන්සේකා, ඩබ්ලිව්. ඒ. ද සිල්වා, ඩී. ටී. දේවේන්ද්‍ර, ඒ මීවනපලාන, දොස්‌තර එස්‌. ඒ. වික්‍රමසිංහ, සී. සුන්දරලිංගම් සහ කන්නන්ගර මහතා එහි කැඳවුම්කරුවෝ වූහ.

මෙම රැස්‌වීමේදී සම්මත කරගත් එක යෝජනාවක්‌ නම් ඇඳුමෙහි වෙනසක්‌ විය යුතු බවයි. ජාතික ඇඳුමක්‌ සකස්‌ කර ගැනීමේ කාර්යාල පුරුෂයන් සඳහා රෙද්ද ද, ස්‌ත්‍රීන් සඳහා සාරියද පදනම කරගත යුතු බව මෙහිදී තීරණය විය. පසුව පුරුෂයන් සඳහා රෙද්ද සහ බැනියම ජාතික ඇඳුම වශයෙන් පිළිගත් අතර එතැන් සිට තම වෘත්තියේ යෙදුණු සෑම අවස්‌ථාවකම ආචාර්ය සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහතා ජාතික ඇඳුමින් පෙනී සිටියේ ය. ඔහු ඉන්පසු කවරදාකවත් යුරෝපීය ඇඳුම ඇන්දේ නැත.

1954 අප්‍රේල් මාසයෙහි රාජකීයයන් ලංකාවට පැමිණි අවස්‌ථාවෙහි කන්නන්ගර මහතා හැර ඡේ. ආර්. ජයවර්ධන මහතා ඇතුළු සියලු ඇමැතිවරු කොතලාවල යුගයේදී නිල ඇඳුම වශයෙන් පිළිගනු ලැබූ සර්වානියෙන් සැරසී දෙවැනි එළිසබත් මහ රැජන සමඟ නිල ඡායාරූපයකට පෙනී සිටියහ. ආචාර්ය සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහතා පමණක්‌ ජාතික ඇඳුම වූ රෙද්දෙන් සහ බැනියමෙන් සැරසී සිටියේය.

1931 සිට 1947 දක්‌වා කාලය තුළ අධ්‍යාපන ඇමැතිවරයා වශයෙන් කටයුතු කළ ආචාර්ය සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහතා දුරදක්‌නා වෙනස්‌කම් රාශියක්‌ ඇති කළේය. උපකෘත පාසල්වල ගුරුවරුන්ට කෙළින්ම වැටුප් ගෙවීම ආරම්භ කළ ඒ මහතා පාසල් දරුවන් සඳහා දිවා ආහාරය ද සැපයුවේ ය. පිරිවෙන් අධ්‍යාපනය දියුණු කළේය. පිරිමි ළමයින් සඳහා ග්‍රාමීය වෘත්තීය අධ්‍යාපන ක්‍රම ඇති කළ ඒ මහතා ගැහැනු ළමයින් සඳහා ගෘහ කර්මාන්ත ඇති කළේය. ස්‌වභාෂා පාසල්හි ඉංග්‍රීසි ඉගැන්වීම ද ඉංග්‍රීසි මාධ්‍ය පාසල්හි සිංහල හෝ දෙමළ ඉගැන්වීම ද අනිවාර්ය කළේය. ඔහු පේරාදෙණිය විශ්වවිද්‍යාලය පිහිටෙව්වේ ය. මධ්‍ය පාඨශාලා ඇති කර, දුප්පත් ශිෂ්‍යයන් සඳහා 5 ශිෂ්‍යත්ව ක්‍රමය ආරම්භ කළේය. නිසැක ලෙසම ඔහු කළ ශ්‍රේෂ්ඨම ක්‍රියාව නම් නිදහස්‌ අධ්‍යාපන ක්‍රමය ඇති කිරීමයි.

ඒ අවධියෙහි ඉංග්‍රීසි භාෂා මාධ්‍යයෙන් ලබා දෙන ලද උසස්‌ අධ්‍යාපනය විශේෂයෙන්ම ධනවතුන් සඳහා වෙන් කරන ලද වරප්‍රසාදයක්‌ විය. විශ්වවිද්‍යාල අධ්‍යාපනය මධ්‍යස්‌ථ ආදායමක්‌ ලැබූ අයට පවා ළං වීමට නොහැකි තත්ත්වයක පැවතියේය. දුප්පතුන්ට වැඩිම වුවහොත් ද්විතීය අධ්‍යාපනයෙන් සෑහීමට පත් වීමට සිදු විය. දුම්බර රාජ්‍ය සභා නියෝජිත ඒ. රත්නායක මහතා විසින් කරන ලද උත්සාහයක ප්‍රතිඵලයක්‌ වශයෙන් ආචාර්ය සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහතාගේ ප්‍රධානත්වයෙන් යුක්‌තව පත් කරන ලද අධ්‍යාපනය පිළිබඳව විශේෂ කාරක සභාවක්‌ විසින් නිදහස්‌ අධ්‍යාපනය නිර්දේශ කරන ලද්දේ මෙවැනි තත්ත්වයක්‌ පවතිද්දීය.

ආචාර්ය සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහතා 1940 මැයි මස 30 වැනි දින මෙරට රාජ්‍ය මන්ත්‍රණ සභාවෙහි කරන ලද දීර්ඝතම දේශනයන්ගෙන් එකක්‌ පවත්වමින් නිදහස්‌ අධ්‍යාපන ක්‍රමය ඇතුළත් වූ අධ්‍යාපන කෙටුම්පත් පනත ඉදිරිපත් කළේය. රැස්‌වීම කල්තබන දිනය වූ 1944 ජුනි මස 02 දින ඔහුගේ කතාව සමාප්ත කළේ සභා ගැබින් නැඟුණු අපමණ ප්‍රීති ඝෝෂා මධ්‍යයේ ය. කන්නන්ගර මහතාගේ ම තක්‌සේරුව අනුව ඒ වූකලී ඔහුගේ සමාජ ජීවිතය තුළ කරන ලද ශ්‍රේෂ්ඨතම කතාවයි.

නිදහස්‌ අධ්‍යාපනය ධනවතුන් සඳහා ද විවෘත කළ යුතු වන්නේ ඇයි දැයි සමහරු ප්‍රශ්න කළහ. දුප්පත් ශිෂ්‍යයෙකු වශයෙන් බොහෝ දුෂ්කරතාවන්ට මුහුණ දෙමින් නින්දාවට ලක්‌වූ ආචාර්ය සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහතා අධ්‍යාපනයේ පන්ති භේදයක්‌ නිර්මාණය කර, දෙවැනි පන්තියේ ශිෂ්‍යයන් ඇති කිරීමට තමාට අනවශ්‍ය බව පහදා දුන්නේ ය.

තමන්ගේ වතුවල ඵලදාව නෙළා ගැනීමට පිරිස නැතිව යනු ඇතැයි අඳෝනා කී සමහර නායකයෝ ද වූහ. නිදහස්‌ අධ්‍යාපන ක්‍රමය මඟින් පිටු දැකීමට අරමුණු කළ අවස්‌ථාවන්හි අසමානත්වය ද එයමය.

"මිල කළ නොහැකි මුතු ඇටය" යෑයි හැඳින්වෙන නිදහස්‌ අධ්‍යාපන ක්‍රමය නිසා ශ්‍රී ලංකාව තුළ සමාජ පරිවර්තනයක්‌ ඇති විය. එමඟින් උසස්‌ අධ්‍යාපනයෙහි දොරටු පුළුල් ලෙස දුප්පතුන්ට විවෘත විය. අධ්‍යාපනය හෝඩියේ සිට විශ්වවිද්‍යාලය දක්‌වා ම නොමිලේ සපයනු ලැබුවේය.

අද නිදහස්‌ අධ්‍යාපනයෙහි ප්‍රතිඵලයක්‌ වශයෙන් මේ රටේ ඉතා නියාලු පුරවැසියන්ගේ දරුවෝ පවා විශ්වවිද්‍යාල මහාචාර්යවරුන්, පරිපාලන නිලධාරීන්, වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, ගණකාධිකාරිවරුන්, ගෘහ නිර්මාණ ශිල්පීන්, නීතිඥවරුන් සහ විනිශ්චයකාරවරුන් අතර සිටිති.

1947 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා මතුගම ආසනය මතුගම සහ අගලවත්ත යනුවෙන් ආසන දෙකකට වෙන්කර තිබුණේය. කන්නන්ගර මහතාගේ පාරම්පරික ගම වන ලූල්බද්දාව අගලවත්ත ආසනයට අයත් වුවත් ඔහු මතුගමට තරග කිරීමට තීරණය කළේය. ඔහු මතුගම ප්‍රදේශය තුළ අලුතින් පාඨශාලා විවෘත කරමින් විශාල වැඩ කොටසක්‌ ද ඒ ආසනය තුළ සිදුකර තිබුණේය. නිදහස්‌ අධ්‍යාපන ක්‍රමය හඳුන්වා දී දෙවසක්‌ ගත වුණු තැන පැවැති මෙම මැතිවරණයේදී බොහෝ දෙනා මවිතයට පත් කරමින් ආචාර්ය සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහතා මැතිවරණයෙන් පරාජයට පත් විය.

ආචාර්ය සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහතා මින් වික්‍ෂිප්ත භාවයට පත් වූවේ නැත. ඔහු මහත්මයකු ලෙස පරාජය පිළිගත්තේය. ඔහු කිසිම විටක ඡන්ද දායකයන්ට දොෂාරෝපණය කළේ හෝ දේශපාලනයෙන් සමු ගැනීමට තැත් කළේ හෝ නැත. කන්නන්ගර මහතා තවදුරටත් එක්‌සත් ජාතික පක්‍ෂයේ පක්‍ෂපාතී සාමාජිකයකු වශයෙන් රැඳී සිටි අතර ඔහු පක්‍ෂයෙහි උපසභාපති තනතුරක්‌ ද ඉසිලීය. 1950 සිට 1952 දක්‌වා කාලය තුළ ඉන්දුනීසියාවේ ලංකා තානාපතිවරයා වශයෙන් ද සේවය කළේය. ඔහු රටවල් දෙකක්‌ අතර යහපත් සම්බන්ධතාවක්‌ ගොඩනැඟු අතර 1952 පැවැති කොළඹ ක්‍රම ප්‍රදර්ශනයෙහි විශිෂ්ටතම ප්‍රදර්ශන මණ්‌ඩපය වූයේ ඉන්දුනීසියාවේ ප්‍රදර්ශන මණ්‌ඩපය යි.

1952 පැවැති මහා මැතිවරණයේදී ආචාර්ය සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහතා අගලවත්ත ආසනයෙහි එක්‌සත් ජාතික පක්‍ෂයේ අපේක්‍ෂකයා විය. මෙම මැතිවරණ කොට්‌ඨාසය වූ කලී ඔහුගේ පාරම්පරික වාස භූමිය ද විය. එපමණක්‌ නොව එම මැතිවරණය එක්‌සත් ජාතික පක්‍ෂයට වාසි දායක එකක්‌ විය. ඔහු අගලවත්ත ආසනයේ වැඩි ඡන්ද 7000 කින් පහසුවෙන්ම ජය ගනිමින් එවකට එහි මන්ත්‍රීවරයා වූ ලංකා සමසමාජ පක්‍ෂයේ සෑම් ඊ. ද සිල්වා සහ පසුව මහජන එක්‌සත් පෙරමුණු ආණ්‌ඩුවේ ඇමැතිවරයෙකුව සිටි ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ඒ. පී. ජයසූරිය යන ප්‍රබලයන් දෙදෙනාද පරාජයට පත් කළේය.

1931 සිට 1947 දක්‌වා කාලය තුළ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ අධ්‍යාපන ඇමැතිවරයා වශයෙන් ඔහු විසින් ඉටු කරන ලද විශිෂ්ටතම ජාතික සේවය සලකා ඔහු අධ්‍යාපන ඇමැති ධුරයට පත් කරනු ඇතැයි බොහෝ දෙනා අපේක්‍ෂා කළහ. ඔහු අධ්‍යාපන ඇමැතිවරයා වශයෙන් පත් වූයේ නම් 1947 සිදුවූ පරාජයෙන් පසු අනපේක්‍ෂිත අවසානයකට පත් අධ්‍යාපන සැලැස්‌ම ඉදිරියට ගෙන යැමටත් උපකෘත පාඨශාලා පවා රජයට පවරා ගැනීමටත් ඉඩ තිබුණේය. ඩඩ්ලි සේනානායක ආණ්‌ඩුවේ අධ්‍යාපන ඇමැති ධුරය ඔහුට අහිමි වූයේ කතෝලික සභාවේ ප්‍රතිගාමී බලවේගයන්ගේ බලපෑම් නිසායි කියනු ලැබේ.

1944 දී නිදහස්‌ අධ්‍යාපන ක්‍රමය ඉදිරිපත් කරන විට ආචාර්ය සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහතාගේ වයස අවුරුදු 60 කි. ඔහුගේ විශිෂ්ටතම ප්‍රයත්නයෙහි ප්‍රතිඵල දැකීමටත්, ඔහුගේ කාර්ය සාධනය පිළිබඳව අභිමානය ඇති කර ගැනීමටත් හැකිවන සේ අවුරුදු 85 ක්‌ තරම් දීර්ඝ කාලයක්‌ ආයු ශ්‍රී වින්දනය කිරීමට තරම් එතුමා භාග්‍ය සම්පන්න විය. එතුමාගේ දුර දක්‌නා ප්‍රයත්නය වූ නිදහස්‌ අධ්‍යාපන ක්‍රමය ඉදිරිපත් කර හරියටම අවුරුදු 25 ක්‌ ගෙවුණු පසු එනම් 1969 සැප්තැම්බර් මස 23 වැනි දින දිවංගත වූවේය.

කෙසේ වුවද වර්තමානයෙහි පැන නැඟී ඇති ප්‍රශ්න සම්බන්ධයෙන් නිදහස්‌ අධ්‍යාපනයට දොෂාරෝපණය කරන පිරිසක්‌ ද අප අතර සිටිති. උගතුන් අතර විරැකියාව පමණ ඉක්‌මවා කලා උපාධිධාරීන් බිහිවීම, තරුණයන් අතර විනය පිරිහීම, 1971 සහ 1989 ඇතිවූ කැරලි සහ තවත් විපත් රාශියකට හේතුව නිදහස්‌ අධ්‍යාපන ක්‍රමයෑයි ඔවුහු මැසිවිලි නඟති. එහෙත් ඒ සියල්ලටම පිළියම් ආචාර්ය සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහතාගේ අධ්‍යාපන සැලැස්‌මෙහි අන්තර්ගතව පැවැතියේය. ඔහු 1947 පරාජයට පත්වීමෙන් පසු නිදහස්‌ අධ්‍යාපනය හැරුණු විට ඔහුගේ අධ්‍යාපන සැලැස්‌ම ක්‍රියාත්මක කළේ නැත. අනිකුත් සමහර ප්‍රශ්න පැනනැඟී ඇත්තේ සමාජයෙහි පවතින නූතන සංසිද්ධි වශයෙනි.

ආචාර්ය සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහතා දුප්පතකුව ඉපිද දුප්පතකු වශයෙන් මිය ගියේ ය. ඔහුගේ දීර්ඝ දේශපාලන වෘත්තිය තුළම ඔහු කිසිම විටක තමන්ගේ තත්ත්වය තමාට ධනය රැස්‌ කරගැනීම සඳහා හෝ තමාගේ නෑදැයන්ට සහ යහළුවන්ට වාසි සලසා ගැනීම සඳහා හෝ යෙදුවේ නැත. නිදහස්‌ අධ්‍යාපනයේ ප්‍රතිලාභ ලබාගත් අප වැනි දහස්‌ සංඛ්‍යාත පිරිසකගේ හදවත්හි එතුමාගේ ශ්‍රී නාමය සදාකාලයටම නොමැකෙන පරිදි තැන්පත්ව ඇත. නිදහස්‌ අධ්‍යාපන ක්‍රමය අප රටෙහි පවතින තාක්‌ කල් ආචාර්ය සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර ශ්‍රීමතාණන්ට අප රට ජනතාව කෘතවේදිත්වයෙන් යුතුව ප්‍රණාමය පුදකරනවා ඇත.

ආචාර්ය සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහතා වූ කලී වර්තමාන හා අනාගත පරම්පරාවන් විසින් ආදර්¨ශයට ගත යුතු ශ්‍රේෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රිකයෙක්‌ හා ජාතික වීරයෙකි.

විශ්‍රාමලත් මහාධිකරණ රෙජිස්‌ට්‍රාර් විමලසේන විතාන පතිරණ
http://www.divaina.com/2014/10/11/feature.html

Pic Source

0 comments: