Pages

Friday, October 17, 2014

පිවිතුරු හෙටක්‌ ජාතික සභාවේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධන යෝජනාවලිය

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමටත් මනාප ජන්ද ක්‍රමය අහෝසි කිරීමටත් පිවිතුරු හෙටක්‌ ජාතික සභාව මගින් 19 වන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධන යෝජනා මගින් ඉදිරිපත් කර තිබේ. 

මෙම යෝජනා මාලාව පෙරේදා (14 වැනිදා) බණ්‌ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අතුරලියේ රතන හිමියන්ගේ ප්‍රධානත්වයෙන් එළි දැක්‌විණි. 

එම යෝජනා මාලාව මෙසේය.

පසුගිය වසර 36 තිස්‌සේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වූ විධායක ජනාධිපති ක්‍රමයේ විවිධ වූ අනර්ථයන් මේ වනවිට මුළු මහත් සමාජයම ඉතා හොඳින් අවබෝධ කර ගෙන ඇත. එම නිසා දැනට පවත්නා විධායක ජනාධිපති ක්‍රමය අහෝසිකර ජනාධිපති අගමැති ව්‍යවස්‌ථාමය සන්ධානයක්‌ ඇති කිරීම උදෙසා වර්තමාන පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා මෙම ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය ඉදිරිපත් කෙරේ.

01. ස්‌වරූපය - නව රාජ්‍ය පාලන ක්‍රමය ජනාධිපති අගමැති ව්‍යවස්‌ථාමය සන්ධානයක්‌ වේ. ජනාධිපතිවරයා රාජ්‍ය නායකයා වන අතර අගමැතිවරයා ආණ්‌ඩුවේ නායකයා වේ.

ජනපතිගේ වගකීම

02 ජනාධිපතිවරයා - ජනතාව විසින් ජනාධිපතිවරණයකින් වසර 6 ක්‌ සඳහා ජනාධිපතිවරයෙකු පත් කරනු ලැබේ. එම පත්වීම ලද විට ජනාධිපතිවරයා තව දුරටත් දේශපාලන පක්‍ෂයක සාමාජිකයෙක්‌ නොවන අතර නැවත එම ධුරයට පත්වීමට ද නුසුදුස්‌සෙක්‌ වන්නේය. ජනාධිපති සන්නද්ධ හමුදාවන්හි විෂයට සීමා වූ ආරක්‍ෂක ඇමැති වනු ඇත. ජාතික සමගිය හා එකමුතු බවද ආගමික සංහිඳියාව ද ප්‍රවර්ධනය කිරීම ජනාධිපතිවරයා වෙත පැවරෙන කාර්යයක්‌ වේ. ඒ අනුව රටේ ඒකීයභාවයට හෝ ස්‌වාධිපත්‍යයට හෝ හානිකර තත්ත්වයක්‌ උදාවන අවස්‌ථාවන්හි දී රට සුරක්‍ෂිත කිරීමේ වගකීම හා බලය ජනාධිපතිවරයාට පැවරේ.

03 අගමැතිවරයා හා අමාත්‍ය මණ්‌ඩලය - පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම පමණකින් ලබා ඇති මන්ත්‍රීවරයා අගමැති වශයෙන් පත්වේ. කැබිනට්‌ මණ්‌ඩලයේ ඇමැතිවරුන් සංඛ්‍යාව 20 සිට 25 අතර සංඛ්‍යාවකට සීමා වන අතර, නියෝජ්‍ය ඇමතිවරුන් සංඛ්‍යාව ද 35 කට නොවැඩි වේ. අගමැතිවරයාගේ යෝජනාවෙන් ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්‌ඩලය සඳහා මන්ත්‍රීවරුන් අතරින් පත් කරනු ලැබේ. මහ මැතිවරණයකින් පසුව අගමැති සහ ඇමතිවරුන් පත් වූ විට ඔවුන් නැවත මහමැතිවරණයකින් අවසන් වන තෙක්‌ තනතුරු දරනු ඇත. ඇමැතිගේ කාර්ය සාධනය ඇගයීමකින් පසුව අගමැතිගේ ද අනුමැතිය සහිතව ඇමැතිවරයෙකු තනතුරෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයාට බලයක්‌ ඇත. පාර්ලිමේන්තුව, ආණ්‌ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය හෝ විසර්ජන පනත ප්‍රතික්‍ෂේප කළ හොත් නැතිනම් ආණ්‌ඩු කෙරෙහි විශ්වාසභංග යෝජනාවක්‌ සම්මත කළ හොත්, අමාත්‍ය මණ්‌ඩලය විසිරී යනු ඇත. එවිට අදහස්‌ විමසීමේ පිළිවෙත අනුගමනය කරමින් ජනාධිපතිවරයා විසින් නව අගමැතිවරයෙක්‌ සහ ඇමතිවරුන් පත් කළ යුතුවේ.

ඡන්ද දෙකම එකට

04. ධුර කාලය - ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තුවේ ධුර කාලය එකට ගෙවී යන අතර, ඡන්ද දෙකම එකට පැවැත්වේ. ජනාධිපති හා පාර්ලිමේන්තුව සමාන්තර වූ නිශ්චිත සහ අවුරුදු කාලයකට ධුර දරනු ඇත. ජනාධිපතිගේ ධුර කාලය එක්‌ සය අවුරුදු කාල පරිච්ඡේදයකට සීමාවන නිසා තමන්ට වාසි සහගත ලෙස මැතිවරණය නියම කිරීමෙහි අවකාශය සහ අවශ්‍යතාව ගිලිහී යනු ඇත. සම්පූර්ණ කාල සීමාව ඉක්‌ම යැමට පෙර ඡන්ද පැවැත්වීමට බලයක්‌ ජනාධිපතිට පැවරී තිබෙන නමුත් එමගින් නැවත ඡන්දයට ඉදිරිපත් වීමට අවකාශයක්‌ නැතිව තමන්ගේ ධුර කාලය අවසන් වීම නිසා එකී අභිමතය ජනාධිපති විසින් අයථා ලෙස භාවිත කිරීම් වැළකේ.

05 අමාත්‍යාංශ විධායක කාරක සභා සහ ලේකම්වරු - අමාත්‍යාංශය සඳහා විධායක කාරක සභා ක්‍රමය ස්‌ථාපනය වනු ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රීන් 5 දෙනකුගෙන් සහ තවත් සාමාජිකයන් 09 දෙනකුගෙන් සමන්විත විධායක සභාවක්‌ අමාත්‍යාංශයක්‌ සඳහා පත්වනු ඇත. යෝජිත ව්‍යවස්‌ථාව යටතේ ලේකම්වරු පත්විය යුත්තේ ජනාධිපතිවරයාගේ, අගමැතිවරයාගේ සහ අදාළ ඇමැතිවරයාගේ එකඟත්වය මතය. තවද එසේ පත් කළ යුත්තේ රාජ්‍ය අංශයේ වෘත්තිකයෙක්‌ පමණක්‌ වේ.

ආසනයට එක්‌ මන්ත්‍රීවරයෙක්‌

06. පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය මනාප ක්‍රමය අහෝසි කිරීම සඳහා මැතිවරණ ක්‍රමය වෙනස්‌ කෙරේ - පාර්ලිමේන්තුව දැන් පවත්නා අයුරින්ම මන්ත්‍රීවරුන් 225 කින් සමන්විත වේ. දිනේෂ් ගුණවර්ධන අමාත්‍යතුමාගේ සභාපතිත්වයෙන් වූ මැතිවරණ ප්‍රතිසංස්‌කරණ පිළිබඳව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවෙන් සියලු පක්‍ෂවල කැමැත්ත අනුව යෝජිත නව පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය නීතිගත වනු ඇත. මැතිවරණය පැවැත්වෙන්නේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව ක්‍රියාත්මක වීමට පෙර පැවැති භූගෝලීය ආසන තුළය. එම ආසන සඳහා නාම යෝජනා, පිළිගත් දේශපාලන පක්‍ෂ තුළින් හෝ දිස්‌ත්‍රික්‌කයටම පිළිගත් ස්‌වාධීන කණ්‌ඩායමක්‌ තුළින් ඉදිරිපත් විය යුතුය. ආසනයකට එක්‌ මන්ත්‍රීවරයෙක්‌ බැගින් ආසනයේ වැඩිම ඡන්ද ලබාගත් අපේක්‍ෂකයා කේවල ක්‍රමයට ආසනයේ මන්ත්‍රීවරයා ලෙස පත්වේ. ජාතික ලයිස්‌තුවලින් මන්ත්‍රීවරුන් 15 දෙනෙක්‌ අනුපාත ක්‍රමයට පත්වේ. ඉතිරි ආසන සඳහා දිස්‌ත්‍රික්‌ක 22 න් මන්ත්‍රීන් අනුපාත ක්‍රමයට පත් වනු ඇත. අනුපාතය තීරණය කිරීම සඳහා ගණන් ගනු ලැබෙන්නේ දිස්‌ත්‍රික්‌කය තුළ එක්‌ එක්‌ ආසනවල පරාජිත අපේක්‍ෂකයන් ලබාගත් ඡන්ද සංඛ්‍යාව පමණි. එහිදී තේරී පත්වෙන්නේ ඒ ඒ පක්‍ෂයේ වැඩිම ඡන්ද අනුපාතයක්‌ ලබාගෙන පරාජය වූ අපේක්‍ෂකයින්ය. කේවල ක්‍රමයට පත් වූ මන්ත්‍රී ආසනයක්‌ හිස්‌ වූ විට එම ආසනයේ පමණක්‌ අතුරු මැතිවරණයක්‌ පවත්වනු ඇත. දිස්‌ත්‍රික්‌ ආසනයක්‌ පුරප්පාඩු වූ විට ලැයිස්‌තුවේ ඊළගට සිටින අයට මන්ත්‍රීධුරය හිමිවේ. ජාතික ලයිස්‌තුවේ පුරප්පාඩුව පුරවන්නේ ලේකම්වරයා විසින් සිය ජාතික ලැයිස්‌තුවේ වෙනත් නමක්‌ යෝජනා කිරීම මගිනි.

07. ව්‍යවස්‌ථාදායක සභාව - පසුගිය දශක කිහිපය පුරා රටේ අවධානයට ලක්‌ව තිබූ අල්ලස්‌ හා දූෂණවලට වැට බැඳීම සඳහා අවශ්‍ය ස්‌වාධීන කොමිෂන් සභා නීතිගත කෙරේ. එහි දැනට දක්‌නට ලැබෙන ප්‍රධානතම අඩුපාඩුව වූ ව්‍යවස්‌ථාදායක සභාවට සාමාජිකයන් පත් කිරීමේ ක්‍රමවේදය වෙනස්‌ කෙරේ. ව්‍යවස්‌ථාදායක සභාවේ සාමාජිකයන් වන්නේ අගමැතිවරයා, කථානායකවරයා (සභාපති) විපක්‍ෂ නායකවරයා, ජනාධිපතිවරයා විසින් පත් කළ අයෙකු හා පාර්ලිමේන්තුව විසින් රහස්‌ ඡන්දයකින් පත් කරනු ලබන 05 දෙනෙකු ය. එම 5 දෙනා රහස්‌ ඡන්දයෙන් පත්කිරීම සඳහා පාර්ලිමේන්තුව වෙත නාම යෝජනා ඉදිරිපත් කළ හැකි වන්නේ කථානායකවරයා විසින් කැඳවනු ලැබීමෙන් අනතුරුව ජාතික මට්‌ටමේ විද්වත් මණ්‌ඩලවලට විශ්වවිද්‍යාල උපකුලපති මණ්‌ඩලයට හා ලංකා වාණිජ මණ්‌ඩලයට වේ.

අල්ලස්‌ දූෂණ පනත

08. අල්ලස්‌ හා දූෂණවලට වැට බැඳීම උදෙසා හඳුන්වාදෙන අණපනත් - ශ්‍රී ලංකා රජය විසින් දැනටමත් අත්සන් කර ඇති දූෂණ පිටුදැකීම සඳහා වූ එක්‌සත් ජාතීන්ගේ සම්මුතිය රට තුළ බලාත්මක කිරීම උදෙසා පසුගිය සමයේ දී රජය විසින් ඉදිරිපත් කළ අල්ලස්‌ හා දූෂණ පිටු දැකීම සඳහා වූ පනත සම්මත කිරීමට කටයුතු කෙරේ. අල්ලස්‌ හා දූෂණ කොමිසම, පැමිණිලිවලට ප්‍රතිචාර දැක්‌වීමට පමණක්‌ සීමා නොවූ රාජ්‍ය අංශය පමණක්‌ නොව පුද්ගලික අංශයද ආවරණය වන විධිමත් සක්‍රීය ආයතනයක්‌ බවට පත් කෙරේ. තව ද රාජ්‍ය හා පුද්ගලික අංශවල මහා පරිමාණ දූෂණ හා ආර්ථික අපරාධ පිළිබඳ විමර්ශනය කර ක්‍රියා මාර්ග ගැනීම සඳහා අධිකාරියක්‌ ද ස්‌ථාපිත කෙරේ. 

ඡායාරූපය-කණිෂ්ක හේවගේ
http://www.divaina.com/2014/10/16/news14.html

0 comments: