Pages

Wednesday, October 8, 2014

දරුවන් සිව් දෙනෙකු සිහළ දැයට දුන් තාත්තා කෙනෙකුගේ ආයාචනයක්‌!

අපට මේ ලිපිය එවන්නේ තාත්තා කෙනෙකි. හේ කුමුදු චාමින්ද පත්බේරිය නමැති අයෙකි. ලිsපිනය නො. 373, කැලෑගම, නාපාවල, අවිස්‌සාවේල්ලය. මේ ඒ තාත්තා එවූ ලියුමය.

තුන් නිවුන් දරු ප්‍රසූතියක්‌ පිළිබඳව දැනුම් දීමයි 

තුන් නිවුන් දරු උපතක්‌ සිදුවීම පිළිබඳව මම ඉතාමත් සතුටට පත්වෙමි. එය මෙම ප්‍රදේශයට කාලයකට පසු සිදුවූ වාසනාවන්ත සිදුවීමකි. දරු උපත කරවනැල්ල මූලික රෝහලේ සිදුවූ අතර එය එම රෝහලේ සිදුවූ ප්‍රථම සහ එකම තුන් නිවුන් දරු උපත වීම විශේෂත්වයකි.

මා හට අවුරුදු 06 ක පිරිමි දරුවකු සිටී. ඔහු නමින් පී. ඔෂාන් චමුදිත පත්බේරියය. අවිස්‌සාවේල්ල, ඇපලපිටිය ප්‍රාථමික විදුහලේ පළමු ශේ්‍රණියේ ඉගෙනුම ලබයි. මාගේ බිරිඳ වන බී. ඒ. රේණුකා ප්‍රේමලතා. දෙවන වර ගැබ් ගැනීමේදී තුන් නිවුන් දරුවන් පිළිසිඳ ගෙන ඇති බවට ස්‌කෑන් පරීක්‍ෂණය මගින් තහවුරු විය.

2014-08-04 දින මාගේ බිරිඳ කරවනැල්ල මූලික රෝහලේදී තුන් නිවුන් දරුවන් බිහිකළාය. ගැහැනු දරුවන් දෙදෙනෙකි. එක්‌ පිරිමි දරුවෙකි. සිසේරියන් සැත්කමක්‌ මගින් සති 33 කදී මෙලොව එළිය දුටු එම දරුවන් තිදෙනා නිසි බර සම්පූර්ණ වනතුරු නොමේරූ ළදරු ඒකකය වෙත යොමු කෙරිණි. පළමු දූ ග්‍රෑම් 2.090 ක්‌ද (තස්‌මි නින්නාදි පත්බේරිය) දෙවන පුතු ග්‍රෑම් 1.270 ක්‌ද (රුසිරු වින්සඳ පත්බේරිය) තෙවන දූ ග්‍රෑම් 1.700 ක්‌ද (තක්‍ෂි නිම්තකි පත්බේරිය) බරින් යුක්‌ත විය. දෙවන පුතුගේ බර අඩු බව හා ශ්වසන අපහසුතාවක්‌ තිබූ බැවින් ඔහු රත්නපුර රෝහල වෙත එදිනම මාරුකර යෑවිනි. 

විශේෂඥ වෛද්‍ය නාලක ජයසිංහ දරුවා බාර ගෙන සුදුසු බර හා අනෙකුත් තත්ත්වයන් සම්පූර්ණ වූ පසු නැවතත් 2014-08-21 දින කරවනැල්ල රෝහල වෙත එවනු ලැබීය. 2014-09-02 වන දින දක්‌වා මාසයකට ආසන්න කාලයක්‌ කරවනැල්ල රෝහලේ නොමේරූ ළදරු ඒකකයේ උපරිම ආරක්‍ෂාව හා කාර්ය මණ්‌ඩලයේ උපරිම කැපවීම මත ළමා රෝග විශේෂඥ වෛද්‍යතුමිය වන එන්. හෙන්වලගෙදරගේ නිරීක්‍ෂණයෙන් කළ කාර්යභාරය මහත්ය. ඒ සඳහා කරවනැල්ල හා රත්නපුර රෝහල් දෙකෙහිම වෛද්‍යවරු ඇතුළු නොමේරූ ළදරු ඒකකයෙහි කාර්ය මණ්‌ඩලයට ස්‌තුතිය පුදකළ යුතුය.

කෙසේ වුවද දරුවන් ලැබීමෙන් පසු මාගේ දයාබර බිරිඳට අධික ලෙස රුධිර වහනය සිදුවිය. කරවනැල්ල රෝහලේ දැඩිසත්කාර ඒකකයක්‌ නොමැති අඩු පහසුකම් සහිත රෝහලක්‌ බැවින් අනතුරුව ඇය අවිස්‌සාවේල්ල රෝහලේ දැඩිසත්කාර ඒකකය වෙත එදින සවස්‌ යාමයේ මාරුකර යෑවිණි. ඒ මාරු කර යවන අවස්‌ථාව වන විටත් ඉතා අසාධ්‍ය තත්ත්වයටම පත්ව තිබිණි. දැඩිසත්කාර ඒකකයේ දින 15 ක්‌ ප්‍රතිකාර ලැබීය. ජීවිතයත් මරණයත් අතර සටනකින් පසු වෛද්‍යවරුන්ද මවිත කරමින් ඇය හාස්‌කමකින් මෙන් මෙලොව ජීවත්වීමට භාග්‍ය උදා කර ගත්තාය. ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය මංගල දිසානායක ඇතුළු අවිස්‌සාවේල්ල රෝහලේ දැඩිසත්කාර ඒකකයේ අනෙක්‌ වෛද්‍යවරුද, කාර්ය මණ්‌ඩලයද තණ අග රැඳි පිණි බිඳක්‌ වියෑකෙන්නට නොදී ඉතා සුරක්‍ෂිතව රැකබලා ගත්තේ තම සේවයෙහි වගකීම හා වටිනාකම මොනවට පසක්‌ කරමිනි. මොවුන් කළ කාර්යභාරය උදෙසා විශේෂ කෘතඥපූර්වක ස්‌තුතියක්‌ ප්‍රකාශ කළ යුතුමය.

මම පෞද්ගලික අංශයේ රැකියාවක්‌ කළ අතර මැයි මාසයේ සිට රැකියාවට සමුදුනිමි. නිවසට වී බිරිඳ හා දරුවාද, දරුවන් ලැබීමෙන් පසු නොමේරූ දරුවන් තිදෙනා හා කාලය ගත කිරීමටද සිදුව ඇත. මන්ද යත් බිරිඳගේ අවසන් මාස කිහිපයේදී සිදුවූ දෙපා ඉදිමීම හා ගර්භයේ බර ප්‍රමාණය අනුව ඇයට ඇවිද යැමේ අපහසුවක්‌ ඇතිවිය. එබැවින් නියමිත ප්‍රසව සැත්කම් දින එළඹීමට ප්‍රථම ඇයට රෝහලේ නේවාසික ප්‍රතිකාර ලැබීමට සිදුවිය. ඉමක්‌ - කොනක්‌ නොමැති කරදර බාධක හමුවේ මා රැකියාවට සමු දුන්නේ තනිවම බිරිඳ නිවසේ තබා තැබීම අවදානම් හා පාසල් යන දරුවාගේ වැඩකටයුතු අඩපණ වන බැවිනි. මේ වන විට මා පසුවන්නේ ඉතා ගැටලුකාරී ආර්ථික පසුබිමකය. දෛනික වියපැහැදම් සඳහා මාගේ දෙමව්පියන්ගෙන් උදව් උපකාර ලැබිණි. ඔවුහු රබර් කිරි කැපීම වෘත්තියක්‌ ලෙසට සිදුකරති. දරුවන් සිව් දෙනකු පෝෂණය කිරීමටද බිරිඳගේ ඖෂධ හා පෝෂණ කටයුතු සඳහාද වැයවන මාසික වියදම මා හට දරා ගැනීමට නොහැක. ස්‌ථිර රැකියාවක අවශ්‍යතාවය ද පැන නැගී ඇත. උසස්‌ පෙළ වාණිජ අංශයෙන් අධ්‍යාපනය හදාරා ඇති මා හට ස්‌ථාවර රැකියාවක්‌ ලැබෙනවා නම් මාගේ දරු පැටවුන්ගේ අනාගතය සුරක්‍ෂිත වන බව මාගේ විශ්වාසයයි.

බිරිඳගේ ශරීර සෞඛ්‍ය තත්ත්වය අයහපත් වූ බැවින් මව්කිරි නොමැති තත්ත්වයක්‌ උද්ගතව ඇත. දරු තිදෙනා සඳහාම කිරිපිටි ලබාදීම උපතේ සිටම සිදුවිය. ඊට අමතරව බිරිඳගේ ඖෂධ හා පෝෂණය වෙනුවෙන්ද වැඩිමහල් දරුවාගේ කටයුතු වෙනුවෙන්ද මා මාසිකව දරන වියදම සඳහා සවියක්‌, අත්වැලක්‌ වීමට අනුග්‍රාහක ආයතනයක්‌ හෝ පුද්ගලයකු ඉදිරිපත් වේ නම් එය මට මහත් වූ අස්‌වැසිල්ලකි. අද දින වන විටත් දරු තිදෙනාට එක කිරිපිටි පැකැට්‌ටුවක්‌ දිනකට පමණක්‌ සෑහේ. ඔබටත් මාගේ දරුවන්ගේ කුසගින්න නිවීමට උදව් උපකාරයක්‌ කළ හැකිනම් එය මහත් වූ පින්කමකි. බී. ඒ. රේණුකා ප්‍රේමලතා යන නමින් අවිස්‌සාවේල්ල ලංකා බැංකු ශාඛාවේ ගිණුම් අංක 1775633 වෙත කෙරෙන ඔබගේ පරිත්‍යාගය අපට විශාල පිළිසරණකි. දුරකථන අංක 0362232793, 0719656363, 0721155556 වෙත ඇමතුමක්‌ දී දරුවන්ගේ සුවදුක්‌ විමසන්න. ඉතා අසරණ තත්ත්වයකට පත්වූ මොහොතේ සිට මේ දක්‌වා නන් අයුරින් උදව් කළ ඥති, ගම්වාසී, සානුකම්පිත ඔබ සැමට තුති.

සංවේදී සිත් ඇති මිනිස්‌සුන්ට මේ තාත්තාගේ ජීවිත වේදනාව දැනෙනු ඇති බව අපට විශ්වාසය.

http://www.divaina.com/2014/10/05/feature03.html

0 comments: