Pages

Sunday, October 19, 2014

තිත්ත ඇත්ත - ආණ්ඩු නටවන දුම්කොළ සමාගම්

විටින් විට ඇතැම් භාණ්‌ඩ මිල ගණන් ඉහළ පහළ යයි. එහෙත් සමස්‌තයක්‌ ලෙස රටේ පොදු මිල මට්‌ටම සෑම විටම වැඩිවෙමින් තිබේ. ඉන්ධන, ගෑස්‌ හෝ වෙනත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ගණන් ඇතැම් විට සැලකිය යුතු අගයන්ගෙන් ඉහළ යයි. ඒවා ඇතැම් විට අඩුවුවත්, අඩු වන්නේ සුළු අගයන්ගෙනි. මේ අතර සිගරට්‌ මිල දිගින් දිගටම වැඩිවෙමින් තිබුණත් එහි තරමක විශේෂත්වයක්‌ ඇති බව අප කලක්‌ තිස්‌සේම නිරීක්‍ෂණය කර ඇති දෙයකි. එම විශේෂත්වය නම් සිගරට්‌ මිල කාලාන්තරයක්‌ තිස්‌සේ අඛණ්‌ඩව වැඩිවෙමින් තිබුණත් එය සිදුවෙමින් තිබෙන්නේ ඉතා අඩු අගයන්ගෙන් බවයි. එනම් නිතරම සිගරට්‌ මිල ගණන් වැඩි වන්නේ රුපියලකින්, දෙකකින් වැනි ඉතා සොච්චම් අගයන්ගෙනි. සිගරට්‌ මිල වැඩිකිරීම වාර්ෂික අයවැයෙන් සිදුකළත් වසරේ වෙනත් කලෙක සිදුකළත් මේ ස්‌වභාවය අපට දැකගත හැකිය. "මතට තිත" ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන වත්මන් මහින්ද රාජපක්‍ෂ රජය යටතේද සිදුවෙමින් තිබෙන්නේ එයයි. මෙසේ වන්නේ ඇයි? මෙහි අහිතකර බලපෑම් මොනවාද? මේ ලිපියෙන් අපි ඒ ගැන අවධානය යොමු කරමු. 

මීට කලකට ඉහතදී සිදුකර තිබූ විශ්ලේෂණයකින් අනාවරණය කර තිබුණේ දුම්වැටි සඳහා බදු අය කිරීමේ සහ මිල නියම කිරීමේ ප්‍රතිපත්තියේ පවතින දුර්වලතා නිසා පසුගිය වසර හතක (වර්ෂ 2005 සිට 2011 දක්‌වා) කාලය තුළදී රජයට ලබාගත හැකිව තිබූ රු. කෝටි 10,000 ක පමණ අති විශාල බදු ආදායමක්‌ රජයට අහිමි වී ගොස්‌ තිබුණු බවයි. වෙරිටේ නම් පර්යේෂණ ආයතනය විසින් රජයේම සංඛ්‍යා ලේඛන යොදාගෙන කර තිබූ එම විශ්ලේෂණය මගින් පැහැදිලි වූයේ එවකට පැවති සිගරැට්‌ මිල ගණන් තව සියයට 40 කින් පමණ ඉහළ නැංවිය යුතුව තිබුණු බවයි. ඒ හරහා රජයේ බදු ආදායමද ඉහළ නංවා ගත හැකිව තිබුණි. එහෙත් පසුගිය වසර ගණනාවක්‌ මුළුල්ලේ, මෙන්ම මේ දක්‌වාද සිදුවෙමින් පවතින්නේ රජයේ මතට තිත ප්‍රතිපත්තියටද පටහැනිව මෙන්ම රටේ ඒක පුද්ගල ආදායම් අගයන් ඉහළ යැමට සාපේක්‍ෂවද රජය අයකරන දුම්වැටි බදු මුදල් වැඩි නොකර ඒ සඳහා අඩු බදු ප්‍රතිපත්තියක්‌ පවත්වා ගැනීමයි. එවැනි ප්‍රතිපත්තියක්‌ රජයේ මූල්‍ය බලධාරීන් ක්‍රියාත්මක කරමින් සිටින්නේ ඇයි? ඇතැමුන් පවසන්නේ මෙසේ දුම්වැටි සඳහා අඩු බදු ප්‍රතිපත්තියක්‌ පවත්වා ගැනීම පිටුපස දුම්කොළ කර්මාන්තයේ අනිසි බලපෑමක්‌ ඇති බවට සාධාරණ සැකයක්‌ පවතින බවයි. එහෙත් රජයට අවශ්‍ය නම් ලබන සතියේ ඉදිරිපත් වන අයවැයෙන් වුවද මේ අහිතකර තත්ත්වය නිවැරැදි කළ හැකිය. ලබන වසර (2015) සඳහා වන රාජ්‍ය අයවැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත්තේ ඔක්‌තෝබර් 24 වැනි සිකුරාදාය.

දුම්වැටි බදු ප්‍රතිපත්තියේ පවතින දුර්වලතා ගැන අනාවරණය කළ එම පර්යේෂණ තොරතුරු සම්බන්ධයෙන් අදහස්‌ දක්‌වමින් වෙරිටේ පර්යේෂණ ආයතනයේ අධ්‍යක්‍ෂ ආචාර්ය නිශාන්ද මෙල් මහතා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියටද මේ තොරතුරු ලබාදුන් බවයි. මේ තත්ත්වය නිවැරදි කරගෙන අනාගතයේදී හෝ දුම්වැටිවලින් නිසි බදු ආදායමක්‌ උපයා ගැනීමට නම් දුම්වැටියක මිල තවත් සියයට 40 කින් පමණ ඉහළ නැංවිය යුතු බවද ආචාර්ය නිශාන් මහතා ඒ අවස්‌ථාවේ පැවසූ අදහසකි. එහෙත් තවමත් දුම්වැටියක මිල පවතින්නේ රු. 30 ක්‌ වැනි මිලකය. එහෙත් දුම්වැටියක මිල රු. 40 ක්‌ පමණ දක්‌වා වැඩි විය යුතුව තිබේ. එසේ නම් රජය එය නොකර රුපියලකින් දෙකකින් වැනි සොච්චමකින් පමණක්‌ සිගරට්‌ මිල වැඩි කරමින් රජයට හොඳටම ලබාගත හැකිව තිබෙන බදු ආදායම අහිමි කර ගනිමින් සිටින්නේ ඇයි. " මතට තිත" ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරනවා යෑයි කියන රජය අනියමින් මේ කරන්නේ එක්‌ අතකින් දුම්කොළ කර්මාන්තයට අතදීමකි. අනිත් පැත්තෙන් දුම්පානය තව තවත් ධෛර්යමත් කිරීමකි. ඉහළ ආර්ථික වර්ධනය සහ ඒක පුද්ගල ආදායමේ වැඩිවීම ගැන රජය මහ ඉහළින් කතා කරයි. එහෙත් දිගින් දිගටම රජය දුම්වැටි සඳහා බදු අඩුවෙන් අය කිරීමේ ප්‍රතිපත්තියක්‌ පවත්වාගෙන යාම නිසා දුම්වැටි සාපේක්‍ෂව ලාභදායක වී ඒවා මිලදී ගැනීමට මහජනතාවට ඇති හැකියාව (ක්‍රය ශක්‌තිය) ඉහළ ගොස්‌ තිබේ. මෙය දුම්පානය ධෛර්යමත් කිරීමක්‌ නොවන්නේද. රටේ මුදල් ඇමතිවරයා වන්නේද ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාමය. එහෙත් එම අමාත්‍යාංශයෙන්ම දුම්වැටි භාවිතය දිරිමත් කෙරෙන බදු ප්‍රතිපත්තියක්‌ පවත්වා ගෙන යනු ලබන්නේ නම් එය "මතට තිත" ප්‍රතිපත්තියට පටහැනි. තත්ත්වයක්‌ බව කනගාටුවෙන් වුවත් කීමට සිදුවේ. දුම්කොළ බදු සම්බන්ධයෙන් අදහස්‌ දැක්‌ වූ අර්ථ ශාස්‌ත්‍රඥයන් කීපදෙනෙක්‌ම මේ ලියුම්කරුට කීවේ අනිත් බදුවලට සාපේක්‍ෂව දුම්කොළ බදු කලක්‌ තිස්‌සේම වැඩි වී නොමැති බවයි. මෙය දුම්කොළ කර්මාන්තයේම අනියම් බලපෑමක්‌ය යන චෝදනාවද මේ සමගම නැඟෙන්නකි. 

අපි දුම්වැටි බදු සම්බන්ධයෙන් මෙතරම් කතා කරන්නේ දුම්වැටි භාවිතයේ අහිතකර ප්‍රතිඵල නිසාම පමණක්‌ නොවේ. දුම්වැටි මිල ඉහළ යැම තරුණ සහ අලුතින් දුම්වැටි භාවිතයට හුරුවන අයට ඉන් ඉවත්වීමටද බලපෑමක්‌ ඇති කරන නිසයි. තදින් දුම්පානයට හුරු වී සිටින අය, දුම්වැටි මිල ඉහළ ගියත් දුම්පානය අත් නොහරින නිසා වැඩි කරන දුම්කොළ බදු හරහා රජයේ බදු ආදායමද ඉහළ යයි. පසුගිය සතියේ ද, රජය දුම්වැටි මිල වැඩි කිරීමක්‌ කළේය. ඒ අනුව ඉකුත් ඔක්‌තෝබර් 10 වැනිදා ඇතැම් සිගරට්‌ වර්ග මිල රුපියලකින් සහ තවත් සිගරට්‌ වර්ගවල මිල රුපියල් දෙකකින්ද වැඩි විය. මේ වැඩිකිරීමෙන් පසුවද බහුලව පානය කරන සිගරට්‌ වර්ගවල මිල වැඩි වී ඇත්තේ රු. 30 දක්‌වා පමණි. සියල්ල සිදුවෙමින් තිබෙන්නේ දුම්කොළ කර්මාන්තයේ අවශ්‍යතා අනුව බවට සිතන්නට සිදුව තිබෙන සෙයකි. වරක්‌ දිවයින පුවත්පත සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකදී අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙසේ ප්‍රකාශ කළේය.

"ඔබ ඔය ප්‍රශ්නය අහන්නේ... මේ ලෝකය පාලනය කරන්නේ දේශපාලනඥයෝ කියල හිතාගෙනයි. ...නැහැ. ලෝකය පාලනය කරන්නේ දේශපාලනඥයින් නොවෙයි. අද මුළු ලෝකයේම පාලනය තියෙන්නේ ව්‍යාපාරිකයන් අතේ. ව්‍යාපාරිකයන් තමයි, ලෝකයේ දියුණු රටවල තීන්දු තීරණ ගන්නෙත්. මේ බහුජාතික සමාගම් අන්තර්ජාතික වශයෙනුත් බොහෝ සම්බන්ධකම් තිබෙන පිරිසක්‌. ඒ ගැනත් අපි දැනගන්න ඕනේ."

ඇමැතිවරයා පවසන පරිදිම දුම්කොළ කර්මාන්තය මෙන්ම, එහි නිරත සමාගම් ද ඉතා ප්‍රබලය. අප ඉහතින් සඳහන් කළ කාරණාවලට ද ඇතැම් විට හේතු වන්නට ඇත්තේ සෞඛ්‍ය ඇමැතිවරයා නොකියා කියන එකී මිනීමරු කර්මාන්තයේ බලපෑම් වන්නටද බැරි නැත.

සිගරැට්‌ මාරයා රටේ ආර්ථිකයටද වින කටින්නෙකි. මේ කියන සෞඛ්‍ය වියදම් පැත්තෙන් පමණක්‌ නොවේ. මීට කලකට පෙර සිදුකළ ගණනය කිරීමකට අනුව දුම්වැටි අලෙවිය හරහා එක්‌ දිනකට පමණක්‌ රටින් පිටට ඇදී යන මුදල් ප්‍රමාණය රු. කෝටි 15 ක්‌ පමණ වන අතිවිශාල මුදලකි. මෙය 365 න් වැඩි කළ විට වසරකට රු. කෝටි 5475 ක්‌ තරම් අති විශාල මුදලකි. මේ මුදල්, මේ රටේ ජනයාට සිගරැට්‌ පෙවීම හරහා බ්‍රිතාන්‍ය ඇමෙරිකානු දුම්කොළ සමාගමට ඇදී යයි. මෙරට දුම්කොළ කර්මාන්තය නියෝජනය කරන සමාගමේ වැඩි අයිතියක්‌ ඇත්තේ ඉහත කී බ්‍රිතාන්‍ය ඇමරිකානු දුම්කොළ සමාගමටය. අපේ රටේ ආර්ථිකය තුළ කෘෂිකර්මයට තවමත් ඉතා වැදගත් තැනක්‌ හිමිවෙයි. ඒ නිසා රට ආර්ථික ප්‍රගතිය කරා ගෙන යැමේදී ග්‍රාමීය ආර්ථික සංවර්ධනය ද ඉතා වැදගත්ය. එහෙත් එම ග්‍රාමීය ජනයා දුක්‌ මහන්සියෙන් උපයන මුදල් සිගරැට්‌ බීම හරහා ධනවත් රටවලට ඇදී යන විට ග්‍රාමීය ආර්ථික සංවර්ධනය ඇති කරන්නේ කෙසේද? ග්‍රාමීය දිළිඳුකම නැති කරන්නේ කෙසේද? ඒ නිසා ග්‍රාමීය ජනයාගේ ජීවන තත්ත්වය උසස්‌ මට්‌ටමකින් පවත්වාගෙන යැමට සහ රටේ ආර්ථික සංවර්ධනයට යොදා ගත හැකි විශාල මුදල් සම්භාරයක්‌ අපේ ජනතාවට දුම්වැටි පොවා, කෙළින්ම විදේශ සමාගමක්‌ විසින් ඇද ගනිමින් සිටී. දුම්වැටි බොන්නේ වැඩි වශයෙන්ම අඩු සහ මධ්‍යම ආදායම් ලබන සාපේක්‍ෂව දුප්පත් අය වන නිසා මෙය ග්‍රාමීය දිළිඳුකම වැඩිකරන ප්‍රධාන සාධකයක්‌ද වේ.

පවුලේ ආර්ථිකයටත්, රටේ ආර්ථිකයටත් සෘජුවම වන හානියට අමතරව වක්‍රාකාරයෙන්ද සිදුවන, දුම්බීමේ ආර්ථික ආදීනව බොහොමයකි. සිගරැට්‌ටුවක 4000 කට අධික විෂ රසායනික ද්‍රව්‍ය තිබෙන නිසා, ඔහු රජයේ සේවකයකු වුවත් පෞද්ගලික සේවකයකු වුවත් ඒ අයගේ වැඩ කිරීමේ කාර්යක්‍ෂමතාව දුම්බීම නිසා බෙහෙවින් අඩු වෙයි. දිනකට සිගරැට්‌ 10 ක්‌ බොන කෙනෙක්‌ වුවත් රස කරමින් ආශ්වාදයක්‌ ලබමින් දුම්බීම සිදු කරන නිසා ඔහුගේ වැඩ කරන කාලයෙන් පැයකටත් වැඩිය අපතේ යයි. එවිට ඔහු වැඩ කරන්නේ පැය හතකි. පිරිමි අයගෙන් සියයට 36 ක්‌ පමණ දුම්බොන නිසාත්, මින් බොහෝ දෙනෙක්‌ රටේ ශ්‍රම හමුදාවේ සාමාජිකයන් නිසාත් මේ තත්ත්වය රටේ සමස්‌ත කාර්යක්‍ෂමතාවට සහ ඵලදායිතාවට බලපෑමද වැළැක්‌විය නොහැකිය. එසේම වෛද්‍යවරු පවසන පරිදි දුම්පානය කරන අයගේ මතක ශක්‌තිය අඩු වෙයි. ඒ නිසා ඒ අය කරන ඇතැම් වැඩ රාජකාරි නැවත නැවත කරන්නටද සිදු වෙයි.

දුම්වැටිය කොටි ත්‍රස්‌තවාදයටත් වඩා බිහිසුණු ත්‍රස්‌තවාදයකි. සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතාම පවසන පරිදි දුම්වැටි පානය සහ ඒ ආශ්‍රිත රෝගවලින් වසරකට 21000 ක පමණ පිරිසක්‌ මියයති. මෙය එක්‌ දිනකට 60 ත් 65 ත් අතර ප්‍රමාණයකි. මේ අනුව කොටි ත්‍රස්‌තවාදය නිසා වසර 30 ටම මියගිය ප්‍රමාණයට තරමක්‌ අඩු ප්‍රමාණයක්‌ දුම්බීම නිසා එක වසරකට පමණක්‌ මිය යයි. මෙසේ රටට අහිමි වන්නේද බොහෝ සේ හොඳින් වැඩකළ හැකි ශ්‍රම බලකායේ සාමාජිකයන්ය. එම මිනිස්‌ ජීවිතවල වටිනාකම අපට මුදලින් තක්‌සේරු කිරීමටද පුළුවන්කමක්‌ නැත. එසේ අහිමි වන්නේ රටේ ආර්ථික ක්‍රියාකාරීත්වයට, නිෂ්පාදනයේ වර්ධනයට ඉහළම දායකත්වයක්‌ සැපයිය හැකි ක්‍රියාශීලී පිරිසකි. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන පරිදි වර්ෂ 2020 වන විට ලෝකයේ දුම්පානය නිසා සිදුවන මරණ සංඛ්‍යාව මිලියන 10 ක්‌ දක්‌වා ඉහළ යන අතර එම මරණවලින් සියයට 40 ක්‌ම ලංකාව වැනි දියුණු වෙමින් පවතින රටවල ජනතාවයි.

පියෙකුගේ දුම්පානය නිසා පවුලේ ආර්ථිකය විනාශ වීමට අමතරව එම පවුලේ සතුටද විනාශ වී යයි. එම නිසා ඔහු ලෙඩ වුවහොත් ඔහුට පෙර මෙන් තම රක්‌ෂාව කිරීමට නොහැකි වෙයි. ඔහුට ආදායම් මාර්ග අහිමි වී තවත් දරිද්‍රතාවයට ඇද වැටෙයි. යම් හෙයකින් එම පියා මිය ගියහොත් ඔහුගේ දරුවන්ගේ අධ්‍යාපනය පමණක්‌ නොව පවුලේ අනාගතයම අඳුරු වෙයි. ඇතැම් විට දුම්වැටි අලෙවියෙන් රජය උපයන බදු ආදායම ගැන මහ ඉහළින් කතා කළත්, පවුලේ සතුට හෝ වසරකට මිය යන 21000 ක්‌ පමණ මිනිස්‌ ජීවිතවල වටිනාකම මුදලින් තක්‌ස්‌රු කළ හැකිද යන ප්‍රශ්නය අපට ඇසීමට සිදු වේ. සෞභාග්‍යමත් ජන සමාජයක්‌ යනු සතුටින් හා ප්‍රීතියෙන් කල්ගෙවන මිනිසුන්ගෙන් සමන්විත ජන සමාජයකි. මේ සියලු කරුණු අනුව දුම්වැටි අසුරනවල සියයට 80 කටත් වැඩි ප්‍රමාණයක දුම්බීමේ ආදීනව දැක්‌වෙන රූප ඇතුළත් කළ යුතු බවට සෞඛ්‍ය ඇමැතිවරයා කියන අදහසට රටේ අති මහත් බහුතර ජනතාව එකඟ වනු ඇත. එය ජනතාවගේ ජීවිත බේරා ගැනීමේ සහ සෞඛ්‍යය රැක ගැනීමේ සටනක්‌ පමණක්‌ නොවේ. රටේ ආර්ථිකය පෙළන ආර්ථික ඝාතකයකුට එරෙහිව කරන සටනක්‌ද වේ. මේ රජයේ ම ඇතැම් අය අකමැති විය හැකි වුණත් එසේම වෙනත් කුමන බාධක පැමිණියත් එය නතර කළ යුතු නැත.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
http://www.divaina.com/2014/10/19/economic09.html

Pic Source

සබැඳි ලිපි කිහිපයක් -
[
මධ්‍යසාර පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය හදා ඉවරයි. සිගරට්‌වලට කරපු දේ අරක්‌කුවලටත් කරනවා - මෛත්‍රිපාලhttp://denethharinna.blogspot.com/2014/07/blog-post_15.html
සිගරැට්‌ පැකට්‌ටුවේ රූපමය අවවාද නඩු තීන්දුවට එරෙහිව දුම්කොළ සමාගම් ශ්‍රේෂ්ඨාධිකරණයටhttp://denethharinna.blogspot.com/2014/05/blog-post_1183.html
සිගරැට්‌ පැකට්‌ටුවේ රූපමය අවවාද - 80% ඉලක්කයට යමු!http://denethharinna.blogspot.com/2014/05/80_17.html
උණ සෙම්ප්‍රතිෂ්‍යාව තරමටම පිළිකා රෝගයත් වර්ධනය වෙලා. තර්ජනවලට බයේ දුම්වැටියට එරෙහි සටන නවත්වන්නේ නැහැ - මෛත්‍රිපාලhttp://denethharinna.blogspot.com/2014/05/blog-post_8960.html
සිගරැට්‌ රූපමය අවවාදය : අධිකරණ තීන්දුව ගැන මා තෘප්තිමත් නැහැ. 80% දිනනතුරු සටන අතහරින්නේ නැහැ - මෛත්‍රිපාලhttp://denethharinna.blogspot.com/2014/05/80.html
මාරක දුම්කොල සමාගම් වෙනුවෙන් නි.ඇමති මුස්තාපා සමඟ බහුතර මුසලු නීතීඥයන් - දුම්වැටි රූපමය අවවාද - 80% ඉල්ලීම ඉවතට. 50-60% අවසරhttp://denethharinna.blogspot.com/2014/05/50-60.html
ගැහැට දුක්‌ මැද්දෙන් සිගරැට්‌ පැකට්‌ටුවට රූපමය අවවාද එයි!
http://denethharinna.blogspot.com/2014/02/blog-post_4342.html
රට රැකුණේ මහා සංඝරත්නය නිසා - මතින් තොර සමාජයක්‌ යටතේ සඟ රුවනට සුව දැහැත් වට්ටියක් - මෛත්‍රීhttp://denethharinna.blogspot.com/2014/02/blog-post_5164.html
එංගලන්තයේ සහ ඇමෙරිකාවේ සුදු මහත්වරුන්ට අයිති සමාගම් අපේ අධිකරණයට ඇවිල්ලා සාකච්ඡා කරනවා. ගැසට් නිවේදනයට දෙයියන්ගේ පිහිටයි – මෛත‍්‍රීhttp://denethharinna.blogspot.com/2013/11/blog-post_5398.htmlදුම්කොළ අධිරාජ්‍යයේ යටත්වැසියන් වන අපි...http://denethharinna.blogspot.com/2013/11/blog-post_9187.htmlමේ ලෝකෙ පාලනය කරන්නෙ දේශපාලකයෝ නොවේ, බහු ජාතික සමාගම්! - මතට එරෙහි සටනේ රජරට විරුවා මෛත්‍රිපාලhttp://denethharinna.blogspot.com/2013/10/blog-post_8370.html80%ක් දුන්නොත් වෙළඳ ලකුණ පේන්නෙ නැහැලු. නියෝගය ඉවත්කරන්න. මුස්තාපාගෙන් ගල් පැලෙන තර්ක. සිගරට් සමාගම් වෙනුවෙන් ෆායිස් මුස්තාපා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලයි. 80% නියෝගය ශේ්‍රෂ්ඨාධිකරණය අත්හිටුවයි!http://denethharinna.blogspot.com/2013/09/80-80-80.htmlසිගරැට්‌ පැකට්‌වල රූපමය අවවාද ප්‍රදර්ශනය කිරීම ඉක්‌මන් කරන්න - ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_5670.htmlහැම අතකම සිගරැට්‌ - ඇත්ත සඟවන දුම්වැටි මාෆියාව - දිවයින කතුවැකියhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_9229.htmlදුම්වැටි විරෝධී සටන ජාතික අරගලයක් කරන සටනේ නායකයා මමයි - රටරටින් බිහිවූ දෙවන විශිෂ්ට මෛත්‍රීපාලයන්http://denethharinna.blogspot.com/2013/09/blog-post_6542.html
]

0 comments: