Pages

Monday, October 13, 2014

විශ්වාසනීය යුග පෙරළියකට හෙළ උරුමය උදව් කරනවා - චම්පික

මේ ආණ්‌ඩුව 2005-2010 කාලය තුළ ත්‍රස්‌තවාදය පරාජය කොට රටට විශාල ජයග්‍රහණ ලබාදුන්නා. දේශීය හා විදේශීය බලවේග පරාජය කරමින් ආර්ථික වශයෙන්ද රට ඉදිරියට ගෙනගියා. ඒත් දැන් තිබෙන තත්ත්වය උඩ ආණ්‌ඩුව ගැන සෑහීමට පත්වන්නට නොහැකි යෑයි ජාතික හෙළ උරුමයේ නායකයකු හා තාක්‍ෂණ, පර්යේෂණ සහ පරමාණු බලශක්‌ති ඇමැති පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවැසුවේ "දිවයින" සමඟ පැවැති සාකච්ඡාවකදීය.

එහිදී සිය පක්‍ෂයේ ඉදිරි ගමන පිළිබඳවත් රටේ තත්ත්වය ගැනත් ඇසූ ප්‍රශ්න වලට රණවක මහතා දුන් පිළිතුරු මෙසේය.

ප්‍රශ්නය - ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් විසින් ඉදිරිපත් කොට ඇති "පිවිතුරු හෙටක්‌" වැඩසටහන හෙළ උරුමයේ නිල වැඩසටහනක්‌ද?

පිළිතුර - නැහැ. එය අපේ පක්‍ෂයේ එකක්‌ නොවෙයි. එය දේශපාලන නොවන විද්වතුන් ආදීන් සිවිල් සංවිධාන එකතුකරගෙන කරන වැඩසටහනක්‌. ඒකට දැන් දේශපාලන පක්‍ෂත් එකතුවෙලා. නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනයක්‌ ගෙන ඒම එහි අරමුණයි. දැනට ව්‍යවස්‌ථා සංශෝධනයක්‌ රටට අවශ්‍යයි.

සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනියට 1970 මැතිවරණයෙන් 2/3 ක ජනබලයක්‌ ලැබුණා. එතුමිය ව්‍යවස්‌ථා විප්ලවයක්‌ කළා. මෙරට ජන රජයක්‌ බවට පත්කළා. රටේ ඒකීයභාවය ඇතිකළා. බුද්ධාගමට නිසිතැන ලබාදුන්නා.

ඡේ. ආර්. ජයවර්ධන මහතාටත් 2/3 බලය ලැබුණා. 1977 දී එතුමා විධායක ජනාධිපති ක්‍රමය හඳුන්වා දුන්නා. අනුපාත ඡන්ද ක්‍රමය ඇතිකළා. මානව හිමිකම් කියල එකක්‌ හඳුන්වාදුන්නා. එතුමාත් ව්‍යවස්‌ථා විප්ලවයක්‌ කළා.

හැබැයි තුනෙන් දෙකේ බලයක්‌ හිමිවූ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා එවැනි දෙයක්‌ කළේ නැහැ. ඒක බලවත් දේශපාලන වරදක්‌. අපි එතුමාට යෝජනා කළා විධායක ජනාධිපති ක්‍රමයේ තිබෙන අත්තනෝමතික බලය සීමාකරන්න කියලා. ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ඇතුළු බොහෝ දේශපාලන පක්‍ෂත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන ලෙස ඉල්ලා සිටියා. ඒත් ඒක අහෝසි කළේ නැහැ. අපි නම් කිව්වා අපි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවාට විරුද්ධයි හැබැයි විධායක ජනාධිපතිගේ අත්තනෝමතික බලතල අහෝසි කළයුතුය කියල. නැත්නම් අසීමිත බලය සීමාකළ යුතුය කියා. උදාහරණයක්‌ ලෙස කියනවානම් මන්ත්‍රීන් 225 දෙනාටම ඇමැතිකම් දීමට ජනාධිපතිට ඇති බලය ඒ වගේම එකම ඇමැතිවරයකුවත් නොමැතිව සියලුම ඇමැති තනතුරු තමා යටතට පවරා ගැනීමට ඇති බලය අමාත්‍යංශ ලේකම්ලා වශයෙන් කිසිම සුදුසුකමක්‌ නැති අය හා වයස වැඩිඅය පත්කිරීමට තිබෙන බලය, ඒ වගේම ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියාචනාධිකරණයේ විනිශ්චකාරවරුන් පත්කිරීමට ජනාධිපතිට ඇති බලයට මෙන්න මේ වගේ බලතල අහෝසි කරන ලෙසයි අපි ඉල්ලා සිටියේ "පිවිතුරු හෙටක්‌" වැඩපිළිවෙළේද මේවා තිබෙනවා. ඒ වගේම සමානුපාතික ඡන්ද ක්‍රමය අහෝසිකිරීම. මෙය පළාත් පාලන මැතිවරණ වලින් ඉවත් කරන්න තීරණය කළා. ඒ වුණාට මෙය වැදගත් වන්නේ පාර්ලිමේන්තු මැතිවරණ වලටයි. මහජනයාට වග කියන මන්ත්‍රීවරයකු කොට්‌ඨාස ක්‍රමය මගින් පත්කර ගැනීමට මහජනයාට අයිතිය තිබිය යුතුයි. මේවා තමයි අප ඉල්ලන්නේ.

ඊළඟට පළාත් සභා ක්‍රමය. මෙය අපට බලෙන් පැටවූ එකක්‌. අඩුම තරමේ මේ පළාත් සභා ක්‍රමයේ තිබෙන භයානකම අංග 5 ක්‌ අහෝසිකරන ලෙස අපි ඉල්ලා සිටියා. පළාත් ඒකාබද්ධ කිරීමේ බලය, පළාත් සභා විසුරුවා හැරීමට පළාත් ආණ්‌ඩුකාරයාට තිබෙන බාධාවක්‌, පළාත් සභාවලට දීල තිබෙන පොලිස්‌ බලය, ඉඩම් බලතල, ඒවගේම පළාත් සභාවේ සමගාමී ලැයිස්‌තුවේ බලය පළාත් සභාවට පවරා තිබීම ආදී මේවගේ කරුණු ගණනාවක්‌ සංශෝධනය කරන ලෙස අප ඉල්ලා සිටියා. නමුත් ආණ්‌ඩුව ඒක සංශෝධනය කළේ නැතුවා විතරක්‌ නොවෙයි ආණ්‌ඩුව භයානක දේශද්‍රෝහී වැඩත් කළා. ඒක තමයි පළාත් සභා ක්‍රමය සංශෝධනය නොකර කොටි සංවිධානයේ දේශපාලන අංශය වන දෙමළ ජාතික සන්ධානයට උතුරු පළාත් සභාව පවරාදීම. අඩුම තරමේ උතුරේ අනාථ වී සිටින සිංහල හා මුස්‌ලිම් ජනතාව නැවත පදිංචි කිරීමටවත් පියවර ගත්තේ නැහැ. සිංහලකරණය, සිංහලකරණය කියමින් ආ දෙමළ සන්ධානයේ හඬට ඉන්දියාවේ හඬට බයවෙලා ආණ්‌ඩුව කටයුතු කළා. ආණ්‌ඩුව ජනතාවගේ බලාපොරොත්තු අරමුණු ඉෂ්ට කළේ නැහැ. ඒනිසා ජනතාව ආණ්‌ඩුවට දීල තිබුණු ජනවරම දැන් අහෝසියි. මේ ආණ්‌ඩුවට දෙමළ අන්තවාදීන් ඡන්දෙ දුන්නෙත් නැහැ. මුස්‌ලිම් අන්තවාදීන් ඡන්දෙ දුන්නෙත් නැහැ. දේශමාමක පිරිස්‌ තමයි ආණ්‌ඩුවට ඡන්දෙ දුන්නේ.

ඒ වගේම අද මේ රටේ දැවෙන ප්‍රශ්නයක්‌ තමයි දූෂණය හා වංචා. අද මෙය ප්‍රාදේශීය සභා මන්ත්‍රී දක්‌වා ඔඩුදුවා තිබෙන ප්‍රශ්නයක්‌. මිනිස්‌සුන්ටත් ආණ්‌ඩුව ගැන විශ්වාසයක්‌ නැති ප්‍රශ්නයක්‌. දූෂණය මැනීමේ කුලකයෙන් අපි දවසින් දවස පහළ යනවා. රටේ දූෂණය වංචාව විශාල ලෙස පැතිරී තිබෙන බව ඕනෑම කෙනෙක්‌ පිළිගන්නවා. විශාල වැරදි කරපු අයට දඬුවම් නැහැ. පොඩි පොඩි වැරදි කරපු අයට පමණයි දඬුවම් ලැබෙන්නේ.

දූෂණය භීෂණය ගැන කතා කරමින් බලයට පත්වූ චන්ද්‍රිකා රජයත් දූෂණ මර්දන පනතක්‌ ගෙනාවා. හැබැයි ඒකෙන් වැඩක්‌ වුණේ නෑ. රටේ තිබෙන කළමනාකරණය දූෂණය, තාක්‍ෂණික දූෂණය හා කළමනාකරණ දූෂණය යන මේවායි. දඬුවම් කරන්න ඕන. ඒනිසා සම්පූර්ණ බලය සහිත දූෂණ මර්දන කොමිසමක්‌ වෙනුවෙන් අපි පෙනී සිටිනවා. තාක්‍ෂණ දූෂණය ගැන විස්‌තර දැනගන්නට නම් මගේ "බලය හා බලය" කියන පොත කියවන්න. පසුගිය අවුරුදු 30 ක කාලය තුළ මේ තාක්‍ෂණික දූෂණය මේ රටේ ඇතිකළ මහා පරිමාණ මෙගා ව්‍යාපෘතිවල සිදුවී තිබෙනවා.

ඊළඟට උසාවිය. අද උසාවිය ගැන විශ්වාසය නැතිවී තිබෙනවා. අර සිගරැට්‌වල රූපමය අවවාද පිළිබඳ නඩුවේ තීන්දුව ප්‍රමාද කිරීමෙන් අධිකරණය ගැන තිබෙන විශ්වාසය බිඳ වැටිලා. අධිකරණය අපක්‍ෂපාතී තැනක්‌ විය යුතුයි. දුප්පත් රටක්‌ වන ඉන්දියාවේත් අධිකරණය ස්‌වාධීනයි. අපේ රටේ මේක කරන්න බැහැ.

මේ සම්බන්ධයෙන් අද රටේ ජනමතයක්‌ ඇතිවී තිබෙනවා. එය පිළිගත යුතුයි. එයට ගරුකළ යුතුයි.

ඒනිසා මේ සම්බන්ධයෙන් සමාජ මතයක්‌ අද රටේ තිබෙනවා. ඒකට අපි ඇහුම්කන් දීලා ඒ අනුව ක්‍රියාකළ යුතුයි. යන්නත් වාලේ යන්න බැහැ. ඒ නිසා පිවිතුරු හෙටක්‌ වැඩපිළිවෙල මගින් අපි යෝජනා කරන්නේ ස්‌වාධීන ආයතන තුනක්‌ ඇති කරන්න.

ප්‍රශ්නය - එතකොට මේක පක්‍ෂයේ එකක්‌ නේද?

පිළිතුර - නැහැ. පක්‍ෂයේ මතයත් මේකයි. මෙය පුළුල් විදියට ගෙන යා යුතුයි. ස්‌වාධීන මැතිවරණ කොමිසමක්‌ ඇතිකළ යුතුයි. පළාත් සභා ක්‍රමය වෙනස්‌ විය යුතුයි. ප්‍රාදේශීය සභාවලට වැඩි බලතල දිය යුතුයි. ජන සභා පිහිටුවිය යුතුයි. මේවා තමයි අපේ යෝජනා.

අනික්‌ කරුණ තමයි දේශපාලන පක්‍ෂ තුළත් ප්‍රජාතන්ත්‍රවාදය ඇති කළ යුතුයි කියන එක. අද ප්‍රධාන පක්‍ෂවල අභ්‍යන්තරයේ ප්‍රජාතන්ත්‍රවාදය නැහැ. එක්‌සත් ජාතික පක්‍ෂයේ නායකයා අවුරුදු 20 කින් වෙනස්‌වී නැහැ. පක්‍ෂයේ කෘත්‍යාධිකාරි මණ්‌ඩලය පත්කරන්නෙත් නායකයා නායකයා පත් කරන්නෙ කෘත්‍යාධිකාරි මණ්‌ඩලයයි.

එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයෙන් වැදගත් තීරණ ගැනීමේදී හවුල්කාර පක්‍ෂ සම්බන්ධ කරගෙන නැහැ. දැන් මේ ජනාධිපතිවරණයක්‌ ළඟදී පැවැත්වීමට යන බව කියනවා. මේ ගැන අද වෙනකම් සන්ධානයේ සෙසු පක්‍ෂ වලට දැනුම් දීල නැහැ. ජනාධිපතිවරණයකට සූදානම් වෙනවා. කාර්යාල අරිනවා. ඒත් අපට තාම කියල නැහැ. ඒ නිසා මේ ප්‍රධාන පක්‍ෂ වල ප්‍රජාතන්ත්‍රවාදයක්‌ නැහැ. ඒ ගැන අපි කනගාටුවෙනවා.

දැන් ශ්‍රී ලංකාව මැදි ආදායම් රටක්‌. ලබන අවුරුද්දෙ පටන් ඉහළ මැදි ආදායම් රටක්‌. ඒනිසා හැත්තෑ ගණන් වල තිබූ අසූ ගණන් වල තිබූ ක්‍රමය දැන් ගැළපෙන්නේ නැහැ. දැන් රට පුරාම විදුලිය තිබෙනවා. දුරකථන තිබෙනවා. සියයට අනූ අටකට අකුරු කියවන්න පුළුවන්. සියයට පනහකට පරිගණක තිබෙනවා. ඒ නිසා උගත් රටකට ගැළපෙන උගත් දේශපාලනයක්‌ අද මේ රටට අවශ්‍යයි. ඉතින් ඒක වෙනුවෙන් අපි පෙනී සිටිනවා කටයුතු කරනවා.

ප්‍රශ්නය - මේ තත්ත්වය යටතේ හෙළ උරුමය ආණ්‌ඩුවේ ඉන්නේ ඇයි?

පිළිතුර - මේ ආණ්‌ඩුවට ජනතාව 2010 දී ජනවරමක්‌ දීල තිබෙනවා. ඒ ජන වරම 2016 දක්‌වා තිබෙනවා. ඒ නිසා ඒ ජනවරම අවසන් වන තුරු අපි ආණ්‌ඩුවේ ඉන්නවා. පැහැදිලිවම කියනවා ජනතාව මේ රජය ගැන තබා තිබූ බලාපොරොත්තු ඉෂ්ඨවෙලා නැහැ.

මේ රජය 2005-2010 කාලය තුළ රටට විශාල ජයග්‍රහණ ලබාදුන්නා. ත්‍රස්‌තවාදය යුදමය වශයෙන් පරාජය කළා. කිසියම් ආකාරයක යටිතල පහසුකම් නැංවීමක්‌ කළා. සමගියෙන් යුතුව ජාතික අරමුණකට රට ගමන් කළා. දේශීය විදේශීය බලවේග පරාජය කළා. ජාතිකමය ප්‍රබෝධයක්‌ රටේ ඇතිවුණා. ලෝක ආර්ථික අර්බුදයක්‌ තිබියදී පවා රට ආර්ථික වශයෙන් ඉදිරියට ගමන් කළා. ඒත් දැන් තිබෙන තත්ත්වය ගැන අපි කිසිසේත්ම සෑහීමට පත්වන්නේ නැහැ.

ප්‍රශ්නය - ජනාධිපතිවරණය ආවොත් ඔබේ පක්‍ෂය ගන්නා ක්‍රියාමාර්ගය කුමක්‌ද?

පිළිතුර - මෙහෙමයි, ජනාධිපතිවරණ ඕන කෙනෙකුට කැඳවන්නට පුළුවන්. ජනාධිපතිවරණය කැඳවන්න ඕන 2016 දී. ඒක ජනාධිපතිතුමාට තිබෙන අයිතියක්‌. නමුත් ජනාධිපතිවරණයට අපි වෙනම ප්‍රතිපත්ති මාලාවක්‌ ඉදිරිපත් කරනවා. ඒ ප්‍රතිපත්ති මාලාව අපේ පක්‍ෂ සමුළුවට ඉදිරිපත් කර සම්මත කරගන්නවා.

ප්‍රශ්නය - පක්‍ෂ සම්මේලනය තිබෙන්නේ කවදාද?

පිළිතුර - ඔක්‌තෝබර් 19 දා

ප්‍රශ්නය - පක්‍ෂ සම්මේලනයෙන් මේ ප්‍රතිපත්තිමාලාව අනුමත වූවාට පසු?

පිළිතුර - ඒ ප්‍රතිපත්ති මාලාව පිළිගන්නා අයට අපි ජනාධිපතිවරණයේදී සහයෝගය දෙනවා.

ප්‍රශ්නය - රනිල් වික්‍රමසිංහ මහතා මේ ප්‍රතිපත්ති මාලාව පිළිගත්තොත් ඔහුට සහාය දෙනවාද?

පිළිතුර - අපට ඒ ගැන ප්‍රශ්නයක්‌ නැහැ. රනිල් වික්‍රමසිංහ මහතාද සෝභිත හිමියන්ද කියා අපට වැඩක්‌ නැහැ. අපේ ප්‍රතිපත්ති මාලාවට එකඟවන අයටයි අප සහාය දෙන්නේ. හැබැයි අපි හිතන්නේ නැහැ රනිල් වික්‍රමසිංහ මහතාව ජාතික ප්‍රතිපත්තියකට අනුව කටයුතු කරන්න පුළුවන්වේවි කියා.

ප්‍රශ්නය - එතකොට පොදු අපේක්‍ෂකයා ගැන මොකද කියන්නේ?

පිළිතුර - මෙහෙමයි පොදු අපේක්‍ෂකයකු වන්නේ වෛරී සහගත න්‍යාය පත්‍රයකින් නම් ඒක සාර්ථක වෙන්නේ නැහැ. මහින්ද රාජපක්‍ෂ කෙසේ හෝ ඉවත් කිරීම සඳහාම එනවානම් ඒක කෙරෙන්නේ නැහැ. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට එනවානම් ඒක සාර්ථක වෙන්නෙත් නැහැ. රට අවුල්වෙන එක විතරයි ඒකෙන් වෙන්නේ.

කවුරු හරි පොදු අපේක්‍ෂක වේවා, පක්‍ෂ අපේක්‍ෂකවේවා, විපක්‍ෂ අපේක්‍ෂක වේවා රටේ දැන් තිබෙන ජයග්‍රහණ ආපසු හරවන්න නෙවෙයි මූලධර්මවාදීන් රජ කරවන්න නෙමෙයි. රට ඉදිරියට ගෙනයන ආර්ථික හා සමාජීය ප්‍රතිපත්තියකුයි අනුගමනය කළයුතු වන්නේ. රටට ගැළපෙන ප්‍රතිපත්තියක්‌ අපට පිළිගත හැකි අපට විශ්වසනීය ප්‍රතිපත්තියක්‌ ඉදිරිපත් කරන අපේක්‍ෂකයකුට අපි සහාය දෙනවා.

ප්‍රශ්නය - සෝභිත හාමුදුරුවෝ කියන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු බවයි. ඒ සඳහා මාස 6 ක මාර්ග සිතියමකුත් ඉදිරිපත් කරල තියෙනවා. ඒක කෙරෙයිද එය ප්‍රායෝගිකද?

පිළිතුර - විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම පරමාධිපත්‍යය පිළිබඳ ප්‍රශ්නයක්‌. කවුරු මොනවා කීවත් එය වෙනස්‌ කිරීමට ජනමත විචාරණයක්‌ අවශ්‍යයි. මෙය පාර්ලිමේන්තුවේ 2/3 ඡන්දයෙන් කරන්න පුළුවන් එකක්‌ නොවෙයි. මන්ද එය පරාමාධිපත්‍යය පිළිබඳ ප්‍රශ්නයක්‌ නිසා.

ජනාධිපති පත්කරන්නේ ජනතාවගේ සෘජු ඡන්දයෙන්නේ. ඒනිසා මෙය අනිවාර්යයෙන්ම ජනමත විචාරණයකට යොමුකළ යුතුයි. මෙය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කළ යුතු කාරණයක්‌.

විධායක ජනාධිපති ක්‍රමයේ වරද තමයි විධායක ජනාධිපති වටේ ජනවරමක්‌ නැති පිරිසක්‌ එකතුවෙලා හැමදාම රට කරගෙන යැම. මම මුලින් කී අඩුපාඩු සියල්ලම මේකෙ තියෙනවා. ඇමැතිවරු පත් කිරීම, ලේකම්වරු පත් කිරීම, විනිසුරුවන් පත්කිරීමේ තිබෙන අසීමිත බලය දැන් විශ්වවිද්‍යාලවල උපකුලපතිවරු පත්කිරීම මේ හැම එකකම අසීමිත බලයක්‌ ජනාධිපතිට තිබෙනවා. මේ හැම එකක්‌ම සමහර වෙලාවට හොඳට පාවිච්චි කරනවා. සමහර වෙලාවට නරකට පාවිච්චි කරනවා. ඒක නිසා සමහරවිට උසාවිය හෑල්ලු වෙනවා. විශ්වවිද්‍යාල හෑල්ලුවෙනවා. සමහර වෙලාවට අමාත්‍යංශ ලේකම් පදවි හෑල්ලු වෙනවා.

ප්‍රශ්නය - සෝභිත හාමුදුරුවො ජාතික හෙළ උරුමය හමුවී සාකච්ඡා කළොත් මොකද කියන්නේ?

පිළිතුර - සෝභිත හාමුදුරුවෝ ඇවිත් අප සමඟ සාකච්ඡා කළා. අපි අපේ ස්‌ථාවරය උන්වහන්සේට පැහැදිලි කළා. උන්වහන්සේගේ කණ්‌ඩායම අතරෙත් ඒක දැන් සාකච්ඡා වෙනවා ඇති. ඊට පස්‌සේ අපට ඒ ගැන යළි දැනුම් දීමක්‌ කළේ නැහැ.

පුද්ගලයෙක්‌ හැටියට උන්වහන්සේ මේ රටේ ඓතිහාසික ක්‍රියාදාමයක්‌ කළානේ. නමුත් උන්වහන්සේ වටේ සිටින ඇතැම් පිරිසක්‌ රාජ්‍ය නොවන සංවිධානවල පිරිසක්‌ උත්සාහ කරනවා උන්වහන්සේගේ ප්‍රතිරූපය පාවිච්චි කරමින් ඔවුන්ගේ අරමුණු ඉෂ්ඨ කර ගැනීමට.

අපට අවශ්‍ය විශ්වසනීය යුගපෙරළියක්‌ ඇති කිරීමටයි. ඒ සඳහා ජාතික හෙළ උරුමය හැමවිටම ක්‍රියා කරනවා.

සාකච්ඡා කළේ දයා ලංකාපුර
http://www.divaina.com/2014/10/13/feature01.html

Pic Source

0 comments: