Pages

Wednesday, October 8, 2014

බෞද්ධ දර්ශනය, භාෂා සාහිත්‍ය ඥනය ආදියෙන් පිරිපුන් බෙල්ලන මහ නාහිමි ශ්‍රී ලංකාවේ බිහිවූ ශ්‍රේෂ්ඨතම යතිවරයෙක්‌ - ඉත්තෑපානේ ධම්මාලංකාර හිමි

ශ්‍රී ජයවර්ධනපුර කෝට්‌ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක රාජකීය පණ්‌ඩිත, අග්ගමහා පණ්‌ඩිත, සාහිත්‍යසූරී අතිපූජ්‍ය බෙල්ලන ශ්‍රී ඤාණවිමල මහා නායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ සංඝ සභාවට ලබාදුන් ශක්‌තිය අනුපමේය බවත්, භාෂා ප්‍රවීණයකු වූ උන්වහන්සේ කිසිදු විටක කිසිදු පුරප්පාඩුවක්‌ නොතකමින් ඊළඟ සඟ පරපුරට වගකීම් පිරිනැමූ බවත් කෝට්‌ටේ ශ්‍රී කල්‍යාණි සාමගී්‍ර ධර්ම මහා සංඝ සභාවේ අභිනව මහානායක ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර හිමියෝ පැවසූහ.

අපවත් වී වදාළ අග්ගමහා පණ්‌ඩිත, සාහිත්‍ය සූරී බෙල්ලන ශ්‍රී ඤාණවිමල සියම් මහා නිකායේ කෝට්‌ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහනායක හිමියන්ගේ ආදාහන පූජෝත්සවය ඊයේ (07 වැනිදා) කොළඹ නිදහස්‌ චතුරශ්‍රය අසල පිහිටි ක්‍රීඩා අමාත්‍යාංශය භූමියේ පැවැති අතර එහිදී අනුශාසනාවක්‌ කරමින් උන්වහන්සේ මේ බව කියා සිටියේය.

අපවත් වී වදාළ මහානායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේගේ ශ්‍රී දේහය කොල්ලුපිටිය වාලුකාරාම විහාරස්‌ථානයේ තැන්පත් කර තිබූ අතර ඊයේ 

(07 වැනිදා) පස්‌වරු 2.30 ට පමණ ශ්‍රී දේහය 

රැගත් අවමංගල්‍යය රිය පෙරහැර වාලුකාරාම පාර, ආර්. ඒ. ද මෙල් මාවත හරහා ඇල්බට්‌ චන්ද්‍රවංකය ඔස්‌සේ නිදහස්‌ චතුරශ්‍රය අසල පිහිටි ක්‍රීඩා අමාත්‍යාංශ ක්‍රීඩා පිටිය වෙත පැමිණියහ.

මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමියන් විසින් ආදාහන පූජොත්සවයට වැඩම කළ මහනායක හිමිවරු ප්‍රමුඛ මහා සංඝරත්නය හා ප්‍රභූවරුන් හා ගිහි පැවිදි පිරිස පිළිගත් අතර මෙම අවස්‌ථාවට ජනාධිපති මහින්ද රාජපක්‌ෂ, අගමැති දි. මු. ජයරත්න, විපක්‌ෂ නායක රනිල් වික්‍රමසිංහ ඇතුළු මැති ඇමැතිවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු විශාල පිරිසක්‌ද එක්‌ව සිටියහ.

මෙහිදී පැවිදි අනුශාසනා තුනක්‌ සිදුකළ අතර එහිදී තවදුරටත් කතා කළ කෝට්‌ටේ සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අභිනව මහානායක ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමියෝ මෙසේද පැවසූහ.

අතිපූජ්‍ය බෙල්ලන ශ්‍රී ඤාණවිමල මහ නාහිමි උපන්නේ 1920 මාර්තු 26 වැනිදායි. 1929 මැයි මස 23 වැනිදා බෙල්ලන ශ්‍රී ධර්මපාල විහාරයෙන් මූලික අධ්‍යාපනය ලබමින් සිය පැවිදි ජීවිතය ආරම්භ කළහ.

උන්වහන්සේ බෞද්ධ දර්ශනය පිළිබඳ පමණක්‌ නොවෙයි ඉංග්‍රීසි භාෂාවට අමතරව හින්දි, දෙමළ වැනි භාෂා රැසක්‌ම හොඳින් ඉගෙනීම කළා.

උන්වහන්සේ ශ්‍රී ධර්මපාල පිරිවෙන පමණක්‌ නෙවෙයි විහාරස්‌ථාන කිහිපයක්‌ ගොඩනංවා විශාල ගිහි පැවිදි ශිෂ්‍ය පරපුරකට උගත් දෑ ලබාදුන්නා. කිසිම තැනක අඩුපාඩුවක්‌, පුරප්පාඩුවක්‌ ඇති වන්නට ඉඩ තැබුවේ නෑ. දහස්‌ ගණන් ගිහි, පැවිදි ශිෂ්‍ය පරපුරකට බෞද්ධ දර්ශනය, සාහිත්‍ය ඉගැන්වූ උන්වහන්සේ සංඝ පරපුරට බිහිවූ උතුම්ම යතිවරයෙක්‌. ශ්‍රී ලංකාවේ බිහිවූ විශිෂ්ටතම, ශ්‍රේෂ්ඨතම මහනායක හිමිවරයකු ලෙස උන්වහන්සේ සැලකිය යුතුයි. කෝට්‌ටේ 

ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවට උන්වහන්සේ මැණිකක්‌. සංඝ සභාවට උන්වහන්සේ ලබාදුන් ශක්‌තිය අනුපමේයයි. අද මේ රටේ ජනාධිපති, අගමැති, විපක්‌ෂ නායක ඇතුළු මේ සම්භාවනීය අමුත්තන් මෙහි පැමිණ සිටින්නෙත් උන්වහන්සේ මේ රටට බෞද්ධ ශාසනයට, ලෝක බෞද්ධ ශාසනයට කළ මෙහෙවර නිසයි.

මෙහිදී අනුශාසනයක්‌ කළ සියම් ශ්‍යාමෝපාලි සංඝ සභාවේ මල්වතු පාර්ශ්වයේ අනුනායක ශාස්‌ත්‍රපති රාජකීය පණ්‌ඩිත නියංගොඩ විජිතසිරි හිමිපාණෝ, 

අපවත් වී වදාළ මහනායක හිමිපාණන් පැවිදි දිවිය හොඳින් ගතකළ යතිවරයෙක්‌. සංඝයා වහන්සේලාට ආදර්ශයක්‌ ගත හැකි ලෙස පැවිදි දිවිය උන්වහන්සේ ගතකළා. ශ්‍රේෂ්ඨ භික්‌ෂු ජීවිතයක්‌. භාෂා පිළිබඳ විශාරද පඬිරුවනක්‌. භික්‍ෂුන් වහන්සේගේ කාර්යභාරය මැනවින් තේරුම්ගත් උන්වහන්සේගේ අපවත් වීම රටට පමණක්‌ නොවෙයි සංඝ පරපුරටත් විශාල පාඩුවක්‌.

බුද්ධ දේශනාවලියේ සඳහන් ආකාරයෙන් භික්‍ෂු නමක්‌ හැටියට ප්‍රගුණ කළ යුතු ජීවිතය පිළිබඳ උන්වහන්සේ තුළ අවබෝධයක්‌ තිබුණා.

බෞද්ධයන් ඉදිරියේ පමණක්‌ නොව ලෝකවාසීන් ඉදිරියේ බෞද්ධ දර්ශනය පිළිබඳව විවරණය කරදීමට උන්වහන්සේට පුදුමාකාර හැකියාවක්‌ තිබුණා. සිල්වත්, ගුණවත් වූ උන්වහන්සේ අවවාදය, ආදර්ශය හරහා මනා මාර්ගෝපදේශයක්‌ ලබාදීමට කටයුතු කළා. සමස්‌ත භික්‌ෂු පරපුරටම උන්වහන්සේ ආලෝකයක්‌ වුණා. සෑම අවස්‌ථාවකදීම මල්වතු, අස්‌ගිරි මහා විහාර මුල්කර ගෙන ගතයුතු තීරණ පිළිබඳ අවධානය යොමු කළා. සාකච්ඡා කළා. පොහොය අවාරණය, කඨින චීවර පූජාව ආදිය භික්‍ෂූ සම්ප්‍රදායට අනුව සිදුකළා. 

ජ්‍යෙතිෂ්‍ය දර්ශනය, භාෂා ශාස්‌ත්‍රය හරහා සුවිශේෂි දැනුම් සම්භාරයක්‌ උන්වහන්සේ සතු වුණා. භාවිතය තුළින් අර්ථවත් පැවිදි දිවියක්‌ උන්වහන්සේ ගත කළා. මෙවන් උතුම් යතිවරයෙක්‌ අහිsමි වීම පාඩුවක්‌. මෙවැනි උතුම් යතිවරයෙක්‌ යළි පහළවේද යන්න තිබෙන ප්‍රශ්නයක්‌. එවන් වටිනා, ආදර්ශමත් සඟ පඬිවරුනක්‌ සංඝ සමාජයට අහිමි වීම අති විශාල පාඩුවක්‌. අමරපුර මහා සංඝ සභාවේ සභාපති අග්ගමහා පණ්‌ඩිත පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස හිsමියෝ මෙසේ පැවසූහ.

පැවිදි දිනයේ සිට මෛත්‍රී ජීවිතයක්‌ ගත කළ මේ හිමිපාණන්ටත් ළමා තරුණ කාලයක්‌ තිබුණා. නමුත් කිසි කලක උන්වහන්සේ අනුන්ගේ දෝෂ දර්ශනයට ලක්‌ නොවූ පැවිදි දිවියක්‌ ගත කළා. සංඝ සමාජය ආලෝකවත් කිරීමට බිහිවූ දුර්ලභ හිමි නමක්‌. තමන්ගේ වගකීම පවරලා ඒ වගකීම්වලින් නිදහස්‌ වන්න උන්වහන්සේ නිතරම වගබලා ගත්තා. බුදුරජාණන් වහන්සේ දෙසු බණ, ලාංකික සමාජය වෙත පමණක්‌ නෙවෙයි ලෝක වාසීන්ට ලබාදෙන්න උන්වහන්සේ කටයුතු කළා. අනිත්‍ය, දුක්‌ඛ, අනාත්ම තිලක්‌ෂණ පිළිබඳව මනා අවබෝධයකින් කටයුතු කළ උන්වහන්සේ ආදර්ශවත් සැලසුම් සහගත භික්‌ෂු ජීවිතයක්‌ ගත කළා. 

මෙහිදී ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා විසින් නිකුත් කළ ශෝක ප්‍රකාශය ඇමැති විමල් වීරවංශ මහතා විසින් කියවූ අතර රජය වෙනුවෙන් අගමැති දි.මු. ජයරත්න මහතා කෙටි ගිහි කතාවක්‌ කරමින් කියා සිටියේ අපවත්වී වදාළ මහානායක හිමිපාණන් සම්බුද්ධ ශාසනයටත් බෞද්ධ ලෝකයටත් විශිෂ්ට මෙහෙවරක්‌ ඉටුකළ ආදර්ශවත් යතිවරයකු බවයි. මෙහිදී විපක්‌ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාද කෙටි කතාවක්‌ කරමින් කියා සිටියේ දශක දෙකක කාලයක්‌ තුළ රට ආර්ථික සමාජමය හා තාක්‌ෂණික වශයෙන් විශාල වෙනසකට ලක්‌ව තිබියදී ධර්මය කිසිදවසක වෙනස්‌ නොවන බව අපවත්වී වදාළ මහානායක හිමියන්ගේ මතය වූ බවයි. චාම් ජීවිතයක්‌ ගත කළ අපවත්වී වදාළ මහානායක හිමිපාණන් ධර්මය පිළිබඳව පමණක්‌ නොව සාහිත්‍ය, ගණිතය, විද්‍යාව, ජ්‍යෙතිෂය ආදි පිළිබඳව හසල දැනුමකින් යුත් පඬිරුවනක්‌.

ශිරාන් රණසිංහ
http://www.divaina.com/2014/10/08/news44.html

0 comments: