Pages

Friday, October 3, 2014

භික්ෂුන්වහන්සේලා ජනතාව කෙරෙහි ඇතිකරන බලපෑම තේරුම්ගත යුතුයි - මල්වතු අනුනාහිමි

Mahanahimiමෙරට පැවැති කුරිරු ත්‍රස්තවාදය නිසා වසර තිස්තුනක් තුළ පරම්පරා තුනක් තොරතුරු නොදැන කාලය ගත කරන බව මල්වතු පාර්ශ්වයේ අනුනාහිමි අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමියෝ මෙරට ඇමෙරිකානු තානාපතිනි මිචෙල් ජේ.සීසන් මහත්මියට පැවැසූහ. මෙරට ඇමෙරිකානු තානාපතිනිය ඊයේ (30) මල්වතු පාර්ශ්වයේ මහානාහිමි අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියන් හා මල්වතු පාර්ශ්වයේ අනුනායක නියංගොඩ විජිතසිරි හිමියන් බැහැදුටුවාය.

එහිදී අනුනාහිමියන් ඇමෙරිකානු තානාපතිනිය හමුවේ පැවැසුවේ මෙරට මහජනතාවට සංඝයා වහන්සේලාගේ බලපෑම සෑහෙන දුරට පවතින බවයි. එය සියලුදෙනා අවබෝධකරගත යුතු බවත් මෙරට ත්‍රස්තවාදය ක්‍රියාත්මක වූ ආකාරය උගතුන් විසින් අධ්‍යයනය කළ යුතු බවත් උන්වහන්සේ සඳහන් කළහ.

අද ත්‍රස්තවාදය ලොව පුරා ආර්ථික සමාජයීය හා දේශපාලන සංස්කෘතික ක්‍ෂේත්‍රයන්ට බූවල්ලෙකු මෙන් ක්‍රියාත්මක වන බව උන්වහන්සේ කීහ. මෙරට සියලු ජාතීන් එකට එක්ව ජීවත් වූවත් කුරිරු යුද්ධය නිසා පරම්පරා තුනක් තොරතුරු නොදැන සිටින බව උන්වහන්සේ පෙන්වා දුන්හ. මෙරට තරුණයින් ගොවිතැනට එතරම් කැමැත්තක් නොදක්වන්නේ මඩ තැවරෙන නිසා බවත් මෙරටට නව කෘෂිතාක්ෂණය වැඩිදියුණු කිරීම වැදගත් බවත් අනුනාහිමියන් කීහ.

එක් එක් දේශපාලන පක්ෂ විවිධ මත දරන නිසා සාර්ථක විසඳුමක් යෙදීම දුෂ්කර වී ඇතැයි කී අනුනාහිමියෝ විධායකය ව්‍යවස්ථාදායකය හා අධිකරණයත් සියලුදෙනාත් එක්ව මෙරට ප්‍රශ්නවලට විසඳුම් සෙවිය යුතු යැයි සඳහන් කළහ. මෙරට පළාත් පාලන ආයතනවලට වෙන්වී කටයුතු කළ නොහැකි බව පෙන්වා දුන් අනුනාහිමියන් පළාත් පාලන ආයතන මධ්‍යම රජය සමග සහයෝගයෙන් කටයුතු කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල අත්කර ගත හැකි බවද කීහ.

Mahanahimi1මෙහිදී මල්වතු අනුනාහිමි හමුවේ අදහස් දැක්වූ ඇමෙරිකානු තානාපතිනිය සඳහන් කළේ මහා නාහිමිවරුන්ගේ අවවාද අනුශාසනා වැදගත් බවයි. ඇමෙරිකාවේ ඇතැම් ප්‍රදේශවල භික්ෂුන්වහන්සේලා සිදුකරන බෞද්ධ කටයුතු නිසා නව සබඳතා ගොඩනැගෙන බවද තානාපතිවරිය කීවාය.මෙරට ත්‍රස්තවාදය පිළිබඳව තමා හොඳින් දන්නා බව පැවැසූ තානාපතිවරිය මහනුවර ශ්‍රී දළදා මාලිගාවට ප්‍රහාර එල්ල කළ ආකාරයද සිහිපත් කළාය. දැන් මෙරට ත්‍රස්තවාදයක් නොමැති නිසා අද රටට අවශ්‍යව ඇත්තේ සාමය හා සංහිඳියාව බවත් ඒ සඳහා ඇමෙරිකාව සහයෝගය දක්වන බවත් ඇය පැවැසුවාය. මේ වන විට මෙරට සියලු ප්‍රදේශ නියෝජනය වන පරිදි ප්‍රාදේශීය දේශපාලනඥයින් ඇමෙරිකාවේ පුහුණු කරන බවත් එක්සත් රජයත් සමග කෙසේ ක්‍රියාකළ යුතුද යන්න එහිදී අවබෝධයක් ඔවුන්ට ලබාදෙන බවත් තානාපතිනිය කීවාය. මල්වතු පාර්ශ්වයේ අනුනායක හිමියෝ තානාපතිනිය වෙත පැන් කෙණ්ඩියක්ද පරිත්‍යාග කළහ. තානාපතිනිය මල්වතු පාර්ශ්වයේ මහානාහිමි අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන්ද බැහැ දුටුවාය. එම අවස්ථාව මාධ්‍යයට අනාවරණය නොවීය.

ගයා වන්නආරච්චි - ලක්බිම

0 comments: