
'ශ්‍රී ලාංකීය අධ්‍යාපනයේ හැරවුම' පොතෙහි වැදගත් කරුණු කිහිපයක් තිබේ. පළමුකොට, මේ රටේ සමස්‌ත ශිෂ්‍ය සංඛ්‍යාව හතළිස් ලක්‍ෂ හාරදහසක් බව පොත කියයි. දෙවනුව පුහුණු ගුරුවරුන් එක්‌ලක්‍ෂ විසිඅටදහසක් සිටින බව ද එහි පළ වී ඇත. තුන්වනුව කිසිදු පුහුණුවක් නැති ගුරුවරුන් පන්දහස් අටසිය තිස්‌තුනක් පාසල්වල සේවය කරන බව ද පොතෙහි සඳහන් ය. මෙන්න මේ තුන්වැනි කරුණ කියවන විට අපට හැඟී යන්නේ ශ්‍රී ලාංකීය අධ්‍යාපනය හැරවී ආපස්‌සට ගොස් භයානක පල්ලමක් කරා යොමුවන බව ය. මේ පල්ලම වූ කලී අකුරු ලිවීමට නොදන්නා, ඒ නිසා මනස සහ අත අතර කිසිදු ගනුදෙනුවක් කිරීමට නොදත්, පරිගණක කී බෝඩ් එක පමණක් හැසිරවීමට දන්නා පරම්පරාවක් සිටින පල්ලමකි. ගෝලීයකරණයට සහ නවලෝක අනුක්‍රමයට අනුව නම් මේ පල්ලම ඉතා හොඳ ය. එහෙත් සිංහල ක්‍රමයට නොහොත් ලාංකීය ක්‍රමයට නම් මේ පල්ලම නරක ය.
නුපුහුණු ගුරුවරුන් ළමයින්ට ඉගැන්වීම දෙ ආකාරයක අනතුරකි. පළමුව, ළමයින්ට උගැන්වීමට තමන් සතුව යමක් ඇතත් එය හරියට උගන්වන ආකාරය ගුරුවරයා නොදනී. දෙවනුව ඒ ගුරුවරයා උගන්වන අවිධිමත් දේවල් ඉගෙනීමට ළමයාගේ මනස ද නොදනී. මෙහිදී ජනප්‍රිය සිංහල වදන්වලියේ එන පරිදි ගුරාත් ගෝලයාත් යන දෙදෙනාම එකට 'චාටර්' වෙති. සිලබස් එකක් හෙවත් විෂය නිර්දේශයක් කළමනාකරණය කිරීමට පුහුණුවක් අවශ්‍ය ය. විෂය නිර්දේශයට අනුව පාඩම් උගන්වන විට ළමයි නගන ප්‍රශ්නවලට උත්තර දීමට පුහුණුවක් අවශ්‍ය ය. ගුරු අභ්‍යාස විද්‍යාලය සහ ගුරු පුහුණුව යන ප්‍රශ්නෝත්තර තරගවලට ළමයින් සහ ගුරුවරුන් පුරුදු කිරීම බවක් මෙයින් අදහස් නොකෙරේ. මෙයින් කියෑවෙන්නේ ළමයා කළමනාකරණය කර ගැනීමට හයියක් ගුරුවරුන්ට තිබිය යුතු බව පමණි. ගුරුවරයාට ඒ ශක්‌තිය නැති බව තේරුණු විට ගෝලයා, ගුරාගේ කරට නගින්නට තැත් කරයි. පාසල් ශිෂ්‍යයා යනු ඉතා ප්‍රවේසමින් පරිහරණය කළ යුතු ඉතාම යහපත්, සුපේෂල ශික්‍ෂාකාමී, එහෙත් වැඩේ වරද්දගත් විට මරුසිරාගේ තත්ත්වයට පත්විය හැකි භයානක ජොකියෙකි. 'ජොකියා' යනුවෙන් අදහස් කෙරෙන්නේ ගෝලයා ගුරුගේ පිට උඩට යැමට තැත් කිරීම බව මෙහිලා සඳහන් කරමු.
ගුරුවරුන් පුහුණු කිරීමට ආණ්‌ඩුවට 'කැපසිටි' හෙවත් ධාරිතාවක් නැති බව පෙනෙයි. ඔවුන් ගුරු වෘත්තියට බඳවාගන්නට ඇත්තේ දේශපාලන උපකාර වශයෙන් යෑයි කෙනෙක් කීවොත් අප එයට ද විරුද්ධ ය. විශාල රැකියා හිඟයක් පවතින රටක තරුණ තරුණියන් සේවයට බඳවාගෙන නිකම් හෝ වැටුප් දිය යුතුය. නැත්නම් වෙනත් ප්‍රශ්න හටගනී. එහෙත් පුහුණු කිරීමට බැරි තරම් ගුරු පිරිසක් සේවයට බඳවා ගැනීමට ආණ්‌ඩුව කටයුතු කළේ ඇයිද යන්න අපට ප්‍රශ්නයකි.
http://www.divaina.com/2013/12/30/editor.html
Pic Source
0 comments:
Post a Comment