Pages

Monday, February 4, 2013

නිදහස ලැබීම හා නිදහස අහිමිකර ගැනීම

1948 පෙබරවාරි 04 වන දිනය අපට සුවිශේෂි දිනයකි. බ්‍රිතාන්‍ය පාලනයෙන් මිදීම සඳහා ලංකාවට ඩොමීනියන් තත්වයක් ප්‍රදානය කෙරුනේ එදිනය. එහෙත් ඒ සඳහා පැමිණි දිගුගමනක් විය. 1947 නොවැම්බර් මස 11 දින මේ සම්බන්ධව අවසාන ගිවිසුම් සකස් කරනු ලැබීය. ලංකා නිදහස් පණත ලංකා නිදහස් රාජ්‍ය පණත ආරක්ෂක ගිවිසුම විදේශ කටයුතු ගිවිසුම සහ රජයේ නිළධාරීන් පිළිබඳ ගිවිසුම ආදි වැදගත් ලියිවිලි කීපයක් මේ නිදහසට පදනම් විය. ඒ අනුඅව බ්‍රිතානය රජුට යටත් ආණ්ඩුකාරවරයෙකු පත් කරනු ලැබීය. හෙතෙම ඉන් පසු බ්‍රිතාන්‍ය මහ රජ තුමාගේ නියෝජිතයා වශයෙන් පෙනී සිටියද වයවස්ථානුකූලව ස්වාධීන පාලකයෙක් බවට පත් විය. මෙ අපට ලැබුණු නිදහසේ සාරාංශයයි.

මේ නිදහස ලබා ගැනීමට පැමිණි මගඅතිශයින් දුෂ්කර වූවකි. 1815 වර්ෂයේ දී සිංහලේ රටවල් බ්‍රිතාන්‍යයන්ට පවරා දුන්නායින් පසුව ක්‍රමයෙන් මේ රට පරාධීනත්වයට පත් විය ආර්ථික වශයෙන් සමාජීය වශයෙන් ද සංස්කෘතික වශයෙන්ද එලෙස සිංහල ජාතියට හිමි අයිතිවාසිකම් නැතිව ගියේය. මේ තත්වය දැක දැක නිද්‍රා ශිලීව සිටිනු නොහැකි වූ මෙරට ප්‍රභූ වරු 1818 දී ජාතික විමුක්ති අරගලයක් ඇති කර හිරු නොබසින අධිරාජ්‍යයට මතක හිටින පාඩමක් ඉගැන්වුවද අවාසනාවන්ත ලෙස ඒ සටන පරාජයට පත් විය. ඉන් පසු මෙරට ජනතාවගේ නායක්තවය ගෙන කටයුතු කරන ලද්දේ භික්ෂූන් වහණ්සේලා විසිනි. දහ නව වන සියවස මුලදී 1869 වර්ෂයේ ලංකාවේ ප්‍රථම බෞද්ධ පාසල ඇරඹුණේ දොඩන්දූවෙනි. එහි ශෛබිම්මාබාරාමයේ වැඩ උන් දොඩන්දූවේ පියරත්න තිස්ස නාහිමියන්ගේ මූලිකත්වයෙන් ඇරඹුණි. මේ බෞද්ධ ප්‍රබෝධය නිසා මිගෙට්ටුවත්තේ ගුණානන්ද වැනි යතිවරයින් බිහි විය. අනතුරුව පානදුරා වාදය තුලින් මිෂනාරි මත ඛණ්ඩනය කිරීම නිසා කර්නල් ඕල්කට් තුමා ලංකාවට පැමිණියේය. ඒ දොඩන්දූවේ පියරතන නායක හිමියන්ගේ ආරාධනයෙනි.

විසිවන සියවස මුල් භාගයේ දී අනගාරික ධර්මපාල තුමා බිහි කල අමද්‍යප ව්‍යාපාරය තවත් අතකින් ජාතිය පිබිදවීමට සමත් විය. මේ අතර බෞද්ධ පුනරුද වයාපාරය තුල විදේශිකයින් සහ පහත රට අරක්කු රේන්දයෙන් පොහොසත් වූ පිරිස මුල් තැන් ගන්නා විට ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයක් ද ඇති විය. 1865 දී ජෝජ් වොල් නමැති ඉංග්‍රීසි ජාතිකයා විසින් ලංකා සංගමය පිහිටවන ලද්දේය. යුධ හමුදා වියදම් පිලිබඳ ප්‍රශ්ණයක් සම්බන්ධයෙන් විරෝධතාව ප්‍රකාශ කිරිමට ව්‍යවස්ථාදායක සභාවෙන් ඉල්ලා අස්වූ නිල නොලත් මන්ත්‍රීන් ඒක රාශි කොට ලංකා සංගමය පිහිටුවනු ලැබීය. මේ ආකාරයට දහනව සියවස අගබාගය වන විටදී බල අරගලයේ මූලික මග පෙන්වීම කලේ විදේශිකයින් විසිනි. 1906 දී මැකලම් ප්‍රතිසංස්කරණ වලට මුල් වූයේ මේ ව්‍යාපාරයයි. මේ යුගය වන විට පැරණි සිංහල ජන ප්‍රධානීන් ගේ දරුවන් ද අරක්කු රේන්දයෙන් සහ මිනිරන් පතල් වලින් ධනවත් වූ පහත රට වෙලෙඳ නායකයින්ගේ දරුවන්ද ලබන ලද ඉංග්‍රීසි අධ්‍යාපනය හේතුවෙන් ඉංග්‍රීසීන් හා සම සමව ඉඳ සටන් කිරීමට තරම් පන්නරයකට පත්ව සිටියහ. මේ පිරිසගේ ආකර්ශණිය නායකයා වූයේ අනගාරික ධර්මපාල තුමාය. 1905 දී ආරම්භ කරන ලද අමද්‍යප ව්‍යාපාරය නායකත්වය දෙමින් එය සෘජු අධිරාජ්‍ය විරෝධී සටනක් බවට පත් කර ගත්තේ ධර්මපාල තුමාය. සිංහල බෞද්ධ සංසකෘතියේ පිරිහීම මිථ්‍යාදෘෂ්ඨි ගත් සිංහලයින්ගේ හැසිරීම අන්‍ය ආගම් වල මිථ්‍යා මත පිළිබඳව ධර්මපාල තුමා ගේ ප්‍රකාශ අතිශය උද්වේගකර විය. තීක්ෂණ බුද්ධියෙන්ද විමර්ශණයෙන්ද යුතුව ඒවා දැඩි ලෙස ට  විවේචන කල එතුමා සමාජ ශෝධකයෙකු ලෙසට 1905- 1914 අතර කාලය තුල කැපී පෙනුණේය.

ධර්මපාල තුමා සමාජ නායකයෙක් වුවද පාරම්පරික ජනතාව විශ්වාස කල රදළ වංශවත් භාවයක් ඔහුට නොතිබුණි.ඔහු ඉන්දියාවේ හිර අඩස්සියට පත් වූ පසු ලංකාවේ ජාතික ව්‍යාපාරයේ නායකත්වය ගැනීමේ හිඩැසක් ඇති විය. මේ අතර ධර්මපාල තුමා ගේ මතවාදය ග්‍රහණය කර ගත් තරුණයෙකු බිහිවිය. ඔහු නමින් ජෝන් ලයනල් කොතලාවල විය. කොළඹ නගරය පුරා ඇතිවූ කරත්ත වැඩ වර්ජනයට නායකත්වය දුන් මේ තරුණයා නෙයිනගේ සූදුව නමින් ප්‍රසිද්දියට පත්ව තිබු සූදු පොළ වටලා එය මර්දනය කොට වීරත්වයට පත් විය. ජපන් රජය සමග ආර්ථික සබඳ කම් පැවැත්වීමට උත්සාහ දැරිම ඔහුගේ ජීවිතයේ කැපි පෙනෙන ක්‍රියාදාමයකි.ඉන්දියාවට ගිය ධර්මපාල තුමාට වඩා ඉංග්‍රීසි රජය ජෝන් කොතලාවලට බිය වූයේ යැයි කල්පනා කල හැකිය. 1906 දී මියගිය ඩික්සන් ආටිගල තරුණයාගේ මරණය සම්බන්ධව සැකපිට ජෝන් කොතලාවල අත් අඩංගුවට පත් වූයේ ඉංග්‍රීසින්ගේ කුමණ්ත්‍රනයක ප්‍රතිපලයක් වශයෙනි. ජොන් කොතලාවල වෙනුවෙන් කිසිම නිතිඥයෙකු ඉදිරිපත් නොවීය. අවසානයේ දී කොතලාවල මහතා වැලිකඩ හිරගෙදරදී අබිරහස් අන්දමින් මිය ගියේය.ඉංග්‍රීසි අධිරාජ්‍යවාදය විසින් ඇති කරන ලද ඔත්තු සේවයේ පළමු දේශපාලන බිල්ල එය විය.

1910 දී සිදු වූ මැකලම් ප්‍රතිසංස්කරණයේදී ජාතීන් නියෝජනය කරමින් නියෝජිතයින් පත් කිරීමට අවස්ථාව සැලසුණි. සිංහල පිරිසට වඩා අධ්‍යාපන අවස්ථාවලින් ඉදිරියෙන් සිටි යාපනයේ දෙමල ප්‍රභූවරු සිංහලයින්ට එම අවස්ථාව නොදීම සඳහා යටත් විජිත ලේකම් වරයා සමග කුමන්‍ත්‍රණය කලේය. ලන්දේසීන් ගේ කාලයේ දී යාපනයේ බලවත් වූ දෙමළ වෙල්ලාල වරු අනෙකුත් දෙමල කුල වලට වඩා ඉහළින් සිටියද ඔවුහු උතුරේ උරුමක්කාරයින් නොවූහ. සිංහලයින් 1815 දී ඉංග්‍රීසින් සමග ගිවිසුමක් අත්සන් කළද ඒ ගිවිසුමට දෙමල හෝ මුස්ලිම් වරු එක් නොවූහ. නමුත් මැකලම් ප්‍රතිසංස්කරණ වලදී ඉංග්‍රීසි උගත් දෙමල නායකයින් සිංහලයින්ට වඩා උසස් තැනක් ගනිමින් දේශපාලන නායකත්වයට එන්නට කුමණ්ත්‍රණය කළහ.මෙහි ප්‍රතිඵලයක් වශයෙන් සිංහල හා දෙමල දෙකොටසටම නියෝජනය කිරීමට පත් වූයේ පොන්නම්බලම් රාමනාදන් මහතාය. මේ තත්වය තුල සිංහලයින් ටත් බුද්ධ ශාසනයටත් තිබූ අධිකාරි බලය අහෝසි වී යාමේ තර්ජනයක් මතු විය.

1912 දී ප්‍රසිද්ධ සුරා පනත ගෙනවුත් දිවයින පුරා තැබෑරුම් පිහිටුවීමට තීරණය කළ විට සිහළයින් හොඳටෝම ඇවිස්සී ගියේය. 1912 ජූලි 14 වන දින අමද්‍යප මහ සභාව පිහිටවනු ලදදේ මේ සුරා පණතට විරුද්ධව ක්‍රියාකිරිම සඳහාය. මේ සභාවේ ප්‍රදානත්වයට පත් වූයේ ඩී.එස්.සේනානායක මුදලි තුමාය. පැරණි  සිංහල ජන ප්‍රධාන පෙළපතකින් පැවත ආ එතුමාගේ වැඩි මල් පුත් වූ එෆ් .ආර්. සේනානායක මහතා ඒ අමද්‍යප සටනේ ප්‍රධාන වීරයෙකු බවට පත් විය. මේ සටන ඉතා තියුණු අන්දමින් ඇවිල යද්දී ඉංග්‍රීසි රජය බිය විය. 1815 ගිවිසුම අත්සන් කොට වසර සියයක් ඉක්ම වීමට ආසන්න වන විට මේ බිය දෙගුණ තෙගුණ  විය. සිංහලයින් තමන්ට නැතිව ගිය අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරනු දුටු කල්හි ඉංග්‍රීසිහු කුපිත වූහ. ඔවුහු බෞද්ධ අයිතිවාසිකම් අහිමි වන පරිදි මුස්ලිම් වරුනට පක්ෂව ක්‍රියාකලේය. මුස්ලිම් හා දෙමළ පිරිසට වැඩි තැනක් ලබා දීමේ ප්‍රතිඵලයක් වශයෙන් සිංහල මුස්ලිම් කෝලාහලය ඇති වුණි. ඉංග්‍රීසි රජයේ අත්තනෝමතික ක්‍රියාකලාපයද ඊට හේතු විය.

එෆ .ආර්. ගේ  මූලිකත්වයෙන් ඇතිවූ ලංකාණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ සංගමය පසුව ලංකා ජාතික සංගමය බවට පත් විය. එය ව්‍යවස්ථාදායක ප්‍රතිසංස්කරණ අරභයා පිහිටවූ පළමු ජාතික දේශපාලන සංවිධානය විය. මෙහිදී සිංහල ප්‍රධානීන් වෙනුවට දෙමල ජන ප්‍රදානීන් මුල් තැන ගැනීමෙන් ඇතිවූ අවාසිය ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාවේ දී කැපී පෙනුණි. ජේම්ස් පීරිස් වැනි කතෝලික නායකයින්ද පසුව එහි මුල් තැනට පත් විය. මෙය 1865 සිට ඇතිවූ ව්‍යවස්ථාදායක ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ කැපී පෙනෙන ලක්ෂණයක් විය. නමුත් වැඩි අයිතිවාසිකම් ඉල්ලා ද්‍රවිඩයින් මේ ජාතික සංගමයෙන් ඉවත් වීමෙන් සිංහල ජාතික ව්‍යාපාරයක නැගී සිටීම සිදු විය. මේ සටනට නායකත්වට දුන්නේ සේනානායක සහොදරයින් විසිනි.

ඉංග්‍රීසින් සමග කෙලින්ම නොගැටී උපක්‍රමශිලි ව ඔවුන් සතුටු කර නිදහස දිනා ගැනීම මේ දෙපළ ගේ අභිප්‍රාය විය. මුස්ලිම් කෝලාහලයේ දී මරණිය දණ්ඩනය නියම වූ පිරිස බේරා ගැනීම පිනිස එෆ්.ආර්.සේනානායක මහතා ගත් උපක්‍රමශීලී පියවරින් මේ බව සනාථ වෙයි.  ඊ.ඩබ්. පෙරේරා මහතාගේ  සපත්තු අඩියේ සැඟවූ ලියුමක් එංගලන්තයට පිටත් කර එහි සිටි නිළධාරීන් දැනුවත් කර මරණ දණ්ඩනය අවලංගු කර ගැනිමට ගත තීක්ෂණ පියවර නිසා ජාතික නායකයින් රැසකගේ ජීවිත බේරුණි. එසේම හිතුවක්කාර ලෙසට ක්‍රියා කල රොබට් චාමර්ස් ආණ්ඩුකාරවරයා වහාම එංගලන්තයට ගෙන්වා ගැනිණ. 1926 දී එෆ .ආර්. සේනානායක මහතා ඉන්දියාවේ දී මිය යන විට මෙවැනි සූක්ෂම දෙශපාලන වයාපාරයක යෙදී සිටියේය. ඩී.එස්. සේනානායක ඇතුලු දේශපාලන නායකයින්ට නිදහස දිනා ගැනීම ට එෆ්.ආර්. ගේ සැලසුම බෙහෙවින් ප්‍රයෝජනවත් විය.

සොල්බරි කොමිසම ඉදිරියේ ඩී.එස්.සේනානායක මහතා හැසිරුණු ආකාරයද මීට සමාන වෙයි. ඔහු ජන ප්‍රධානීන් එක්කාසු කොට ආණ්ඩුක්‍රම පණත සකස් කලේය. එය පිළිගැනුමට ඉංග්‍රීසි ආණ්ඩුව මැළි විය. එයට හේතුව ඩි.එස්. ගේ උගත් කමේ අඩුවයි. නමුත් ඔලිවර් ගුනතිලක මහතාගේ ශූරත්වය නිසා කෝල්ඩිකට් ආණ්ඩුකාරවරයා වෙත කට උත්තර දීමට ඩී.එස්. ට අවස්ථාව සැලසුණි.නිදහස දිනා ගැනීම උදෙසා මෙලෙස දර්ඝ කාලයක් අපගේ මුතුන් මිත්තන් විවිධ ආකාරයෙන් සටන් කළහ.එය අපගේ ජාතියට ආවේණික සටන් විය. 1948 වසරේ පෙබරවාරි 04 වන දින ලංකාව ඉංග්‍රීසින් ගෙන් භාරගත්තද ඔවුන්ගේ අධිරාජ්‍යවාදී බැමි ලිහා ගෙන තිබුණේ නැත. 1972 ජනරජ ආණුඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පරිපූර්ණත්වයඅත් කර ගත්තද අපගේ මානසික වහල් බාවය තවමත් ගිලිහී ගොස් නැත. සුද්දා ලිහා දැමූ බැමි ඉතාමත් කැමැත්තෙන් යළි වෙලා ගෙන ඔවුන්ටම වහල් කම් කිරීම අපගේ රටේ ඇතැම් අයගේ අභිප්‍රායයි. මේ නිසා යලී නිදහස අහිමි වීමේ තර්ජනයකට අප මුහුණ පාමින් සිටිමු. වසර හැට හතරකට පසු හලි නිදහස සමරන මේ මේ මොහොතේ අපගේ අනාගත අභිලාශයන් කුමක්ද යන්න ගැන ගැඹුරින් කල්පනා කළ යුතුව ඇතැයි සිතමි.

- මතුගම සෙනෙවිරුවන්
http://lankacnews.com/sinhala/main-news/89759/
February 4, 2013 at 12:02 am | lanka C news

0 comments: