Pages

Thursday, February 21, 2013

පළාත් පාලන ආයතන සීමා නිර්ණයේදී හදිසි නොවන්න

බෞද්ධ කොමිෂන් සභා වාර්තාව සැලකිල්ලට ගන්න | කමිටුව හමුවේ ම. එ. පෙ. කියයි

පළාත් පාලන ආයතන සීමා නිර්ණය කිරීමේදී කිසිසේත් හදිසි නොවිය යුතු බවද බෞද්ධ කොමිෂන් සභා වාර්තාව සැලකිල්ලට ගත යුතු බවද මහජන එක්‌සත් පෙරමුණ සීමා නිර්ණය කිරීමේ ජාතික කමිටුව හමුවේ පෙරේදා (19දා) අවධාරණය කර ඇත.

එම පක්‍ෂයේ නායක ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු දේශපාලන මණ්‌ඩලයේ සාමාජිකයන් එම කමිටුවට යෝජනා ඉදිරිපත් කරමින් 1959 ඉදිරිපත් කළ බෞද්ධ කොමිෂන් සභා වාර්තාව සැලකිල්ලට ගත යුතු බව සඳහන් කර තිබේ.

උඩරට ජනතාවට 1833 සිට සිදුව ඇති අසාධාරණය නැති කර සුදු අධිරාජ්‍යවාදී පාලන යුගයේ වතුවලට යටත් වූ ගම්බිම්වලට සිදුවූ අසාධාරණය මෙම කොට්‌ඨාස වෙන් කිරීමේදී නිවැරදි කිරීමට අවධානය යොමු කළ යුතු බවත් මෙමගින් යෝජනා කර ඇත.

රට සංවර්ධනය කරා ගෙන යැමට තරුණ හා කාන්තා සහභාගීත්වය වැඩි කළ යුතු අතර කොට්‌ඨාස වෙන් කිරීමේදී ඒ සඳහා ඉඩකඩ ලබා දීම කෙරෙහි අවධානය යොමු කළ යුතු බවත් එම පක්‍ෂය යෝජනා කර තිබේ. කොට්‌ඨාස වෙන් කිරීමේදී ආගම් හෝ ජන වර්ග පදනම් කොට නොගෙන රටේ අනාගත අභිවෘද්ධිය සඳහා වූ වැදගත් සාධක සැලකිල්ලට ගත යුතු බවත් එහි සඳහන් වේ.

පළාත් පාලන ආයතන සීමා නිර්ණය කිරීමේ ජාතික කමිටුවේ සභාපති ජයලත් රවී දිසානායක මහතා ඇතුළු කමිටු සාමාජිකයින් ඉදිරියේ මහජන එක්‌සත් පෙරමුණේ නියෝජිතයෝ පෙරේදා (19වැනිදා) වාචිකව සාක්‍ෂි ඉදිරිපත් කළහ.

සිරිමන්ත රත්නසේකර
http://www.divaina.com/2013/02/21/news15.html

0 comments: