Pages

Monday, May 5, 2014

කාන්තිලා රංජනීලා දිනාගත් ලෙබනන් රටේ සිංහල ටවුම

බීරූට්‌ නගර සිහිනයක්‌ වැන්න. සුරවිමන් සරි මැදුරුද, සකල සිරියෙන් සපිරි සල්පිල්ද, ඉසුරුමත් දනන් ගේ මහේශාඛ්‍යය ලාලිත්‍යයද සහිත ඒ සිහින නගරයේ මියුරු සිහින පසුකර අපි ගමන් කරමින් සිටිමු. මේ ගමනේ කෙළවර ලෙබනනයේ සිංහල ටවුම හමුවේ. සිංහල ටවුමේ නම දවුරා ය. දවුරා නගරයේ සිංහල කඩ තිබෙන්නේය. සිංහල කෑම තිබෙන්නේය. ලංකාවේ ඇඳුම් තිබෙන්නේය. රත්තරං බඩු කඩ තිබෙන්නේය. නගරයේ සිංහල නොවන බොහෝ ව්‍යාපාරිකයන්ට සිංහල තේරෙන්නේය. සමහරු චතුර ලෙස සිංහල කතා කරන්නෝය. දවුරා නගරය රිද්මයානුකූල වන්නේ සිංහල තාලයටය.

ලෙබනනයේ සිටින බොහෝ ශ්‍රි ලාංකිකයන් නිවාඩුව ගතකරන්නට එන්නේ දවුරා වෙතය. නිවාඩුවේදී ගමේ විදිහට කාබී තුටු වනු රිසිව මේ පිරිස්‌ දවුරාවේ රොදබැඳ ගනිති. එය සතියක්‌ පුරා පීඩනය මුදා හැරීමක්‌ වැන්න.

තේරුම්ගත යුතු මානුෂික කතාවක්‌ තිබේ. ලංකාවේ මිනිසුන් ලෙබනනයට වී මියුරු වූත් සුවපහසු වූත් සිරිමත් ජීවිත ගත කරන්නේ නොවේ. ඔවුහු ජීවිතය උපයාගනු සඳහා අප්‍රමාණ දුර්භෝගම වළඳති. දිනකට පැය දහඅටක්‌ විස්‌සක්‌ වැඩකරති. කුස්‌ පුරා රිසි සේ ආහාරයක්‌ නොගනිති. ලංකාවෙන් හයෙන් එකක්‌ පමණවන මේ බිමෙහි ලාංකිකයෝ අසු දහසක්‌ පමණ ජීවත් වන්නෝය. ඒ පිරිස්‌ අතර එකදු වෘත්තිකයෙක්‌ නොවේ. සියයට අනුවක්‌ පමණ ගෘහ සේවයට පැමිණි අපේ රටේ අම්මාවරුය. තරුණියන්ය. කොටින්ම ලෙබනනයේදී අපට හමුවන්නේ මවු රටේදී උපන් දුර්ග සමාජ ආර්ථික පීඩාවන් දරාගත නොහී මරණය හා සමාන වෙන්වීමකින් අනතුරුව පැමිණ ජීවත්වීමේ දුක්‌බර අරගලයක නිරතවන අපේ පන්තියේ ගැහැණුය. මිනිස්‌සුය. උපන් බිමේදී ආර්ථික සරණාගතයන් කර විජාතික කුවේරයන්ගේ බැලමෙහෙවර සඳහා එවු මේ මිනිසුන්ගේ ජීවිත ෙ€දවාචකය නොවිසඳා ඔවුන් ලවා සිංදු කියවා රටවිරුවන් සොයන්නට යැමේ නිර්දය විහිළුවේ තරම මේ මොහොතේ දකිමින් හිඳිමු.

ලෙබනනය අපේ රට වලින් වෘත්තිකයන් අපෙක්‌ෂා කරන්නේ නැත. පැතිරී ගිය ක්‌ෂේත්‍රයන්හි පුළුල් දැනුමැත්තන් අපේක්‌ෂා කරන්නේ නැත. ලංකාවෙන් ලෙබනනයට රැකියා වීසා ලබා දෙන්නේ ගෘහ සේවයට රිසි කාන්තාවන්ටය. පිරිමින්ටය. ඔවුන් ලංකාවෙන් එන්නේ ලෙබනන් ජාතික අනුග්‍රාහකයෙකුගේ වගකීම යටතේ වීසා ලබාගෙන ඒ නිශ්චිත වෘත්තියටය. එබැවින් සිය වෘත්තියවන ගෘහ සේවයට අමතරව වෙනත් වෘත්තියක්‌ කිරීමේ අපේක්‌ෂාවන් ඔවුන්ට ඇහිරී තිබේ. 

එහෙත් මිනිස්‌කමෙන් පිරුණු මිනිස්‌සු මේ රටවලත් වෙති. අපේ රටේ සිට ගෘහසේවට පැමිණියද තමන් මේ රටට ගෙන්වු අනුග්‍රාහකයන්ගේ විශ්වාසනීය අවසරය සහිතව, උපයනා සියලු වත්කම් ඔවුන්ගේ අයිතිවාසිකමට යටත් කරමින් ලෙබනනයේ ව්‍යාපාර කරන දිරිය මිනිස්‌සු වෙති. දවුරාවේදී අපට ඔවුන් හමුවේ. මේ මිනිසුන් ලෙබනනයේ ව්‍යාපාර ආරම්භ කරන්නේ මහා බරපතල අවදානමක්‌ සහිත ව්‍යාපෘතියක්‌ ලෙසය. ඔවුනට වීසා ලබාදෙන ලෙබනන් ජාතික අනුග්‍රාහකයාට අවශ්‍ය ඕනෑම මොහොතක ව්‍යාපාරයේ සියලු වත්කම් තමන්වෙත පවරා ගත හැකිය. ව්‍යාපාරය කරගෙන යන විජාතිකයා ගෙල ග්‍රහයෙන් ගෙන පිටතට ඇද දමා රටිනුත් පිටිවහල් කළ හැකිය. ව්‍යාපාර කරන්නට ගොස්‌ එවන් අමානුෂික අත්දැකීම් ලද ලාංකිකයෝ කොතෙකුත් ලෙබනනයේ සිටිති. 

දවුරා නගරයේ ආර්ථිකය මේ වනවිටත් පවතින්නේ ප්‍රධානකොටම ශ්‍රී ලාංකිකයන් නිසාය. ලෙබනනයේ ශ්‍රී ලාංකියන් එක්‌ සතියක්‌ දවුරා වෙත නොපැමිණියහොත් නගරයේ ආර්ථිකය බිඳවැටෙන්නේය. ලංකාවේ මිනිසුන් දවුරා නගරයට හුරුකළේ ත්‍රීකුණාමලයේ දමිල ජාතිකයෙකි. ඔහු ලෙබනනය තුළ සිරිමත් ව්‍යාපාරිකයෙක්‌ වනවිට ඔහුගේ අනුග්‍රාහකයා විසින් වත්කම් සියල්ල තමන් යටතට ගෙන ඔහුව රටින් පන්නාගත් ආකාරය තවමත් දවුරා අවට මිනිසුන් කතා කරන්නේය. ඒ මිනිසා කෙසේ හෝ යළිත් දවුරා වලට පැමිණ බත්පැකට්‌ විකුණමින් ජීවිතය අලුතින් අරඹා ඇති ආකාරය දුටුවෙමු.

මේ සියලු ව්‍යසන පිළිබඳ අවර්නම දරාගෙන ලෙබනනයේ හිස ඔසවාගෙන සිටින ශ්‍රී ලාංකිකයෝ දවුරා නරගයේ දී හමුවෙති. ඈත දුරු රටක සිටියද ලංකාවට ආවා වැනි හැඟීමකින් දවුරා ටවුමෙ වීථි වල සැරිසරන ශ්‍රී ලාංකිකයන්ගේ පිරුණු මුහුණු දකිමින් අපි ඒ අපුරු මිනිසුන් සොයාගෙන ගියෙමු.


මල්කාන්ති සිල්වාව නොදන්නා ශ්‍රී ලාංකිකයෙක්‌ ලෙබනනයේ නැත. ඇය ඔවුන්ට දවුරාවල කාන්ති අක්‌කාය. දවුරා නගරයේ කාන්ති ටේලර්ස්‌ පවත්වාගෙන යන්නේ ඇය තනිවමය. මුළු ලෙබනනයටම සාරි ජැකට්‌ මහන්නේ ඇය විසිනි. ලෙබනන් ශ්‍රී ලංකා සිංහල සංගමය මගින් පසුගිය 14 වැනිදා සංවිධානය කළ බක්‌මහ උළෙල සඳහා සැකසුන සෑම සාරියක්‌ම නිර්මාණය කර තිබුණේ කාන්ති අක්‌කාය. දැන් ලෙබනන් කාන්තාවෝ සාරි අඳිති. ඊට ප්‍රිය වෙති. ඔවුන්ට සාරියේ වරුණ හුරු කළේත් ඇයය. කාන්ති අක්‌කා අපට ඇයගේ ජීවිත කතාව කීවාය. 

"මං ලෙබනනයට එන්නේ 1997 අවුරුද්දෙ. මම එන්නෙ ගෙදරක ගෘහ සේවයට. ඒ ගෙදර එච්චරම හො`ද තැනක්‌ උනේ නෑ. ඒත් මම හො`දින් වැඩකළා. කොන්ත්‍රාත් කාලෙ ඉවරඋනාම මැඩම් එක්‌ක කතාකරගෙන මම ගෙයින් එළියට ආවා. පස්‌සෙ මම වෙන ගෙදරක මැඩම් කෙනෙක්‌ ගාවට ආවා. එයා දැනගත්ත මට මහන්න පුළුවන් කියලා. එයා මට මැෂිමක්‌ අරන් දුන්නා. ඉතින් මං මහන්න පටන් ගත්තා. මහන අතරෙ මම රෝල්ස්‌ හැදුවා. ඉ`දිආප්ප හැදුවා. මෙහෙ තියනවා චුල්ලහත් කියලා පොලක්‌. ඒකෙ ගිහින් ඒවා විකිණුවා. ඊට පස්‌සෙ මැඩම් එක්‌ක කතාකරගෙන ටේලර් ෂොප් එකක්‌ පටන් ගත්තා පොඩියට. ටේලරින් වැඩේ ටික ටික දියුණු උනා. සාරි ජැකට්‌ එක එක්‌ විදිහට මැහුවා. ලෙබනන් අයත් සාරි අ`දින්න ගත්තා." 

"දැන් ටේලර් ෂොප් එක දියුණුයි. මම ඒත් එක්‌ක කඩයකුත් පටන් ගත්තා. කඩයක්‌ සුළුවට කරමින් සිටි ඉන්දියන් කෙනෙක්‌ එක්‌ක හවුලෙ තමයි කඩේ පටන් ගත්තෙ. දැන් කඩෙත් දියුණුයි. මාසිකව කඩේට කුළිය ඩොලර් දෙදාහක්‌ දෙනවා. ඉන්දියාවෙන් බංගලාදේශ් වලින් බඩු ගේනවා. මගේ ව්‍යාපාර සහායකයා ලෙබනන් කෙනෙක්‌ව බැන්දා. දැන් ඒ අය මට සලකන්නෙ අම්මා කෙනෙකුට වාගේ." 

ලෙබනනයට සාරි ජැකට්‌ මසා ලෙබනන් කාන්තාවන්ට සාරිය හුරු කළේ තමන්ය යන සියුම් අභිමානය ඇය තුළ තිබෙන්නේය. දවුරා නගරයේ කාන්ති ටේලර්ස්‌ ඇය විසින් පවත්වාගෙන යන්නේ ඒ අභිමානයත් සමගිනි.

රංජිගේ ගම අනුරාධපුරයේය. අනුරාධපුර ටවුන් එකේය. මිෂර පැතුම් වීඩියෝ කැසට්‌ කඩේ ඔහුගේය. දවුරා වල අතුරු පාරක පුංචි කඩ කෑල්ලක ඔහු තම වීඩියෝ කඩය කරන්නේය. ලංකාවේ ටෙලි නාට්‍යය, සිංදු, චිත්‍රපට, වීඩියෝ, බණ පිරිත් සී.ඩී මිෂර පැතුම් කැසට්‌ කඩේ තියෙන්නේය. මේ තරුණයා අපට කියන්නේ තමන් අප්‍රමාණ දුක්‌ විඳ ජීවිතය කළමණාකරණය කරගන්නා අයුරුය.

"ලෙබනන් ඇවිත් අවුරුදු 10 විතර ඇති. මේ කාලෙ ඇතුළෙ මං සෑහෙන ප්‍රශ්නවලට මුහුණ දුන්නා. දුක්‌ වින්දා. විසා නැතිවත් මේ රටේ හිටියා. පස්‌සෙ මහන්සියෙන් මම වීසා හදාගත්තා. ආපු කාලෙ ඉ`දල ජොබ් කලාට පාර්ට්‌ ටයිම් එක්‌ක විදිහට මේ විෂය මං කළා. ඉන්න ගමන් කැසට්‌ වලට විඩියෝ රෙකෝඩ් කරලා එක එක කඩවල් වලට පොඩ්ඩ පොඩ්ඩ දමමින් හිටියා. මගේ යාළුවෙක්‌ මේ කැසට්‌ කඩේ කළේ. එයාට ප්‍රශ්නයක්‌ උනා. කඩේ මට අරන් කරන්න කිවුවා. මං මේක කරන්නෙ ආසාවෙන්. ආසාවෙන් දෙයක්‌ කරනකොට ඒක හරියනවා. ඒත් පුදුම විදිහට හැමදේම ගැන කල්පනා කරන්න වෙනවා."

"මේ රට අරාජිකයි. හෙට මොනව වෙයිද දන්නෙ නෑ. ඒවගේම ස්‌පොන්සර්ලා ප්‍රශ්න ඇතිකළොත් වත්කම් ඔවුන් අයිති කරගන්නවා.

මට වැදගත් මිනිහෙක්‌ හමුවෙලා තියනවා මගේ ස්‌පොන්සර් විදිහට. එහෙම ස්‌පොන්සර් කෙනෙක්‌ හමුවීම වාසානාවක්‌. මේ කඩේ තියෙන්නෙ එයාගෙ නමට. එයාට හෙට හරි මාව එළියටදාන්න පුළුවන්. මං ඔහුට කවදාවත් වංචා කරන්නෙ නෑ. ඔහුත් මට වංචා නොකරාවි කියන විශ්වාසය මට තියනවා."

"රට ගොඩක්‌ ලස්‌සන රටක්‌. ඒත් දැන් ඉතාම නරක තැනක මේ රට තියෙන්නෙ. රටින් යන ලංකාවෙ අය ආපහු එන්නෙ නෑ. මෙහෙ අල්ලපු රට සිරියාව. මෙහෙට එන සිරියන් කාරයො ඉන්නෙ අහසින් වැටිලා වගේ. උන් මෙහාට එන්නෙ හූරගෙන කන්න. පාරෙ යද්දි අපේ අයව කොල්ලකනවා උන්. අපට කරන්න දෙයක්‌ නෑ. රටේ යුද්ධය තියෙන්නෙ අලුයට ගිනි වාගේ. බීරූට්‌ නගරය කොයි මොහොතෙ පුපුරයිද කියන්න බෑ. ඒත් අපේ මිනිස්‌සු ජීවත්වෙන්න මහා අරගලයක්‌ කරනවා මේ රටට ඇවිත්. අපිත් ඒ අරගලයෙ තමයි ඉන්නේ." ඔහු සිනාසෙන්නේය.

ලෙබනන් වලට එන ලාංකිකයන්ගේ හිත් ගත් තැන රංජනී අක්‌කාගේ කඩපොළය. ලංකාවේ කෑම කටක්‌ කන්නට, එළවළුවක්‌, දුරු මිරිස්‌ ටිකක්‌ ගන්නට දවුරා වලට එන අපේ ඇත්තන් අනිවාර්යයෙන්ම රංජනී අක්‌කාගේ කඩපොලට එන්නේය. එම්ආර්සී වෙළෙඳ සංකීර්ණය නමින් නම්කර ඇති එම කඩපොළේ හෝටලයක්‌ තියෙන්නේය. ග්‍රොසරියක්‌ තිබෙන්නේය. 

වීඩියෝ සී. ඩී. හා කැසට්‌ අලෙවිසලක්‌ තිබෙන්නේය. නුවන්සා ටෙකස්‌ටයිල්ස්‌ නමින් ඇඳුම් කඩයක්‌ද තිබෙන්නේය. ඇය දවුරාවේ හොඳම බිස්‌නස්‌ කාරියය. ඇය අපට ඇගේ කතාව කීවේ මෙසේය.

මගේ ගම කුලියාපිටියෙ. ලෙබනනයට ආවෙ ගෘහ සේවයට. ඒ 1987 දි. කොන්ත්‍රාත් පදනමින් තමයි රටට ආවෙ. 1992 අවුරුද්දෙ මං කොන්ත්‍රාත් එකෙන් එළියට ආවා. ඇවිත් මේ ව්‍යාපාරය පටන් ගත්තා. ඉස්‌සර මං හිටියෙ දවුරා වලින් ඈත. 

එතන සුළු කඩයක්‌ කළා අවුරුදු හයක්‌ විතර. නුගේගොඩ ව්‍යාපාරිකයෙකුගෙන් බඩු ගෙන්නුවා. ඒක මීටර 2 විතර පොඩි කඩයක්‌. එතන කුළුබඩු, ඇට වර්ග, ලංකාවෙ කෑම බිම විකිණුවා. 

එතැනින් තමයි දවුරා වලට ආවෙ. දැනට අවුරුදු 13 වෙනවා මේ කඩේට ඇවිත්. මෙතැන තමයි ලෙබනන්වල සිංහල විදිහට කෑම බීම දෙන ප්‍රධානම තැන. සිංහල විදිහට බඩුවක්‌ මුට්‌ටුවක්‌ ගන්න පුළුවන් තැන. ගැමි විදිහට සිංහල කෑම හදන්නෙ මමයි. ආයතනය පවත්වාගෙන යන්න මාසිකව වියදම් කරන්න ඕන ඩොලර් 6000 ත් 7000ත් අතර ප්‍රමාණයක්‌. ව්‍යාපාරය පත්වාගෙන යන්න රුපියල් ලක්‌ෂ 10 ක්‌ මාසිකව ලාභයක්‌ ලෙස උපයන්න ඕන." ඇය කියන්නීය. දැනට ලංකාවට යැමට ඇයට අදහසක්‌ නැත. කෙදිනක හෝ මේ සියල්ල අත්හැර ඇයට ලංකාවට යන්න සිද්ධ වෙන්නේය. එදින පිළිබඳ ඇය සිතන්නේ නැත. මේ ව්‍යාපාරයෙන් උපදිනා ලාභය ඇය තෘප්ත කර තිබේ.

දවුරා ප්‍රධාන වීථියේ නොපෙනී යන කඩපන්තිය දෙස බලමි. සීගිරි ස්‌ටෝර්ස්‌ නමින් වන කඩයකි. ඔවුහු කන්ටේනර් පිටින් ලංකාවෙන් බඩු ගෙනෙති. මෙම වෙළෙඳසලේ වැඩකරන්නේ ලංකාවේ අයය. කඩය අයත් ලෙබනන් ජාතිකයෙකුටය. ඔහු මැනවින් සිංහල වහරන්නේය. එහෙත් මේ රටේ තුන්වැනි පන්තියේ විජාතිකයන් පිරිසකට බඩු අලෙවි කිරීම නිසා උපදින අප්‍රසාදය ඔහු ප්‍රකට කරනු දකිමි. ඊට නුදුරු තැනෙක ලාංකික කාන්තාවන් වෙනුවෙන්ම විවර වන මැක්‌ ගෝල්ඩ් රත්තරං බඩු සාප්පුවය. එය පවත්වාගෙන යන්නේත් ලෙබනන් ජාතික ව්‍යාපාරිකයන්ය. වෙළෙඳ සහායකයන් ලංකාවේය. රන්බඩු උකස්‌ කළ යුතු ආකාරය, කොන්දේසි පිළිබඳ සියලු උපදෙස්‌ දැවැන්ත සිංහල අකුරින් මුද්‍රණය කර මැක්‌ගෝල්ඩ් රත්තරංබඩු සාප්පුවේ වීදුරුවල අලවා ඇති අයුරු පෙනෙන්නේය. 

ශ්‍රී ලාංකිකයන් ඉලක්‌ක කොටගෙන සැරසෙන මේ වෙළෙඳ නගරය තුළ ඉදිකටු තුඩක්‌ මත හිඳගෙන හරඹ පාන්නාක්‌සේ ව්‍යාපාර කරන, එසේකොට ජීවිතය දිනාගන්නට වෙර දරන ලාංකිකයන් හමුවනවිට උපදින්නේ පහන් හැඟීමකි. ජීවිතයෙන් විඩාපත් මිනිසුන්ගේ මානුෂීය සංවේදනාවන් තුළ කුහක සදාචාරයේ නිල හැඩතල සෙවීම යුතු නොවේ.

එහෙත් සිය දරුපවුල් හැරපියා ලෙබනනයට පැමිණි පසු ආ වත අමතකකොට සිරියානුවන්, බංගලියන්, හින්දීන් සමග සහවාසයේ යෙදෙමින් අවල කෙළි කෙළිනා අශික්‌ෂිත ගැහැණුන් මෙන්ම සල්ලාල පිරිමින් අතර හිඳිමින් කාන්තිලා, රංජනීලා, රංජිලා ස්‌වකීය ජීවිත වලට අරුත් එක්‌කරමින් සිටිති. එය පාරමිතාවක්‌ වැන්න. මේ ශික්‌ෂිත මනුෂ්‍යයන් ස්‌වකීය ජීවියෙන් උපයාගත් විනය ලංකාවේ අවිනීත සමාජයට පවා පාඩමක්‌ නොව පාඨමාලාවක්‌ සපයාදෙනු බලා හිඳිමි. 

ජානක ලියනආරච්චි, ඡායාරූප චමින්ද ගුරුසිංහ
http://www.divaina.com/2014/05/04/feature10.html

0 comments: