
නාමල් මුලින්ම පාසල් ගියේ "සෝලම" පුංචි පාසලටය. පාසලට ගොස් ගෙදර පැමිණි හැටියේ අහල පහල ඇති ගරාජවලට කම්මල්වලට ගොස් යන්ත්රොපකරණවල වැඩකරන හැටි ඔහු බලා සිටීම පුරුද්දක් කරගෙන සිටියේය. මේ අතර සෝලම පුංචි පාසලින් ඉවත්වී බෙල්ලන්කල්ල මහා විද්‍යාලයට ගිය නාමල් එහිදී ශිෂ්‍යත්වය සමත්වී තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් විය. මේ කාලය තුළ පාසලේ තාක්ෂණ විෂය භාර ගුරුතුමාට එකතුවී ඔහුගෙන් ගුරුහරුකම් ලබාගෙන උසස් පෙළ පන්තියේදී ඉංජිනේරු තාක්ෂණය විෂයයක් ලෙස තෝරාගෙන යන්ත්‍ර සූත්‍ර හා ඒවායේ ක්රියාකාරිත්වයන් ගැන වැඩිදුරටත් ඉගෙන ගත්තේය. ඒ අතර පාසලේදී පොතපතින් ඉගෙන ගන්නා දේ ප්‍රායෝගිකව තේරුම් ගැනීමට කිට්ටුව පාත ඇති ගරාජවලට යැම ඔහු අත්හැරියේ නැත.

"තාත්තේ කුඹුරේ සියලු වැඩකරන ලොකු යන්ත්‍රයක් මට හදන්න පුළුවන්. සල්ලි ටිකක් හොයල දෙන්නකො" නාමල් නිතර සිය පියාණන්ට ඇවිටිලි කරන්නට විය. පුතාගෙන් බේරෙන්න බැරිම තැන පවුලේ ජීවත් වීමට තිබූ එකම කුඹුර උගස් කර රුපියල් දොළොස් ලක්ෂයක මුදලක් සොයා දීමට පියා කටයුතු කළේය.
මුදල් ලැබීමෙන් පසු නාමල් සිය සිහිනය සැබෑකරගන්නට කුඹුරේ සියලු වැඩකර ගත හැකි දැවැන්ත යන්ත්‍රයක් නිපදවීමට පටන් ගත්තේය. පුරා වසරකට වැඩි කාලයක් ඔහු මේ සඳහා ඇප කැප විය. අන්තිමේදී නියර බැඳීම, නියර තද කිරීම, රොටරි කිරීම, පෝරුගෑම, ඩිස් කිරීම, සීසෑම යන සියලු කරුණු එකින් එක හෝ වෙන වෙනම හෝ බොහෝ වැඩ එකවර කරගත හැකි දැවැන්ත කුඹුරු යන්ත්‍රය නිපදවීමට නාමල් සමත් විය. මෙම යන්ත්‍රය හයිෙඩ්‍රාලික් ක්‍රමයට නිපදවා ඇති අතර යන්ත්‍රය රබර් දම්වැලක් උඩ දුවන නිසා ගොඩ මඩ අපහසුවක් නැතිව ක්‍රියාත්මක කළ හැකි බව වෙල්යායේ ගොවීන් ඉදිරියේ කරන ලද ප්‍රදර්ශනයේදී ඔහු සනාථ කළේය. මෙහි ඉතාම වැදගත් හා විශ්මයජනක දෙය වන්නේ කුඹුරේ සියලු මඩ වැඩ එකවර කළ හැකි යන්ත්‍රයක් මෙතෙක් ලෝකයේ කිසිම රටකින් නිෂ්පාදනය කර නැති වීමයි. ඔහුගේ බුද්ධිමය සම්පත අගය කරන්නේ නම් ශ්‍රී ලංකා යන්ත්‍රොපකරණ නිෂ්පාදනයේ මුල්තැන ඔහුට හිමි විය යුතු බව මේ යන්ත්‍රය හා යන්ත්‍රයේ ක්‍රියාකාරිත්වය දුටු හැමදෙනාම අවධාරණය කළහ.
යන්ත්‍රයේ සියලු කටයුතු නිමවීමෙන් පසු නාමල් විසින් මෙම යන්ත්‍රය ජයවිලාල් මීගොඩ ඉංජිනේරු ආයතනයේ අධ්‍යයනයට, නිරීක්ෂණයට හා තත්ත්ව පරීක්ෂණයට ඉදිරිපත් කර ඇත. ඔවුන්ගේ පුළුල් නිරීක්ෂණවලින් පසුව ලංකාවේදී නිපදවා ඇති මේ වර්ගයේ එකම හා උසස්ම යන්ත්‍රය මෙය බව එම ආයතනයෙන් නිර්දේශ කර ඇත. ඔවුන්ගේ නිර්දේශය පරිදි මෙම මැයි මාසයේදී ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් හි රටවල් 76 ක නව නිර්මාණකරුවන්ගේ නිර්මාණ ඉදිරිපත් කිරීමේ තරගයට නාමල්ගේ "කුඹුරු යන්ත්‍රයද" තෝරාගෙන ඇත. මෙම තරගාවලියට නාමල්ගේ කුඹුරු යන්ත්‍රය ඉදිරිපත් කරන්නේ ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය මගිනි. යන්ත්‍රයේ නිර්මාණකරු හැටියට මෙම තරගයට ඇමරිකාවට යැමට ඩබ්. ඒ. නාමල් උදාර පියසිරිටද අවස්ථාව ලැබී ඇත.
නාමල්ගේ ගමන් වියදම් දරන්නේ රජය මගිනි. යන්ත්‍රයේ ආකෘතිය ප්‍රවාහනය කරන්නේද රජය මගිනි. නමුත් නාමල්ගේ පෞද්ගලික වියහියදම් සඳහා ඔහුට මුදල් නැත. එසේම ඔහුට ලැප්ටොප් පරිගණකයක් සහ ප්‍රින්ටරයක් ලබා ගැනීමට අවශ්‍යව ඇතත් ඒ සඳහාද මුදල් නැති බව නාමල් කියයි. එසේම මේ යන්ත්‍රය සෑදීමට අවශ්‍ය මුදල් උපයා ගැනීමට උගස් කළ පවුලේ ජීවිතය බඳු කුඹුර බේරා ගැනීමටද අවශ්‍ය බව නාමල් කියා සිටී.
නාමල්ගේ දුරකථන අංකය 0714180396 වේ. සැබෑ ඉදිරියක් ඇති මේ දරුවාට රට වෙනුවෙන් ඉදිරි ගමනක් යන්නට ඔබේ අත හිත ලැබෙන තුරු ඔහු බලා සිටී.
රත්න බී. ඒකනායක, එප්පාවල
http://www.divaina.com/2014/05/04/feature03.html
0 comments:
Post a Comment