Pages

Wednesday, January 1, 2014

කිරිපිටි වැඩි කළොත්???

හොඳට හෝ නරකට හෝ කිරිපිටි යනු අප රටට තවමත් පානයක්‌ පමණක්‌ නොවේ, ආහාරයක්‌ද වෙයි. එහෙයින් දියර කිරෙන් රට ස්‌වයංපෝෂිත නොවී ඇති තත්ත්වයක්‌ තුළ කිරිපිටි හිඟයක්‌ ඇතිවීම රටේ ළමා ලෝකයට බැමිණිටියා සාය ඇතිවීමක්‌ වැන්නකි.

දැන් ගමේ ගොඩේ කඩවල තබා නගරයේ සුපර් මාර්කට්‌ තුළවත් කිරිපිටි නැත. ඕනෑම කාලයක කඩයක හෝ සුපර්මාර්කැට්‌ටුවක හෝ දිග රාක්‌ක සරසවා ආඩම්බරයෙන් වැජඹෙමින් සිටි කිරිපිටි ටින් සහ පැකට්‌ටු මේසා ඉක්‌මනින් අතුරුදන් වූයේ කෙසේද?

එයට එක්‌තරා ආකාරයක පිළිතුරක්‌ සපයන අතරම, යම් පිළියමක්‌ද යෙදීමට උත්සාහ කරන අභ්‍යන්තර වෙළෙඳ හා පාරිභෝගික කටයුතු පිළිබඳ අමාත්‍යාංශය ප්‍රකාශ කරන්නේ තමන්, සැඟවූ කිරිපිටි තොග වැටලීම් නොකඩවා සිදුකරන බවය.

සැඟවූ කිරිපිටි තොග සොයා මේ නොකඩවා සිදු කෙරෙන වැටලීම්වලින් අල්ලාගත් එකදු කිරිපිටි පැකට්‌ටුවක්‌ තවමත් නැතත්, කිරිපිටි සමාගම්වල සියලුම ගබඩා පරීක්‍ෂා කරන ලෙසට තම පාරිභෝගික අධිකාරියේ නිලධාරීන්ට අදාළ අමාත්‍යවරයා කළ නියෝගය ඉතා වැදගත්ය.

එහෙත්, අමාත්‍යවරයා කොහොම සිතුවත් සාමාන්‍යයෙන් අප රටේ වැටලීම් සිදුවන්නේ වැටලීම් සිදුවන ස්‌ථානයට ඒ වැටලීම් සංවිධානය කරන ස්‌ථාන විසින් කළින් ඒ බව දැනුම් දෙන ලැබීමෙන් අනතුරුව නිසා කිසිවකුත් ඒවා "සීරියස්‌ ලෙස" භාරගන්නේද නැත.

කෙසේ වුවත් දැන් කිරිපිටි නැත. රාක්‌ක හිස්‌ ය. පොඩි උන්ගේ බඩවල් ද හිස්‌ ය.

මේ හිස්‌ බව නිර්මාණය කළ හිස්‌ මිනිසුන් හෙවත් කිරිපිටි සමාගම්, කිරිපිටි කිලෝවක්‌ රුපියල් දෙසිය පනහකින් ඉහළ දමන ලෙසට රජයෙන් ඉල්ලා සිටින්නේය. කිරිපිටි බොන රටේ දුප්පත් මිනිසුන්ට තමන් දැනදු ඉතා අපහසුවෙන් මිලදී ගන්නා කිරිපිටි පැකට්‌ටුවට තවත් වැඩිපුර දෙසිය පණහක්‌ ගෙවීමට වඩා වස ටිකක්‌ බීම ලාභය. සාමාන්‍යයෙන්, මනුෂ්‍යත්වය ගැන තබා තමන් බොහෝ කලක්‌ සුරැකි පාරිභෝගික ජනතාව පිළිබඳව වත් මෙලෝ හැඟීමක්‌ නැති දුෂ්ට බහුජාතික සමාගම් රෑනකට තම හිතුමතයට කටයුතු කිරීමට ඉඩ නොදීම මේ දුෂ්කර තත්ත්වයේදී රජයට ලකුණු ලැබෙන්නක්‌ වෙයි.

එහෙත්, මෙහිදී වැඩ වරද්දාගෙන සිටින්නේ ද රජයම මිස අනෙකකු නොවන බව කීමටද අපට සිදුවෙයි. බහු ජාතික සමාගම් මගින් මෙරටට ගෙන එනු ලබන කිරිපිටිවල මිනිස්‌ සිරුරට ඉතාම අයෝග්‍ය රසායනික ද්‍රව්‍ය අඩංගු යෑයි මහා කලබැගෑනියක්‌ සිදු වූ කාලයේ මිනිස්‌සු මොන අපහසුකම් මධ්‍යයේ වුවද ආනයනික කිරිපිටි පරිභෝජනයෙන් වැළකී සිටියහ. විය යුතු පරිද්දෙන්ම ඒ කාලයේ ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කෙරෙන දියර කිරි පරිභෝජනයේ අගය නැවත නැවත ප්‍රකාශ කෙරුණු අතර දියර කිරි භාවිතා කිරීම පිළිබඳව මුළුමහත් සමාජයේම වූ එක්‌තරා එකඟතාවක්‌ද දැකිය හැකි විය.

බහුජාතික සමාගම් තම කිරිපිටි ව්‍යාපාරවලට එල්ල වූ රසායනික මිශ්‍රණ පිළිබඳ චෝදනා මොන සෙප්පඩ විඡ්ජාවකින් හෝ නිශේධනය කරගන්නා විට රජය කළේ යළිත් එම සමාගම් පාවඩ එළා පිළිගැනීමය. මෙය හරියට දූෂණ චෝදනා එල්ලවී රිමාන්ඩ් භාරයට පත්වන ප්‍රාදේශීය සභා සභාපතිවරයකු ඇප ලබා නිදහස්‌ වන විට මල් මාලා දමා පිළිගැනීමකට සමානය.

කුමන කාරණාවක්‌ නිසා හෝ ලෝක වෙළෙඳපළ සතු කිරිපිටිවලට හදිසි වැඩි ඉල්ලුමක්‌ ලැබීම තම නිත්‍ය පාරිභෝගික සමාජයක්‌ තඹයකට නොතකා හැරීමට හේතුවක්‌ කරගන්නා අධම ව්‍යාපාරයක්‌ වෙනුවෙන් පෙනී නොසිටීම මහජන රජයක යුතුකම හා වගකීම වෙයි.

කිරිපිටි මිල වැඩි කිරීමට සමාගම් ගෙනෙන යෝජනාවට එකඟ නොවීම මිනිසුන් රජයෙන් අපේක්‍ෂා කරයි. මිල වැඩි කළ පසු ඉතාම පහත්ම වර්ගයේ ලාභයක්‌ උදෙසා සැඟවූ කිරිපිටි එළියට දැමීම වැනි කාරණා අරභයා රජය කොන්ද කෙළින් තබා සටන් කළ යුතුය. ඒ අතර මේ මළඉලව් කිරිපිටි ඒකාධිකාරය නැත්තටම නැතිකර දියර කිරෙන් රට පෝෂණය කෙරෙන සංවර්ධනීය ව්‍යාපාරයකට ඉක්‌මනින් ම එළඹිය යුතුය.

http://www.divaina.com/2013/12/31/editor.html

Pic Source

සබැඳි ලිපි කිහිපයක් -
[

ෆොන්ටෙරා සමාගම නිපදවන කිරිපිටි නොවන කිරිපිටිhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_6902.html
පිටි කිරිත් එපා - දියර කිරිත් එපාhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_1228.htmlකිරි, මෙලමයින් සහ DCD - ඇත්ත මොකක්ද?http://denethharinna.blogspot.com/2013/08/dcd.html
ඉතා වැදගත් කියවිය යුතු ලිපියක් - දිවි නසා ගන්නට ඕන නම් කිරිපිටි බිව්වට කමක්‌ නෑ! - වෛද්‍ය පාලිත සමන් ජයකොඩිhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_9700.htmlදේශීය කිරිපිටි නිෂ්පාදනය ඉහළ නැංවීම අර්බුදයට විසඳුමයිhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_6292.html
]

0 comments: