Pages

Wednesday, January 1, 2014

තම්මැන්නාකුලම සිසු දරුවන්ට සහ ගැමියන්ට 'දුම්බර මිතුරෝ' මනුසත්බවේ සවිය

වසර තිහක්‌ තිස්‌සේ යුද්ධයේ කළු දුමාරයෙන් වැසී ගිය වව්නියාවටත්, අනුරාධපුරයටත් මායිම් වූ තම්මැන්නාකුලම කනිටු විද්‍යාලයට පසුගිය දවසක හිමිදිරි උදැසනක දුම්බර කඳුවැටිය පිස හැමූ සීත සුළඟ සමග රන්වන් හිරු රැස්‌ පතිත වී මුළු පාසල් භූමියම රන් පැහැයෙන් ඒකාලෝක විය. ඒ දුම්බර මිතුරෝ තෑගි බෝගත් රැගෙන තම්මැන්නාකුලමට නෑගම් ගිය අවස්‌ථාවේදීය. පාසල් දරු දැරියන්ගේ අඳුරු මුහුණුවල හසරැලි මල් පිපී තම්මැන්නාකුලම ගම්මානය පුරා ඒ මල්වල සුවඳ පැතිරෙන්නට වූයෙන්, මුළු ගමම එක්‌ නිමේෂයකින් පාසලට එක්‌රොක්‌ වන්නට ද විය. රුදුරු ගිනි අවි ප්‍රහාර මධ්‍යයේ කොටි ත්‍රස්‌තවාදීන්ගෙන් නිරතුරුව ගුටි බැට පීඩා අත්විඳිද්දීත් ගම අතහැර නොගිය සිංහල වැසියන් අද ගමත්, ගමේ පාසලත් රකිමින් මහත් පරිශ්‍රමයකින් යුතුව ජීවන අරගලයක නිරතව සිටිති. වසර 1956 දී පමණ ආරම්භ කළ තම්මැන්නාකුලම විද්‍යාලයේ එවකට පළමු ශ්‍රේණියේ පටන් අට වැනි ශ්‍රේණිය දක්‌වා දරු දැරියන් අධ්‍යාපනය ලැබූ ද්විතීක පාසලක්‌ වූ නමුත්, ත්‍රස්‌තවාදී තර්ජන එල්ලවීම නිසා වසර විසිපහකට වැඩි කාලයක්‌ මෙම පාසල වසා දමා තිබිණි. යුද ප්‍රහාරයන් සහ වල් බිහිවීම හේතුවෙන් පාසලට හිමිව තිබූ ගොඩනැඟිලි ද ටිකෙන් ටික දිරා ගොස්‌ බිමට සමතලා විය. 1999 වසරේදී මෙම පාසල යළි ආරම්භ කළ නමුත් ගුරුවරුන් නොමැතිවීම හේතුවෙන් යළිත් වසා දැමිණි. 2011 වසරේ ජනවාරි 21 වැනිදා යළි විවෘත කළ මෙම පාසලේ 1,2 හා 3 ශ්‍රේණි ආරම්භ කිරීමට උතුරු මැද පළාත් හිටපු මහ ඇමැති බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතා මූලික වී තිබිණි. මේ වනවිට කේ. ධර්මදාස විදුහල්පතිතුමාගේ අප්‍රතිහත ධෛර්යයෙන් හතර වන ශ්‍රේණිය දක්‌වා පන්ති පවත්වාගෙන යන අතර 2014 වසරේදී පස්‌ වන ශ්‍රේණි සඳහා ද පන්ති ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇත. රජයේ උපාධිධාරී ගුරුපත්වීම් වැඩපිළිවෙළ යටතේ මෙම පාසලට ද ගුරුවරියන් දෙදෙනකු ලැබී ඇති අතර ගමේම ජීවත්වන ස්‌වෙච්ඡා සේවයෙන් දරුවන්ගේ දැස්‌ පෑදූ ගුරුවරියන් කිහිපදෙනෙක්‌ ද මේ වන විට එම පාසලේම ස්‌ථිර ගුරුවරියන් ලෙස අපරිමිත මෙහෙවරක්‌ ඉටු කරති. පසුගිය 23 වැනිදා අප මෙම පාසලට ගොඩ වූයේ දුම්බර මිතුරෝ පරිසර සංවිධානයේ ක්‍රියාකාරී සාමාජිකයන්ද වශයෙනි. දුම්බර මිතුරෝ පරිසර සංවිධානය හුදෙක්‌ දුම්බර අසිරිය රැක ගැනීමෙහිලා බැඳුණු සංවිධානයක්‌ නොව රටේ සෑම ප්‍රදේශයකම පරිසර සංරක්‍ෂණය සොබා සෞන්දර්යයේ වටිනාකම මිනිසාට සංවේදී කරවීම, අධ්‍යාපනයෙන් සහ ගුණදම් වලින් පිරුණු පරිසර හිතකාමී දරු පිරිසක්‌ ඇති කිරීම, පරිසර සන්නිවේදන ව්‍යාපෘති හා වැඩමුළු මෙහෙයවීම, ආපදා කළමනාකරණය ආදී අරමුණු රැසක්‌ මුල්කොට ගනිමින් නිමල් කණහැරආරච්චි මහතාගේ සංකල්පයක්‌ සහ සභාපතිත්වයෙන් යුතුව පවත්වාගෙන යන කිසිදු මූල්‍යමය ප්‍රතිලාභයක්‌ අපේක්‍ෂා නොකරන සංවිධානයකි. එම සංවිධානය නියෝජනය කරමින් අප තම්මැන්නාකුලම පාසලට ගියේ අඩුපාඩු රැසක්‌ මධ්‍යයේ මහත් උනන්දුවකින් අධ්‍යාපන කටයුතු කරගෙන යන දරු දැරියන්ට ධෛර්යත්, දැනුම් සම්භාරයත් සහ පාසල් පොත් උපකරණ ඇතුළු ද්‍රව්‍ය ද රැසක්‌ රැගෙනය. එදා දවස පුරා පුංචි දරු පැටවුන්ගේ දැනුම සතුට නංවාලන වැඩසටහන් අපි ක්‍රියාත්මක කළෙමු. සිංහල බෞද්ධ දරු දැරියන් 38 දෙනකුගෙන් යුතු මෙම පුංචි පාසලේ තුන ශ්‍රේණියේ ඉගෙනුම ලබන්නේ එක දියණියක පමණි. සියලුම දරුවන් පාහේ ගමේ සිවිල් ආරක්‍ෂක කමිටු සාමාජිකත්වය දරන දෙමව්පියන්ගේ දරුවන්ය. දුම්බර මිතුරෝ සංවිධානය සමග මේ නෑගමනට µqල්ඩා ශිෂ්‍ය සහන පදනම, කින්ඩ ජෝයි සමාගම, හර්ෂ කරුණාරත්න මහතා, රතුකුරුස සංවිධානය, ජයන්ත විඡේසිංහ මහතා, නෙවිල් මීවතුර මහතා, රංග මහතා ඇතුළු පිරිසක්‌ ද එක්‌වෙමින් තෑගි බෝග ආදිය සඳහා ද අනුග්‍රහය දැක්‌වීය. දුම්බර මිතුරෝ සංවිධානයේ සාමාජිකයන්ගේ දරුවන් දෙදෙනෙක්‌ ද මේ නෑගමනට එක්‌ වීම විශේෂ කාරණාවක්‌ මෙන්ම තම්මැන්නාකුලම පාසලේ දරු දැරියන්ගේත්, එහි විදුහල්පතිතුමා ඇතුළු ගුරු දෙමාපියන්ගේත් මහත් ප්‍රීතියට හේතු විය. අපේ දැරියන් දෙදෙනා ද පාසල් නිල ඇඳුම්වලින් සැරසී බුලත් හුරුලු ද අතැතිව එම පාසලේ විදුහල්පතිතුමා හා ගුරුවරුන්ට වැඳ ආචාර දැක්‌වීමත්, එම පාසලේ දරු දැරියන් ද බුලත් හුරුලු රැගෙන දුම්බර මිතුරෝ සාමාජිකයන් ප්‍රමුඛ කණ්‌ඩායම බැතියෙන් පිළිගැනීමත් දෙපාර්ශ්වයේ සෑම දෙනකුගේම පාහේ දැස්‌වල සතුටු කඳුළු පුරවාලූ අතිශය මිත්‍රශීලී වූත්, සංවේදී වූත් අවස්‌ථාවක්‌ම විය. සිංහල චාරිත්‍ර වාරිත්‍රවලින් බැඳුණු අපේකමට කළ නොහැක්‌කක්‌ නොමැති බව එයින් තහවුරු කෙරිණි. පාසලේ දරු දැරියන්ගේ මවුපියවරුන් තම වගාවන්ගෙන් නෙළාගෙන අවුත් පිසූ නැවුම් එළවළුවලින් සපිරි ඉතා ගුණවත් වූත්, රසවත් වූත් දිවා ආහාරවේලක්‌ ද තේ පැන් සංග්‍රහයකින්ද සැලකූහ. කුඩා දරුවන් ඉතා උෙද්‍යාaගීව වැඩමුළුවට දායක වූ අතර ඔවුන්ගේ විවිධ ප්‍රසංගයක්‌ ද පැවැත්විණි. කලබලකාරී වාතාවරණය අවසන විදුහල්පති කේ. ධර්මදාස මහතා "දිවයින" පුවත්පතට විශේෂ ස්‌තුතිය පළ කරමින් කතා කළේය. 

"මම එක දවසක්‌ "දිවයින" පුවත්පත් ආයතනයේ සොබාසර අතිරේකයට කතා කරලා අපේ පාසලට පරිසරය සම්බන්ධ වැඩමුළුවක්‌ කරන්න කියලා ඉල්ලීමක්‌ කළා. එහි සංස්‌කාරක මහතා "දුම්බර මිතුරෝ" සංවිධානය මගින් එම වැඩමුළුව කිරීමට පොරොන්දු වුණා. අපේ දරුවන්ට තෑගි බෝගත් අරගෙන ඇවිත් දවසක්‌ම මේ දරුවෝ වෙනුවෙන් මහන්සි වෙලා දරුවන්ගේ උනන්දුව වැඩි දියුණු කළාට බොහෝමත්ම පිං සිදු වෙනවා. අපේ පාසලට පුස්‌තකාලයකදැඩි අවශ්‍යතාවක්‌ තියෙනවා. ගොඩනැඟිල්ලක්‌ අලුතින් හදා ගැනීමටත් අවශ්‍යයි. පන්ති කාමර වෙන් කරගන්න ඕනෑ. ළමයි තිස්‌ අට දෙනාට ඇති තරමට ඩෙස්‌ පුටු නම් තියෙනවා. තියෙන ගොඩනැඟිල්ලේ වහලය හදාගන්න ඕනේ. ගමේ හැමෝම පුළුවන් උපරිමයෙන් පාසල දියුණු කරන්න උනන්දු වෙනවා. මගේ ගුරුවරු දිවා රෑ නොබලා දරුවන්ට උගන්වනවා. හවස එකහමාරට පාසල ඇරුණත් ගුරුවරු ගෙවල්වලට නොගිහින් දරුවන්ව හවසට පාසලේම රඳවාගෙන නොමිලේ උගන්වනවා. මේ අය නම් ගුරුවරු නොවෙයි ගුරු දෙවිවරු කිව්වොත් නිවැරැදියි. උතුරු මැද පළාත් මහ ඇමැති එස්‌. එම්. රංජිත් මහතා, උතුරු මැද පළාත් වර්තමාන අධ්‍යාපන ඇමැති කේ. එච්. නන්දසේන මහතා 2011 වසරේදී මේ පාසල නැවත ආරම්භ කිරීම සඳහා මුල් වුණා. වන්නි දිස්‌ත්‍රික්‌ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරී ෂ අමරසිරි සේනාරත්න මහතා, වර්තමාන මැදවච්චිය පොලිස්‌ ස්‌ථානාධිපති දිසානායක මහතා, කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ හේමපාල ගුණවර්ධන මහතා, කොට්‌ඨාස අධ්‍යාපන අධ්‍යක්‍ෂ මැදවච්චිය ටී. බී. ජයනන්ද මහතා, සිවිල් ආරක්‍ෂක කලාප අණදෙන නිලධාරී කර්නල් මිල්ලවාන මහතා, සෙට්‌ටිකුලම හා මාන්කුලම පොලිස්‌ ස්‌ථාන, සිවිල් ආරක්‍ෂක නිලධාරීන්, කරුණා පදනම, පසන් තක්‍ෂලා වැඩසටහන, සසෙක්‌ස්‌ පාසල් ජාලය, අගමැති කාර්යාලය, බැසිල් රාජපක්‍ෂ මහතාගේ කුඩා පාසල් නවීකරණ වැඩසටහන මේ පාසල වෙනුවෙන් උදව් කළා. ඒ හැමෝටම මම විදුහල්පති හැටියට ස්‌තුතිවන්ත වෙනවා. "දිවයින" පුවත්පත කියවන පාඨක ජනතාවගෙන් මම ඉතා ආයාචනාත්මකව ඉල්ලා සිටින්නේ සිංහල බෞද්ධ දරුවන් ඉගෙන ගන්න මේ පුංචි පාසල දියුණු කරන්න හැකි ඕනෑම ආකාරයකින් උදව් කරන්න කියායි" යනුවෙන් විදුහල්පති ධර්මදාස මහතා කීවේය.

බොහෝ කලෙකින් මහත් පිංකමක්‌ කරගත්තා යෑයි ප්‍රීති ප්‍රමෝදයකින් යුතුව අප තම්මැන්නාකුලම පාසලෙන් නික්‌ම ආවේ යළිත් දිනක ඒ පාසලේ දරු පැටවුන්ට උදව් කරන්නට යැමේ දැඩි අදිටනින් ද යුතුවය.

තුෂාරී කළුබෝවිල
http://www.divaina.com/2013/12/31/feature03.html

0 comments: