Pages

Thursday, January 2, 2014

ඉලක්‌ක ජයගැනීමේ අවුරුද්ද ඇරඹේ !

තවත් අලුත් වසරක්‌ ආරම්භ වී ඇත. සෑම නව වසරක්‌ මුලදීම අප තුළ අලුත් බලාපොරොත්තු අලුත් අපේක්‍ෂා ජනිත වෙයි. එසේම රටක්‌ සම්බන්ධයෙන්ද සෑම වසරක්‌ මුලදීම එම වසර සම්බන්ධයෙන් නොයෙකුත් අපේක්‍ෂා, ඉලක්‌ක ඇති කර ගනී. එම ඉලක්‌ක සහ අපේක්‍ෂා වසර අගදී යථාර්ථයක්‌ බවට පත් කර ගැනීම සඳහානිසි සැලසුමක්‌ ඇතිව අඛණ්‌ඩව වෙහෙසීමෙන් කටයුතු කළ යුතුව තිබේ. ඒ අනුව අපි මේ ලිපියෙන් සාකච්ඡා කරන්නේ උදා වූ නව වසරේ (2014) ආර්ථික අපේක්‍ෂා සහ ඉලක්‌ක ගැනය. ආර්ථික වර්ධනය, ආයෝජන, පොලී අනුපාත, පෞද්ගලික අංශයේ ණය උද්ධමනය සහ විදේශීය අංශය යන ආර්ථිකයේ තෝරාගත් වැදගත් අංශ කිහිපයක්‌ ඔස්‌සේ මේ වසරේ (2014) ආර්ථික කවර මගක්‌ ගනු ඇතිදැයි අපි සාකච්ඡා කරමු.

ආර්ථික වර්ධනය

මේ වසරේ (2014) දී ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 8 කින් වර්ධනය වනු ඇතැයි මහ බැංකුව පුරෝකථනය කර ඇත. ගෝලීය ආර්ථිකය යථා තත්ත්වයට පත්වීම, දේශීය ආර්ථික කටයුතු අඛණ්‌ඩව වර්ධනය වීම සහ ගිය වසරේ (2013) දී ක්‍රියාත්මක කළ ආර්ථික වර්ධනය ඉලක්‌ක කරගත් ප්‍රතිපත්ති ක්‍රියා මාර්ග හේතුවෙන් මේ වසරේ (2014) දී ආර්ථික වර්ධනය වේගවත් වනු ඇතැයි මහ බැංකුව අපේක්‍ෂා කරයි. ගිය වසරේ (2013) අපේ ආර්ථික අපේක්‍ෂාවන් තරමක්‌ පසුබෑමට ලක්‌ වුවත් මේ වසරේ (2014) සිට ආර්ථිකය ඉහළ වර්ධන මාවතකට නැවත අවතීර්ණ වනු ඇත. මේ වසර සඳහා අපේක්‍ෂිත සියයට 8 ක ආර්ථික වර්ධනය පුළුල් පදනමකින් යුතුව ආර්ථිකයේ කෘෂිකර්ම, කර්මාන්ත හා සේවා යන සෑම ප්‍රධාන අංශයකම ධනාත්මක දායකත්වය තුළින් ළගා කරගන්නක්‌ වනු ඇති අතර සංචාරක හා ඒ ආශ්‍රීත සේවාවන්වල ප්‍රසාරණය ද මේ ඉහළ ආර්ථික වර්ධනය සඳහා දායක වනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.

ආයෝජන

රටේ නිෂ්පාදන ධාරිතාව වැඩි කර ගැනීම සඳහා ආයෝජන කටයුතු අඛණ්‌ඩව වර්ධනය විය යුතුය. මෙසේ ඉහළ ආයෝජන වර්ධනයක්‌ ඇති කර ගැනීමට නම් ඉතුරුම් ඉහළ නැංවීම ද අත්‍යවශ්‍ය කටයුත්තකි. රටේ ආයෝජන අවශ්‍යතාවට ප්‍රමාණවත් ඉතුරුම් මට්‌ටමක්‌ නොපැවතියහොත්, ඉතුරුම් - ආයෝජන පරතරය තවත් පුළුල් වෙයි. එවිට සිදු වන්නේ එම ආයෝජන කටයුතුවල වියදම් පියවා ගැනීම සඳහා වැඩි වශයෙන් විදේශ මුදල් යොදා ගැනීමටය. මේ සඳහා අපනයන වර්ධනය කර ගැනීමද වැදගත්ය. වැඩිවන ආනයනවලට සාපේක්‍ෂව අපනයන ආදායම්ද වර්ධනය කරගත හැකි නම් එය දේශීය ඉතුරුම් ඉහළ නැංවීමට හේතු වෙයි. මහ බැංකුව පුරෝකථනය කර ඇති පරිදි විදේශ සේවා නියුක්‌තිකයින්ගේ ප්‍රේෂණ හරහා ශුද්ධ පෞද්ගලික සංක්‍රාම අඛණ්‌ඩව වර්ධනය වීම හා ශුද්ධ සාධක ආදායම වර්ධනය වීම හේතුවෙන් මේ වසරේ (2014) දී ජාතික ඉතුරුම් වර්ධනය වනු ඇත.

පොළී අනුපාත 

මහ බැංකුව විසින් අනුගමනය කරන ලද දැඩි මුදල් ප්‍රතිපත්ති හේතුවෙන් 2012 වසරේදී වෙළෙඳපොල පොලී අනුපාත සැළකිය යුතු ලෙස ඉහළ ගියේය. එහෙත් 2012 දෙසැම්බර් සිට එම දැඩි මුදල් ප්‍රතිපත්තිය ලිහිල් කරමින් මහ බැංකුව සිය ප්‍රධාන ප්‍රතිපත්තිමය පොලී අනුපාත දෙක වන ප්‍රත මිලදී ගැනුම් අනුපාතිකය සහ ප්‍රතිවිකුණුම් අනුපාතිකය පදනම් අංක 25 කින් අඩු කළ අතර ණය සඳහා පැවති සීමාවන්ද ඉවත් කරන ලදී. එසේම ගිය වසරේ (2013) මැයි සහ ඔක්‌තෝබර් යන මාසවලදී මහ බැංකුව විසින් නැවතත් සිය ප්‍රතිපත්තිමය පොළී අනුපාත පියවර දෙකකදී පදනම් අංක 100 කින් තවදුරටත් පහත හෙළන ලදී. මෙලෙස 2012 වසරේ අග සිට පොළී අනුපාත අඩු කරමින් දැඩි මුදල් ප්‍රතිපත්තිය ලිහිල් කිරීමෙන් මහ බැංකුව අපේක්‍ෂා කළේ ආර්ථිකය ඉහළ වර්ධන මාවතකට රැගෙන යාම සඳහා පෞද්ගලික අංශයේ ණය වර්ධනය දිරි ගැන්වීමටයි.

මේ ක්‍රියාමාර්ග හේතුවෙන් බැංකු පොළී අනුපාත ඇතුළු වෙළෙඳපොළ පොළී අනුපාත පහත වැටී ඇතත් එය සිදුව ඇත්තේ මන්දගාමීවය. මහ බැංකුව සිය පොළී අනුපාත අඩු කළ විට වාණිජ බැංකු ඇතුළු මූල්‍ය ආයතන විසින් වහාම තම තැන්පත් කරුවන්ට ගෙවන පොලී අනුපාත අඩු කරනු ලැබූවත්, ණය පොලී අනුපාත අඩු කරන්නේ ඉතා සෙමිනි. මෙසේ තම පොළී ආදායම අඩුවීම ගැන බැංකු තැන්පත්කරුවන්ගේ පැත්තෙන් මැසිවිල්ලක්‌ තිබේ. ඒ ගැන මෙන්ම ණය පොළී අනුපාත මන්දගාමීව අඩු කිරීම ගැනද මහ බැංකුව විසින් අවධානය යොමු කොට නිසි ක්‍රියාමාර්ග ගත යුතුව පවතී. මේ වසර තුළදී ද පවතින අඩු උද්ධමනය අඛණ්‌ඩව පවත්වා ගැනීමට බලධාරීන් අපේක්‍ෂා කරන බැවින් පොළී අනුපාතද තවදුරටත් අඩු මට්‌ටමක පවතිනු ඇත. ඒ තුළින් පෞද්ගලික අංශයේ ණය ගැනීම් ඉහළ ගොස්‌ රටේ ආර්ථික ක්‍රියාකාරකම් වර්ධනය වනු ඇත.

පෞද්ගලික අංශයේ ණය

පසුගිය වසරවල දී රාජ්‍ය අංශය බැංකු පද්ධතියෙන් ලබා ගන්නා ණය ප්‍රමාණය විශාල ලෙස ඉහළ ගියේය. මෙය 2010 වසරේ සිටම අඛණ්‌ඩ දක්‌නට ලැබුණු දෙයකි. මෙය මුදල් සැපයුම වැඩිවීමටත් පෞද්ගලික අංශයට ලබා දෙන ණය ප්‍රමාණය අඩු වීමටත් හේතු විය. එසේම මෙය පෞද්ගලික අංශයේ ආර්ථික ක්‍රියාකාරකම් වර්ධනයටද අහිතකරය. මේ නිසා රාජ්‍ය අංශය, බැංකු පද්ධතියෙන් ලබා ගන්නා ණය ප්‍රමාණය අඩු කළ යුතුව පවතී. මේ ගැන මහ බැංකුව මෙසේ කියයි.

" රාජ්‍ය අංශය බැංකු පද්ධතියෙන් ලබා ගන්නා අරමුදල් ප්‍රමාණය ඉහළ යාම, පුළුල් මුදල් සැපයුමෙහි ප්‍රසාරණයට හෝ පෞද්ගලික අංශයට ලබා දෙන ණය සීමා කිරීමට හේතු වන අතර, එය මධ්‍යකාලීනව මුදල් ප්‍රතිපත්තියේ ඵලදායී බව අඩු කිරීමට හේතු වනු ඇත. එම නිසා මුදල් සහ ණය සමස්‌තයන් අපේක්‍ෂිත පරිදි පවත්වා ගෙන යැම සඳහා රාජ්‍ය අංශය බැංකු පද්ධතියෙන් ලබා ගන්නා ණය ප්‍රමාණය අඩු කිරීමට සුක්‍ෂ්ම ක්‍රියාමාර්ග ගැනීම අවශ්‍ය වේ. මෙහිදී රජය, රාජ්‍ය මුල්‍ය ඒකාග්‍රතාවය සඳහා දරන අඛණ්‌ඩ ප්‍රයත්නය, රාජ්‍ය අංශය බැංකු පද්ධතියේ ණය මත රඳා පැවැත්ම අඩු කිරීමද අරමුණු කරගත යුතුය."

ඒ අනුව මේ වසරේ (2014) දී බැංකු පද්ධතියෙන් පෞද්ගලික අංශයට දෙන ණය ප්‍රමාණය වර්ධනය වනු ඇතැයිද, එසේම රාජ්‍ය අංශයට දෙන ණය ප්‍රමාණය අඩු වනු ඇතැයිද අපේක්‍ෂා කෙරේ. එම පුරෝකථනය අනුව මේ වසරේ පුළුල් මුදල් සැපයුම සියයට 15 කින් වර්ධනය වනු ඇතැයි ඇස්‌තමේන්තු කර ඇත. මෙසේ පොළී අනුපාත අඩු මට්‌ටමක පැවතීම සහ රාජ්‍ය අංශය බැංකු පද්ධතියෙන් ගන්නා ණය ප්‍රමාණය අඩු කිරීමත් නිසා පෞද්ගලික අංශයේ ණය වර්ධනය අපේක්‍ෂිත මට්‌ටමට වර්ධනය වනු ඇතැයි මහ බැංකුව කියයි.

එහෙත් පෞද්ගලික අංශය සඳහා ලබා දෙන ණය ප්‍රමාණය ආර්ථිකයේ ඵලදායි අංශ වෙත යොමු කිරීමද අත්‍යවශ්‍ය කරුණකි. ඒ සඳහා මහ බැංකුව විසින් බැංකු අංශයට අවශ්‍ය මඟ පෙන්වීම් කළ යුතුව තිබේ. ඒ තුළින් ඇති විය හැකිව තිබෙන අනාගත අවධානම් හා අහිත කර තත්ත්වයත් මග හරවා ගත හැකිය.

උද්ධමනය

උද්ධමනය යනු භාණ්‌ඩ හා සේවාවල සමස්‌ත මිල මට්‌ටමේ අඛණ්‌ඩ ඉහළ යාමයි. අංක එකේ මහජන සතුරා ලෙස සැලකෙන්නේ ද මෙකී උද්ධමනයයි. එහෙත් මේ සතුරා මුළුමණින්ම පලවා හැරීමට පුළුවන් කමක්‌ නැත. කළ හැක්‌කේ එම මහජන සතුරා හැකිතාක්‌ දුර්වල කොට මහජනයාට සතුරුකම් කළ හැකි ශක්‌තිය හැකිතාක්‌ අවම කිරීමයි. කලක්‌ ඉතා ඉහළ මට්‌ටමක පැවති උද්ධමනය මේ වන විට මාස 57 ක පමණ කාලයක්‌ තිස්‌සේ අඛණ්‌ඩව තනි අංකයක පවත්වා ගැනීමට අප සමත්ව තිබේ. එය හොඳ දෙයක්‌ වූවත් උද්ධමනය තවදුරටත් අඩු කර ගැනීමට අප උත්සාහ කළ යුතුය. මේ වසරේ (2014) දී ද උද්ධමනය මැදි තනි අංකයක පවතිනු ඇතැයි මහ බැංකුව පුරෝකථනය කර ඇත. මේ අනුව උද්ධමනය මේ වසර අග වන විට සියයට 6 කට වඩා අඩු අගයක පවතිනු ඇතැයි අපේක්‍ෂා කෙරේ. කෙසේ වෙතත් රාජ්‍ය අංශයට ලබා දෙන ණය ප්‍රමාණය වැඩිවීම සහ ලෝක ආර්ථිකයේ වර්ධනය හේතුවෙන් භාණ්‌ඩවල ලෝක මිල ගණන් ඉහළ යාම හරහා උද්ධමනය ඉහළ යැමේ අවධානමක්‌ද පවතී.

විදේශීය අංශය

ලෝක ආර්ථිකයද ක්‍රමයෙන් වර්ධනය වෙමින් තිබුණත්, එය මේ වසරේ (2014) දී ද මන්දගාමී තත්ත්වයක පවතිනු ඇතැයි අපේක්‍ෂා කෙරේ. ලෝක ආර්ථික වර්ධනයට නැගී එන සහ සංවර්ධනය වෙමින් පවතින රටවලින් ලැබෙන ප්‍රධාන දායකත්වය ක්‍රමයෙන් දියුණු ආර්ථිකයන් කරා යොමු වෙමින් පවතී. දියුණු රටවල ආර්ථිකයන් මේ වසරේ (2014) දී සියයට 1.2 සිට 2.0 දක්‌වා වර්ධනය වනු ඇතැයි පුරෝකථනය කර ඇත. මෙලෙස ශ්‍රී ලංකාවේ ප්‍රධාන වෙළෙඳ හවුල්කරුවන් වන ඇමෙරිකාව හා යුරෝ කලාපය ඇතුළු ආර්ථිකයන් යථා තත්ත්වයට පත් වීමත් සමග අපේ අපනයන ආදායම් වර්ධනය වනු ඇතැයි අපේක්‍ෂා කෙරේ. මේ අනුව මේ වසරේ (2014) අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 11. 2ක්‌ දක්‌වා සියයට 12.7 කින් වර්ධනය වනු ඇතැයිද, අපනයනවල විශාලම කොටස වන කාර්මික අපනයන සැළකිය යුතු ලෙස වැඩි වනු ඇතැයිද මහ බැංකුව කියයි. මේ සමගම අපනයන නිෂ්පාදනය වැඩිවීම සහ ඉහළ ආර්ථික වර්ධනය හේතුවෙන් වැඩිවන ඉල්ලුම සපුරාලීම සඳහා ආනයනද වැඩි වනු ඇත. මේ අනුව මේ වසරේ (2014) දී සියලුම අංශවල ආනයන ඉහළ යාම පිළිබිඹු කරමින් ඇමෙරිකානු ඩොලර් බිලියන 21.6 ක්‌ දක්‌වා සියයට 13.1 කින් මුළු ආනයන වියදම් වර්ධනය වීම නිසා වෙළෙඳ හිඟය (අපනයන ආදායම සහ ආනයන වියදම අතර පරතරය) සියයට 13.5 කින් පමණ ඉහළ යනු ඇත. මේ නිසා අපනයන ආදායම් වර්ධනය කර ගැනීම සඳහා අප විසින් තව දුරටත් සැළකිය යුතු අවධානයක්‌ යොමු කළ යුතුව පවතී. එසේම සංචාරක කර්මාන්තයේ රජයේ ඉදිරි ඉලක්‌ක සපුරා ගැනීම සඳහා එම කර්මාන්තයෙන් උපරිම ප්‍රයෝජන රටට අත් කර ගැනීමට සමත් වැඩ පිළිවෙළක්‌ (ඒකාබද්ධ ප්‍රයත්නයක්‌) වෙතද අප වහාම යොමු විය යුතුව තිබේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
http://www.divaina.com/2014/01/02/feature01.html

0 comments: