Pages

Thursday, January 2, 2014

අසිරිමත් මගක ගිය ශ්‍රීමත් සිරිල් ද සොයිසා

මෙරට පහල වූ ශ්‍රේෂ්ඨ සිංහල බෞද්ධ නායකයන් අතර ශ්‍රීමත් සිරිල් ද සොයිසා මැතිතුමන්ට හිමිවන්නේ අද්විතීය ස්‌ථානයකි. මන්ද එතුමන්ගෙන් බුදුදහමට, බුද්ධ ශාසනයට, සිංහල ජාතියට මෙන්ම මෙරට ජන සමාජයට සිදුවූ මෙහෙය අති විශාල බැවිනි.

අංශ ගණනාවකට විහිදුනු ශ්‍රීමත් සිරිල් ද සොයිසා මැතිතුමන්ගේ සේවය එදා මෙන්ම අදත් ප්‍රායෝගිකව දැක ගැනීමට හැකිවීම මෙහිලා කැපී පෙනේ.

කළුතර ඓතිහාසික බෝධි පරිශ්‍රය වුවද එතුමන්ගේ සේවය තක්‌සේරු කිරීමට ප්‍රමාණවත් යයි මම විශ්වාස කරමි. එය වුවද ශ්‍රීමත් සිරිල් ද සොයිසා මැතිඳුන්ගේ සේවාවෙන් එක්‌ අවස්‌ථාවක්‌ පමණි.

මෙහිලා මගේ මතකයට පැමිණෙන්නේ එතුමා ශ්‍රී ලංකා මහාබෝධි සංගමය සමග එක්‌ව, එහි සභාපති පදවිය දරමින් කටයුතු කළ කාලයයි. ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමන් ආරම්භ කළ ශ්‍රී ලංකා මහාබෝධි සංගමය සුවිශේෂී තත්ත්වයකට රැගෙන ගිය කෙටි කාලවකවානුවක ශ්‍රීමත් සිරිල් ද සොයිසා මැතිඳුන් සභාපති පදවිය දැරීය. එවකට මහාබෝධි විහාරාධිපතිව වැඩ විසූ භාරත දේශයේ ප්‍රධාන සංඝනායක හැඩිගල්ලේ පCඳ්C¹තිස්‌ස මාහිමියන්ගේ ආරාධනය මත ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති ධුරය භාරගත් ශ්‍රීමත් සිරිල් ද සොයිසා මැතිතුමන් එහි ප්‍රගතියට විශිෂ්ට මෙහෙයක්‌ කළ අයුරු මට මතකය. එවකට විසිහත් හැවිරිදි වියේ පසුවූ මා එතුමන්ගේ ක්‍රියාකාරකම් දෙස මහත් ඕනෑකමින් බලා සිටි අයුරුද මතකය. චාම් ගතිගුණ වලින් පිරුණ ද එතුමන් තුළ වූයේ දැඩි පෞරුෂයකි. මාගේ ජීවිතයේ දැක ඇති පුද්ගලයන් අතර එතුමන් සුවිශේෂී වන්නට එම පෞරුෂයද හේතු විය.

මහාබෝධි සංගමයේ ස්‌වර්ණමය කාලපරිච්ඡේදය මගේ මතකය තුලින් ද අමතක නොවන්නේය. එතුමන්ගේ විශේෂතාවය වූයේ කිසියම් අඩුපාඩුවක්‌ දුටු විට වහා පියවර ගැනීමය. වෙනත් හදිසි පියවරක්‌ ඒ වෙනුවෙන් නොමැති නම් ශ්‍රීමත් සිරිල් ද සොයිසා මැතිඳුන් කළේ තම ව්‍යාපාරික ආයතනයට කථා කර ඊට විසඳුම් ලබාදීමය. කිසිවක්‌ කිසිම හේතුවක්‌ මත කල් දැමීම එතුමන්ගේ සිරිත නොවීය.

කිසිදු බාධාවකින් ඉදිරියට යන ගමන එතුමන් නතර නොකළේය.

සැබවින්ම ශ්‍රීමත් සිරිල් ද සොයිසා මැතිඳුන්, ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ කටයුතු සඳහා එය ස්‌ථාපිත කර ඇති කොළඹ මහාබෝධි විහාරයට පැමිණෙන දිනයන් පිළිබඳව මා විමසිලිමත්වී සිටි අයුරුද මට මතකය. ඒ අන් කිසිදු හේතුවක්‌ නිසා නොව එතුමන්ගේ ක්‍රියාකාරකම් මගේ ජීවිතයට යහපත් මාර්ගෝපදේශයක්‌ බව දැනීම හේතුවෙනි.

දකුණේ බලපිටියේ වැලිතරදී 1886 ඔක්‌තෝබර් 26 වැනි දින උපත ලැබූ එතුමන්ගේ සේවය දකුණට පමණක්‌ නොව සිරිලකෙන් එපිට ඈත පෙර අපර දෙදිගම ව්‍යාප්තවී ඇති අයුරු එතුමන්ගේ ක්‍රියාකාරකම් දෙස බලන විට පෙනේ.

නීතිඥ වෘත්තිය සඳහා කළුතරට සපැමිණි එතුමන් ප්‍රථමයෙන්ම අත ගැසූ ආගමික සේවාව වූයේ කළුතර ඓතිහාසික බෝධිරාජයාණන් හා ඒ අවට පරිශ්‍රය ආරක්‍ෂා කර ගනිමින් බැතිමතුන්ට වන්දනා මාන කිරීම සඳහා යහපත් ස්‌ථානයක්‌ බවට පත් කිරීමය. එම ගමනේ සුවිශේෂී අවස්‌ථාව වන්නේ මෙරට රාජ අවධියෙන් පසු මහා වටදා සෑයක්‌ කළුතර බෝධි පරිශ්‍රය තුළ නිර්මාණය කිරීමය. අද එය මෙරට බෞද්ධයන්ගේ පමණක්‌ නොව ලෝක බෞද්ධ ජනතාවගේද වන්දනාවට ලක්‌වන සුවිශේෂී පුණ්‍ය ස්‌ථානයක්‌ බවට පත්වී ඇත්තේය.

එපමණක්‌ නොව කළුතර අධ්‍යාපන නවෝද්‍යා සඳහා කළුතර බාලිකා විද්‍යාලය හා කළුතර මහා විද්‍යාලයද ආරම්භ කිරීමට පියවර ගත්තේය.

මෙරට ව්‍යාපාරිකයන් අතර සුවිශේෂී ව්‍යාපාරිකයකු වූ එතුමන් කලක්‌ එවකට පැවැති උත්තර මන්ත්‍රී මණ්‌ඩලයේ සභාපතිවරයා ලෙසද කටයුතු කළේය.

එතුමන්ගේ සේවාවන් අතර කතරගම කිරිවෙහෙර ප්‍රතිසංස්‌කරණයට මූලික වීම සහ කොළඹ තරුණ බෞද්ධ සංගමය වෙනුවෙන් ඉටුකළ සේවා කැපී පෙනේ.

ශ්‍රීමත් සිරිල් ද සොයිසා මැතිඳුන් තනතුරු දැරූ ආයතන ගැන සටහන් කරන්නේ නම් එය දීර්ඝ ලේඛනයක්‌ වනු ඇත. එතුමන්ගේ සේවය පිළිබඳ සටහන් කරන්නට පොත් ගණනාවක්‌ ලිවිය හැකිය.

ශ්‍රීමත් සිරිල් ද සොයිසා මැතිඳුන් වැනි ශ්‍රේෂ්ඨ පුද්ගලයන් රටකට ගෞරවයකි. ආඩම්බරයකි. ආලෝකයකි. එවැනි උදාරතර පුද්ගලයන් රටකට පහල වන්නේ රටේ පිනටය.

ඒ නිසාමදෝ දැරූ සෑම තනතුරක්‌ම එතුමන් හේතුවෙන් ආලෝකමත් විය. තනතුරු වලින් එතුමන් කිසිදු ආලෝකයක්‌ නොලැබුවේය. ආලෝකයක්‌ ලබන්නට හේතු නොවීය.

මෙහිලා සඳහන් කළ යුතු විශේෂ කරුණක්‌ ඇත. එදා ශ්‍රීමත් සිරිල් ද සොයිසා මැතිඳුන් ගෙන ගිය ශාසනික හා ජාතික මෙහෙවරට එතුමන්ගේ ඥාති පුත් අජිත් ද සොයිසා මැතිඳුන් දායකත්වය ලබාදීමය. අජිත් ද සොයිසා මහතාද කලක්‌ ශ්‍රී ලංකා මහා බෝධි සංගමයේ පාලක සභාවේ ක්‍රියාකාරී සාමාජිකයකු ලෙස කටයුතු කළ අතර අදත් එහි අභිවෘද්ධිය පිණිස කැපවී සිටින්නේය. එපමණක්‌ ද නොව කිසිදු ආරාධනාවකින්, ඉල්ලීමකින් තොරව ජපානයේ ශ්‍රී ලංකා විහාරයේ අභිවෘද්ධිය පිණිස විවිධ අයුරින් දායක වන්නේය. මගේ අදහස නම් ශ්‍රීමත් සිරිල් ද සොයිසා මැතිඳුන්ගේ සේවය තවදුරටත් ඉදිරියට ගෙන යැමට අජිත් ද සොයිසා මැතිඳුන් කරන සේවයද සුළුපටු නැත.

අභාවප්‍රාප්ත වී වසර ගණනාවක්‌ ගතවී ඇතත් ශ්‍රීමත් සිරිල් ද සොයිසා මැතිඳුන් පිළිබඳ මතකය තවමත් මෙරට ජනතාවගේ මතකයෙන් ඈත් වී නැත. ඒ මතකය තවත් ශත වර්ෂ ගණනාවක්‌ ඒ ලෙසින් පවතිනු ඇත.

ශ්‍රීමත් සිරිල් ද සොයිසා මැතිතුමන්ට නිවන් සැප ලැබේවා!!!

ජපානයේ ප්‍රධාන සංඝනායක සහ සභාපති, ශ්‍රී ලංකා මහා බෝධි සංගමය, පූජ්‍ය බානගල උපතිස්‌ස නාහිමි
http://www.divaina.com/2014/01/02/news47.html

Pic1 Source
Pic2 Source

0 comments: