Pages

Monday, September 8, 2014

10 වැනි ආසියානු යොවුන් වොලිබෝල් සමාරම්භක තරගයේදී සවුදිය පරදා ශ්‍රී ලංකාව සවුදිය පුරයි

රටවල් 15 ක සහභාගීත්වයෙන් කොළඹ සුගතදාස ගෘහස්‌ථ ක්‍රීඩාංගණයේදී පුරා දින 9 ක්‌ පැවැත්වෙන 10 වැනි ආසියානු යොවුන් වොලිබෝල් තරගාවලියේ සමාරම්භක තරගයේදී සවුදි අරාබියට එරෙහිව විශිෂ්ට ජයක්‌ ලැබූ ශ්‍රී ලංකාව තරගාවලිය සඳහා වටිනා ප්‍රවේශයක්‌ ලබාගැනීමට සමත්විය.

ෂෙහාන් ලක්‍ෂිත බණ්‌ඩාරගේ නායකත්වයෙන් තරග වදින ශ්‍රී ලංකාව මෙම තරගයේදී සවුදි අරාබිය පරාජයට පත්කරනු ලැබුවේ තරග වට 3-0 ක්‌ වශයෙනි.


රටවල් දෙක කනිෂ්ඨ හෝ යොවුන් මට්‌ටමින් ජාත්‍යන්තර තරගයකදී මුණගැසුණු පළමු අවස්‌ථාව මෙය වූ අතර මෙම තරගයේ ප්‍රථම වටයේ ආරම්භයේ පටන්ම ඉදිරියෙන් සිටීමට ශ්‍රී ලංකාවට හැකි විය. පළමු තාක්‍ෂණික කෙටි විවේක කාලය වන විට ලකුණු 8-2 ක්‌ ලෙසින් ඉදිරියෙන් සිටි ශ්‍රී ලංකාව එම දෙවැනි විවේකය වන විට ලකුණු 16-8 ක්‌ ලෙස පෙරමුණ ගනිමින් ලකුණු 25-14 ක්‌ ලෙසින් අභියෝගයකින් තොරව පළමු වටය ජය ලැබීය. දෙවැනි වටයද සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ ග්‍රහණයට හසුවෙමින් ලකුණු 25-15 ක ජයක්‌ ශ්‍රී ලංකාවට හිමිවී නමුත් තෙවැනි වටයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ ලිහිල් ක්‍රීඩා විලාසය හමුවේ වටයේ මුල අවස්‌ථා 2 කදී ශ්‍රී ලංකාවට වඩා ඉදිරියෙන් සිටීමට සවුදි අරාබිය සමත්විය. එහිදී ග්‍රහණය වැඩි කළ ශ්‍රී ලංකාව 5 වැනි ලකුණේ සිට 14 වැනි ලකුණ දක්‌වා ගමන් කරන අතරතුර සවුදි අරාබියට ලැබිය හැකි වූයේ එක්‌ ලකුණක්‌ පමණි. ඒ අනුව ලකුණු 14-8 ක්‌ ලෙසින් ඉදිරියට පැමිණි ශ්‍රී ලංකාව ලකුණු 25-19 ක්‌ ලෙසින් තෙවැනි වටයද ජයගනිමින් තරගයේ ජය වාර්තා කළේය.

සමස්‌තයක්‌ ලෙස ගත්කල උස සහ කෙටි පන්දු ප්‍රහාර, පහර වැළැක්‌වීම, පන්දු ගොඩගැනීම යන සෑම අංශයකින් ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටි නමුත් පන්දු පිරිනැමීමේදී අවස්‌ථා කිහිපයක්‌ පමණක්‌ අසාර්ථක විය. ශ්‍රී ලංකාවේ ලිබරෝ ක්‍රීඩක චාමික සඳරුවන්ගේ පන්දු ගොඩගැනීමේ දක්‍ෂතාව සුපිරි මට්‌ටමක වුණි.

තරගයෙන් අනතුරුව ජයග්‍රහණය පිළිබඳව අදහස්‌ දැක්‌වූ ශ්‍රී ලංකා කණ්‌ඩායමේ පුහුණුකරු චාල්ස්‌ තිලකරත්න මහතා, සිතුවාටද වඩා පහසුවෙන් ජයගත් තරගයක්‌ වශයෙන් එය හැඳින්වීය. ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ උසෙහි මඳකම හැරෙන්නට වෙනත් අඩුපාඩුවක්‌ තමන් නොදකින බවත් සුපිරි කණ්‌ඩායම් 8 අතරට පැමිණීම හෙවත් තරගාවලියේ සිය පළමු අභියෝගයේ අඩක්‌ මේ ප්‍රතිඵලයත් සමගින් ජයගැනීමට අවස්‌ථාව ලැබූ බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

ශ්‍රී ලංකාව සිය දෙවැනි තරගය ලෙසින් අද පස්‌වරු 1.00 ට කසකස්‌තානය සමගින් තරග වැදීමට නියමිය.

ඊයේ පැවැති දෙවැනි තරගය වූ කසකස්‌ථානය සහ ඔස්‌ටේ්‍රලියාව අතර තරගයෙන් තරගවට 3-2 ක්‌ ලෙසින් ඔස්‌ටේ්‍රලියාව ජයගත්තේය. එහි ලකුණු සංඛ්‍යාව 25-19, 18-25, 20-25, 25-20 සහ 15-8 ක්‌ වශයෙන් සටහන් විය. තවත් තරග දෙකක්‌ ඊයේ දිනයේදී පැවැත්වීමට නියමිත විය.

චාම් සමාරම්භයක්‌

10 වැනි ආසියානු යොවුන් බාලක වොලිබෝල් තරගාවලියේ සරල සමාරම්භක උළෙලක්‌ දැක්‌වුණද, දේශීය සංස්‌කෘතිය ආදිය ගැබ්ව තිබීම හේතුවෙන් එය ගාම්භීරත්වයද රැඳුණු සමාරම්භක උත්සවයක්‌ විය. ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රධාන ආරාධිතයා වශයෙන් මෙයට සහභාගිවීමට නියමිතව සිටියද අවසන් මොහොතේ ඔහුට එම අවස්‌ථාවට සහභාගී නොවීමට සිදුවීම හේතුවෙන් ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතාටම එහි මුලසුන ගෙන කටයුතු කිරීමට සිදුවිය.

ක්‍රීඩකයෝ තිදෙනෙක්‌ ඉවත්වෙති

මෙම ආසියානු යොවුන් වොලිබෝල් ශූරතාව සඳහා පැමිණි ඉන්දීය කණ්‌ඩායමේ ක්‍රීඩකයන් දෙදෙනකු පෞද්ගලික හේතුවක්‌ මත ආපසු සිය රට බලා ගිය බව වාර්තා වන අතර, ඒ වෙනුවට ක්‍රීඩකයන් ගෙන්වාගැනීමක්‌ සිදු නොවන බවද සැලවිය. මෙයට අමතරව එකම ක්‍රීඩකයකුට මෙම යොවුන් වොලිබෝල් ශූරතා තරගාවලි 2 කදී තරග වැදීමට අවස්‌ථාවක්‌ හිමි නොවීමේ නීතිය මත කසකස්‌ථාන ක්‍රීඩකයකු තරගාවලියෙන් ඉවත තැබීමට තරග කමිටුව ඊයේ නියෝග කර තිබුණි.

තරගය පුරා සවුදි අරාබි කණ්‌ඩායම විනිසුරු තීරණ සමග ගැටෙමින් තරමක්‌ ආවේගශීලීව හැසිරුණු අයුරක්‌ පෙනුණු අතර මේ හේතුවෙන් දෙවැනි වටයේදී සවුදි කණ්‌ඩායමේ නායකයා කහ කාඩ් අවවාදයකටද ලක්‌විය.

ඉන්ද්‍රජිත් සුබසිංහ සහ ගයාශාන් විතානආරච්චි
http://www.divaina.com/2014/09/06/sports01.html

0 comments: