Pages

Wednesday, September 17, 2014

උඹලා සුද්දන්ට බයද? - ධර්මපාලතුමා

"සිංහලයිනි නැගිටිව් බුද්ධගයාව බේරා ගනිව්" යන ධර්මපාලතුමන්ගේ සටන් පාඨය දුටුගැමුණු මහරජතුමා ඉදිරිපත් කළ "මාගේ මේ ව්‍යායාමය කිසි කලෙකත් රජ සැප පිණිස නොව බුද්ධ ශාසනයේ චිරස්‌ථිතිය පිණිසයි" යන ශ්‍රේෂ්ඨ ඓතිහාසික ප්‍රකාශයෙන් පසුව ඉදිරිපත් වූ වැදගත් ප්‍රකාශයකි. දුටුගැමුණු මහ රජතුමාගේ ප්‍රකාශය රටේ ආරක්‍ෂාව හා ජාතියේ නිවැරැදි ගමන් මග සඳහා පදනමක්‌ වූවා සේම ධර්මපාලතුමාගේ ප්‍රකාශය ද සිංහල බෞද්ධයන් අවදි කළ හඬක්‌ විය. එදාට මෙන්ම එය අදටත් ගැලපෙන්නෙකි. එම ප්‍රකාශයේ වචනාර්ථවලට වඩා පුළුල් අර්ථයක්‌ ගැබ්වී ඇත. ඒ වන විට මිථ්‍යා දෘෂ්ටිකයන්ගේ ග්‍රහණයට ලක්‌වී පැවති සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ බුද්ධත්වයට පත් වූ දඹදිව බුද්ධගයාව බේරා ගැනීමට සිංහලයන්ගේ මනස යොමු කිරීම එම ප්‍රකාශයේ වාච්‍යාර්ථය ලෙස සැලකිය හැකිය.

මෙරට සංස්‌කෘතියට පටහැනි ක්‍රියාවක්‌ වූ හරක්‌ මස්‌ කෑම හා රා බීම ඒ වන විටත් රට තුළ සීග්‍රයෙන් පැතිරී තිබුණි. එම සංස්‌කෘතික සෝදාපාළුව නැති කරනු වස්‌ එතුමා "රා බොන්නා වසලයෙකි හරක්‌ මස්‌ කන්නා රොඩියෙකි" යනුවෙන් රා බීම හා හරක්‌ මස්‌ කෑම නිර්දය ලෙස විවේචනය කළහ. අමද්‍යප සංවිධානය වැනි සංවිධාන බිහිවීමට ද එම ප්‍රකාශ පදනම් විය. සිංහල නම් ගම් අතහැර බටහිර නම් ගම් වලින් හඳුන්වා ගැනීමද එදා සිංහලයන් තුළ පැවති බටහිර ගැති දුර්වලකම්ය. ඊට ද තදින් පහර ගැසූ ධර්මපාලතුමා එම පරගැතිකම් අතහැර ආර්ය සිංහල නම් වලින් පෙනී සිටින ලෙස විශේෂයෙන් සිංහල දරුවන්ට හා තරුණයන්ට තදින් අවවාද කළහ. ක්‍රියාවෙන් මෙන්ම නමින්ද ආර්ය සිංහලයන් ලෙස අභිමානයකින් යුතුව ලෝකය තුළ ජීවත් වීම සිංහලයන් යොමු කිරීම එතුමාගේ අපේක්‍ෂාව විය.

ලෞකික අවශ්‍යතා පමණක්‌ පදනම් කරගත් බටහිරයන්ගේ චින්තනය නිසා විනාශයට යමින් පැවති සිංහල බෞද්ධ ජන ජීවිතය ආධ්‍යාත්මික ගුණ වලින් පෝෂණය කිරීමට ධර්මපාලතුමා විවිධ ක්‍රම උපක්‍රම භාවිත කළේය. ඒ සඳහා අවශ්‍ය වැකි සටහන් කළ සෝබන මාළිගාව නමින් හැඳින්වූ රථයෙන් රට පුරා සැරිසරමින් යළි සිංහල බෞද්ධකම මතුකරලීමට ක්‍රියා කළේය. සුද්දන්ට ගැතිකම් කරමින් ඔවුන්ට බියෙන් සිටි සිංහලයන් තුළ එම ගැතිකම හා බිය නැතිකරලීමට එතුමා කටයුතු කළේය. "උඹලා සුද්දන්ට බයද? බයනම් ගෙයි දොරවල් වහගෙන සුදුපාට කොට්‌ටයක්‌ බාල්කයේ එල්ලා අපි සුද්දට බය නෑ අපි සුද්දට බය නෑ කියා කෑගසමින් පොලුවලින් එම කොට්‌ටයට තඩිබාපල්ලා" යනුවෙන් සිංහලයන් තුළ පැවති ගැතිකම් හා බිය නැති කිරීමට උපදෙස්‌ දුන්හ. එදා රාජ්‍ය මන්ත්‍රණ සභාව බ්‍රිතාන්‍ය පාලනය පවත්වාගෙන යැමට මිස රටේ සංවර්ධනයට ක්‍රියාත්මක වූවක්‌ නොවේ. ඒ බව සාමාන්‍ය ජනතාවට වැටහෙන ආකාරයෙන් ධර්මපාලතුමා මෙසේ පැවසීය. "ගමේ ගොවිරාළගෙන් වන සේවය තරම්වත් සේවයක්‌ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ මන්ත්‍රීන්ගෙන් සිදුවන්නෙ නැත" එදා සිටි බොහෝ සිංහලයන් දේශය ගැන නොතකා රාජ්‍ය තන්ත්‍රයට පක්‍ෂපාතීව ක්‍රියාකරනු දුටු එතුමා එම දීන ගතිය ජනතා සිත් සතන්වලින් ඉවත් කිරීමට මෙසේ කීවේය. "ඔබ රාජෙද්‍රහියකු වුවත් දේශෙද්‍රහියකු නොවෙනු" එතුමන්ගේ මෙම ප්‍රකාශ එදාට පමණක්‌ නොව හැමදාටම ගැලපේ.

තමන්ගේ ධනය තමන් ඇතිකරගත් දැනුම බුදු දහම යන මේ සියල්ලක්‌ම ධර්මපාලතුමා යොදා ගත්තේ තම උපන් රට තුළ පමණක්‌ නොව මුළු ලෝකයේම යහපත ඇතිකරලීම සඳහායි. ලෝක දෘෂ්ටි සම්මේලනයේ අන් සියලු කථිකයන් අභිබවා දේශනයක්‌ කළේත් ලෝකයේ විවිධ රටවල් වල දහස්‌ ගණන් පිරිස්‌ හමුවෙහි බුදුදහම පදනම් කරගත් ඕනෑම කෙනකුට පිළිපැදිය හැකි කරුණු කියා දුන්නේත් බුද්ධගයාව මිථ්‍යා දෘෂ්ටිකයන්ගෙන් බේරා ගැනීමෙන් පමණක්‌ නොනැවතී මහාබෝධි සමාගම පිහිටුවා භාරතයේ විවිධ නගරවල බෞද්ධ විශ්‍රාම ශාලා හා සිද්ධස්‌ථාන ඇති කළේත් එතුමන් තුළ පැවති ලෝක බෞද්ධ නායකත්වය ප්‍රදර්ශනය කරමිනි.

ධර්මපාලතුමා ප්‍රාර්ථනා කළේ තවත් විසිපස්‌ වතාවක්‌ ලෝකයට සේවය කිරීමට ප්‍රබල ශක්‌තියක්‌ ඇතිව භාරත දේශය තුළ යළි යළිත් උපත ලැබීමටයි. එතුමන් යළි භාරතයේ ඉපදී ක්‍රියාත්මක වූවා දැයි සිතිය නොහැකි වුවත් භාරතයේ වත්මන් අගමැති නරේන්ද්‍ර සිං මෝදි අනගාරික ධර්මපාලතුමන්ගේ චරිතයට සමගාමීව ක්‍රියාත්මක වන භාරත පුත්‍රයෙක්‌ දැයි යන්න විමසා බැලිය යුතු කරුණකි. අනගාරික ධර්මපාලතුමන්ගේ 150 වැනි ගුණ සමරු අවස්‌ථාවේදී එතුමන්ගේ චරිතාදර්ශ දැන ඒ අනුව කටයුතු කිරීමට සිතට ගැනීමට එතුමන්ට කළ හැකි ලොකුම ගෞරවයයි.

පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි, දේශප්‍රේමී භික්‍ෂු පෙරමුණේ ලේකම්
http://www.divaina.com/2014/09/17/feature02.html

Pic Source

සබැඳි ලිපි -
[
අනගාරික ධර්මපාල ශ්‍රී නාමය සිහිකරන්නhttp://denethharinna.blogspot.com/2014/09/blog-post_99.htmlරටට ඔබින නිදහස් නිවහල් චින්තනය, දම්පල් චින්තනයයි!http://denethharinna.blogspot.com/2014/08/blog-post_91.htmlරට-දැය-සමය බැබළවීමට ජීවිතයම කැප කළ ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාhttp://denethharinna.blogspot.com/2014/04/blog-post_29.htmlඅමතක නොකරමු කිසිදා - සිත්හි රඳවමු හැමදා | සිරි දම්පල් උතුමාhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_1336.htmlනිදා සිටි ජාතිය අවදි කළ මහා විරුවාණෝ අනගාරික ධර්මපාලතුමාhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_8556.htmlඅනගාරික ධර්මපාල සිහ නාදය නැඟූ රටක්‌http://denethharinna.blogspot.com/2013/09/blog-post_1887.htmlසියවසක අනාගතය පෙර දුටු මහා චින්තකයා - ධර්මපාලතුමාhttp://denethharinna.blogspot.com/2013/04/blog-post_8270.html
පුංචි ශ්‍රී ලංකාව වටා ලෝක බෞද්ධ බලවේගයක්‌ ගොඩනැගූ ධර්මපාලතුමා
http://denethharinna.blogspot.com/2012/09/blog-post_18.html
]

0 comments: