Pages

Sunday, September 14, 2014

අනගාරික ධර්මපාල ශ්‍රී නාමය සිහිකරන්න

ශ්‍රී ලංකාවේ දකුණු ලක මාතර හිත්තැටිය ප්‍රදේශයේ ධනවත් ප්‍රභූවරයකු වූ දොන් කරෝලිස්‌ හේවාවිතාරණ සහ මල්ලිකා ධර්මගුණවර්ධන යන මාපියන්ගේ දෙටු පුත් රුවන ලෙස ක්‍රි. ව. 1864 සැප්තැම්බර් මස 17 වැනි දින එතුමා උපත ලද්දේය.

එකල ලංකාව ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීන්ට යටත් රටක්‌ වූ හෙයින් බුදු දහම නොතකා හළ පාලකයෝ තමන්ට යටත් මෙරට උපදින දරුවකු ක්‍රිස්‌තියානි පල්ලියේ ලියාපදිංචි කළ යුතු බවටත් පූජකතුමාගේ අභිමතය පරිදි දරුවාට නම් තැබිය යුතු බවටත්, පනවා තිබූ නීතියක්‌ නිසා මෙම දරුවාට තැබූ නම දොන් ඩේවිඩ් විය. ඒ අනුව ඔහුගේ අධ්‍යාපනයද ක්‍රිස්‌තියානි පල්ලියේ පාලනයට යටත් පාසල්වලින් ලබාගැනීමට ඔහුට සිදුවූ අතර ආණ්‌ඩුවේ විභාග ඉහළින්ම සමත් වුවද බෞද්ධයකු වීමේ හේතුවෙන් ඔහුට ලබාගත හැකිවූයේ රජයේ ලිපිකරු පත්වීමක්‌ පමණක්‌ විය.

බටහිර ජාතීන් ලංකාවට ආවේ එක්‌ අතකින් බයිබලයත් අනිත් අතින් බයිනෙත්තුවත් දරමිනි. රටවල් යටත් කරගෙන ඒවායේ සම්පත් කොල්ලකමින්ද ක්‍රිස්‌තු ධර්මය ප්‍රචාරය කිරීම ඔවුන්ගේ පරම අභිලාෂය වූයෙන් ශ්‍රී ලංකාවේ සම්බුදු සසුන හා සංස්‌කෘතිය පරිහානියට පත් කිරීමට සූක්‍ෂමව කටයුතු යෙදිණි. එහි ප්‍රතිඵලයක්‌ වූයේ බෞද්ධ දරුවන්ට අධ්‍යාපනය ලැබීමට තැනක්‌ නොවීමය. ක්‍රිස්‌තියානි නොවූ කිසිවකුට රජයේ රැකියාවක්‌ නොදුන් කුරිරු ඉංග්‍රීසි පාලනය පන්සල්වලට දන්දීම, කුමන අරමුණක්‌ ඇතිව හෝ පෙරහැර පැවැත්වීම තහනම් කළ අතර ශ්‍රී ලංකාව හැකිතාක්‌ කඩිනමින් ක්‍රිස්‌තියානි රටක්‌ බවට පත්කිරීමට කටයුතු කළේය.

ලාංකීය ජනතාවගේ නන් වැදෑරුම් නිදහසට පාලකයන් එල්ල කළ අභියෝග නොඉවසූ පැවිදි ගිහි වියතුන් ඉංග්‍රීසී පාලනය පිටුදැකීමට ක්‍රියා කළ අතර එකල පැවැති බෞද්ධ ක්‍රිස්‌තියානි ආගමික වාද විවාද කැපී පෙනුණු අංගයක්‌ විය. පූජ්‍ය මිගෙට්‌ටුවත්තේ ගුණානන්ද හිමිපාණන්ගේ මූලිකත්වයෙන් පැවැති පානදුරාවාදය පිළිබඳ වාර්තා කියෑවූ ඇමෙරිකාවේ පරම විඥානාර්ථවාදියෙකු වූ කර්නල් හෙන්රි ස්‌ටීල් ඕල්කොට්‌තුමාගේ ලංකාගමනය එකල සුදු අධිරාජ්‍යවාදීන්ගේ බෞද්ධ විරෝධී කටයුතුවලට බලවත් අභියෝගයක්‌ විය. ඉංග්‍රීසි පාලනයේ පවතින අසාධාරණකම් ප්‍රසිද්ධියේ විවේචනය කළ එතුමා එතෙක්‌ පිටුදැක තිබූ බෞද්ධ ආගමේ උන්නතියට මග පෙන්වමින් දේශනා පැවැත්වූ අතර දොන් ඩේවිඩ් තරුණයා එකී දේශනා සිංහලයට පරිවර්තනය කරමින් අධිරාජ්‍ය විරෝධී කාර්යභාරයක නිරත වූයේය. ඕල්කොට්‌තුමාගේ මූලිකත්වයෙන් අගනුවරදී පිහිටුවන ලද පරම විඥානාර්ථ බෞද්ධ සමාගම මගින් බෞද්ධ දරුවන්ට හා භික්‌ෂූන්ට අධ්‍යාපනය ලබාදීමට පාසල් ද පිරිවෙන්ද පටන් ගැනුණි. මාතර සුජාතා, රාහුල, ගාල්ලේ මහින්ද, සංඝමිත්තා, කොළඹ ආනන්ද-නාලන්ද, කුරුණෑගල මලියදේව, මහනුවර ධර්මරාජ හා මහාමායා යන විද්‍යස්‌ථාන විවෘත කෙරුණු අතර දිවයින පුරා විහාරස්‌ථාන ආශ්‍රිතව පිරිවෙන් විශාල ප්‍රමාණයක්‌ ද පටන් ගැනුණි. ආගමික අධ්‍යාපනය සඳහා දහම් පාසල් ව්‍යාපාරයද මෙකල උපත ලැබූ අතර ඕල්කොට්‌තුමා එංගලන්ත පාලකයන් සමඟ කළ කතාබස්‌ වල ප්‍රතිඵලයක්‌ ලෙස වෙසක්‌ පෝය දින රජයේ නිවාඩු දිනයක්‌ බවට පත්වීම වැනි කටයුතු නිසා බෞද්ධ ප්‍රබෝධයක්‌ ඇති විය. බෞද්ධ පුනරුද ව්‍යාපාරය නමින් සිදුවූ මෙම කටයුතු හරහා දිවයිනේ මත්පැනට හා සත්ත්ව ඝාතනයට එරෙහි සංවිධාන බිහි විය.

රැකියාවක යෙදෙමින් ශාසනුන්නතිකාමී ක්‍රියාවන්ට නායකත්වයදීම අපහසු බැවින් ඩේවිඩ් තරුණයා මා පිය අවසරය ඇතිව තම නම ධර්මපාල යනුවෙන් වෙනස්‌ කර රැකියාවෙන්ද ඉල්ලා අස්‌වී මුළු ජීවිත කාලයම බුදුසසුනේ දියුණුවට, කැපකිරීමේ දැඩි අධිෂ්ඨානයෙන් අනගාරිකව ජීවත්වීමේ පිළිවෙතට ප්‍රවිෂ්ට වූයේය. ආත්මලාභය පෙරටු සිතකින් ක්‍රියා කළා නම් දිවයිනේ මහා සිටුවරයකු වෙමින් සැප සම්පතින් නොඅඩු ඉසුරුමත් ජීවිතයක්‌ ගත කරන්නට නොසිතා අතිශයින්ම අල්පේච්ඡ, කාර්යබහුල හා පීඩාකාරී ජීවිතයක්‌ විඳ දරා ගැනීමට එතුමා ඇතිකර ගත් අධිෂ්ඨානය බෝසත් චරිතයක ලකුණු පහළ කළේය.

පරම විඥානාර්ථ බෞද්ධ සමාගමේ බෞද්ධ අංශයේ ප්‍රධාන ලේකම්, "සිංහල බෞද්ධයා" සහ "සඳරැස" පුවත්පත්වල කළමනාකරු, බෞද්ධ පාසල් කළමනාකාර, බෞද්ධාරක්‌ෂක සභාවේ උප ලේකම් යන තනතුරු දරමින් පුරා සිව් වසරක්‌ තුළ (1886 - 1890) එතුමා ඉටු කළ මෙහෙවර නිසා සිංහල ජාතිය වැටී සිටි මර නින්දෙන් අවදි විය. නිවට නියාලු බවට පත්ව තිබූ සිංහල ජාතිය දේශප්‍රේමිත්වයෙන් හා ජාතිකානුරාගයෙන් ප්‍රබෝධවත් විය. ඒ සඳහා එතුමා ඉටුකළ කාර්යභාරය ඉතා වෙහෙසකර වූ අතර කටුක අත්දැකීම්වලින් සුලබ වූයේ විය. රාජ්‍ය විරෝධියකු ලෙස සලකා ඉංග්‍රීසි ආණ්‌ඩුව එතුමා පසු පස ලුහුබැඳ ගිය අතර ඒ කිසිවකින් එතුමා පසුබට වූයේ නොවේ. 1915 දී ශ්‍රී ලංකාවේ සිදුවූ සිංහල-මුස්‌ලිම් කෝලාහලය සම්බන්ධයෙන් සැකපිට එතුමාට ඉන්දියාවේදී වසර 5 ක්‌ නිවාස අඩස්‌සියෙහි රැඳෙන්නටද සිදු වූ බව අප අමතක නොකළ යුතුය.

1891 ජනවාරියේදී ධර්මපාලතුමාගේ ඉන්දියා ගමන එතුමාගේ ජීවිතයට යෝධ ජවයක්‌ ජනනය කළේය. තථාගත සම්බුදු පියාණන් උපත ලද, බුදු බව ලැබූ, වැඩසිටි සහ පිරිනිවනට පත් යන ආගමික වශයෙන් ඉන්දියාවේ වැදගත් ස්‌ථාන සියල්ල සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු ගත වූ වසර 600 ක තරම් කාලයක්‌ තුළ වල්බිහි වී, ජරාවාසවී, නටබුන් වී අන්තවාදී අන්‍යාගමිකයන්ගේ (ඉස්‌ලාමීය හා හින්දු) අත්පත් කර ගැනීම්වලට යටත්ව විනාශ වෙමින් තිබිණ. අත්ව තිබෙන ඛේදජනක තතු සියෑසින් දැක කම්පාවට පත් ධර්මපාලතුමෝ ඉන්දියාවේ සියලුම බෞද්ධ පූජා භූමි සම්බුදු සසුනට අයත් කර දෙමි යි යන උතුම් අධිෂ්ඨානයෙන් 'සිංහලයිනි අවදිවව් බුද්ධගයාව බේරා ගනිව්' යන තේමාව යටතේ මහා බෝධි නමින් සංවිධානයක්‌ පිහිටුවා ආසියාවේද, අවකාශ ඇති පරිදි යුරෝපයේද ශාඛා ව්‍යාප්ත කරමින් ලෝක පූජිත බුදු සමයට අත්ව තිබෙන දුක්‌මුසු ඉරණම ලෝකයාට කියා පෑහ. MAHA BODHI සහ THE BUDDHIST යන වාර ප්‍රකාශන ප්‍රසිද්ධ කරමින් එදිනෙදා තම කටයුතු ප්‍රසිද්ධ කළ එතුමා ජර්මනිය, ඇමෙරිකාව, ප්‍රංශය, එංගලන්තය මැලේසියාව, තායිලන්තය, චීනය, ජපානය, ලාඕසය, වියට්‌නාමය, බුරුමය, යන රටවල පිහිටුවන ලද මහාබෝධි සමිති ශාඛා මගින් ඉන්දියාවේ බුද්ධපූජා භූමි අයිති කර ගැනීම, සංවර්ධනය කිරීම, සංරක්‌ෂණය කිරීම ආදී කටයුතුවලට මූල්‍යාධාර එක්‌රැස්‌ කළේය. එතුමාට බොහෝ ආධාර කළ දානපතිනියක වූයේ හොනලුලුහි මේරි පෝස්‌ටර් ආර්යාවය. ධර්මපාලතුමාගේ සැලැස්‌මකට අනුව බුද්ධගයා අනුරුවක්‌ ලෙසින් බරණැස ඉදිකළ මූලගන්ධකුටි විහාර භූමිය මිලදී ගැනීමටද හින්දු මහන්තාවරුන්ට එරෙහි නඩු කටයුතුවලටද, ශ්‍රී ලංකාවේත්, ඉන්දියාවේත්, ශාසනික කටයුතු සඳහාද එතුමිය කරන ලද පරිත්‍යාග බෙහෙවින් උපකාරි වී ඇත.

එතුමා තුළ වූ අභිමානනීය වූ පෞරුෂත්වය, ආගම් පිළිබඳව වූ පරිණතාවබෝධය, සිංහල, ඉංගී්‍රසි, පාලි, සංස්‌කෘත භාෂා පිළිබඳව වූ පෘථුල දැනුම හා චතුර කථිකත්වය නිසා ඉන්දීය ජාතික තලයේ විද්වතුන්ගේ සහාය එතුමාට නොමඳව ලැබුණි. මෙකී සියලු කුසලතා මහිමයෙන් ලුම්බිණිය, සැවැත්නුවර, බුද්ධගයාව, කුසිනාරා, නගරයන්හි සියලු බුද්ධ භූමි ද, බිම්බිසාර, කෝසල, ධර්මාශෝක යන නරපතීන්ගේ අනුග්‍රහයෙන් ඉදිවූ වෙහෙර විහාරද යන සියල්ල බෞද්ධ උරුමයන් වශයෙන් අත්පත් කර ගැනීමට පමණක්‌ නොව ඒවායේ මතු සංරක්‌ෂණයද උදෙසා ඉන්දීය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට පවරාදීමට අපගේ ජාතියේ අසහාය පීතෘවර ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමෝ සමත් වූහ. අද දඹදිව සිද්ධස්‌ථාන වන්දනා කිරීමට ලොව නන්දෙස බෞද්ධ, අබෞද්ධ රටවලින් පැමිණෙන කාහට වුවත් අභිමානයෙන් වන්දනා කළ හැකි සිද්ධස්‌ථාන පද්ධතියක්‌ බුද්ධ ශාසනය සඳහා ලෝක උරුමයන් වශයෙන් අයිති කරදෙන ලද්දේ එතුමා මිස අන් කිසිවෙකු විසින් නොවේ.

එතුමා ජීවත් වූයේ අවුරුදු 69 කි. ඉන් වසර 51 ක්‌ම, ගෙවන ලද්දේ අඩු පහසුකම් සහිත ස්‌ථානවලය. එහෙත් කාලය ඉතා ඵලදායීව යොදාගත් එතුමා ජාත්‍යන්තර බෞද්ධ කටයුතු ප්‍රචලිත කිරීම, බෞද්ධ අනන්‍යතාව ගොඩනැඟීම, සුචරිතවත්ව හා පරමාදර්ශීව දිවිගෙවීම ආදියෙන් සලකන කල ධර්මපාලතුමෝ සිංහල ජාතියේ පියාණන් ලෙස නිර්වචනය කිරීමට කිසිදු අවහිරයක්‌ නැත.

වයස 67 දී සිරි දේවමිත්ත නමින් පැවිදි බිමට පත් වූ එතුමා 1933 අප්‍රේල් 29 වැනිදා දිවංගත වූයේය. ශාසනයේ දියණුවට කළ යුතු කටයුතු උදෙසා කැපවීමට තවත් විසිපස්‌ වරක්‌ බෞද්ධයෙකුව උපදීවා යන එතුමාගේ අවසන් පැතුම පරිදිම ඒ උත්තමයෝ යළිත් මේ ලංකා ධරණී තලයෙහිම උපදීවායි අප ප්‍රාර්ථනය කරන්නේ වත්මන් සමාජයෙහි දුෂ්චරිතය වැඩි දියුණු වී ඇති අන්දමට එතුමා වැනි යුගපුරුෂයන් දස දෙනකු වුවද බිහිවීම කාලීන ජාතික අවශ්‍යතාවයෙකැයි පෙනී යන බැවිනි.

(150 වැනි ජන්ම සංවත්සරය නිමිත්තෙනි.)

බන්දුල මානවඩු
http://www.divaina.com/2014/09/13/feature.html

සබැඳි ලිපි -
[

රටට ඔබින නිදහස් නිවහල් චින්තනය, දම්පල් චින්තනයයි!http://denethharinna.blogspot.com/2014/08/blog-post_91.htmlරට-දැය-සමය බැබළවීමට ජීවිතයම කැප කළ ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාhttp://denethharinna.blogspot.com/2014/04/blog-post_29.htmlඅමතක නොකරමු කිසිදා - සිත්හි රඳවමු හැමදා | සිරි දම්පල් උතුමාhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_1336.htmlනිදා සිටි ජාතිය අවදි කළ මහා විරුවාණෝ අනගාරික ධර්මපාලතුමාhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_8556.htmlඅනගාරික ධර්මපාල සිහ නාදය නැඟූ රටක්‌http://denethharinna.blogspot.com/2013/09/blog-post_1887.htmlසියවසක අනාගතය පෙර දුටු මහා චින්තකයා - ධර්මපාලතුමාhttp://denethharinna.blogspot.com/2013/04/blog-post_8270.html
පුංචි ශ්‍රී ලංකාව වටා ලෝක බෞද්ධ බලවේගයක්‌ ගොඩනැගූ ධර්මපාලතුමා
http://denethharinna.blogspot.com/2012/09/blog-post_18.html
]

0 comments: