Pages

Sunday, September 7, 2014

සංවර්ධන ක්‍රියාවලියේ ප්‍රමුඛතා

සංවර්ධනය මිනිසා උදෙසා විය යුතුය. එහෙත් ඇතැම් විට එය කණපිට පෙරළී මිනිසා සංවර්ධනය උදෙසා බවට පත්වන විකාර රූපි අවස්‌ථාද ඇතැම් යුගවල දක්‌නට ඇත. සංවර්ධනය ආධ්‍යාත්මක හා භෞතික වශයෙන් ද විග්‍රහ කෙරේ. භෞතික සංවර්ධනයෙන් අවසාන විග්‍රහයේදී මිනිසා උදෙසාම බවත් තර්කානුකූලය.

ක්‍රි. පූර්ව 3500 දී පමණ සුමේරියානූ ශිෂ්ටාචාරය තුළින් දේව නියෝජන සංකල්ප මත රාජ්‍යය මානව සමාජය තුළ නිර්මාණය වී ඇති බවට ඉතිහාසය සාක්‌ෂි දරයි. ලංකාවේ රාවණ යුගය එයට එහා ගිය ඉතිහාසයකට උරුමකම් කියන බවත් ඇතැමුන්ගේ විග්‍රහයයි. කොහොම නමුත් යුරෝපා ඉතිහාසය දෙස බැලීමේදී රාජ යුගය සැලකුණුයේ වැඩවසම් යුගයක්‌ ලෙසිනි. ඒ රජවරුන් මිනිසුන් හෙවත් වැසියා පීඩාවට පත් කරමින් ඉහළම සුඛවිහරණයෙන් යුත් සුබෝපභෝගි දිවියක්‌ ගත කිරීමට පෙළඹී සිටීම එසේ සැලකීමට හේතු වී තිබේ. එහෙත් වැඩවසම් යුගයකට උරුමකම් නොකියන ලංකාව ඇතුළු ආසියාවේ රජවරුන් බහුතරයක්‌ සිය බලය ධනය ශක්‌තිමත් පුරවැසියන්ගේ යහපත උදෙසා යෙදවීමේ පිළිවෙතක්‌ අනුගමනය කිරීම මගින් යුරෝපය හා ආසියානු රාජ පාලන සමයන් මූලිකව වෙනස්‌ වේ.

සංවර්ධනය භෞතික හා ආධ්‍යාත්මික වශයෙන් බෙදා දැක්‌වීම සේම ප්‍රායෝගිකව ක්‍රියාවට නැගීමටත් පෙළඹී ඇත්තේ ආසියානු හෙවත් පෙරදිග රජවරුන්ය. විශේෂයෙන් ක්‍රි. පූ. තෙවෙනි සියවසේ ලංකාව පාලනය කළ දේවානම් පියතිස්‌ස මහ රජතුමා ද එම භෞතික හා ආධ්‍යාත්මික සංවර්ධනය හඳුනා ගෙන සිටි බවක්‌ ඒ ප්‍රභේද දෙකම මානව සමාජයේ සුබසිද්ධිය හා ප්‍රගතිය උදෙසාම යෙදවීමටත් කටයුතු කොට ඇති අයුරු ඔහු අනුගමනය කළ වැව හා දාගැබ් සංස්‌කෘතිය තුළින් පවා ප්‍රකට කෙරේ. ඔහු නිර්මාණය කරවූ තිසාවැවත්, ථූපාරාමයත් එයට සාක්‌ෂි දරයි. ආධ්‍යාත්මික සංවර්ධනයෙන් තොර භෞතික සංවර්ධනයත්, භෞතික සංවර්ධනයෙන් තොර ආධ්‍යාත්මික සංවර්ධනයත් ඵල රහිත හෝ අර්ථ ශූන්‍ය බව ක්‍රි. පූර්ව යුගයේදී පවා අපගේ රජවරුන් අවබෝධ කරගෙන සිටි බව ඉතාමත් පැහැදිලිය. ශිෂ්ටාචාරවත් වීමට පෙර මේවා අවබෝධ කර ගැනීමට මානව සමාජය අපොහොසත් වීම තර්කානුකූලය. බෞද්ධ රජවරු දසරාජ ධර්මය පාදක කොටගෙන රාජ්‍යය පාලනය කළ බවට ඉතිහාසයේ සඳහන් වේ. දසරාජ ධර්මය තුළින් සිදුකර ඇත්තේ ද මානව සමාජය වඩ වඩාත් ශිෂ්ටාචාරවත් කිරීම උදෙසා ඔවුන්ගේ එලොව මෙලොව දෙලොවම යහපත පිණිස භෞතික හා ආධ්‍යාත්මික සංවර්ධනය යොදාගැනීමය. කාලීන මානව අවශ්‍යතා හඳුනා ගැනීමටත්, ඒවා ඉටුකරලීමටත් අපේ රජවරු පෙළඹී තිබේ.

මානව සමාජයේ ප්‍රමුඛතම අවශ්‍යතා වනුයේ ආහාර, වස්‌ත්‍ර, නිවාස, අධ්‍යාපනය, සෞඛ්‍යය හා ආරක්‌ෂාවය. ඒවා භෞතික සංවර්ධනය තුළින් ඉටුකරලීමට හැකිය. එහෙත් ආධ්‍යාත්මික සංවර්ධනය නොඑසේනම් සංස්‌කෘතිකමය සංවර්ධනයත් එයට සමගාමීව සංවර්ධනය කිරීම අත්‍යවශ්‍යය. මානව සමාජයේ සංවර්ධන ප්‍රමුඛතා තෝරා ගැනීමේදී මෙම මූලික අවශ්‍යතා කෙරෙහි වැඩි අවධානයත් යොමු කිරීම වත්මන් ලෝකයේ ද යහපාලනය පවත්නා රටවල දක්‌නට ඇත්තේ එහෙයිනි. ඒ අනුව රටක සැබෑ සංවර්ධනය මැණිය හැක්‌කේ සංඛ්‍යා ලේඛන හරහා තුළින් නම් නොවන බවත්, රටේ ජනයා කන, බොන, අඳින, පළඳින, නීරෝගීභාවය, අධ්‍යාපනය ලැබීම, විනෝද වන ප්‍රමාණය මගින්ම එය තහවුරු කෙරෙන බවත් පරම සත්‍යයකි.

රජවරුන්ගේ පාලනය පැවති යුගයේ සියලු සංවර්ධන ව්‍යාපෘති සෑම රටකම සිදු කෙරුණේ ඒ ඒ රටවල භෞතික හා මානව සම්පත් උපයෝගී කරගෙන විනා විදේශ ණය මත නොවන බව සත්‍යයකි. ඒ අවශ්‍යතා ඉටුකර ගැනීමට දැනුම ඒ ඒ සමාජයන්ට තිබුණි.

නමුත් ක්‍රි. පූ. 07 වැනි සියවසේ දී බැබිලෝනියාවේ විසු නෙබුකඩ්නෙසාර් අධිරාජ්‍යයා එවක ලොව සුන්දරතම නගරය වූ යුදෙව්වන්ගේ ජෙරුසලම බඳු නගරයක්‌ ලෙසින් බැබිලන් නගරය නිර්මාණය කර ගැනීම උදෙසා ඊශ්‍රායලය ආක්‍රමණය කොට යුදෙව් ශිල්පීන් වහලුන් වශයෙන් රැගෙන ආ අයුරුත්, ක්‍රි. පූර්ව 06 වැනි සියවසේදී පර්සියාවේ මහා සයිරස්‌ අධිරාජ්‍යා බැබිලන් නගරය ආක්‍රමණය කරමින් යුදෙව් වහලූන් මුදාගෙන ඔවුන් නැවතත් යුදෙව් දේශයට යෑවු අයුරුත් ලෝක ඉතිහාසයේ දැක්‌වේ. ක්‍රි. පූ. පළමුවැනි සියවසේදී දකුණු ඉන්දීය චෝලයින් ලක්‌දිව ආක්‍රමණය කොට ලංකාවේ වාරී තාක්‌ෂණ ශිල්පීන් 12000 ක්‌ බලයෙන් රැගෙන ගිය අයුරුත් අපගේ පළමුවැනි ගජබා රජු දකුණු ඉන්දියාව ආක්‍රමණය කරමින් එම ලංකිකයින් පිරිස හා වන්දි වශයෙන් සොලීන් 12000 ක්‌ද රැගෙන ආ පුවතක්‌ මහාවංශයේ දැක්‌වේ. ඒ වාගේම ලාංකීය වාරි තාක්‌ෂණ ශිල්පීන් සිය කැමැත්තෙන්ම කාෂ්මීරයේ ලඩාක්‌ ප්‍රදේශයේ වාරිමාර්ග සංවර්ධනය උදෙසා උපදේශකයින් ලෙසින් ගිය බව කාෂ්මීරයේ රාජතරංගනී ග්‍රන්ථයේ දැක්‌වේ.

මූලික වශයෙන් අපේ සමාජයට අවශ්‍ය ආහාර වස්‌ත්‍ර, ගෘහ මෙවළම් අධ්‍යාපන හා සෞඛ්‍යය අවශ්‍යතා ඇතුළු උපකරණ රට තුළ නිර්මාණය කර ගැනීමට පෙළඹීම මගින් රටේ සැබෑ ස්‌වෛරීය හෝ ස්‌වාධිපත්‍යය අර්ථවත් කරගත හැකිය. විදේශිකයින් ආයෝජනය සඳහා රටට අද්දවා ගැනීමට සුදුසු පසුබිමක්‌ නිර්මාණය කිරීමත් සංවර්ධන ක්‍රියාවලියේ ප්‍රමුඛතා ලැයිස්‌තුවට ඇතුළත් විය යුතුය. ආයෝජකයින් මෙරටට පැමිණ ආයෝජන කර නිර්මාණය කරන භාණ්‌ඩය හෝ සේවාව ජාත්‍යන්තර වෙළඳපොළේ තරගකර අලෙවි කිරීමට හැකි තත්ත්වයක අපගේ යටිතල පහසුකම් මිළ සේම අපගේ බදු ප්‍රතිපත්තියද තිබිය යුතුය. ඒ වාගේම අපට අලුතෙන් තාක්‌ෂණය උපයා ගැනීමට මෙන්ම අපගේ අමුද්‍රව්‍ය යොදාගෙන කරන නිෂ්පාදන කෙරෙහි විදේශීය ආයෝජකයින් පෙළඹවීමත් මගින් අපේ සමාජ සංවර්ධනයට ඵලදායී ලෙසට එම විදේශ ආයෝජන ලබා ගත හැක. එමෙන්ම වත්මන් ලෝකයේ අප්‍රිකානු රාජ්‍යයන් ලතින් ඇමරිකානු රාජ්‍යයන් සේම දකුණු ආසියාව තුළ පවා වේගවත් සංවර්ධනයකට යොමුව පවතී. නමුත් එම රටවල අධ්‍යාපන තත්ත්වය එතරම් ප්‍රශස්‌ත මට්‌ටමක නොපවතින බැවින් මානසික හා පුහුණු ශ්‍රමය එම රටවලට අත්‍යවශ්‍යය.

අධ්‍යාපනය යනු ප්‍රාග්ධනයකි. තේ, රබර්, පොල් වැනි සම්ප්‍රදායික අපනයන භාණ්‌ඩවලට වඩා ලාභදායී වෙළෙඳපොළක්‌ පුහුණු මානසික ශ්‍රමයටත්, කායික ශ්‍රමයටත් ජාත්‍යන්තරය තුළ ඇති බව අප අමතක නොකළ යුතුය. එය ජය ගැනීම සඳහා රජය සැලසුම්ගත පුළුල් මහා පරිමාණ වැඩ පිළිවෙලක්‌ දියත් කිරීමට මැදිහත් විය යුතුය. ප්‍රාග්ධන හිඟය පිළිබඳව ලත නොවී ඒ සඳහා විදේශීය ණය මුදල් ලබාගෙන නිසි ලෙසත්, අවංකවත් යෙදවීම වුව අර්ථවත්ය. ප්‍රඥාගෝචරය. යථාර්ථවාදීය. එවැනි ව්‍යාපෘතියක්‌ ශ්‍රී ලංකාව මුහුණ පා සිටින තවත් සමාජ අර්බුදයක්‌ වන ගෘහ සේවයට කාන්තාවන් යෑවීමටත් විසඳුමක්‌ වීම අතුරු ඵලයක්‌ ද වනු නියතය.

සංවර්ධන ක්‍රියාවලියේ ප්‍රමුඛතා කෙරෙහි අවධානය යොමු කිරීමේදී ලංකාවේ වැඩිම පිරිසක්‌ නිරතව සිටින කෘෂිකර්මාන්තය පිළිබඳව අවධානය යොමු කිරීම වැදගත්ය. අඩු පිරිවැයකින් රැකියා නිර්මාණය කිරීමටත් එම ක්‍ෂේත්‍රයට හැකිවේ. ඒ නිසා රජය මැදිහත් වී ගොවි ජනතාවට අත්‍යවශ්‍ය ඉඩම් යහපත් බීජ, ජලය, තාක්‌ෂණය හා උපදෙස්‌ මෙන්ම ගොවි නිෂ්පාදන මිල දී ගැනීමට විධිමත් යාන්ත්‍රණයක්‌ නිර්මාණය කිරීම අත්‍යවශ්‍යය. එමගින් ආහාර අතින් ස්‌වයංපෝෂිත වීමේ අවස්‌ථාවත්, ආහාර ආනයනයට වැයවන විදේශ විනිමය ඉතිරිවීමත්, කෘෂිකර්මය පදනම් කරගත් කර්මාන්ත පද්ධතියක්‌ නිර්මාණය කිරීමටත්, රැකියා වියුක්‌තියට තිරසාර විසඳුමකට මගක්‌ නිර්මාණය කිරීමටත්, ජන ජීවිත තත්ත්වය ඔසොවා තැබීමටත්, ගැමියාගේ ආර්ථිකය ශක්‌තිමත් වීම මත සෙසු නිෂ්පාදනවලටත් යහපත් වෙළෙඳපොළක්‌ නිර්මාණය වීමටත් ගැමී ජීවන තත්ත්වයේ වර්ධනය සැබෑ ලෙසම රටේ ආර්ථික වර්ධනය යථාර්ථවාදී කිරීමටත්, ආහාර අතින් ස්‌වයංපෝෂිත වීම නිසා අභිමානවත් ජාතියක්‌ ලෙස ජාත්‍යන්තරය තුළ පෙනී සිටීමේ භාග්‍යයටත් පසුබිම නිර්මාණය කරනු නිසැකය. එහිදි ගොවිතැන යනු පවුලක්‌ නඩත්තු කළ නොහැකි, ණයටම සින්න කරන ක්‍ෂේත්‍රයක්‌ බවටත්, මතයක්‌ නිර්මාණය වී කලකිරීමටත් විශ්වාසය බිඳ වැටීමටත් හේතු වී ඇති හෙයින් එම මනෝභාවය හා ආකල්ප දුරුකරමින් ගොවිතැනට නැවතත් සමාජමය පිළිගැනුමක්‌ ලබාදීමට කටයුතු කිරීමත් රජයේ වගකීමකී. එමගින් තරුණ පරපුරේ ආකර්ෂණය දිනා ගැනීමට කෘෂිකර්මයට හැකිවනු නිසැකය. එය ප්‍රතිලාභ රැසක්‌ ජාතිය සතු කරනු නිසැකය.

ඒ වාගේම සංවර්ධන ක්‍රියාදාමයේ ප්‍රමුඛතා සැකසීමේ දී අවධානය යොමුකළ යුතු තවත් වැදගත් ක්‍ෂේත්‍රයක්‌ වනුයේ ධීවර ක්‍ෂේaත්‍රයයි. නිෂ්පාදන ආර්ථිකයක්‌ නිර්මාණය කිරීමේදී අතිශයින්ම වැදගත් ක්‌ෂේත්‍රයක්‌ වනුයේ එම මෙම ධීවර ක්‍ෂේත්‍රයයි. රැකියා විශාල ප්‍රමාණයක්‌ ජනිත කිරීමටත්, අපනයන කර්මාන්තයක්‌ බවට කෙටි කලකදී වර්ධනය කිරීමටත් හැකි ක්‍ෂේත්‍රයක්‌ ද වන මෙයට ලැබෙන වටිනාකම වඩ වඩාත් ඉහළ නැංවීමට අප රට ස්‌ථාපිත වී තිබෙන භූගෝලීය පරිසරය ඉහළම දායකයක්‌ ද ලබා දී තිබේ. එම නිසා බහුදින යාත්‍රා, ට්‍රොaලර් යාත්‍රා විශාල සංඛ්‍යාවක්‌ මිළ දී ගෙන සේවයෙහි යෙදවීමට සැලසුම්සහගතව කටයුතු කිරීම මගින් රැකියා විශාල සංඛ්‍යාවක්‌ නිර්මාණය කිරීමටත්, අපනයනය වර්ධනය කර විදේශ විනිමය ඉපයීමටත්, දේශීය මත්ස්‍ය පරිභෝජනය ඉහළ නැංවීම මගින් ජනතාවගේ පෝෂණ තත්ත්වය වර්ධනය කිරීම මන්දපෝෂණය දුරු කිරීමටත් පසුබිම සැකසෙනු ඇත. ධීවර කර්මිකයාගේ ආර්ථිකය යහපත් තත්ත්වයට පත්කර ජීවන තත්ත්වය ඉහළ අගයකට ගෙන ඒමටත්, එම කර්මාන්තයට සමාජය පිළිගැනුමක්‌ නිර්මාණය කිරීමටත් හැකිවනු ඇත. එහිදී ධීවර කාර්මිකයින්ට නිල ඇඳුමක්‌ ලබාදීමත්, පුහුණුව ලබාදීමත් නවීන උපකරණ ලබා දී එම රැකියාවේ බිහිසුණු හෝ අනතුරුදායක බව අවම කිරීමටත් එහි පිළිගැනුම හා ආර්ථික සාධකය බෙහෙවින් දායක වෙමින් පිළිගත් වෘත්තීය තත්ත්වය නිර්මාණය කෙරෙනු ඇත. ඒ තුළින් ද රජයක මූලික වගකීමක්‌ වන ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම, සමාජමය දුබලතා පිටු දැකීම සේම මන්දපෝෂණය දුරුකිරීමට සේම විදේශ විනිමය උපයා ගැනීමටත් මංපෙත් විවර වනු ඇත. ඒ සඳහා විදේශීය ණය ලබා ගැනීම අර්ථසම්පන්නය. සාධාරණය.

මේ ආකාරයට පුද්ගල මත, ආකල්ප, අවශ්‍යතා මත සංවර්ධන ව්‍යාපෘති අරඹනවා වෙනුවට සමාජමය වශයෙන් යථාර්ථවාදීවත්, ප්‍රායෝගිකවත්, අර්ථවත් සංවර්ධන ව්‍යාපෘති සැලසුම් කිරීමත්, ඒවායේ ප්‍රමුඛතා ලැයිස්‌තු සැකසීමත්, එහිදී රැකියා, ජීවන තත්ත්වය, ග්‍රාමීය ආර්ථිකය, මන්දපෝෂණය හා දිළිඳුභාවය, ග්‍රාමීය ණය ගැතිභාවය, රටේ පවත්නා මානව හා භෞතික සම්පත්, විදේශ විනිමය ඉපයීම වර්ධනය කිරීම හා වැයවීම අවම කිරීම ආදී ක්‍ෂේත්‍ර කෙරෙහි අවධානය ප්‍රායෝගිකව යොමු කිරීම අත්‍යවශ්‍යය. ඵලදායකය. රටක්‌, සමාජයක්‌ සංවර්ධනය කිරීම යනු ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමය. ප්‍රමුඛතා සැකසිය යුත්තේ එය පදනම් කරගෙනය.

පූජ්‍ය ඌවතැන්නේ සුමන ස්‌ථවිර, සභාපති , දේශමාමක ජාතික බලවේගය

http://www.divaina.com/2014/09/06/feature02.html

Pic Source 

0 comments: