Pages

Tuesday, September 16, 2014

වැරදුණු සුනාමි ආධාර නිසා බිහි වූ ආදරයේ ගම්මානය

"ආදරය", "දයාව", "කරුණාව" ඒ ලොවේ ඇති සෙනෙහවන්ත ම වදන් විය යුතුය.

උපන්දා සිටම අප කවුරුත් සොයන, ඉල්ලන යදින, පතන මේ උත්තම ගුණාංගයන්ගෙන් තොරව පවතින ලොවක්‌ ගැනද සිතිය හැකි නොවේ.

මේ කතාව අප ලියන්නේ එසේ අපගෙන් මඟහැරුණු, අත්හැරුණු, අප විසින් ලබා නොදුන් නොඑසේ නම් ඒ ගැන අවධානය යොමු නොකළ ආදරය, දයාව, කරුණාව ලැබිය යුතු පිරිසක්‌ හා ඔවුනට අදරය, දයාව, කරුණාව පුද කළ පිරිසක්‌ පිළිබඳවය.

ආදරය, දයාව, කරුණාව ලොව වැඩියෙන්ම අවශ්‍ය වන්නේ දරුවන්ට බව අවිවාදිතය. ඔවුන්ට කිසිවකුත් ආදරය, දයාව, කරුණාව, නොදක්‌වන්නේ නම් ඔව්හු අසරණ වෙති. තමා මෙලොවට ජනිත කළ මව, පියාගෙන් එලෙස වන්නේ නම් ඥතීන්, හිතවතුන් එසේ කරනුයේ නම්á දරුවන් අසරණ බවින් තව තවත් අසරණ වනු ඇති.

මෙවන් අසරණ දරුවන් පිරිසක්‌ රැඳී සිටින අපූරු ස්‌ථානයකට අප ගියේ ඔවුන් දැක ගන්නටත්, ඔවුනට ආදරය දක්‌වන අය දැක ගන්නටත් ය. එය අපූරු "සෙනෙහසේ නවාතැනක්‌" ය. අවුරුදු හතර-පහේ සිට 15-16 දක්‌වා වූ ගැහැණු ළමෝ ඒ භූමියේ නිදහසේ සැරිසරමින් සිටියහ. ළමා ලෝකයේ දඟකාරකම් ප්‍රීති සිනා, කෑ ගෑම් ඒ භූමියේ රිසි සේ, නිදහසේ පාවී ගියේ ය. අප පිය සෙනහස අහිමි ඔවුනට සමාජ සාධාරණ යහපත් මිනිසුන්ගේ සරණ, සෙවන, ආශිර්වාදය නොමඳවම ලැබී තිබිණි. එය තවත්, "අසරණ ළමා නිවහනක්‌" නම් නොවීය.

ආණමඩුව, ආඬිගම, පුනවිටිය පාරේ, "ලංකා බෲක්‌ ළමා සංවර්ධන මධ්‍යස්‌ථානය" ලෙසින් අක්‌කර හතරක භූමි භාගය පුරා මේ නිදහසේ තෝතැන්න පිහිටා ඇත.

මේ මධ්‍යස්‌ථානය ඉදි වී ඇත්තේද ආදරය, දයාව, කරුණාව මතිනි. ඒ අප රටට බලපෑ සුනාමි ඛේදවාචකය සමඟිනි.

සෙබස්‌තියන් වෑන්කුටන් නම් වූ නෙදර්ලන්ත ජාතිකයා විවාහ වී සිටියේ ශ්‍රී ලංකාවේ දකුණේ ලතා නමැති තරුණියක සමඟ ය. සුනාමිය පැමිණීමට ප්‍රථම ලතා තම ගම රට බලා පැමිණ තිබිණි. සුනාමිය පැමිණ දකුණු මුහුදු තීරුව ගිලගත් වේලේ සෙබස්‌තියන්ගේ පපුව පත්තු වී ගියේය. සිය සෙනෙහබර ප්‍රියාවිය ලතාට අනතුරක්‌ වී දැයි සෙවීමට පසුවදාම ඔහු ලංකාවට ආවේය. ලතාලාගේ සබ්බ සකලමනාවම රුදුරු සයුර ඇදගෙන ගිය ද, ලතා නිරුපද්‍රිත විසීය. සෙබස්‌තියන් ට ලතා හමුවීමේ ප්‍රීතිය ඇති වුවද ඒ වන විට සුනාමියෙන් ඇතිවූ ඛේදවාචකය දුටු ඔහුගේ හදවත හඬා වැළපුණි. ඔහු මේ අසරණයන්ට උපකාර කරන්නේ කෙසේ දැයි සිතා තම විදෙස්‌ මිතුරන්ට මෙපුවත දැන්වීය.

ඔවුන් සැම සිටියේ නිවෙස්‌ අහිමි වූවනට නිවෙස්‌ තනා දිය යුතුය යන පදනමේය. ඒ සඳහා ඔවුහු අරමුදල් එක්‌කාසු කළහ. තම ශක්‌ති ප්‍රමාණයෙන් මුදල් සොයා දුන්හ.

එහිදී සෙබස්‌තියන්ගේ පියා වන ජේ. සී. වැන්කුටන් අනුගමනය කළේ මහා මානුෂීය පිළිවෙත්ය. ඔහු තම මවුබිමේ සිට ඔහුගේ පා පැදියේ පිටුපස බෝංචි ඇට මල්ලක්‌ ද, කුඩා ලිපක්‌ ද බැඳගෙන පා පැදියට නැගී එය පදිමින් ආධාරකරුවන්ගෙන් මුදල් එක්‌කාසු කරමින් ඇවිද්දේය. රාත්‍රි වනවිට කොහේ හෝ නතරවී බෝංචි තම්බා කෑවේය. ඔහු මාස කීපයක්‌ තිස්‌සේ නෙදර්ලන්තයේ සිට ස්‌පාඤ්ඤය තෙක්‌ කිලෝ මීටර් දෙදහසකට අධික ප්‍රමාණයක්‌ පා-පැදියෙන් පැද යමින් සිය දහදිය, ශ්‍රමය, කාලය කැපකර ශ්‍රී ලංකාවේ සුනාමි ඛේදවාචකයෙන් අසරණ වූවනට නිවෙස්‌ තනා දීමට මුදල් සෙව්වේය. ඒ ඔහුගේ "ආදරය, දයාව, කරුණාව" ලංකාවට හා එහි වැසියනට පුද කළ ආකාරයයි.

ඔවුන් සැම මෙසේ මුදල් එක්‌කාසු කළ ද, නිවෙස්‌ තනා දීමට සිරිලක සුදුසු බිම්තීරු රජයෙන් ඉල්ලා සිටියද, අප රටේ ගසා කන්නන් ඉල්ලා සිටියේ "අපට නිවෙස්‌ එපා. මුදල් දෙන" ලෙසයි. අවසානයේ ඉතා අපහසුවෙන් නිවෙස්‌ කීපයක්‌ ඉදිකොට නිවාස අසරණ වූවන්ට භාරදුන් පසු සිදු වී තිබුණේද අප්‍රසන්න දෙයකි.

එකල සිටි පිරිස්‌, තම නිවස මුහුදට ගසා ගියා යයි හඬා-දොඩා මොවුන් සැදූ නිවෙස්‌ ලබා ගත්තද පසුව ඒවා තවත් අයට විකුණා මුදල් ලබාගෙන තිබිණි. මේ පිළිබඳව දැඩි සංවේගයක්‌ සෙබස්‌තියන්ලා ඇතුළු පිරිසට ඇති වුවත් ඔවුහු තවත් උත්සාහ කළහ. රජයෙන් දිගින් දිගටම ඉඩම් ලබාදෙන ලෙස ඉල්ලුවද, එය නොලැබිණි. ඇතැම් නිලධාරීන්, බලධාරීන් උත්සාහ කළේ "අප නිවෙස්‌ හදන්නම්, ඔබලා මුදල් දෙන්න අපට"... යන ක්‍රියාමාර්ගයන් ය. බහිරව කටට ඒ මුදල් යන බව අවබෝධ කර ගත් ඔවුහු තවත් නිවාස කීපයක්‌ අසීරුවෙන් ඉදි කළ ද, රජයෙන් නිලධාරීන්ගෙන් උදවු ලැබුණේ නැති තරම් ය.

ඉන් කළකිරුණු ඔවුන් ආපසු සිය මවුබිමට යැමට තැත් කළත් නෙ දර්ලන්තයේ වෑන්කුටන් ඔවුන් වළක්‌වා ලූයේ, ඒ මුදල් ලංකාවට යොදවන ලෙසයි. මේ අවස්‌ථාවේදී දකුණේ සුනාමි කටයුතු කරමින් සිටි මෝදර මට්‌ටක්‌කුලිය සිංහ සමාජ සභාපති ටෝනි ජයසේකර බෙස්‌තියන්ට හමු විය. ටෝනි ඔහු ආඬිගම පෙදෙසට රැගෙන එමින් ආඬිගම සරත් සහබන්ධු ද කොළඹ මෝහාන් පෙරේරා, ඈෂ්ලි මෙන්ඩිස්‌, මනෝරංජන් පෙරේරා, මැන්ඩිස්‌ ගුණසේකර හා තවත් පිරිසක්‌ සහභාගි කරවාගෙන මෙකී ළමා ගම්මානය ඉදි කළේය. එහි බාරකාරත්වය අධ්‍යක්‍ෂ මණ්‌ඩලයකටද ස්‌ථාන භාරකාරත්වය විශ්‍රාමික පරිපාලන ග්‍රාම නිලධාරි ඊ. එම්. හේරත් ද පැවරීය.

එදා එම ගොඩනැඟිල්ල විවෘත කිරීමේ උළෙලේදී මේ සියලු පිරිවර රැස්‌ව සිටියදී සෙබස්‌තියන් වෑන්කූටන් කිලෝ මීටර් දහස්‌ ගණනක්‌ ඈතින් සිටින සිය පියාණන් වූ වෑන්කූටන් මහතා සමරමින් සිය දේශනයේ දී මෙසේ පැවැසීය.

"මට මේ මොහොතේ මතක්‌ වනවා මගේ දයාබර පියා මේ ශ්‍රී ලංකා වැසියනට ඔහුගේ ආදරය, දයාව, කරුණාව පූජා කළ හැටි. ඔහු කිලෝ මීටර් දෙදහසක්‌ පා පැදියෙන් ගම් දනවු නගර පුරා ඇවිදිමින්, අතරමග බෝංචි ඇට තම්බා කමින් දහදිය හෙළමින් කළ කැප කිරීම..." (ඔහු හඬයි.)

"මම ආඩම්බර වනවා"... (ඔහු යළි හඬයි... ඉකි ගසමින් හඬයි.)

"ඔව් මම ආඩම්බර වනවා... එවන් පියකුගේ පුතෙකු වීම පිළිබඳ ව"....

ඔහුගේ ඒ ප්‍රකාශයත් සමඟම මුළු සභාවම ඔහු සමඟ මොහොතක්‌ කඳුළු සැලූහ. ආදරය, දයාව, කරුණාව මේතරම් ම බර බව සංවේදී බව, උත්කෘෂ්ට බව, උතුම් බව අප කාට කාටත් එතැනදී ද පසක්‌ විය.

පසුගිය සතියේ ද එවන් වූ සංවේදී අත්දැකීමකට එම ස්‌ථානයේ දීම මුහුණදීමට අපට සිදුවුණි. රාජකාරියක්‌ සඳහා එම පෙදෙසට ගොස්‌ සිටි අපට ළමා මධ්‍යස්‌ථානයේ භාරකාර හේරත් අයියා මුණ ගැසුනි. ඔහු මට කීවේ අපූරු පිරිසක්‌ එහි පැමිණ සිටින බවයි. විදේශික යෞවනියෝ සත් (07) දෙනකු එහි විය. ශිෂ්‍යාවන් සය (06) දෙනකු හා ක්‍රීඩා ගුරුවරියක ඔවුනතර විය.

ඔවුන් පැමිණියේ මන්ද...? මට ගැටලුවකි. සින්තියා ජන්සෙත් (Cynthia Jansen) ජුලියන් වීමේ (Jolien Weime) ස්‌ටෙපානී ද ඩී බුක්‌ (Stepanie de Bock) ක්‌ලාරාසේ වෑන් තම්නේ (Klaartse Van Tmuyne) මාරියා වැන් ෙඩ්‍රසී (Marie Van Driesseche) එලන් ලැන්ඩර්ස්‌ (Ellen Lenders) සෙලීන් සෙනික්‌ (Celine Schenck) යන යෞවනියෝ බෙල්ජියම් රටෙන් හා නෙදර්ලන්ත රටෙන් ආඬිගම, ළමා තෝතැන්නට පැමිණ උන්හ.

කලින් කී නෙදර්ලන්ත ජාතික සෙබස්‌තියන් වැන්කූටන් මොවුනට මෙහි ඒමට මඟ පෙන්වා තිබිණි. ඔහු මෙම ළමා ආයතනයට, දරුවන්ට තවමත් ආදරය පුද කරන බවට" සාක්‍ෂි දරමින්, මේ පිරිස මෙහි පැමිණියෝය. ඔවුන් පැමිණ සිටියේ ජීවිතය බෙදා ගන්නටය.

ඒ මනුෂ්‍යත්වයේ මිහිර හාත්පස වෙලාගෙන ඇති අයුරු දුටුවෙමු.

ටෙරන්ස්‌ වනිගසිංහ
http://www.divaina.com/2014/09/14/feature09.html

0 comments: