Pages

Tuesday, September 16, 2014

වැඩ බලන මහෙස්‌ත්‍රාත්වරුන් නඩු විභාග කිරීම - අධිකරණ ඉතිහාසයේ නව නීතියක්‌

අත්තනගල්ල මහෙස්‌ත්‍රාත් උසාවියේ නිත්‍ය මහෙස්‌ත්‍රාත්වරුන් නැති දිනවලදී සහ වේලාවන්හි වැඩ බැලීමට පත්කර සිටි එම උසාවියේම පුද්ගලික නඩුවලට පෙනී සිටි නීතිඥවරුන්ට මින් ඉදිරියට එම කාර්යයෙහි නිරතවීම ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ තහනම් කළේය. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එම තහනම පනවනු ලැබුවේ පසුගිය දිනක අත්තනගල්ල මහෙස්‌ත්‍රාත් උසාවියේ වැඩ බැලූ මහෙස්‌ත්‍රාත්වරියකගේ අවිචාරවත් නියෝගයක්‌ මත රිමාන්ඩ් භාරයට පත්වූ රජයේ වෛද්‍යවරියක්‌ විසින් අගවිනිසුරුවරයාට යොමුකර තිබූ පෙත්සමක්‌ පිළිබඳව ඊයේ වැඩිදුරටත් කරුණු විමසීමෙන් අනතුරුවය.

වතුපිටිවල රජයේ රෝහලේ වෛද්‍යවරියක්‌ වන මල්ලිකා ගුණරත්න මහත්මිය රිමාන්ඩ්භාරයට පත් කිරීමට වගකිවයුතු පොලිස්‌ නිලධාරීන් හා ඇය රිමාන්ඩ්භාරයට පත් කළ වැඩ බලන මහෙස්‌ත්‍රාත්වරිය යළි උසාවි කැඳවා ඇගේ පෙත්සම පිළිබඳව සම්පූර්ණ විභාගයක්‌ ලබන වර්ෂයේ ජනවාරි 25 වැනිදා පැවැත්වීමටද ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ තීරණය කළේය.

අත්තනගල්ල උසාවියේ දිස්‌ත්‍රික්‌ නඩුකාරවරයකු හා මහෙස්‌ත්‍රාත්වරයකු සේවය කරන බැවින් නඩු විභාග කිරීමේ කටයුතු වැඩ බලන මහෙස්‌ත්‍රාත්වරුන්ට පවරන්නේ නැතිව කරගෙන යැමට වැඩපිළිවෙළක්‌ දැනට සකස්‌ කර ගන්නා ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.

වැඩ බලන මහෙස්‌ත්‍රාත්වරුන් නඩු විභාග කිරීමේ කටයුතුවලදී ක්‍රියාකළ යුතු ආකාරය හා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳව උපදෙස්‌ මාලාවක්‌ අධිකරණ සේවා කොමිසම මගින් කලකට උඩදී නිකුත් කර ඇති බව පෙන්වා දුන් අගවිනිසුරු මොහාන් පීරිස්‌ මහතා වැඩ බලන සියලුම මහෙස්‌ත්‍රාත්වරුන් එම උපදෙස්‌ මින් ඉදිරියට අකුරටම පිළිපැදීමට වගබලාගත යුතු යෑයි ද නියෝග කළේය.

මේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මෙවැනි නියෝගයක්‌ නිකුත් කරනු ලැබූ ශ්‍රී ලංකා අධිකරණ ඉතිහාසයේ පළමු වැනි අවස්‌ථාවයි. ශ්‍රේෂ්ඨාධිකරණය එකී නියෝග නිකුත් කරන විට ඉහත කී වෛද්‍යවරිය රිමාන්ඩ් භාරයට ගත් කළ එදින මහෙස්‌ත්‍රාත්වරයකු වශයෙන් වැඩ බැලූ පූර්ණා කුමාරි සේනාරත්න මහත්මියද උසාවියට පැමිණ සිටියාය.

වෛද්‍ය මල්ලිකා ගුණරත්න මහත්මිය 18.7.14 දින උදේ පදවාගෙන ගිය මෝටර්රිය කොළඹ නුවර පාරේ නිට්‌ටඹුව කෝන්ගස්‌දෙනිය හන්දියට පිවිසෙත්ම වේගයෙන් පැමිණි යතුරු පැදියක ගැටී ඇත. සුළු තුවාල ලබා සිටි යතුරුපැදියේ ගමන් ගත් දෙදෙනා වහාම වතුපිටිවල රෝහලට ගෙන ගිය ඇය පසුව නිට්‌ටඹුව පොලිසියට පැමිණ කටඋත්තරයක්‌ දී ඇත. එතරම් බරපතළ අනතුරක්‌ නොවූ බැවින් දෙපාර්ශ්වය අතර සමථයක්‌ ඇතිකර ගන්නා ලෙස දන්වා පොලිසිය ඇයව මුදාහැර ඇත. ඊට පැය කීපයකට පසුව පොලිසියට නැවත කැඳවූ ඇය අත්අඩංගුවට ගෙන අත්තනගල්ල මහෙස්‌ත්‍රාත් උසාවියට ඉදිරිපත් කර රිමාන්ඩ් භාරයට පත් කර ඇත. ඇයට ඇප දීමද මහෙස්‌ත්‍රාත්වරිය විසින් ප්‍රතික්‍ෂේප කර ඇත. දින 03 කට පසුව නිට්‌ටඹුව පොලිස්‌ ස්‌ථානාධිපති මැදිහත්වී ඇයට ඇප ලබාදෙන තෙක්‌ වැලිකඩ සිරගෙදරට වී සිටීමට ඇයට සිදුව ඇත.

ඇයට මුහුණපාන්නට සිදුවූ අසීරුතාවට වගකිවයුතු නිට්‌ටඹුව පොලිසියේ නිලධාරීන් දෙදෙනකුට එරෙහිව ද මෙහිදී චෝදනා එල්ල වී ඇත. නිට්‌ටඹුව පොලිසියේ සුළු අපරාධ අංශයේ ස්‌ථානාධිපති සුසන්ත හා පොලිස්‌ කොස්‌තාපල් ආනන්ද ඒ දෙදෙනායි.

මෙම පෙත්සම අගවිනිසුරු ඇතුළු ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක්‌ හමුවේ ඊයේ කැඳවූ අවස්‌ථාවේදී මුලින්ම කරුණු දැක්‌වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දේමනි ද සිල්වා මහත්මිය දන්වා සිටියේ එම පොලිස්‌ නිලධාරීන් දෙදෙනාගේ වැඩ දැනටමත් තහනම් කර ඇති බවයි. ඔවුන්ට එරෙහිව මූලික පරීක්‍ෂණයක්‌ පවත්වා ඇති බවත් පුළුල් පරීක්‍ෂණයක්‌ පැවැත්වීමෙන් පසුව ඔවුන්ට එරෙහිව තීරණයක්‌ ගන්නා බව නිට්‌ටඹුව සහකාර පොලිස්‌ අධිකාරි බලගල්ල මහතා තමාට දැන්වූ බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය වැඩිදුරටත් පැවසුවාය.

ජනාධිපති නීතිඥ වසන්ත ද අල්විස්‌ මහතා අත්තනගල්ල මහෙස්‌ත්‍රාත් උසාවියේ නීතිඥවරු කීපදෙනෙක්‌ සමග වැඩ බලන මහෙස්‌ත්‍රාත් පූර්ණා කුමාරි සේනාරත්න මහත්මිය වෙනුවෙන් පෙනී සිටියහ. අධිනීතිඥ එස්‌. ධීරසේකර මහතා මෙකී පොලිස්‌ නිලධාරීන් දෙදෙනා වෙනුවෙන් පෙනී සිටියේය.

සරත් ධර්මසේන
http://www.divaina.com/2014/09/16/news02.html

Pic Source

0 comments: