Pages

Tuesday, September 16, 2014

ශ්‍රී ලංකා යොවුන් වොලිබෝල් ක්‍රීඩකයෝ අලුත් ඉතිහාසයක්‌ ලියති

දින 10 ක්‌ මුළුල්ලේ කොළඹ සුගතදාස ගෘහස්‌ථ ක්‍රීඩාගාරයේ ක්‍රියාත්මක වෙමින් පෙරේදා (13 දා) නිමාවට පත්වුණු 10 වැනි ආසියානු යොවුන් බාලක වොලිබෝල් තරගාවලියේ පිට පිට සිවුවැනි වරටත් ශූරයන් ලෙස කිරුළු පැළඳීමට ප්‍රබල ඉරාන කණ්‌ඩායම සමත්විය. ජපානය සමග පැවැති අවසන් මහ තරගයේදී තරග වට 3/0 ක්‌ ලෙස පහසු ජයක්‌ වාර්තා කරමින් ඉරාන කණ්‌ඩායම 2014 වසරේ ශූරතාවට දිනාගනු ලැබීය.

තරගාවලිය පුරාම අපරාජිතව සිටි ඉරාන කණ්‌ඩායම පළමු වටයේ පැවැති තරග 3, සුපිරි කණ්‌ඩායම් 8 අතර තරග වටයේ මෙන්ම අවසන් පූර්ව සහ අර්ධ අවසන් යන සෑම තරගයකදීම තරග වට 3/0 ක්‌ ලෙස විශිෂ්ට ලෙස ජය වාර්තා කරමින් අදාළ ශූරතාව දිනා ගැනීමද විශේෂත්වයක්‌ විය.

මේ අතර සත්කාරකත්වය දරනු ලැබූ ශ්‍රී ලංකා කණ්‌ඩායම ප්‍රබල කොරියානු කණ්‌ඩායම තියුණු තරගයකින් පසු තරග වට 3-2 ක්‌ ලෙස පරාජයට පත්කරමින් පස්‌වැනි ස්‌ථානයට තේරී පත්වීමද කැපී පෙනුණි. එය ශ්‍රී වොලිබෝල් ඉතිහාසයේ ශ්‍රී ලංකාව ලද විශිෂ්ටතම ජයග්‍රහණය වශයෙන් සටහන් විය.

ෂෙහාන් ලක්‌ක්‍ෂිතගේ නායකත්වයෙන් හා චාල්ස්‌ තිලකරත්නගේ පුහුණුකාරිත්වයෙන් තරග වැදි ශ්‍රී ලංකා කණ්‌ඩායම කොරියාව සමග තරගයේදී ප්‍රථම වටයේ පළමු තාක්‍ෂණික විවේකය වන විට ලකුණු 8-6 ක්‌ ලෙස පසුපසින් සිටියද දෙවැනි විවේකය වන විට කොරියාවට වඩා ලකුණු 16-11 ක්‌ වශයෙන් පෙරමුණ ගැනීමට සමත්විය. එහෙත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අතින් සිදුවූ අතපසුවීම් මත එම තරග වටය ලකුණු 25-21 ක්‌ ලෙස ජය ගැනීමට කොරියානුවෝ සමත්වූහ.

තරගය අතරතුරදී ඉදිරි පෙළ ක්‍රීඩකයකු වූ ඉසුරු පන්දුව ඉහළට ඔසවා තැබීමට යැමේදී ආබාධයකට ලක්‌වී තරගයෙන් ඉවත්වීම ශ්‍රී ලංකාවට තරමක්‌ පාඩුවක්‌ දනවන්නක්‌ වුවත්, එම තරග වටය 25-21 ක්‌ ලෙස ශ්‍රී ලංකාව ජයගත්තේය. එම තරග වටයේදී කිසි ලෙසකින්වත් ශ්‍රී ලංකා ලකුණු සංඛ්‍යාව අභිබවා යැමට කොරියනු පිලට අවස්‌ථාවක්‌ ලබා නොදීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ වගබලා ගත්හ.

තෙවැනි තරග වටයද 25-22 ක්‌ ලෙස ජය ගනු ලැබූ ශ්‍රී ලංකාව තරගාවලිය 2-1 ක්‌ ලෙස පෙරමුණ ගත්තද තියුණු තරගයක්‌ දීමෙන් සිව්වැනි වටය ලකුණු 25-23 කින් ජය ගත් කොරියානු පිල අවසන් වටයක්‌ දක්‌වා තරගය රැගෙන යනු ලැබීය.

අවසන් තරග වටයේ පළමු ලකුණු 3 ම රැස්‌කර ගැනීමට කොරියානුවන් සමත්වූ බැවින් එවිටම විවේක කාලයක්‌ ඉල්ලීමට ශ්‍රී ලංකා පුහුණුකරු චාල්ස්‌ තිලකරත්න කටයුතු යෙදූ බැවින් ප්‍රතිවාදීන්ගේ ලකුණු ලබා ගැනීමේ රිද්මය ද බිඳ වැටිණ. කරට කරට පැවැති සටනේදී දෙපිළම අවස්‌ථා 10 කදී ලකුණු සමාන වීම කැපී පෙනුණු කරුණක්‌ බවට පත්වූ නමුත්, අවසානයේ 23-21 ක්‌ ලෙස ඓතිහාසිත තරග ජයග්‍රහණය සනිටුහන් කිරීමට ශ්‍රී ලංකා පිලට අවස්‌ථාව උදාවිය.

තීරණාත්මක පස්‌වැනි වටයේ අවසාන ලකුණු පිළිබඳව ඇතිවුණු මතභේදාත්මක සිදුවීමේදී තරගයේ ප්‍රධාන විනිශ්චයකරුට කොරියානු ක්‍රීඩකයන් දෙපළක්‌ විසින් පහරදීම මත තරගය නැරඹීමට පැමිණ සිටි ප්‍රේක්‍ෂකයන් තුළ නොසන්සුන්කාරී වාතාවරණයක්‌ ඇතිවිය.

මෙහිදී විනිසුරුවන්ගේ තීරණය අවසාන තීරණය වුවද එය පිළිගැනීමට කොරියානු ක්‍රීඩකයන් අකමැත්ත පළ කිරීම ප්‍රධාන කොට ගෙන අදාළ පහරදීම සිදුව තිබේ.

ගයාශාන් විතානආරච්චි
http://www.divaina.com/2014/09/15/sports03.html

සබැඳි ලිපි -
[
ශ්‍රී ලංකා යෞවනයෝ ආසියානු යොවුන් වොලිබෝල් තරගාවලියේ ශ්‍රේණියක්‌ සොයතිhttp://denethharinna.blogspot.com/2014/09/blog-post_59.html
ආසියානු යොවුන් බාලක වොලිබෝල් තරගාවලිය - ශ්‍රී ලංකාව ජය පිට ජය ලබා සුපිරි කණ්‌ඩායම් 8 අතරටhttp://denethharinna.blogspot.com/2014/09/8.html
10 වැනි ආසියානු යොවුන් වොලිබෝල් සමාරම්භක තරගයේදී සවුදිය පරදා ශ්‍රී ලංකාව සවුදිය පුරයිhttp://denethharinna.blogspot.com/2014/09/10.html
]

0 comments: