Pages

Wednesday, September 17, 2014

අනගාරික ධර්මපාලතුමන්ගේ ජීවිතය හා මෙහෙවර මහා වීර කාව්‍යයකි. පර්යේෂණාත්මක ප්‍රස්‌තුතයකි.

අනගාරික ධර්මපාලතුමන් බඳු යුග යුග සුප්‍රසිත උදාර වීර පුරුෂයන් කිසියම් දේශයකට, ජාතියකට ජනිත වනුයේ කලාතුරකිනි. ඔවුන්ගේ නායකත්වය අනුභාසාක්‍ෂිතය. පරාධීන ජාතියක ස්‌වාධීනත්වය පිණිස ද බෞද්ධ පුනර්ජීවනයේ ප්‍රගමනය උදෙසා ද එතුමන් වෙතින් ඉටු වූ අප්‍රමාණ මෙහෙවර අපේ ජන්මභූමියට, භාරතයට, පෙරදිගට මතු නොව අවරදිග ලෝකයට ද ප්‍රදීපාලෝකයක්‌ විය.

බුදුන් උපන් භූමියෙහිම බුදු දහම අතුරුදන් වෙමින් පැවැති යුගයක බුදු දහමත්, බුදු සමයත් නැවත ගෙන ගිය උදාරතර ධර්ම දූතයා අනගාරික ධර්මපාලතුමාය. එබැවින් එතුමන්ගේ නාමය සිංහල බෞද්ධයන්ගේ මතු නොව සමස්‌ත ලෝකවාසී කෝටි සංඛ්‍යාත බෞද්ධ ජනතාවගේ ප්‍රණාමය හිමි විය යුතු සදා සම්මානිත වන්දනීය නාමයකි.

අනගාරික ධර්මපාලතුමන් ගේ ජීවිත කාලය එකුන් සැත්තෑ වසරකි (69). ජීවිතයේ පශ්චිම යාමයට සැපත්ව එතුමෝ මෙසේ ලියූහ. "අවුරුදු හතළිහක්‌ මුළුල්ලෙහි නිරන්තරයෙන් කාර්යයෙහි යෙදීමෙන් මම කායිකව දුබල වී සිටිමි. අවුරුදු 34 ක්‌ මම මගේම කැමැත්තෙන් ඉන්දියාවේ පිටුවහල් ජීවිතයක්‌ ගත කළෙමි. මීට අවුරුදු 37 කට පෙර ඉන්දියාවේ ජනතාව බුදුන් වහන්සේගේ නාමයවත් අසා නොතිබුණු තරම්ය. මහාබෝධි සමාගම ආරම්භ කරන තුරු ඉන්දියාවේ විහාරයක්‌වත්, බෞද්ධ ප්‍රකාශනයක්‌වත්, ධර්ම දේශනයක්‌වත් නොවූයේය. බෞද්ධ වැඩකරන්නෝ ඇත්නම් විශාල අස්‌වැන්නක්‌ ඇත." (මාගේ ජීවිත කතාව - අනගාරික ධර්මපාල ((සංස්‌) ලක්‍ෂ්මන් ජයවර්ධන, දයාවංශ ජයකොඩි සහ සමාගම, කොළඹ 10, 2004. පි. 116-118)

අනගාරික ධර්මපාලතුමන් භාරතයට නැවත බුදුදහම හා බුදුසසුන හඳුන්වාදීමට දශක හතරකට ආසන්න කාලයක්‌ දැරූ දුර්ගම දුෂ්කර අනවරත ප්‍රයත්න දෙවැනි වෙතොත් ඒ ධර්මාශෝක අධිරාජයා බුදුදහම හා බුදුසමය ප්‍රචලිත කිරීම පිණිස දශක හතරකට සමාසන්න කාල පරිච්ඡේදයකදී දැරූ ප්‍රෝස්‌සාහයට පමණි. ධර්මාශෝක අධිරාජයා එබඳු සුවිශාල පරිශ්‍රමයක්‌ දරන ලද්දේ බලගතු අධිරාජ්‍යයක අග්‍රේශ්වරයා ලෙසිනි.

අනගාරික ධර්මපාලතුමා ඉංග්‍රීසීන්ගේ ධවල ආධිපත්‍යයට ලක්‌වුණු ඉන්දීය සාගරයේ පුංචි කොදෙව්වක යටත් වැසියකු ලෙස ඉපිද සිය ජීවිත සමය මුළුල්ලෙහි පරාධීන ජාතියකට අයත්ව විසූ පුරවැසියෙකි. එහෙත් එතුමන්ගේ චින්තනය පරාධීන නොවී ය. අසහාය පෞරුෂය සදා අපරාජිත විය.

ධර්මාශෝක අධිරාජයා භාරතයට දායාද කළ සමස්‌ත මානව සංහතියටම අයත් වන ලෝක උරුමයන් හාරා පාදා හෙළිපෙහෙලි කර බෞද්ධ ලෝකයට නව දොරටුවක්‌ නිර්මාණය කරදීමට පුරෝගාමී වූයේ දේශාන්තරයන්හී කිත් යසස්‌ පතළ කළ අනගාරික ධර්මපාල නම් වූ උදාරතර මහා පුරුෂයා ය.

අනගාරික ධර්මපාල නම් වූ සිංහල බෞද්ධ ධර්ම දූතයා 1891 වසරේ දී භික්‍ෂූන් වහන්සේලා සිවු නමක්‌ කැටිව බ්‍රිතාන්‍ය කිරීටයේ යටත් විජිතයක්‌ වූ භාරතයට ගොස්‌ යළි බුදු සසුන පුනර්ස්‌ථාපනයට පුරෝගාමී විය.

ධර්මපාලතුමන් විසින්ම ලියන ලද ලිපියක මෙසේ සඳහනි.

"සිය ගණන් පල්ලි, දහස්‌ ගණන් දේවාල, දහස්‌ ගණන් මරක්‌කල පල්ලි දඹදිව තිබේ. බෞද්ධයන්ගේ මව් භූමිය වූ අප සම්බුදුරජාණන් වහන්සේ විසින් පරිභෝග කළ වදාළ වූ දඹදිව එකදු බෞද්ධ ගෘහයක්‌ වත් දැනට නොමැතිය. දහ කෝටියක්‌ පමණ ජනයා සිටින දඹදිව බෞද්ධ ගෘහයකට ඇත්තේ මහාබෝධි සමාගම් ශාලාව පමණයි." (සරසවි සඳරැස, 1894.05.01)

"සිංහලයිනි නැගිටිව්! බුද්ධගයාව බේරාගනිව්!" යනුවෙන් එදා ඒ අභීත ධර්මදූතයන් නැගූ කාහල නාදය ථේරවාදී බෞද්ධ දේශයනට ද ඇසුණේය. සිය ජීවන සමය ඇතුළත ඒ සියලු අභිමතාර්ථ සාධනය කළ නොහැකි වූව ද අද වනවිට ධර්මපාලතුමන්ගේ මෙහෙවර සාකල්‍යයෙන්ම ම මල් ඵලදරා ඇති බව අවිවාදාත්මක ය. බෞද්ධ සිද්ධස්‌ථාන වැඳීම, පිදීම හා නැරඹීම වස්‌, ඉන්දියාවට ලොව සිවුදිගින් සපැමිණෙන වන්දනාකරුවන් හා සංචාරකයන් නිසා ඉන්දියාව උපයන විදේශ විනිමය ධන සම්භාරය කෙතෙක්‌ වනු ඇද්ද?

අනගාරික ධර්මපාලතුමන්ගේ දශක සතරක දඹදිව දිවිසැරිය හදාළ යුතු පර්යේෂණය කළ මනා එක්‌ දේශයකි.

එහෙත් අදත් විජාතික අන්‍යාගමික බලවේගවලත් මුදල් හදල්, වරප්‍රසාද, වරදාන ලබමින් අනගාරික ධර්මපාලතුමන් ජාතිවාදියකු, ආගම් පිස්‌සකු, උන්මන්තකයකු, ජාතිවාදයේ පුරෝගාමියකු ලෙස හැඳින්වීමට ප්‍රොක්‌සාහි වන ඊනියා, "පර්යේෂණයන්" දුලබ නැත.

ධනවත් ව්‍යාපාරික පවුලක උපත ලැබ කාමභෝගී, සුඛෝපභෝගී වංශාධිපති ජීවිතයක්‌ ගත කිරීමට සමත් ධනයෙන් ආඪ්‍යව සිටි තරුණයකු ඒ සියල්ල ද පල්ලියෙන් ලැබුණු "ඩේවිඩ්" යන නම ද හැරපියා අනගාරික ජීවිතයකට පිළිපන්නේය.

සෙන්පති හෙන්රි ස්‌ටීල් ඕල්කට්‌තුමන්ගේ භාෂා පරිවර්තකයකු ලෙස රටපුරා සැරිසරමින් එතුමන්ට පරාධීන ජාතියක යථාස්‌ රූපය දැක ගැන්මට සැලස්‌වීය. පරම විඥානාර්ථ සංගමයේ ක්‍රියාධරයකු ලෙස සමාජ මෙහෙවරට පිළිපන් හෙතෙම පසු කලෙක ඒ මගින් බැහැරව ස්‌වාධීනව ස්‌වායත්තව නව මගක ගමන් ගත්තේය.

"සෝබන මාලිගාව" යනුවෙන් මෙරට ජනකාය ආදරණීය නාමයකින් හැඳින්වූ රථයක නැගී රටපුරා සැරිසරමින්, ජනතාව අමතමින් "සිංහල බෞද්ධයා" පුවත්පත අරඹා සතිපතා ජනතාවට බුද්ධිමය හා ඥානමය සම්පත් දායාද කරලමින් බෞද්ධ පාඨශාලා ප්‍රතිෂ්ඨාපනය කරමින්, අනගාරික ධර්මපාලතුමන් කළ අසමසම, අප්‍රමාණ සේවාව මෙබඳු කෙටි නිබන්ධනයකට ලඝූ කළ නොහැකිය.

විසි නව වියෑති තරුණයකු වශයෙන් චිකාගෝ නුවර ජගත් දෘෂ්‍ය සම්මේලනය අමතමින් එතුමන් ප්‍රකට කළ බුද්ධි පාටවය හා පෘථුල ලෝක දෘෂ්ටිය අනගාරික ධර්මපාල නාමය අන්තර්ජාතික පෞරුෂයන් කරා කැරෙලි ගැන්වූවකි.

අනගාරික ධර්මපාලතුමන්ගේ ජාතික හා අන්තර්ජාතික ජීවිතය හා මෙහෙවර මෙතෙක්‌ හරිහැටි නොලියවුණු මහා වීර කාව්‍යයකි. පර්යේෂණාත්මක ප්‍රස්‌තුතයකි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති, බෙල්ලන්විල රාජමහා විහාරාධිකාරී, මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමි
http://www.divaina.com/2014/09/17/feature06.html

Pic Source

සබැඳි ලිපි -
[

උඹලා සුද්දන්ට බයද? - ධර්මපාලතුමාhttp://denethharinna.blogspot.com/2014/09/blog-post_17.htmlඅනගාරික ධර්මපාල ශ්‍රී නාමය සිහිකරන්නhttp://denethharinna.blogspot.com/2014/09/blog-post_99.htmlරටට ඔබින නිදහස් නිවහල් චින්තනය, දම්පල් චින්තනයයි!http://denethharinna.blogspot.com/2014/08/blog-post_91.htmlරට-දැය-සමය බැබළවීමට ජීවිතයම කැප කළ ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාhttp://denethharinna.blogspot.com/2014/04/blog-post_29.htmlඅමතක නොකරමු කිසිදා - සිත්හි රඳවමු හැමදා | සිරි දම්පල් උතුමාhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_1336.htmlනිදා සිටි ජාතිය අවදි කළ මහා විරුවාණෝ අනගාරික ධර්මපාලතුමාhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_8556.htmlඅනගාරික ධර්මපාල සිහ නාදය නැඟූ රටක්‌http://denethharinna.blogspot.com/2013/09/blog-post_1887.htmlසියවසක අනාගතය පෙර දුටු මහා චින්තකයා - ධර්මපාලතුමාhttp://denethharinna.blogspot.com/2013/04/blog-post_8270.html
පුංචි ශ්‍රී ලංකාව වටා ලෝක බෞද්ධ බලවේගයක්‌ ගොඩනැගූ ධර්මපාලතුමා
http://denethharinna.blogspot.com/2012/09/blog-post_18.html
]

0 comments: