Pages

Tuesday, September 16, 2014

ජන සුබසෙතම පැතූ, අවංක නායකයෝ

ශ්‍රී ලාංකිකයන් නිදහස ඉල්ලා සටන් වැද සිටි සමයේ හා නිදහස ලත් මුල් කාල සීමාවෙත් මෙරට සිටි ජන නායකයන් දැ හිතකාමී වූත්, අති මහත් ලෙස ජනාදරයට ලක්‌ වූත් සියලු ලෙසින්ම ශ්‍රේෂ්ඨ වූත් තැනැත්තෝම වූහ. එකල ජනතාව මහත් බලාපොරොත්තු තැබූ ආදරණීය නායකයකු වූ ශ්‍රීමත් බාරොන් ජයතිලක මහතා මෙරට එදා පහළ නොවුණි නම් නිදහස්‌ සටන තව තවත් ඉදිරියට ඇදී යන්නට ද ඉඩ තිබිණි. හෙට්‌ටිමුල්ලේ වජිරබුද්ධි ස්‌ථවිර, රණවීර ඒ චද්‍රසේන යන ලේඛකයන් විසින් ලියන ලද "චරිත කතා ඇසුරින් ලංකා ඉතිහාසය" නම් පොතෙහි එතුමා ගැන විශේෂ සඳහනක්‌ කර ඇත.

ජයතිලක මහතා එංගලන්තය බලා යන ගමනට සුබ පැතීමට තරුණ බෞද්ධ සංගමයත්, ආනන්ද, ධර්මරාජ විද්‍යාලවල දෙගුරු සංගම් හා ආදි ශිෂ්‍ය සංවිධානයන් උත්සව සංවිධානය කර තිබිණි. එබඳු උත්සවයකදී පිරිස අමතා එතුමා ප්‍රකාශ කළේ බෞද්ධාගමේත්, බෞද්ධ ජනතාවගේත් සුබ සිද්ධිය සඳහා මම මගේ ශ්‍රමයත් මගේ ධනයත් කැප කළෙමි. එහි ප්‍රතිඵලය ඉතා සාර්ථක වූ බව මම පිළිගනිමි. මා ලද සම්පත එයයි. මගේ ඔක්‌ස්‌ෆර්ඩ් ගමන ආත්මාර්ථකාමීත්වය මුල් කොට ගත්තක්‌ නොවේ. එය සිංහල වර්ගයාත්. මගේ ආගමත් පෙරදැරි කොට ගෙන ක්‍රියාත්මක වන්නකි. එදා ඒ කියමන ගැන සිතන විට අද තත්ත්වය ගැන කුමක්‌ සිතෙනු ඇතිද? පළාත් සභා මන්ත්‍රීවරු පිරිසක්‌ පිටරට චාරිකාවක්‌ යැමට සූදානම් වීමක්‌ ගැන පසුගියදා අසන්නට ලැබිණි. කෙසේ නමුත් කෝටි ගණනින් මහජන මුදල් නිස්‌කාරනේ වියදම් වන එබඳු සංචාර අනවශ්‍ය බව ජනතාවගේ පිළිගැනීමය. ඉහළින් ආ විරෝධයක්‌ මත ගමන නතර විය. එයට කලින් ද පළාත් සභා මන්ත්‍රී පිරිසක්‌ පිටරට සංචාරයක නිරත වූහ. ඔවුහු ඒ රටවලින් සොයා දැනගත් දේ මෙහි පැමිණ ක්‍රියාත්මක කළෝද? ඒ බවක්‌ නම් දැන ගන්නට නැත. මේ චාරිකා වලින් වැඩි හරියක්‌ හුදු විනෝද ගමන් ම විය. මැති ඇමැතිවරුන් ද ඔවුන්ගේ නෝනලා ද බේබිලා ද පවුලේ හිතවතුන් ද එබඳු චාරිකාවලට විශාල ප්‍රමාණයෙන් සහභාගි වෙති. ඒ ඔවුන් සතු බූදලයෙන් වියදම් කර නම් නොවේ.

මෙහි මුලින් කී ඩී. බී. ජයතිලක මැතිතුමා පිළිබඳව සඳහන් කරන ධර්මපාල ජයවීර නම් මහතකු 1953 වර්ෂයේ එළිදැක්‌වූ පත්‍ර කලාව නම් සිය ග්‍රන්ථයෙහි මෙසේ දක්‌වයි. "මෙකල ලංකාවේ පහළ වූ ඉතාම සුවිනීත දේශපාලනඥයා වන ශ්‍රීමත් බාරොන් ජයතිලක පඬිතුමා (එවකට ඩී. බී. ජයතිලක මහතා) විසින් සෙත්‍යාදය ආරම්භ කර පවත්වාගෙන යන ලද්දේ මෙකල විය යුතුයි. ඔහුගේ දේශපාලනික හා ජාතික ආගමික අදහස්‌ මෙම පත්‍රයෙන් ඉදිරිපත් කරනු ලැබීය.

මෙසේ සුවිනීත දේශපාලනඥයා යන ගෞරව පදය ලේඛකයා අතින් ඔහු ලබා ගත්තේ සිය බලය යෙදවීමෙන් හෝ කපටි ලෙසකින් හෝ වෙනයම් වංචනික ක්‍රියාවකින් නොවේ. එහෙත් මෙකල සිටින බොහෝ දේශපාලනඥයනට ඒ ගෞරව පදය පිරිනැමීමට සුදුසුකම් ලබා ඇතැයි සිතිය නොහැක.

අපේ පාර්ලිමේන්තුවේ සිටින ඇතැම් විනීත මැති ඇමැතිවරුන් නිසා පාර්ලිමේන්තු ගැලරියට පාසල් සිසුන් ඇතුළුකිරීම පවා අත්හිටවූ අවස්‌ථා තිබිණි. එකි දේශපාලනඥයන්ගේ විනීත හැසිරීම් දකින සිසුන් ද එය ආදර්ශයට ගතහොත් ශිෂ්‍ය ප්‍රජාවගේ විනයට කුමකින් කුමක්‌ සිදුවේ දැයි සිතා ගනු බැරිය.

1956 වර්ෂයේ බල පෙරළියෙන් පසු බලයට පත් මහජන එක්‌සත් පෙරමුණු ආණ්‌ඩුවේ පළමුවැනි පාර්ලිමේන්තු රැස්‌වීම අප්‍රියෙල් 21 වැනිදා විවෘත කළ අවස්‌ථාවේ මහජන ජයග්‍රහණයෙන් උද්දාම වූ මහජනයා මැති සබය ඇතුළට කඩාවැදී රිසි ලෙස හැසිරුන ආකාරය අප්‍රියෙල් 21 දින "ලංකාදීප" පත්‍රය වාර්තා කළේ මෙසේය.

"මහජන උනන්දුව වාවනු බැරිවෙයි. දහස්‌ ගණනින් මැති සබය පිරේ"

දිවයිනේ මින් පෙර කිසිදාක නොවූ විරූ අන්දමට ඓතිහාසික ලක්‍ෂණයක්‌ පළ කරමින් ඊයේ මහජන ආණ්‌ඩුවේ ප්‍රථම පාර්ලිමේන්තුව විවෘත කිරීමේ උත්සවය අවසාන වෙත්ම පාර්ලිමේන්තු මන්දිරය ඉදිරිපිට මහ මුහුදේ ඉල්පී නගින මහා රළ ගෙඩි මෙන් වාවාගත නොහැකි වු මහා උනන්දුවෙන් ඔද වැඩී ගිය ජනකාය මන්ත්‍රී මණ්‌ඩලය තුළට වැද තම ආණ්‌ඩුවේ මන්ත්‍රීන් හිඳගන්නා ආසන රිසි දේ නැරඹුහ. සභා ශාලාවට පිවිසි මහජනයාගෙන් සමහරු "මේ අපේ පුටු" යයි කියමින් මන්ත්‍රීවරුන්ගේ අසුන්වල හිඳගත් අතර, කථානායක අසුනේ ද හිඳගත්හ. අධ්‍යාපන ඇමැති ඩබ්. දහනායක මහතාත්, ගොවිකම් ඇමැති පිලිප් ගුණවර්ධන මහතාත් සභා ශාලාවට අතුල් වූ විට පිරිස ජය ඝෝෂා නඟමින් ඔවුන් පිරිවරා ගත්හ. හිත පුරා ඕනෑ තරම් බලා ගන්නැයි දහනායක මහතා පිරිසට කී පසු ඔව්හු සන්සුන් ලෙස විසිර ගියහ.

ලංකා ඉතිහාසයේ පමණක්‌ නොව මුළු ලෝක ඉතිහාසයේ ද මහජනයා පාර්ලිමේන්තුවට ඇතුළු වී තම හද බඳුන පිරී උතුරා යන භක්‌තිය ආදරය හා ගෞරවය ආණ්‌ඩුවකට පිරිනැමූ ප්‍රථම අවස්‌ථාව මෙය විය. මෙතරම් ගෞරවාදරයට පාත්‍ර වූ මහජන එක්‌සත් පෙරමුණු ආණ්‌ඩුවේ අග්‍රාමාත්‍ය පදවිය දැරූ බණ්‌ඩාරනායක මහතාට විරුද්ධව එල්ල වූ කුමන්ත්‍රණයකින් එතුමාගේ ජීවිතය විනාශ කළත් එදා ඒ නැඟී ආ බලවේගය කිසිවකුටත් යටපත් කළ නොහැකි වූ අතර, බණ්‌ඩාරනායක ආණ්‌ඩුවලින් සමාජවාදී පියවරවල් ගණනාවක්‌ ක්‍රියාත්මක කළ සැටි කිසිවකුටත් අමතක නොවනු ඇත. විශේෂයෙන්ම මැතිනියගේ ආණ්‌ඩුවේ කෘෂිකර්ම හා ඉඩම් පිළිබඳ ඇමැති ධුරය දැරූ හෙක්‌ටර් කොබ්බෑකඩුව මහතා ගෙන ආ ඉඩම් පනතට බණ්‌ඩාරනායක මැතිනිය අනුමැතිය දුන්නේ පරම්පරාවෙන් සිය පවුලට උරුමව තිබුණ අක්‌කර දහස්‌ ගණනක නින්දගමට ද කෙළවෙන බව නොදැන නම් නොවේ. පරලොව සැපත් බණ්‌ඩාරනායක මහතාට දෙවොලක්‌ ඉදි නොකළ ද හොරගොල්ලේ බණ්‌ඩාරනායක දෙයියෝ කියන තරමට ජනතාව එතුමාට ගරු කළහ.

සුදු ආණ්‌ඩුවේ නිලධාරීන් රජයේ ආදායම් වැඩි කර ගන්නට ක්‍රියාත්මක කළ සුරාබදු පනතට එරෙහිව මෙරට නායකයන් ඉදිරිපත් ව අමද්‍යප ව්‍යාපාරය ක්‍රියාත්මක කළහ. 1915 සිංහල මුස්‌ලිම් කෝලාහලය ඇවිල යද්දී ලද අවස්‌ථාවෙන් ප්‍රයෝජනය ගත් සුදු පාලකයෝ සුරාබදු පනතට විරුද්ධ වූ මෙරට නායකයන් සියලු දෙනා සිරගත කළහ. හෙන්රි පේද්‍රිස්‌ නම් සිංහල නායකයා හිඳුවා වෙඩි තැබූ පුටුව හා එහි පෙරී තිබුණ ලේ පැල්ලම් පෙන්වා උඹලටත් මේ ටික තමා කියා මරුවා සමීපයට කැඳවා සිටි සිංහල නායකයන්ගේ ජීවිත ජාතියේ පිනකට රැකුණ ද එයින් බියපත් ව ඔවුන් සටන නොනැවැත්වූහ.

එසේ වූ අමද්‍යප ව්‍යාපාරය හරහා දේශපාලනයට පිවිසි මෙරට ප්‍රථම අග්‍රාමාත්‍යවරයා වූ ආරෝහ පරිනාහ දේහධාරී, මහකලු සිංහලයා සහ ජාතියේ පියා යන විරුදාවලී ලත් මහාමාන්‍ය ඩී. එස්‌. සේනානායක මහතාත් කලින් සඳහන් කළ බණ්‌ඩාරනායක මහතාත් පිහිටුවා ලූ දේශපාලන පක්‍ෂ දෙකම බලයට පැමිණි පසුකාලීන අවස්‌ථාවලදී මුලදී සිටි නායකයන් ගෙන ගිය අමද්‍යප සටන පිළිබඳ ඉතිහාසය අමතක කර දමා එය තඹ දොයිතුවකටවත් මායිම් නොකර තම හිතවතුනට මත්පැන් හල් සඳහා බලපත්‍ර නිකුත් කළහ. ජනතාවගෙන් වැඩි කොටස සිංහල බෞද්ධයන් වූ රටක උදේ හවා බණ කියන බණ ඇසෙන රටක තැබෑරුම් සඳහා අවසරපත් නිකුත් කිරීම මොනතරම් නිර්ලඡ්ජී ක්‍රියාවක්‌ දැයි සිතා බැලිය යුතුය. එබඳු කරුණු වලදී ජනතාව දේශපාලකයන් පිළිබඳව ප්‍රසාදජනක ද සිතක්‌ අතිකර ගනිත්ද?

වරක්‌ බලයට පත් එක්‌සත් ජාතික පක්‍ෂ ආණ්‌ඩුවේ නායකයාට ඉඩ දී තම ඇඳුම් ටික බෑගයේ දමා ගෙන ගමේ යැමට අරලියගහ මැඳුරෙන් පිට වී බස්‌ හෝල්ට්‌ එකට පැමිණි ඩබ්. දහනායක වැනි එදා සිටි නායකයන් කොතරම් ජනතාවාදීද? ප්‍රසිද්ධ කලාකරුවකුව සිටි සයිමන් නවගත්තේගම කුඩා දා ලැබූ පහේ ශිෂ්‍යත්වයට විරුද්ධත්වය පා ආ පෙත්සමක්‌ නිලධාරීන් විසින් විභාග කොට ශිෂ්‍යත්වය අවලංගු කරන ලදින් ඒ ගැන පැමිණිලි කිරීමට ඔහුගේ පියා ඇමැති දහනායක හමුවීමට පැමිණ සිටියේය. කන්තෝරුවේ දොරකඩ අසලට වී බුලත් විටක්‌ සූදානම් කරන ඔහු දුටු ඇමැතිවරයා උන්නැහේ මොකද කරන්නේ යෑයි ඇසූ විට පෙනෙන්නේ නැද්ද කරන වැඩේ යෑයි තරමකට උණුසුම් ව දුන් පිළිතුරෙන් පසු එහෙනම් මටත් ඕකෙන් කොටහක්‌ දෙනවකෝ කියා බුලත් විටෙන් පංගුවක්‌ ඉල්ලාගෙන කටේ දැමූ දහනායක මහතා පැමිණිල්ල ද සොයා බලා සයිමන් නවගත්තේගමගේ පියා ගෙදර පිටත් කළේය. ඔහු ගමට යන විට ශිෂ්‍යත්වය යළි වලංගු කරවන නියෝගය රැගත් විදුලි පණිවිඩය ද ඒ සමඟම නිකුත් වී තිබිණි.

මෙකල රටේ වැඩිම ආදායම ලබන රැකියාවන් අතර දේශපාලනය ප්‍රමුඛ තැනක්‌ ගනී. මැති ඇමැතිවරුන් ලබන වැටුප් පිළිබඳව විපක්‍ෂයෙන් විශේෂයෙන්ම ජනතා විමුක්‌ති පෙරමුණු මන්ත්‍රීවරුන් ගෙන් නිතර නිතර ප්‍රශ්න කෙරේ. රටේ සාමාන්‍ය කෙනෙකුට රුපියල් දෙදහස්‌ පන්සියයකින් මාසයක්‌ ගත කළ හැකි බවට ඇමැතිවරු ප්‍රකාශ කරත්දී ඔවුන්ගේ මාසික ආදායම ලක්‍ෂ ගණනින් නැග ඇති සැටි පාර්ලිමේන්තුව තුළම කතාබහට ලක්‌විය.

බණ්‌ඩාරනායක ආණ්‌ඩුවේ සිටි උප ඇමැතිවරයකු එදා නිදා සිටි ඇඳෙන් නැගිට එළියට ගිය මොහොතක ඔහුගේ ඇඳ මතට ගෙයි බිත්තියක්‌ කඩා වැටුණු බවත්, ඔහු එළියේ සිටි විටෙක එය සිදු වූයෙන් පණ රුකුණ බවත් එකල අසන්නට ලැබිණි. මෙය කන වැටුන හිටපු ජනාධිපතිවරයකු වූ රණසිංහ ප්‍රේමදාස මහතා ඒ උප ඇමැතිවරයාට - පතිරාජ තෙන්නකෝන් මහතාට නව නිවසක්‌ තනා දුන් බවත් ඒ දිනවල අසන්නට ලැබිණි.

හිටපු තැපැල් උප ඇමැතිවරයකු වූද, කුලියාපිටිය අසුනේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ද වූ ජී. ඩබ්. සමරසිංහ මහතාට ආසනයේ ජනතාව විසින් එකතු කරන ලද මුදලකට ලබා දුන් මෝටර් රථය නොවන්නට ඔහුට ගමේ සිට කොළඹ එන්නට සිදුව තිබුණේ මඟී ප්‍රවාහන සේවයේ යෙදෙන බස්‌ රියකිනි. එදා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගැන එසේ කතා කළ හැකි වුවද මෙදා එය කනපිට හැරී ඇත.

මගෝඩිස්‌තුමා, දේශපාලුවා ආදී උපහාසාත්මක නම් යොදා ගනිමින් පුවත්පත් කාටුන් ශිල්පියෝ වත්මන් දේශපාලනඥයන් හඳුන්වන්නට වූහ. ඒ එහි තේරුමක්‌ නැතිවම ද නොවේ. බේබද්දන්, කසිප්පු මුදලාලිලා, ගණිකා නිවාස හිමිකරුවන්, එතනෝල් ගෙන්වන්නන්, කුඩු ව්‍යාපාරිකයන් පාර්ලිමේන්තු එවන්න එපා යෑයි කියන පක්‍ෂ නායකවරු, එසේ කියන ගමන් තම අපේක්‍ෂක ලේඛන වලට නම් ඇතුළු කිරීමේදී ඒ ගැන නොවිමසා ඡන්ද දායකයන්ට එය කරන ලෙස කියති. මෙවැනි හතර බීරි කතා අසන ජනතාව හොල්මන් වී බලා සිටිති. බලය අතට ගැනීමේ ප්‍රයෝජනය දත් නායකයෝ අනෙකාගේ බෙල්ල හපා හෝ සෙල්ලම් පිස්‌තෝල පෙන්නා හෝ බලු පොරයට වැටී කා ගනිති. (ජනතාව සෙල්ලම් පිස්‌තෝලය කුමක්‌ද, සැබෑ පිස්‌තෝලය කුමක්‌දැයි නාඳුනන බව ඇතැම් නායකයෝ සිතා සිටිති.) මෙසේ සිය ජීවිතය ගැන පවා නොසිතා සටන් වදින්නේත් බෙල්ල හපා කන්නේත් ජනතාවට සේවය කිරීමට ඇති බලවත් කැමැත්ත නිසාමය.

පාතාලකරුවන් අතින් හෝ වෙනයම් ලෙසකින් මැරුම් කන පියාගේ සිහින සැබෑ කරවන්නට පුතා හෝ දුව ද, සැමියාගේ සිහින සැබෑ කරවන්නට බිරිය ද ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ඉදිරිපත් වෙති. ඇතැමෙක්‌ දැත් ශක්‌තිමත් කිරීම සඳහා ඒ පිලෙන් මේ පිලට පනිති. පිස්‌සු ඩබල් වෙන අය නිසා ජනතාව තමන් ම ගස්‌ බැඳ ගනිති. නැතිනම් තමා මානසික රෝගියෙක්‌ නොවන බව ජනතාවට ඒත්තු ගැන්වීමට වෛද්‍යවරුන් ලවා මොළය පරීක්‍ෂා කරවා ගනිති. එහෙත් මේ සියල්ලම අතර එදා මේ රටේ සිටි දේශපාලන නායකයන් ලද ජනතා ප්‍රසාදය මෙදා වන විට උඩු සුළඟට ගසාගෙන ඈතින් ඈතට ගොස්‌ ඇති බව ඔවුන් කිසිවකුටත් තවමත් වැටහී නම් නැත.

ඩී. ඒ. ටී. බී. දේවසිංහ
http://www.divaina.com/2014/09/16/feature04.html

Pic Source

0 comments: