Pages

Saturday, September 6, 2014

කෝට්ටේ යුගයේ සුවිශේෂී නිර්මාණයක සාධක හමු වේ

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් ක්‍රියාත්මක කෙරෙන කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයේ කැණීම් කටයුතු තුළින් මේ වනවිට ස්මාරක පරිශ්‍රයක සාධක අනාවරණය වෙමින් පවතී.

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතාගේ උපදේශකත්වය සහ කෝට්ටේ නගරාධිපතිගේ මූල්‍යමය දායකත්වය මත ක්‍රියාත්මක වන මේ කැණීම් ව්‍යාපෘතියේ කටයුතු නිල වශයෙන් ආරම්භ වූයේ 2014.06.10 දින ජාතික උරුමයන් පිළිබඳ ගරු අමාත්‍ය ආචාර්ය ජගත් බාලසූරිය මහතාගේ ප්‍රධානත්වයෙනි.

කෝට්ටේ හත්වන බුවනෙකබාහු රජු යටතේ සිටි රණශූරයකු වූ වීදිය බණ්ඩාර, සීතාවක සටනින් පැරද පෘතුගීසින්ගේ සිරකරුවෙකු වූ බවත් ඉන්පසු වීදිය බණ්ඩාරගේ දේවිය වූ සූරිය දේවිය විසින් ඔහු බේරා ගැනීමට ගලිගමුව ප්‍රදේශයේ සිටි උමං තැනීමේ ශූර පල්ලරු ජනතා‍වගේ සහායෙන් කෝට්ටේ රහසිගත ස්‍ථානයක උමඟන් තැනූ බවත් ජනප්‍රවාදයේ ද ඇතැම් මූලාශ්‍රවල ද සඳහන්ය. මෙකී තොරතුරු මත කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාල භූමියේ උමඟකට විවරයක් ඇතැයි විශ්වාසයක් පැවතුණු හෙයින් එය මතුකර ගැනීමේ අරමුණින් යුතුව මූලික කැණීම් කටයුතු ආරම්භ කරන ලදී.

කෙසේ වෙතත් ස්ථාන තුනක මෙතෙක් සිදුකළ පර්යේෂණ කැණීම්වලින් උමඟක සාධක කිසිවක් හෙළි නොවුණ ද පිහිටි කබොක් ගලේ නිර්මාණය කළ චතුරස්‍රාකාර කුටියක් පේසා වළලු සහිත ස්තූපයක් ද අනාවරණය කර ගැනීමට හැකි විය.

තව ද කැණීම් භූමිය ආශ්‍රිතව කෝට්ටේ යුගයට අයත් උළු කැබලි ද පහන් කැබලි කීපයක් ද හමු වී ඇත‍. මෙසේ මතුකරගෙන ඇති පුරාවිද්‍යා සාධක අනුව මේ ස්ථානය බෞද්ධ විහාරයක නටබුන්වලින් යුත් භූමියක් බව අනුමාන කළ හැකිය. චතුරස්‍රාකාර කුටිය, ස්තූපය හා සෝපානය පිහිටි ගලේම කපා මතුකර තිබීම නිසා ඒවා සුවිශේෂී නිර්මාණ ලෙස අවධානය යොමු වී තිබේ.

ආනන්ද ශාස්ත්‍රාල භූමියේ කැණීම් කටයුතු තවදුරටත් ක්‍රියාත්මක වන අතර කෝට්ටේ ඉතිහාසයට නවතම තොරතුරු එක් කිරීමට එමගින් හැකිවනු ඇති බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා පවසයි.

– තරංගා වික‍්‍රමරත්න
http://lankacnews.com/sinhala/news/121689/

0 comments: