Pages

Wednesday, September 17, 2014

තම මව්බිමේ බොදුඋරුමය රැකගැනුමට බැරි නායකයන් ඇති රටක, ඉන්දියාව වැනි අබෞද්ධ විදෙස් රටක කළ දම්පල් මෙහෙය කෙසේ මිළ කරන්නද?

කෝටියකටත් වැඩි සිංහල බෞද්ධයන් පිරිසක්‌ ජීවත් වුවත් සිංහල බෞද්ධ නාමය කියවෙත්ම සිහියට නැගෙනුයේ මෑත ලංකා ඉතිහාසයේ විසූ සිංහල බෞද්ධ බලවේගයේ පෙරගමන්කරු වූ ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමන්වයි. සිංහල බෞද්ධයා ඇතුළු පුවත්පත් ගණනක කර්තෘවරයා ලෙසින්ද "සිංහලයෙනි නැගිටිව් බුද්ධගයාව බේරාගනිව්" කාහල නාදයේ නිර්මාතෘවරයා ලෙසින්ද වඩාත් පොදු ජන සිත්සතන් තුළ විරාජමාන වෙයි.

සිංහල බෞද්ධ ගෘහභාණ්‌ඩ වෙළෙඳ ව්‍යාපාරිකයකු ලෙස ලොව ප්‍රකටව සිටි දොන් කරෝලිස්‌ මුදලිතුමාට හා මල්ලිකා හේවාවිතාරණ මැතිනියටත් දාව 1864 සැප්තැම්බර් 17 දා උපන් පුත්‍රයාට දොන් ඩේවිඩ් හේවාවිතාරණ නම තැබීය. නිසි කල පැමිණි කුමරුවා පිටකොටුවේ කතෝලික පාසලට ඇතුළත් කළ අතර ඉන්පසු කොටහේනේ ශාන්ත බෙනඩික්‌, කෝට්‌ටේ ක්‍රිස්‌තියානි පාසල්වල අධ්‍යාපනය හදාරන අතරතුර තම මව හා පියා විසින් ඉදිකළ මාලිගාකන්ද විෙද්‍යාදය පිරිවෙනේ පරිවේනාධිපති හික්‌කඩුවේ සුමංගල නාහිමියන් යටතේ සිංහල ඉතිහාසයේ පාලි හා සංස්‌කෘත හැදෑරීය. එමගින් ඩේවිඩ් තරුණයාගේ ජාතිකානුරාගය දේශවාත්සල්‍ය මොනවට ඔපමට්‌ටම් විය. 1873 දී අටසිල් සමාදන්ව උපාසක සීලය ආරක්‍ෂා කරන විට මේ කුමරුගේ වයස අවු 9 කි. තම මිෂනාරී ගුරුවරයා කුරුල්ලන් මරණයට පත් කිරීම නිසා පාසල් යාම කෙරෙහි කලකිරී සිටි මෙතුමාට 1883 ජනවාරි මාසයේ කඩුවෙල කොරතොට සිට කොටහේනේ දීපදුත්තාරාමයට ගිය බෞද්ධ පෙරහැරට පහරදීම පිළිබඳව දැඩි කලකිරීමට පත්ව පාසල් අධ්‍යාපනයට ආයුබෝවන් කියා තම ජීවිතය බෞද්ධාගම වෙනුවෙන් කැප කිරීමට තීරණය කිරීමයි. මේ බව තම පියා වූ දොන් කරෝලිස්‌ මුදලිතුමන්ට දැන් වූ මුත් ඔහුට ඒ සඳහා අවසර නොලැබුණි. තම මවට මේ අදහස ඉදිරිපත් කිරීමේදී මල්ලිකා හේවාවිතාරණ මැතිනිය තම දරුවාට අවසර දීම පමණක්‌ නොව "පුතේ නුඹ අනගාරික වනවා පමණක්‌ නොවේ බුදු වෙනවා දකින්නත් මම ආසයි" යෑයි පැවසීය. සිංහල කුල කතක්‌ තම පුත්‍ර රත්නයට මෙවන් බුදු බව පතා නියත විවරණ ලබාදීමක්‌ ඉතිහාසයේ කොතනකවත් අපට හමුව නැත. එය සිංහල කුල කාන්තාවකගේ හදපත්ලෙන්ම නැගී එන මහත්ම ආශිර්වාදයකි. ඒ අනුව ගිහිගෙය හැර පියා 1885 "අනගාරික" දිවියට ඇතුළත්ව "අනගාරික ධර්මපාල" යෑයි නම් ගත්තේය.

වසර 1889 දී ප්‍රථම වරට ජපානයට ගිය මෙතුමා ලංකාව ජපානයට හඳුන්වාදුන් පුරෝගාමියා ලෙස බොහෝ දෙනා අභිමානයෙන් කථා කරයි. ලංකාවේ කුඩා කර්මාන්තයක්‌වත් නොමැති අඩුව වටහාගත් ධර්මපාලතුමා ජපන් හපන්කම් ගැන ඉගෙනීමට ජපන් ශිෂ්‍යත්ව ක්‍රමයක්‌ ආරම්භ කළේය. දොන් කරෝලිස්‌ මුදලිතුමාගෙන් මේ සඳහා මුදල් ලබාගත් අතර, තම මල්ලී වූ එඩ්මන් හේවාවිතාරණගෙන් මුදල් ලබා රාජගිරිය පේෂකර්ම පාසල ආරම්භ කළ අතර ගිනි පෙට්‌ටි කර්මාන්තය, මල් කර්මාන්තය, පිඟන් කර්මාන්තය, ඇති කිරීමට ද මූලිකව කටයුතු කළහ. රටක පාලකයන් කළ යුතු කාර්යයන් පවා ධර්මපාල චින්තනය මගින් ඔපවත් වන බව පෙනේ.

1891 දී බුද්ධගයාවට ගිය මෙතුමාට හින්දුන් විසින් එය අත්පත් කරගෙන කරන විනාශය දැක මහත් ශෝකයට පත්ව බුද්ධගයාව බේරාගැනීමේ ව්‍යාපාරය ආරම්භ කර "සිංහලයිනි නැගිටිව්! බුද්ධගයාව බේරාගනිව්!" යනුවෙන් මනා නැගිටුවීමකට හෙළ ජාතිය පෙළගස්‌වන ලදී. එතැනින් නොනැවතුණු මෙතුමා ජපානය, එංගලන්තය, ඇමෙරිකාව, පිලිපීනය, ඩෙන්මාර්කය, ඕලන්දය, චීනය ආදී රටවල සංචාරය කරමින් මුදල් රැස්‌කරමින් බුද්ධගයාව බේරා ගැනීමට නඩු කියා ලෝක බෞද්ධයන් වෙනුවෙන් නැවත බුද්ධගයාව ලබාගත්හ. තම උපන් බිමේ බෞද්ධ උරුමය රැකගැනීමට කොන්දක්‌ නැති මිනිසුන්, නායකයන් සිටින රටක ඉන්දියාව වැනි අති විශාල රටක පිහිටි බුද්ධගයා භූමිය ලෝක බෞද්ධ ජනතාවට ලබාදීමට එතුමා වැය කළ කාලය, දැනුම, ධනය, ශ්‍රමය කෙසේ නම් මිල කරන්නද? එය ධර්මාශෝක අධිරාජ්‍යයා බුදු සසුනට කළ සේවයට නොදෙවෙනි වන්නේද? බුදුසමය අතුරුදහන් වූ ඉන්දියාවට බුදුදහම යළි ගෙනගියේ ධර්මපාලතුමාය. අද ලක්‍ෂ සංඛ්‍යාත බෞද්ධ පිරිසක්‌ ඉන්දියාවේ ඉන්නේ ධර්මපාලතුමා හා ඒ මග ගිය හරිජන නායක අම්බේක්‌කාර් තුමා නිසාය.

ආසියාවේ ආලෝකය නම් ඉංග්‍රීසි ග්‍රන්ථයේ කතුවර සර් එඩ්වින් ආර්නෝල්ඩ්ගේ ඇරයුමකට අනුව ඇමරිකාවට බුදුදහම හඳුන්වාදී චිකාගෝ ආගම් සමුළුවේ කළ දේශනය ආසියානුවෙක්‌ ලෝ පතළ කළ ප්‍රථම කථාව ලෙසයි විද්‍යමාන වන්නේ. එංගලන්තයේ බෞද්ධ මධ්‍යස්‌ථානය ආරම්භ කර එංගලන්තයට බුදුදහම හඳුන්වාදුන්නේ මෙතුමාය.

සිංහල බෞද්ධයා, සිලොන් නේෂන් යන පුවත්පත් ආරම්භ කළ "ද බුඩිස්‌", " ලාංකික යෞවුන් ජනතාවට පණිවිඩයක්‌" "සිංහල නාමාවලිය" ග්‍රන්ථ දැයට දායාද කළ මෙතුමා පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය, රාජගිරිය හේවාවිතාරණ පාසල, හිනිදුම බෞද්ධ පාසල, මරදාන මහා බෝධි විද්‍යාලය, බරණැස මූල ගන්ධ කුටි විහාරය, කල් කටා ධර්මරාජිකා විහාරය, ලන්ඩන් බෞද්ධ මධ්‍යස්‌ථානය, බුද්ධගයා මහා විහාරය ආදී යෝධ කාර්යයන් ඉටු කළහ.

ධර්මපාලතුමා දේශපාලකයෙක්‌ නොවුණත් දේශපාලනඥයන්ගෙන් විය යුතු කාර්යභාරය රට දැය සමය වෙනුවෙන් එදා මනාව ඉටු කළහ. ධර්මපාලතුමා මේ යුගයේ උපන් ශ්‍රේෂ්ඨ දේශප්‍රේමියාය. ආගම සංස්‌කෘතිය, භාෂාව උසස්‌ චාරිත්‍ර, ගුණධර්ම ආරක්‍ෂා කරගන්නා අයුරු කියා දුන්නේය. වරද දුටු තැන තදින් පහරදුන්නේය. බැණ වැදුණේය. සිංහල බෞද්ධයකු ලෙස අභිමානය රැක ගත යුතු ආකාරය ජීවත් විය යුතු ආකාරය කියා දුන්නේය. ඉංගී්‍රසි පාලනය මහා බලසම්පන්නව තිබූ 1905 දී අධිරාජ්‍ය විරෝධී අමද්‍යප ව්‍යාපාරය ආරම්භ කර "මත්පැන් බොන්නා වසලයා" යනුවෙන් ජනතාව අවදි කරවිය.

බරණැස මූලගන්ධකුටි විහාරයේ වැඩ කටයුතු අවසන්ව ලංකාවට පැමිණ 1931 ධර්මපාල භාරකාර මණ්‌ඩලය ආරම්භ කිරීමෙන් පසු ඉන්දියාව බලා ගියේ ලංකාවට නැවත නොපැමිණෙන බව පවසමිනි. එදා එම වසරේදී සිරි දේවමිත්ත නමින් පැවැදි බව ලැබූ ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා 1933 ජනවාරි 16 දින අධිශීල සහිත උපසම්පදාව ලැබීය. සිංහල ජාතිය ආගම රට ගැන අනුපමේය සේවයක්‌ කළ ජාතියට ජීවය දුන් ජාතියේ පියාණෝ 1933 අප්‍රේල් 29 දින අපවත් වී වදාළහ. සිංහලයෙක්‌ ලෙස ඉපිද බෞද්ධයෙක්‌ ලෙස තම ජාතියට පණ පොවා බුදුන් උපන් භූමිය සමස්‌ත ලෝක බෞද්ධයන්ට ලබාදී නැවත බෞද්ධයකු ලෙස උපදින්නට පොරොන්දු වූ ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන්ට තරම් ගරු කරන අන් කවරෙක්‌වත් ලංකාවේ නැති තරම්ය. එතුමා වෙනුවෙන් ගම් නගරවල ප්‍රතිමා 12 ක්‌ පමණ ඉදි කර කෘතවේදීත්වය පළකර ඇත. (විහාරමහාදේවි උද්‍යානය, මහබෝධි මන්දිරය, හේවාවිතාරණ පාසල, හිනිදුම පිරිවෙන, පන්නිපිටිය ධර්මපාල විදුහල, නුවරඑළිය නගරය, ගාල්ල නගරය, මාතර නගරය, නාරාහේන්පිට, මහනුවර දළදා මාලිගාව අසල හා ඉන්දියාවේ ප්‍රතිමා දෙකක්‌) ප්‍රධාන හා නාගරික මාර්ග කීයක්‌ එතුමා නමින් නම් කර ඇත්ද? පන්සල් පාසල් දහම් පාසල් කීයක්‌ ධර්මපාල නාමයෙන් රටට සේවය කරයිද?

පොත් කොපමණක්‌ එතුමා නමින් ලියවී ඇත්ද? ලංකාවේ පාසල්, දහම් පාසල් පෙළ පොත්වලට පමණක්‌ නොව ඉන්දියාවේ පාසල් පෙළ පොත්වලට පවා ධර්මපාල චරිතය ඇතුළත් කර ඇත. ඉන්දියාවේ ධර්මපාලතුමා නමින් පාරවල් නම් කර ඇත. ධර්මපාලතුමන්ට ගරු කිරීමක්‌ ලෙස සිංහල ඉගෙනගන්නා දරුවන් ඉන්දියාවේ සිටින බව ඔබ දන්නේද? මෙයයි අද දවසේ අනගාරික ධර්මපාල ශ්‍රී නාමය ජීවමාන කරන්නට ඔවුන් ගන්නා උත්සාහය.

එතුමාගේ අදහසකින් මා මෙය අවසන් කරන්නම්. 1912 එතුමා ලියූ ලාංකික තරුණ ජනයාට පණිවිඩයක්‌ පොතේ මෙලෙස සඳහන් වේ.

"ගණනින් කුඩා උවත් කලකට පෙර අපි ශ්‍රේෂ්ඨ ජාතියක්‌ වශයෙන් ලොවෙහි අභිමානයෙන් ජීවත් වීමු. අහිතකර බලපෑම්වලින් මිදී යළි මධ්‍යම ප්‍රතිපදා මාර්ගයේ ගමන් කිරීමට ඉටා ගතහොත් නැවතත් අපට ශේ්‍රෂ්ඨ ජාතියක්‌ ලෙස නැගී සිටිය හැකි බව මම විශ්වාස කරමි."

චන්දන උපාලි
http://www.divaina.com/2014/09/17/feature07.html

Pic Source

සබැඳි ලිපි -
[

අනගාරික ධර්මපාලතුමන්ගේ ජීවිතය හා මෙහෙවර මහා වීර කාව්‍යයකි. පර්යේෂණාත්මක ප්‍රස්‌තුතයකි.http://denethharinna.blogspot.com/2014/09/blog-post_75.htmlඋඹලා සුද්දන්ට බයද? - ධර්මපාලතුමාhttp://denethharinna.blogspot.com/2014/09/blog-post_17.htmlඅනගාරික ධර්මපාල ශ්‍රී නාමය සිහිකරන්නhttp://denethharinna.blogspot.com/2014/09/blog-post_99.htmlරටට ඔබින නිදහස් නිවහල් චින්තනය, දම්පල් චින්තනයයි!http://denethharinna.blogspot.com/2014/08/blog-post_91.htmlරට-දැය-සමය බැබළවීමට ජීවිතයම කැප කළ ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාhttp://denethharinna.blogspot.com/2014/04/blog-post_29.htmlඅමතක නොකරමු කිසිදා - සිත්හි රඳවමු හැමදා | සිරි දම්පල් උතුමාhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_1336.htmlනිදා සිටි ජාතිය අවදි කළ මහා විරුවාණෝ අනගාරික ධර්මපාලතුමාhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_8556.htmlඅනගාරික ධර්මපාල සිහ නාදය නැඟූ රටක්‌http://denethharinna.blogspot.com/2013/09/blog-post_1887.htmlසියවසක අනාගතය පෙර දුටු මහා චින්තකයා - ධර්මපාලතුමාhttp://denethharinna.blogspot.com/2013/04/blog-post_8270.html
පුංචි ශ්‍රී ලංකාව වටා ලෝක බෞද්ධ බලවේගයක්‌ ගොඩනැගූ ධර්මපාලතුමා
http://denethharinna.blogspot.com/2012/09/blog-post_18.html
]

0 comments: