Pages

Sunday, September 14, 2014

වසංගත රෝගකාරක හා පිළිකා ජනක අපද්‍රව්‍ය ජලයට මුසුවීමෙන් වික්‌ටෝරියා - උල්හිටිය මහවැලිය අනතුරේ

පිළිකාජනක අපද්‍රව්‍ය සහ බෝවන වසංගත රෝගකාරක අපද්‍රව්‍ය වික්‌ටෝරියා, උල්හිටිය ජලාශ සහ මහවැලි ගංගා ජලයට මුසු වී ඇති බවට ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්‌ඩලය අනතුරු අඟවයි.

මෙම ප්‍රධාන ජලාශ සහ මහවැලි ගංගාවේ ජලය පිළිබඳව සිදු කළ පර්යේෂණවලදී මේ බව තහවුරු වූ බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්‌ඩලයේ මධ්‍යම පළාත් ප්‍රධාන රසඥ අශෝක ජයවර්ධන මහතා පැවසීය.

මහවැලි ගංගාවේ ජලයේ සහ එයින් පෝෂණය වන වික්‌ටෝරියා, උල්හිටිය සහ ප්‍රධාන ජල මූලාශ්‍ර රැසකට ගෘහාශ්‍රිතව සහ නාගරික කැළි කසළ මුදාහැරීම, මිනිස්‌ හා සත්ව මළ මුත්‍රා මුදාහැරීම, කාර්මික අපද්‍රව්‍ය මුදාහැරීම සිදුවන බව තහවුරු වී ඇත.

කරන ලද ජල සාම්පල පරීක්‍ෂාවන්හිදී ක්‍ෂුද්‍ර ජීවී පරීක්‍ෂණ, රසායනික පරීක්‍ෂණ, ඇල්ගී විශ්ලේෂණ, ජෛව හා රසායනික ඔක්‌සිජන් ඉල්ලුම පර්යේෂණවලදී ජලය දූෂණයට පත්ව ඇති බව තහවුරු වී ඇති බවද ඒ මහතා පැවසීය.

මාතලේ, මහනුවර, නුවරඑළිය දිස්‌ත්‍රික්‌කවල ප්‍රධාන නගර සහ උප නගරවලින් බැහැර කෙරෙන කැළි කසළ, බැර ලෝහ සහිත බැටරි, මිනිස්‌ සහ සත්ව මළ මුත්‍රා, සහ කඳු සහිත ප්‍රදේශවල කෙරෙන සංවර්ධනය නිසා වැසි සමයේදී සේදී එන බොර (මඩ) සහිත ජලය එක්‌වීම ජල දූෂණයට බලපා ඇති බව පර්යේෂණවලදී තහවුරු වූ බවද අශෝක ජයවර්ධන මහතා පැවසීය.

කරන ලද පර්යේෂණවලදී ජලයේ ඊකෝලයි බැක්‌ටීරියාව, ජෛව හා රසායනික ඔක්‌සිජන් ඉල්ලුම, ඇල්ගී මුසුවීම නිසා අතීසාරය, පාචනය, බෝවන සෙංගමාලය, විවිධ අසාත්මිකතා සහ සංකූලතා මෙන්ම පිළිකාජනක තිබෙන බවද තහවුරු වී ඇත.

මිනිස්‌ ක්‍රියාකාරකම් නිසා දූෂණයට පත්ව ඇති ජලය, පානයට සුදුසු ලෙස පිරිපහදු කිරීමට අධි තාක්‍ෂණික ක්‍රම භාවිතා කිරීමටත් ඒ සඳහා අධික වියදමක්‌ දැරීමටත් ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්‌ඩලයට සිදුව ඇති බවද අශෝක ජයවර්ධන මහතා පැවසීය. 

මහවැලි ගඟ සහ එයින් පෝෂණය වන ජලාශ සහ මධ්‍යම පළාතේ ප්‍රධාන ජල මූලාශ්‍රවල ඇල්ගී, ජෛව හා රසායනික ඔක්‌සිජන් ඉල්ලුම, ඊකෝලයි බැක්‌ටීරියා ඝනත්වය වෙනස්‌ වන බවද ඒ මහතා පැවසීය.

මාතලේ විශේෂ - නිමල් ගුණතිලක
http://www.divaina.com/2014/09/13/news20.html

Pic Source

0 comments: