Pages

Wednesday, September 24, 2014

නිදහසින් පසු බලයට පැමිණි කිසිම රජයක්‌ සිංහල බෞද්ධ රාජ්‍ය සම්ප්‍රදායන් ප්‍රතිෂ්ඨාපනයට කටයුතු කර නැහැ - ඥනසාර හිමි

භේදකාරී සහ අන්තවාදී බලවේග විසින් බුද්ධ ශාසනයට හා සිංහල ජාතියට එරෙහිව කරනු ලබන කුමන්ත්‍රණ ස්‌ථිර ලෙස පරාජය කර සංවර්ධිත ජාතියක්‌, දේශයක්‌ උදෙසා සිංහල බෞද්ධ රාජ්‍ය සම්ප්‍රදායන් ප්‍රතිෂ්ඨාපනය කිරීමට නිදහසින් පසු බලයට පැමිණි කිසිදු රජයක්‌ කටයුතු කර නැතැයි බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්‌ඩිත ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ චෝදනා කරති.

එහෙයින් ඉදිරි දේශපාලන තත්ත්වයන් හා ප්‍රවණතාවන් සැළකිල්ලට ගෙන ක්‍රමෝපාය ප්‍රතිපත්තීන්, නීතිරීති හා වැඩපිළිවෙල සහිත නව ජාතික න්‍යාය පත්‍රයක්‌ සැකසිය යුතු බවත් උන්වහන්සේ කීහ.

උන්වහන්සේ ඊයේ (23 වැනිදා) එම අදහස්‌ පළ කළේ කිරුළපන බෝධි බෞද්ධ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස්‌ දක්‌වමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ගලගොඩඅත්තේ ඥනසාර හිමියන් මෙසේ ද පැවසූහ.

අප බොදු බල සේනා සංවිධානයේ ජාතික මහා සමුළුව එළැඹෙන 28 වැනිදා (ඉරිදා) සවස 1.00 ට කොළඹ සුගතදාස ගෘහස්‌ථ ක්‍රීඩාංගණයේදී පවත්වනවා. එහිදී නව ජාතික න්‍යාය පත්‍රයක්‌ සැකසීම සඳහා අවශ්‍ය මූලික ප්‍රතිපත්ති රාමුවක්‌ හා යෝජනා මාලාවක්‌ අප ජනගත කරනවා.

මෙම සමුළුව සඳහා රට සිවුදෙසින් ස්‌වාමින් වහන්සේලා හත්දහසක්‌ එක්‌ වෙනවා. මේ සඳහා වෘත්තීය සමිති විස්‌සකට අධික සංඛ්‍යාවකුත්, හින්දු නායකයන් ඇතුළු බෞද්ධ ජනතාව අති විශාල ප්‍රමාණයක්‌ වෘත්තීයවේදීන්, කලාකරුවන්, බෞද්ධ සංවිධාන නියෝජිතයන් විශාල පිරිසකුත් එක්‌වීමට නියමිතය.

අප සංවිධානය පසුගිය දෙවසරක කාලය තුළ නිර්දේශපාලනිකව, අභීතව, හඬනඟමින් රටට හා සම්බුද්ධ ශාසනයට එරෙහි බලවේගයන් සමග අභීතව සටන් කළා. අභියෝග ජයගනු පිණිස සටන් කළ හැකි සටන්කරුවන් අප බිහි කළා. ජාතික විමුක්‌ති අරගලය නූතනයට සරිලන ලෙස ජනගත කිරීමට ගත් අප්‍රතිහත උත්සාහයන් සියල්ලේ කූටප්‍රාප්තිය මෙම සමුළුව බව කිව හැකියි.

අද හැමෝම මස්‌ රාත්තලම ඉල්ලනවා. ඔව් අපිත් මෙම සමුළුවේදී අපගේ මස්‌ රාත්තලම ඉල්ලා සිටිනවා. අපගේ මවුබිමේ අනාගතය තීරණාත්මක පරිවර්තනයකට ලක්‌ කිරීම උදෙසා සිංහල භික්‍ෂු වංශය පෙරමුණ ගනු ලබන ඓතිහාසික අවස්‌ථාව මෑත ඉතිහාසයේ අති දැවැන්තම සඟ සමුළුව මෙය වීම නොඅනුමානය.

අපට බැණපු උදවියට ඌව පළාතේ මැතිවරණයේදී හොඳ පාඩමක්‌ ජනතාව උගන්වලා තිබෙනවා. මෙය ලංකාවේ අවසන් පළාත් සභා මැතිවරණය වනවා නම් අප වඩා කැමැතියි.

මෙම අවස්‌ථාවට එම සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරි ආචාර්ය ඩිලන්ත විතානගේ, පර්යේෂණ අංශ ප්‍රධාන ආචාර්ය චමිල ලියනගේ යන මහත්වරු ද එක්‌වූහ.

සිරිමන්ත රත්නසේකර
http://www.divaina.com/2014/09/24/news36.html

Pic Source

0 comments: