Pages

Wednesday, March 13, 2013

රාජ්‍ය නොවන සංවිධානයක ඉල්ලීමට 'ගාමිණීපුර' පවුල් 10ක්‌ බුදුදහම අත්හැරලා

හැටන් - ගාමිණිපුර ප්‍රදේශයේ පවුල් දහයක පමණ පිරිසක්‌ බුදුදහම අත්හැර වෙනත් ආගමකට හරවාගෙන තියෙනවා. මෙය කර තිබෙන්නේ එක්‌තරා රාජ්‍ය නොවන සංවිධානයක්‌ විසින් කොළඹ ප්‍රදේශයේදීය. මෙම පිරිස ගෙන්වා කරන ලද විමසීම් වලදී ඔවුන්ගෙන් මට දැනගන්න ලැබුණේ මෙම පිරිස ආගම් මාරු කර තියෙන්නේ ඉතාම සුළු දේවල් සඳහා බවයි. මේ අයගේ ගෙවල්වල තිබූ බුදු පිළිම පවා ඉවත් කර ඇති බවත් දැනගන්න ලැබුණා. හැටන් ශ්‍රී නිග්‍රෝධාරාමාධිපති මධ්‍යම පළාත් ප්‍රධාන සංඝනායක දර්ශනපති පූජ්‍ය මහාගම විමලනායක හිමියන් මේ බව පවසන ලද්දේ හැටන් තරුණ බෞද්ධ සංගමයේ තිස්‌ දෙවැනි (32) වාර්ෂික මහ සභා රැස්‌වීමේ අනුශාසනාව පවත්වමිනි.

හැටන් තරුණ බෞද්ධ සංගමයේ සභාපති බී. ඩබ්ලිව්. හැරිසන් සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වාර්ෂික මහ සභා රැස්‌වීම පැවැති අතර එහිදී තවදුරටත් කරුණු දැක්‌වූ පූජ්‍ය මහගම විමලනායක හිමියන් - බුදුදහම කියන්නේ නිදහසේ අදහන්න පුළුවන් ආගමක්‌. මේ වන විට බෞද්ධයන් විවිධ ක්‍රම ඔස්‌සේ වෙනත් ආගම් වලට හරවා ගැනීම් සිදුකරනවා. මේ පිළිබඳ අපි සැලකිලිමත් විය යුතුයි.

දිනක්‌ අප විහාරස්‌ථානයේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ පිළිමය පාමුල ඡේසුතුමන්ගේ පිළිරුවක්‌ යම් අයකු විසින් තබා ගොස්‌ තිබුණා. මා එය රැගෙන ක්‍රිස්‌තු ආගම අදහන අයකුට කතා කර එය දීලා එම පිළිමය ගෙදර ගෙනගොස්‌ ආගමික වතාවත් සිදුකරන ලෙසට උපදෙස්‌ ලබාදුන්නා.

අපි හැම ආගමකටම ගරු කරනවා. මෙයට හැටන් නගරයේ උදාහරණ ඕන තරම් තියෙනවා. අපි දුරුතු පෙරහැර කළත් වෙනත් ආගමික වැඩසටහනක්‌ කළත් එය හොඳින් ඉස්‌මතුවෙනවා. හැටන් තරුණ බෞද්ධ සංගමය මේ ප්‍රදේශයේ විශාල කාර්යයක්‌ ඉටු කරනවා. අධ්‍යාපනික, සංස්‌කෘතික, මහජන ආධාර වැනි කාර්යන් මේ අතර මුල්තැනක්‌ ගන්නවා.

අපි යම් අයකුගේ නරකට වඩා හොඳ දැකිය යුතුයි. අපි නිතර අන් අයගේ නරක දේ පමණයි බලන්නෙ, හොයන්නේ. ඔවුන් කරන හොඳ බලන්නේ නැහැ, හොයන්නේ නැහැ. යම් අයකු මියගියාට පසුව ඔහු ගැන වර්ණනා කරනවාට වඩා ඔහු ඉන්න කාලයේ ඔහු කරන දේ කරපු දේ අගය කළ යුතුයි.

හැටන් - මනුර සුදත් සෙල්ලහේවා
http://www.divaina.com/2013/03/13/provin10.html 

0 comments: