Pages

Saturday, March 16, 2013

දොරමඩලාව බෞද්ධ විරෝධීද?

“සිරිලක ඇසිදිසි සරසවි පින්බිම – දොරින් දොරට දොරමඩලාවයි
මාගේ දේශය අවධි කරන හඬ – දොරින් දොරට දොරමඩලාවයි”

මේ මෑත ඉතිහාසයේ බොහෝ කතාබහට ලක්ව ජනප්‍රිය බවට පැමිණි “දොරමඩලාව” සංවාදාත්මක වැඩසටහනේ තේමා ගීතයේ කොටසකි. වැඩසටහනින් නිතර නිතර කියනා පරිදි එය “ආගම”, “විද්‍යාව” සහ “කලාව” යන ප්‍රධාන කුළුණු ත්‍රිත්වය මත පදනම්ව විවිධ හරබර මාතෘකා සාකච්චාවට ගනී. මම බොහෝ දොරමඩලාව වැඩසටහන් නරඹා ඇත්තෙමි. ඒවායින් බොහෝ කරුණු උගෙන ඇත්තෙමි. සමහර මාතෘකා සම්බන්ධයෙන් අතිශය වටිනා ප්‍රවේශයන් සහිත සුන්දර, විචාරශීලී, ප්‍රතිපලදායක වැඩසටහන් විකාශය වූ බවත් ඒ මගින් ප්‍රේක්ෂක ජනයාට වටිනා චින්තන වින්දන අවස්ථා හිමිකරදුන් බවත් අවිවාදිතය. ඒ සම්බන්ධයෙන් “දොරමඩලාව”ට අපේ ගෞරවය හිමි වෙයි. විවිධ අවස්ථාවන්හි මෙම වැඩසටහන සම්මානයන්ගෙන් පුදනු ලැබුවේ එනිසා යයි මම සිතමි. දොරමඩලාවට සම්බන්ධ වූවන් සහ ඒ සමග බැඳී ඇති පුද්ගල පරාසය සලකා බලන විට ඒගැන යමක් කියන්නට පෙර සිතන්නට බොහෝ කරුණු ඇති බවද මට සිතේ. රටේ ඉහලම දේශපාලන අධිකාරයේ සිට විවිධ තල වල විවිධ විෂයයන්ගේ විද්‍යාර්ථීන් එහි සහභාගී වී ඇති බැවිනි. නමුත් ප්‍රශංසා කලයුතු තැන ප්‍රශංසා කරනු සේම ගැරහිය යුතු තැන ගැරහීමද කවුරුන්හෝ කලයුතුය. දොරමඩලාව සමහර වැඩසටහන් පිළිබඳව තදබල විවේචනයක් මා සතුය. ඒ අතර ගැරහිය යුතු කරුණුද වෙයි. මේ කිසිවකු විසින් නොපවරණ ලද මවිසින්ම කරනුලබන විවේචනයක්ද සුදුසු යයි සිතෙන තන්හි ගැරහීමක්ද වෙයි. මම ඒ සඳහා කරුණුද දක්වමි. විමසා බැලීම ඔබට භාරය.
මින් පෙරද මෙම වැඩසටහන තුල මතු කෙරුණු, ථෙරවාද බුදු සමයට පටහැනි අදහස් දැක්වීම් පිළිබඳව මම ලිව්වෙමි. ඒ දොරමඩලාව වැඩසටහනකදී මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා උතුම් වූ බෞද්ධ සූත්‍ර දේශනාවක් අමු අමුවේ විකෘති කිරීම නිසාය. අද දින මගේ විවේචනයට සහ ගර්හාවට ආසන්නතම හේතුව වන්නේ පසුගිය සඳුදා (මාර්තු මස 10 දින) විකාශය වූ දොරමඬලාව වැඩසටහනයි. ආසන්න හේතුව එය වන නමුත් මෙම ලිපියෙන් අවධානය යොමු වන්නේ හුදු එම වැඩසටහන පමණක් නොවෙයි. පසුගිය කාලය තුල විකාශය වූ දොරමඩලාව වැඩසටහන් ගණනාවක් මට වස්තු විෂය වෙයි. පෙරේදා විකාශය වූ මෙම වැඩසටහන එතෙක් මෙතෙක් විකාශය වූ සියලු දොරමඩලාව වැඩසටහන් වලින් ඉඳුරාම වෙනස් වූ බව ඒ අවසන් වන තෙක් නරඹනු හැකි වූ කවරකු වුව වටහා ගනු ඇත. වෙනත් කිසිදු දොරමදලාවක සිදු නොවූ ලෙස එහිදී වැඩසටහන මෙහෙයවන නිවේදක මහතා සාකච්චාව සඳහා පැමිණි මහාචාර්ය නලින් ද සිල්වා ගුරුතුමාගේ දැඩි දෝෂදර්ශනයට සෘජුවම ලක්විය. ඒ කොතරම් තදින් ඔහුට දැනුනේ වීද යත් නලින් ද සිල්වා ගුරුතුමාගේ අදහස් දැක්වීම් “සාහසික” යයි මෙම නිවේදක මහතා පැවසීය. දශකයකට එහා දිවෙන දොරමඩලාව වැඩසටහන් මාලාවේ කොටි ත්‍රස්තවාදයට එරෙහි වත්මන් රජයේ මෙහෙයුම් ක්‍රියාත්මක වීමට පෙර ප්‍රභාකරන්ගේ ම්ලේච්ඡ ක්‍රියාදාමය ගැන කියා “ප්‍රභාකරන් යනු සාහසිකයෙකි” යි කිසියම් හෝ මොහොතක හසන්ත හෙට්ටිආරච්චි මහතාගේ මුවින් පිටවුණි දැයි මම නොදනිමි. නමුත් නලින් ද සිල්වා ගුරුතුමාගේ කරුණු දැක්වීමේ “සාහසික” බවේ අග මුල සොයන්නට කලින් දේශය අවධි කරන සරසවි පින්බිමකැයි කියන මෙම වැඩසටහන විටෙක බෞද්ධ සමාජයට සාහසික වන්නේ (සෑම සාකච්ඡා වාරයකදීම නොවේ) කවර අයුරින්ද යන්න මට වැටහෙන පරිදි පෙන්වා දීමට මේ කාලය යයි සිතමි.
දොරමඩලාව වැඩසටහන් කිහිපයක් තදබල ලෙස විවාදාපන්න වූයේ නලින් ද සිල්වා ගුරුතුමන් සහ කාලෝ ෆොන්සේකා මහාචාර්ය තුමන් සහභාගී වූ අවස්ථා වලදීය. කාලෝ ෆොන්සේකා මහතා සහ තවත් සමහර දෙනෙක් බටහිර විද්‍යාව සහ “විද්‍යාත්මක චින්තනය” සරණ ගියෝ වෙති. ඒ ඔවුන්ගේ මුවින්ම කියවෙයි. කාලෝ ෆොන්සේකා මහතා උපතින් හෝ ශ්‍රද්ධාවට පැමිණීමෙන් හෝ බෞද්ධයෙක් නොවන වග ඔහුගේම වචන වලින් පැහැදිලිය. අනෙක් අතට නලින් ද සිල්වා ගුරුතුමා උපතින්ද ශ්‍රද්ධාවට පැමිණීමෙන්ද සිංහල බෞද්ධයෙකි නොහොත් තෙරුවන් සරණ ගත්තෙකි. තවද ඔහු සිංහල බෞද්ධ චින්තනය මත පිහිටා කරුණු විග්‍රහ කරන අතර බටහිර විද්‍යාව සහ ඒ ආශ්‍රිත දැනුම පද්ධතියට තදබල ලෙස පහර දෙමින් ඒ ප්‍රතික්ෂේප කරයි. දොරමඩලාවට එය ප්‍රශ්නයකි. එය පුදුමයක් නොවේ. මුළුමහත් ලෝකයම බටහිර දැනුමට යටත්ව එහි වහල් බවට පැමිණ ඇති කල, එහි පිහිටෙන් නිපදවෙන නිමක් නැති තණ්හාවේ භාණ්ඩ පරිභෝජන මඩ ගොහොරුවේ ඒ ඒ පමණින් ගිලී එරී වැටී ඇති කල දොරමඩලාවටත්, හසන්ත හෙට්ටිආරච්චි මහතාටත් එය ප්‍රශ්නයක් වීම අරුමයක් නොවේ. එනිසා “බටහිර විද්‍යාව මුළුමනින්ම ප්‍රතික්ෂේප කිරීම” යයි කියන විට, විද්‍යාව පට්ට පල් බොරුවක්ය” යි කියන විට හසන්ත මහතාගේ සිත සසල වෙයි (තවද කාලෝ ෆොන්සේකා මහතාගේ මුව නිසල වෙයි). එනිසා තමන් උගත් දැනුම, ලෝකයේ රජ කරන දැනුම ප්‍රතික්ෂේප කරමින් නලින් ද සිල්වා ගුරුතුමා කතා කරන විට හසන්ත මහතාට “අතුරු ප්‍රශ්න” මතු වෙයි. ඒ අතුරු ප්‍රශ්න වලට පිළිතුර දීමට ගියහොත් කාලයද අවසන් වෙයි. නලින් ද සිල්වා ගුරුතුමා ඊට විරෝධය දක්වයි. මට ඒ තේරුම ගත හැකිය, ප්‍රශ්නය එය නොවේ.
බටහිර විද්‍යාවට විරුද්ධව එක වචනයක් කියූ සැනින් අතුරු ප්‍රශ්න ගලා එන හසන්ත මහතාට මෙම වැඩසටහනටම පැමිණි මනෝ විකාර කියවන වෛද්‍ය වරයෙක් “ඔය කියන විදිහට බුදුහාමුදුරුවෝ සක්වලටම ඇහෙන්න බන කිව්වා නම් අඩු තරමින් ඉන්දියාවේ වත් ඉතා සුළු කොටසක හැර බුද්ධාගම පැතිරුනේ නැත්තේ ඇයි? “ කියා අවඥා සහගත ලෙස මුග්ධ ප්‍රකාශයක් කරද්දී ඒ ගැන අතුරු ප්‍රශ්න මතු වූයේ නැත. බුදු දහමේ “මනස” යනු මූලික ඉගැන්වීමකි. ඒ ගැන  “ශරීරයක් නැති- ස්පර්ශ කල නොහැකි” ආදී වශයෙන් ඉගැන්වෙන ඉතා ගැඹුරු විග්‍රහයක් බුදු සමයේ එයි. නමුත් මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා විසින්  “මනස යනු මේ මොලය සහ ඉන්ද්‍රියයන්ගේ ක්‍රියාකාරීත්වය පමණක්ය”  යනුවෙන් බෞද්ධ මතයට පටහැනි විග්‍රහයක් ඉදිරිපත් කරන විට දොරමඩලාවට එය දිරවා ගත හැකිය. කාලාම සුත්‍රයේ භාග්‍යවත් අරහත් බුදු පියාණන් වහන්සේ දේශනා කල “වීඤඤූන්” යනු බටහිර විද්‍යාඥයන් යයි කාලෝ ෆොන්සේකා මහතා කියන විට හසන්ත මහතාට අතුරු ප්‍රශ්න නැත. බුදු දහමේ කරුණු වලට ප්‍රති විරුද්ධව කොපමණ විග්‍රහයන් කලත් දොරමඩලාවට ඒ දිරවා ගත හැකිය.
නමුත් විද්‍යාවට විරුද්ධව සෘජු ප්‍රකාශ කරන විට ඒ දිරවාගනීමට දොරමඩලාවට නොහැකිය. බෞද්ධ විග්‍රහයකදී වෙනත් ආගමක දර්ශනයක විශ්වාසයක පදනම් වලට පහරක් විවේචනයක් එල්ල වේ නම් හසන්ත මහතා වහා ඉදිරිපත්ව දොරමඩලාව අන්‍ය ආගම වලට ගරු සරු කරන ඉතාම සාමකාමී වැඩසටහනක් බවට කරුණු දක්වා තත්වය තුලනය කිරීමට වග බලා ගනු මම බොහෝ විට දැක ඇත්තෙමි. නමුත් මූලික බෞද්ධ විශ්වාසයක් වන “මනස” ගැන භෞතික වාදී ලෙස විග්‍රහ කර ඊට පහර ගසන විට හසන්ත මහතා ඒ තුලනය නොකර නිහඬව සිටී. සිංහල බෞද්ධයකු වන නලින් ද සිල්වා ගුරුතුමා එවැනි ප්‍රහාර නොඉවසා ඊට විරුද්ධ කරුණු දැක්වීම් කරන විට දොරමඩලාවට ඔහු සාහසිකයෙකි. අහෝ මාගේ මවුබිම අවධි කරන හඬ!!!
මා කියන්නේ දොරමඩලාව මුළුමනින්ම බෞද්ධ විරෝධී වැඩසටහනක් බව නොවේ. එහි එවැනි න්‍යායපත්‍රයක්ද ඇති බවද නොවේ. නමුත් බටහිර විද්‍යාවට ඇති බිය, ඒ හමුවේ ලොවම දක්වන නිවට නියාලු බව දොරමඩලාවටත් පොදු වී ඇති බැවින් විටෙක දොරමඩලාවද නොමග යයි. ඔව්, අපේ අධ්‍යාපන ක්‍රමය, නීතිය, තාක්ෂණය, ආර්ථික ක්‍රියාවලිය, දේශපාලනය සියල්ල බටහිර දැනුමට යටවී ඒ මත පදනම් වී ඇති බව සැබෑවකි. එනිසා එක්වරම බටහිර විද්‍යාව ප්‍රතික්ෂේප කරන මතවාද වලට දැඩි බියක් ඇති වීමද සහේතුකය. නමුත් මේ නිවට බවට තවදුරටත් කාලය නොවේ. මේ අප විසින් අපේම වූ දැනුමක් නිර්මාණය කරනු පිණිසත්, නිවහල්ව නිරවුල්ව සිතනු පිණිස අනාගත පරපුර යොමු කලයුතු කාලයත්ය. මේ ගැලීලියෝ ගේ සිට නිව්ටන්ගේ සිට අයින්ස්ටයින් දක්වා උගන්නත් ඒ උගනිමින්ම එහි හරසුන් බව දකින්නට කාලයයි. මේ බටහිර දැනුමෙන් බිහිකල රුපවාහිනිය ගුවන්විදුලිය, කසල ගොඩක් වන අන්තර්ජාලය තුලද සිටිමින් ඒවාට වන්දනා නොකර නිවහල්ව සිතමින් වඩා සුදුසු සන්නිවේදන ශිල්ප ක්‍රම ගැන සිතීමට කාලයයි.
මේ න්‍යෂ්ඨික යුද්ධයකදී හෝ වෙනත් ප්‍රබල යුධ ප්‍රහාරයකදී හෝ අපට වන්නේ කුමක්දැයි සිතමින් ඊට සූදානම් වෙන අතරතුර එවන් විනාශයන් බිහි නොකරන තණ්හාවෙන්, වෛරයෙන් වියරු වැටී මිනිසාත් පරිසරයත් විනාශය කරා ගෙන නොයන දැනුමක් බිහි කිරීමට උත්සහ කල යුතු කාලයයි. මේ නිවනින් ඈතට නොයන සතර අපායට මග විවර නොකරන ජීවන රටාවකට හුරු වීමට කාලයයි. ඒ සඳහා අධ්‍යාත්මික මග සකලාංග පරිපූර්ණව උතුම් වූ ත්‍රිපිටකයේ ඇත. ලෞකික ලොවෙහි අපේ ජීවන රටාව සැකසීමට අවශ්‍ය දැනුම අප නිර්මාණය කල යුතු වෙයි. එහිදී බටහිර විද්‍යාවේ මූලිකාංග ප්‍රතික්ෂේප කිරීම නොවැලකිය හැකිය. දොරමඩලාවට ඒ තේරුම ගැනීමට නොහැකි නම් එය මාගේ දේශය අවධි කරන හඬක් වන්නේ නැත. දොරමඩලාව බෞද්ධ විරෝධී යන්න මගේ නිගමනය නොවේ. බොහෝ සංඝයා වහන්සේ වැඩම කරවා, මුලසුන දී ගෞරවයෙන් සලකා ධර්ම විග්‍රහයන් සිදුකෙරෙන දින බොහෝ ඇත. ඒ ගැන නැවතද ප්‍රශංසා කරමි. නමුත් එහි වරද වරද බව දැන ඒ නිවැරදි කරගත යුතු තැන් ඇත. භික්ෂූන් වහන්සේලා හෝ වෙනත් බෞද්ධයන් දොරමඩලාවේ හෝ වෙනත් රූපවාහිනී වැඩසටහනකදී වෙනත් ආගමික සංකල්ප විවේචනය කිරීම හෝ ඒවාට ව්‍යංගයෙන් හෝ පහර ගැසීමක් අපට දකින්නට නැත. එබැවින්, කාලාම සූත්‍රය හෝ “මනස” ආදී වෙනත් බෞද්ධ සංකල්ප ගැන විග්‍රහ කිරීමේදී අබෞද්ධයන් හෝ බෞද්ධ විශ්වාසයන්ට විරුද්ධ අදහස් දරන්නන් සහභාගී නොකර ගෙන සිටීම වඩා හොඳය. නමුත්, එසේ නොකර බැරි නම්, ඊට ප්‍රතිචාර දක්වන ශ්‍රද්ධාවන්ත බෞද්ධයන්ටද ඊට සමානව නොව වැඩි ඉඩක් සහ කාලයක් වෙන කිරීම අත්‍යාවශ්‍ය වෙයි.
බටහිර විද්‍යාව, විශේෂයෙන් බටහිර සෛද්ධාන්තික භෞතික විද්‍යාව, බටහිර ගණිතය ඇතුළු දැනුම් පද්ධතිය බිඳ වැටී ඇති නමුත් ඒ සමාජයට නොපෙනෙන නොදැනෙන බැවින් සහ එහි ආධිපත්‍ය තවම ක්‍රියාත්මක බැවින් ඊට එරෙහි වන්නන්ට ඇති බාධක ගැන අමුතුවෙන් කිවයුතු නොවේ. ගුරුත්වාකර්ෂණ ප්‍රවාදය බටහිර විද්‍යාවෙන්ම බොරුවක් කොට බිඳ දමා(ඒද තවත් බොරුවකිනි) වසර සියයකට ආසන්න වන කල තවමත් ගුරුත්වාකර්ෂණය පරම සත්‍යකැයි උගන්වන ඉගෙන ගන්නා ලොවක නලින් ද සිල්වා ගුරුතුමා කල විශාල වැඩකොටසක් තිබේ. දොරමඩලාවට හෝ අප සමාජයේ ඇති බහුතරයට ඒ ගැන මනා අවබෝධයක් නැති බව මම දනිමි. එතුමා සර්ව සම්පූර්ණ නොවන බවද මම දනිමි. නමුත්, එතුමා විසින් නිර්මාණය කරන ලද සංකල්ප සහ දැනුමට කරුණු සහිතව අභියෝග කිරීමට කිසිවකු මෙතෙක් සමත් වී නැති බව පැහැදිලිය. එනිසා දොරමඩලාව කල යුත්තේ සිංහල බෞද්ධ දැනුම් පද්ධතියක් සමාජගත කිරීමට වේදිකාවක් වී එහි තේමා ගීතයේ ඇති පරිදිම “පින් බිමක්” වීම බව කියනු කැමැත්තෙමි. තවද, “පින” යන්නද  කාලෝ ෆොන්සේකා ගේ ඉන්ද්‍රිය ගෝචර ලෝකයට හෝ බටහිර විද්‍යාවට කිසිදින හසු නොවන බෞද්ධ සංකල්පයක් බවත් එනිසාම සැබෑම පින් බිමක් වීමට නම් දොරමඩලාව “පින් පව් හඳුනන මෙලොව පරලොව විශ්වාස කරන අපේ මිනිසුන්ට” විවර කල යුතු වැඩසටහනක් බවට අවසන් වශයෙන් සටහන් තබමි. නැතහොත් එහි තේමා ගීතය බොරුවක් නොකොට වෙනස් කර ගැනීම සුදුසුය.
දොරමඩලාව සැබෑම පින් බිමක් වේවා!!!
- සසිත්

March 14, 2013 at 12:01 am | lanka C news
http://lankacnews.com/sinhala/main-news/91739/

1 comments:

Unknown said...

ලිපියේ ඇති සමහර කරුණු සමග තදබල ලෙස විරුද්ධයි, නමුත් හසන්තගේ බාධා කිරීම් ගැන එකඟ වෙන්න බැහැ. ඊටත් වඩා නලින් මහාචාර්ය වරයෙක් ලෙස ඊට පිළිතුරු දුන්නේ අරිට වඩා ආවේගශීලී ලෙස.

කොහොමත් දොරමඬලාව මේ වැඩසටහන උප්පත්තියේ සිටම අනාගත්තය යන්න මගේ අදහස. "දැනුම යනු කුමක්ද" වගේ මානව චින්තනයේ ගැඹුරුම තැන ස්පර්ශ කරන මාතෘකාවක් විනාඩි 40න් කතා කරන්න පුළුවන් දෙයක් නොවන බව ඕනෑම මිනිසෙකුට වැටහෙනවා. දොරමඬලාව කළේ බොරදියේ මාළු බාමින් මල්ල තරකර ගන්න යන්නයි මගේ ඍජු නිරීක්ෂණය.

පුද්ගලිකව මා නලින්ගේ දර්ශනය සහමුලින්ම ප්‍රතික්ෂේප කරන්නෙක් වුණත්, ඔහුට සිදු වූ අසාධාරණය ගැන බලවත් ලෙස කම්පා වෙනවා.