Pages

Monday, March 11, 2013

යටත් විජිත යුගයේ බලපෑම් පරාජය කොට බුදු දහම රැකගැනීමට භික්‌ෂූන් නැගී සිට දූරදර්ශීව ක්‍රියා කළා - ජනපති

රාමඤ්ඤ මහ නිකායේ මහනාහිමි නාපානේ පේමසිරි නාහිමිට අක්‌ත පත්‍ර ප්‍රදානය කිරීමේ උළෙල

බුදු දහම පාගා දමන්න බෞද්ධයන්ගේ අයිතිවාසිකම් උදුරා ගන්න යටත් විජිත යුගයේදී විවිධ බලවේග කටයුතු කරද්දී ඒවා පරාජය කිරීමට අපේ භික්‌ෂුන් වහන්සේලා නැගී සිට ඉතා වැදගත් දූරදර්ශි ක්‍රියා මාර්ග ගත් බව ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා පැවැසීය.

රාමඤ්ඤ මහා නිකායේ මහානායක ධුරයට පත් අති පූජ්‍ය නාපානේ පේමසිරි නාහිමියන්ට අක්‌ත පත්‍ර ප්‍රදානය කිරීම සඳහා පෙරේදා (09 වැනිදා) කොළඹ නිදහස්‌ චතුරශ්‍රයේ පැවැති උත්සවය ඇමැතූ ජනාධිපතිවරයා මේ බව පැවැසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා මෙසේද කීය.

අතිපූජ්‍ය නාපානේ පේමසිරි මහ නායක ස්‌වාමින් වහන්සේට රාමඤ්ඤ නිකායේ මහා නායක ධුරයට අක්‌ත පත්‍ර ප්‍රදානය කරන්නට ලැබීම ගැන මම ඉතාමත්ම සතුටු වෙනවා. ඔබ වහන්සේට අක්‌ත පත්‍ර ප්‍රදානය කරන්න ලැබීම මගේ ජීවිතයේ මහා පිංකමකට දායක වීමක්‌ කියලා හිතන්න මම කැමැතියි.

ඔබ වහන්සේ කන්ද උඩරට බොහොම උදාර සිංහල බෞද්ධ පවුලක දරුවෙක්‌ විදියට බාල කාලය ගෙවලා 1933 දී සසුන්ගත වුණා. ඔබ වහන්සේගේ ගිහි නම ඒකනායක මුදියන්සේලාගේ මහකුඹුරේ ගෙදර ටිකිරි බණ්‌ඩාර කියලා මම අහලා තියෙනවා. මුල් යුගයේ ඔබ වහන්සේ ඉගෙන ගත්තෙත් මේ රටේ බෞද්ධ පුනර්ජීවනය සඳහා මුල් වුණ පරමවිඥනාර්ථ බෞද්ධ සංගමයට අයිති පාසලක. ඒ අමුණුගම ගුන්නෑපාන පාසලේ. 

ශ්‍රී විද්‍යාසාර මහා පිරිවනේ හතළිස්‌ දෙවැනි ශිෂ්‍යවරයාණන් හැටියට තමයි ඔබ වහන්සේ පැවිදි බවට පත්වුණේ කියලා අනුනායක හිමිපාණන් වහන්සේ පැවසුවා. මුල් යුගයේ ඔබ වහන්සේලා ධර්ම ශාස්‌ත්‍රීය ඥනය වැඩි දියුණු කර ගන්න වුණ මහන්සිය අද පරපුරේ භික්‌ෂුන් වහන්සේලා කාටත් ලොකු ආදර්ශයක්‌.

රටට, දැයට, බුද්ධාගමට, තැනක්‌ නොතිබුණ යුගයක තමයි ඔබ වහන්සේ සාසනයට ඇතුළු වුණේ. ඔබ වහන්සේලා ඒ යුගයේ බොහොමයක්‌ පතපොත අමාරුවෙන් සොයා සපයාගෙන වනපොත් කරලා තමයි ඉගෙන ගත්තේ. ඒ නිසාම ඔබ වහන්සේගේ ධාරණ ශක්‌තිය බොහොම ඉහළයි. සංස්‌කෘත ශ්ලෝක වේවා, පාලි භාෂාව වේවා, ධර්ම දේශනාවලදී සුදුසු පරිදි ගලපාගෙන දේශනා කරන්න ඔබ වහන්සේ දන්නවා.

අද නම් මේ වන පොත් කිරීම නැතිනම් කට පාඩමෙන් මතක තියා ගැනීමේ අධ්‍යාපන ක්‍රමය අපෙන් ගිලි හිලා ගිහින් කියලයි මට හිතෙන්නේ. 

බුද්ධ පුත්‍රයන් වුණ අපේ හාමුදුරුවරුන් තුළ තිබිය යුතු කරුණාවන්තකම ඔබ වහන්සේ ළඟ ඉතාම ඉහළින් තියෙන බව කවුරුත් පිළිගන්නවා. පන්සලට යන එන ඕනෑම කෙනකුට මොනවායින් හෝ සංග්‍රහ කරලා තෑග්ගක්‌ දීම ඔබ වහන්සේගේ පුරුද්දක්‌ කියලා මට අහන්න ලැබිලා තියෙනවා. අපේ භික්‌ෂු පරපුරේ තියෙන ඒ සංග්‍රහශීලී කරුණාවන්තකම ගැන අස්‌ගිරියට, මල්වත්තට, අටමස්‌ථානය, සිතුල්පව්ව, මහානායක හාමුදුරුවන්ගේ විහාරය, විද්‍යාලංකාර පිරිවෙන, කිරි වෙහෙරට හෝ වෙනත් ඕනෑම පන්සලකට ගියත් මටත් අත්දකින්න ලැබිලා තියෙනවා.

හාමුදුරුවනේ

අද බුදු දහමට විශාල අභියෝග තියෙන බව සමහරු කියනවා මට ඇහිලා තියෙනවා. මට මතක්‌ වෙනවා බුදු දහම පාගා දමන්න බෞද්ධයන්ගේ අයිතිවාසිකම් උදුරා ගන්න කටයුතු කළ යටත් විජිත යුගය. යටත් විජිත යුගයේ අපේ භික්‌ෂුන් වහන්සේලා නැගී සිට ඉතා වැදගත් දුරදර්ශි ක්‍රියාමාර්ගයක්‌ අනුගමනය කළා.

හික්‌කඩුවේ සුමංගල මහනායක හාමුදුරුවෝ යටත් විජිතවාදීන්ට එරෙහි අදහස්‌ දැරුවා. බුදු සසුන වෙනුවෙන් කළ පානදුරාවාදය වාගේ මහ වාද විවාදවලටත් උදව් කළා. ඒ අතරෙම ඉතා දූරදර්ශී විදියට හිතලා බෞද්ධ අධ්‍යාපන ආයතන පිහිටුවන්න එදා අපේ නායක ස්‌වාමීන් වහන්සේලා මූලික වෙලා කටයුතු කළා. විදේශ භාෂා ප්‍රගුණ කළා.

බෞද්ධ අධ්‍යාපනය ලබපු ඊළඟ පරපුර විශාල ජාතික ආගමික සේවයක්‌ කළා. කියමනක්‌ තියෙනවා ඔබට ගහක්‌ හදන්න ඕනෙ නම් බීජයක්‌ සිටවන්න. රටක්‌ හදන්න ඕනෑනම් අධ්‍යාපනය ලබාදෙන්න කියලා.

හාමුදුරුවනේ·

ඔබ වහන්සේ අතිනුත් මේ රටේ බෞද්ධ අධ්‍යාපනයට විශාල සේවයක්‌ වුණා. ඔබ වහන්සේගේ මූලිකත්වයෙන් කැටවල විද්‍යාලෝක පිරිවෙන, හුරිකඩුව විද්‍යාසාගර පිරිවෙන, සඳගිරි ලෙන් තපෝවනය, අලුත් වත්ත සිරිසුමන නව මැදගම යදිරාම පිරිවෙන වාගේ පිරිවෙන් ආරාම, අධ්‍යාපන ආයතන රාශියක්‌ ආරම්භ වුණා.

දහම් පාසල්ම පහක්‌ ඔබ වහන්සේ මුල් වෙලා ආරම්භ කරලා තියෙනවා. පල්ලේකැලේ එළිමහන් සිර කඳවුරේත් දහම් පාසලක්‌ ආරම්භ කළේ ඔබ වහන්සේයි. උද්ඝෝෂණ සටන් පාඨ දහසකට වඩා බෞද්ධයා නගා සිටවන්න කළ මේ සේවය වටිනවා. ඒක බොහෝම දූරදර්ශි සේවයක්‌.

ඉන්දියාව, මැලේසියාව, ඔස්‌ටි්‍රයාව, ජර්මනිය, ස්‌විට්‌සර්ලන්තය, එංගලන්තය, සිංගප්පූරුව වගේ රටවල් වලට වැඩම කරලා ධර්ම ප්‍රචාරක කටයුතු සිදු කරන්නත් ඔබ වහන්සේ මූලිකත්වය ගෙන තියෙනවා.

ඒ වගේම අපේ නායක හාමුදුරුවෝ දෙස්‌ විදෙස්‌ ගරු සම්මාන රැසකින් සම්භාවනාවට පාත්‍ර වූ යතිවරයාණන් වහන්සේ නමක්‌. ඔබ වහන්සේ සාසන සෝභන, ත්‍රිපිටක වාගිශ්වරාචාර්ය සිරි සීලවංස, වංශාලංකාර පරියත්ති විශාරද විනයාචාර්ය, රාජකීය පණ්‌ඩිත ඇතුළු ගරු නාම රැසකින් පිදුම් ලැබීමට ඔබ වහන්සේගේ දැනුම සමත් වුණා. ඒ විතරක්‌ නොවෙයි මියන්මාර් රජයෙන් පිරිනමන ඉහළම ගෞරව නාමය වන අග්ගමහා පණ්‌ඩිත නාමයත් ඔබ වහන්සේට ලැබුණා.

අද රාමඤ්ඤ මහා නිකායේ මහ නායක පදවියට ඔබ වහන්සේ පත්වෙන්නේ මේ වාගේ විශාල සේවයක්‌ ඉටු කරලයි. මීට පෙර රාමඤ්ඤ මහා නිකායේ මහා නායක පදවිය ස්‌වාමීන් වහන්සේලා දොළොස්‌ නමක්‌ හොබවලා තියෙනවා. අති පූජ්‍ය වේවැල්දෙණියේ මේධාලංකාර හාමුදුරුවන්ගෙන් පස්‌සේ ඔබ වහන්සේ පත්වෙන්නේ 13 වැනි මහා නායක හිමි හැටියට. හේන්පිටගෙදර ඥනසීහ නායක හාමුදුරුවෝ වගේම බද්දේගම විමලවංශ නායක හාමුදුරුවොත් ඉඳුරුවේ උත්තරානන්ද, ලබුදූවේ සිරිධම්ම ස්‌වාමීන්ද්‍රයන් වහන්සේලා රාමඤ්ඤ නිකාය බබලවන්න කටයුතු කළ ස්‌වාමීන් වහන්සේලා. ඒ වාගේම ඔබ වහන්සේගෙන් නිකායට වුණ සේවයත් ඉතාම විශිෂ්ටයි. අවුරුදු 25-30 ක්‌ පුරා නිකායේ රැස්‌වීම්වලට ඔබ වහන්සේ බොහොම කැපවීමෙන් සහභාගි වෙලා තියෙනවා. බොහෝ තනතුරු දීර්ඝ කාලයක්‌ දරලා තියෙනවා.

අද වනවිට රටේ සියලුම පළාත්වල විහිදුණු පන්සල් දෙදහස්‌ පන්සියයකට වඩා වැඩි ප්‍රමාණයක්‌ රාමඤ්ඤ නිකායට අයත් බව දැනගන්න ලැබුණා.

භික්‌ෂූන්ගේ එකමුතුකම සැපතකි. කියන ධර්ම අවවාදය මේ රාමඤ්ඤ නිකායට පදනම් කරගෙන තිබෙනවා. ඔබ වහන්සේලාගේ එකමුතුකම රටේ සැපයටත් හේතුවෙන බව මම කියන්න ඕනෑ. සියම්, අමරපුර, රාමඤ්ඤ වේවා කොයි නිකායත් මේ රටේ බෞද්ධයාට කළ මෙහෙවර අති ශ්‍රෝෂ්ඨයි. හැම ගංගාවක්‌ම මුහුදට එකතු වුණාම එකම ලුනු රසයක්‌ ලැබෙනවා වාගේ ඔබ වහන්සේලාත් එකම ශ්‍රෝෂ්ඨ අරමුණකින් බැඳිලා ඉන්න බව කියන්න ඕනෑ. ඒ මේ රට ධර්මද්වීපයක්‌ කරන අරමුණ. මේ රට ගුණධර්ම පිරි රටක්‌ කරන අරමුණ. ඒ සඳහා අද මහ නායක පදවිය දරන ඔබ වහන්සේට රට ඉදිරියට ගෙන යන්නට තව තවත් ශක්‌තිය චිර ජීවනය ලැබේවා· යි මම ප්‍රාර්ථනා කරනවා.

චානක්‍ය ජයගොඩ 
http://www.divaina.com/2013/03/11/news28.html

0 comments: