Pages

Wednesday, March 6, 2013

අපේ අභිමානවත් ඓතිහාසික උරුමය සියලු දෙනා රැකිය යුතුයි - ජනපති

තිස්‌වසරක්‌ පැවැති යුද්ධය නිමාකිරීමෙන් පසු ලැබී තිබෙන නිදහස තුළින් අපිට ලෝකයේ ජාතියක්‌ වශයෙන් අභිමානයෙන් සිට ගන්න පුළුවන්. ඒ අභිමානය අපට ඇතිකළේ අපේ ඓතිහාසික උරුමයයි. රටට, ජාතියට ආදරය කරන සියලු දෙනා මේ උරුමය රැකගත යුතු යයි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවැසීය.

දෙමටමල් රජමහා විහාරාධිපති මොණරාගල දිස්‌ත්‍රික්‌කයේ ප්‍රධාන සංඝනායක ගල්ටැම්වත්තේ චන්ද්‍රජෝති නාහිමිපාණන් වහන්සේට හා කිරිවෙහෙර රජමහා විහාරාධිපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක ඌව විශ්වවිද්‍යාලයේ කුලපති මහෝපාධ්‍යාය ආචාර්ය අළුත්වැව සෝරත නාහිමිපාණන් වහන්සේට උපහාර පිදීමේ උත්සවය අමතා ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

යුදගනාව රජමහා විහාරස්‌ථානයේදී අස්‌ගිරි පාර්ශ්වයේ මහානායක අග්ගමහා පණ්‌ඩිත සද්ධර්ම කීර්ති ශ්‍රී උඩුගම බුද්ධරක්‌ත මහානායක හිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (4) මෙම උපහාර උත්සවය පැවැත්විණි.

ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්‌ගිරි පාර්ශ්වයට වසර හත්සියයක්‌ පිරීම නිමිත්තෙන් යුදගනාව රජමහා විහාරයේ ඉදිකළ බුද්ධ මන්දිරය ද විවෘත කිරීම ජනාධිපතිවරයා අතින් සිදුකෙරිණි.

ජනාධිපතිවරයා එහිදී මෙසේ ද කීවේය.

අද ඓතිහාසික යුදගනා රජමහා විහාරයේ මේ පුෙණ්‍යාaත්සවයට සම්බන්ධ වෙන්න ලැබීමත් භාග්‍යයක්‌ හැටියටයි මම සලකන්නේ. අපි වෙල්ලස්‌සේ පින්වත් ජනතාවත් එක්‌ක මීට සුළු වේලාවකට කලින් සම්බුද්ධ මන්දිරය විවෘත කළා. ඒ අස්‌ගිරි රජමහා විහාරයට වසර හත්සියයක්‌ සම්පූර්ණවීමේ වටිනා සිහිවටනයක්‌ හැටියටයි. මල්වතු සහ අස්‌ගිරි විහාර භික්‌ෂු පරපුර අතීතයේ ඉඳන් විශාල දුක්‌ මහන්සියක්‌ ශාසනය වෙනුවෙන් දැරුවා. සතුරු ආක්‍රමණවලදී ජීවිත දෙවැනිකොට සලකලා දළදා වහන්සේ රැක ගත්තා. මල්වතු අස්‌ගිරි විහාරයේ ශ්‍රේෂ්ඨ මෙහෙවර ජාතියේම පූජාවට පාත්‍ර වෙනවා. අදත් මල්වතු මහානායක හාමුදුරුවො, අස්‌ගිරි මහානායක හාමුදුරුවො ජාතික වගකීම් වලදී, ජාතික අවශ්‍යතාවලදී පෙරමුණ අරන් අතීත කාර්යභාරය අඩුවක්‌ නැතිව ඉටුකරනවා විතරක්‌ නෙවෙයි රජයේ ක්‍රියාමාර්ග හරි මග ගෙන යන්න අනුශාසනා කරමින් උන්වහන්සේලා කටයුතු කරනවා.

මේ උත්සවය ඒ වගේම වටිනා තවත් ශාසනික පුෙණ්‍යාaත්සවයක්‌. ඌව වෙල්ලස්‌සට වාගේම අපේ රටට, ජාතියට විශාල සේවයක්‌ කරපු මහා ස්‌වාමීන් වහන්සේලා දෙනමකට උපහාර දැක්‌වීමේ උත්සවයක්‌ තමයි අද පවත්වනු ලබන්නෙ. මහෝපාධ්‍යාය ගල්ටැම්වත්තේ චන්දජෝති නායක හාමුදුරුවොත්, ඌව වෙල්ලස්‌ස විශ්වවිද්‍යාලයේ උපකුලපති මහෝපාධ්‍යාය අලුත්වැව සෝරත නායක හාමුදුරුවොත් වෙනුවෙන් මේ උපහාර පූජෝත්සවය පැවැත්වෙන්නේ. මල්වතු අස්‌ගිරි මහානායක හාමුදුරුවරුන්ගෙන් වගේම උන් වහන්සේලා දෙනමගෙන් වුණු ශාසනික මෙහෙවර, සමාජ මෙහෙවර ගැන මේ රටේ ජනතාව හොඳින් දන්නවා.

ඌව වෙල්ලස්‌ස ගැන අපි කතා කරන්නේ බොහෝම අභිමානයෙන්. ඒ වෙල්ලස්‌ස අතීතයේ ජාතියට අත්කර දුන් ජයග්‍රහණ නිසයි. රටේ ස්‌වාධීනත්වය රැක ගන්න දිවි පිදූ ඉතිහාසයක්‌ ඌව වෙල්ලස්‌සේ ජනතාවට තියෙනවා. ඒ ඓතිහාසික උරුමය වර්තමානයෙත් බබලවන්න අපේ නායක හාමුදුරුවරු දෙනමගෙන් ඌවට අනුපමේය මෙහෙවරක්‌ ඉටුවෙනවා. ඒ නිසා මේ අවස්‌ථාවට සාසනික වශයෙන් වගේම ජාතික වශයෙන් වැදගත්වෙන අවස්‌ථාවක්‌ හැටියටයි මම විශ්වාස කරන්නේ. අපේ චන්දජෝති නායක හාමුදුරුවො ශාසනයට සම්පතක්‌.

සම්බුද්ධ ශාසනයේ චිරස්‌ථිතියට උන්වහන්සේ සිදුකරන සේවය ලෝකයාගේම ප්‍රශංසාවට ලක්‌ වෙන්න ඕනෑ. විහාරස්‌ථාන පහක්‌ උන්වහන්සේගේ නායකත්වයෙන් ගොඩනැඟිලා තියෙනවා. මේ සෑම විහාරස්‌ථානයක්‌ම ඓතිහාසික වටිනාකම් ඇති විහාරස්‌ථාන, ඒ ඓතිහාසික බව වගේම පුරා විද්‍යාත්මක උරුමයත් රැකගෙනයි අපේ නායක හාමුදුරුවෝ මේ විහාරස්‌ථාන දියුණු කරන්නෙ. දෙමටමල් රජමහා විහාරය වගේම යුදගනා රජමහා විහාරයත් දකිනකොට අපේ නායක හාමුදුරුවන්ගේ සම්බුද්ධ ශාසනයට තිබෙන ආදරය අපට ඉතා හොඳින් පැහැදිලි වෙනවා.

සියවස්‌ ගණනාවක්‌ ගරා වැටෙමින් තිබුණ දෙමටමල් රජමහා විහාරයේ දාගැබ් වහන්සේත් අපේ නායක හාමුදුරුවන්ගේ අධිෂ්ඨානය නිසයි සංරක්‌ෂණය වුණේ. එවකට තිබුණු රජයන්ගේ සහයෝගය උන්වහන්සෙ ලබා ගත්තා. ඒ පුණ්‍යකර්මය දැවැන්ත ජාතික, ආගමික පුනරුදයක්‌ හැටියට අපිට හඳුන්වන්න පුළුවන්. එදා කොළඹ කලාභවනේ ඉඳලා දවස්‌ හයක්‌ තිස්‌සේ පෙරහැරකින් කොත් වහන්සේ වැඩැම්මෙව්වා. එදා අපේ රටේ බෞද්ධයෝ ලක්‍ෂ සංඛ්‍යාත බැතිමතුන් පිරිසකගේ වන්දනා මානයට අවස්‌ථාව උදා කරලා දුන්නා. මේ විදියට තමයි මේ ප්‍රදේශවල ජනතාවට අලුත් ගොඩනැගීමක්‌ සිදුවුණේ. මේ රටේ අවුරුදු 30 ක්‌ පැවැති යුද්ධයෙන් පස්‌සෙ අපිට බියෙන් හා සැකයෙන් තොරව ජීවත් වෙන්න නිදහස ලැබිලා තියනවා. ඒ ලැබුණ නිදහස තුළින් අපිට ලෝකයේ ජාතියක්‌ වශයෙන් අභිමානයෙන් සිටගන්න පුළුවන්.

අපේ අභිමානය අපිට ඇතිකළේ අපේ ඓතිහාසික උරුමය රටට, ජාතියට ආදරය කරන සියලු දෙනා මේ උරුමය රැකගන්න ඕනෑ. රටේ ඓතිහාසික පුරාවස්‌තු සහ සිද්ධස්‌ථාන රැක ගැනීම තුළින් අපේ නායක හාමුදුරුවෝ ජාතියට, රටට තියෙන ආදරය ඔප්පු කරලා තියෙනවා. ඌව වෙල්ලස්‌ස කියන්නේ සිය දහස්‌ ගණනක්‌ අපේ උරුමය වැළලිලා තියෙන පින්වන්ත භූමියක්‌, මේවා පිටට යන්න දෙන්නෙ නැතිව අපේ නායක හාමුදුරුවෝ කුඹුරු අක්‌කර ගණනක්‌ මුදල් දීලා අත්පත් කරගෙන ඒ කුඹුරුවල තිබුණු පුරා විද්‍යා ස්‌ථාන සංරක්‌ෂණය කළා. මේ වෙනුවෙන් වියදම් කළ රුපියල් කෝටි ගණනක මුදල් අපේ ජාතියේ රකිනවා කියලායි මම විශ්වාස කරන්නේ.

නායක හාමුදුරුවන්ගේ ශාසනික ජීවිතය මේ වෙනකොට අවුරුදු 70 ක්‌ ඉක්‌මවලා. උන්වහන්සේ සිය ජීවිතයම කැප කළේ සම්බුද්ධ ශාසනයට ජාතියට රටට සමාජයට. අපේ ජාතියම වෙනුවෙන් අපි උන්වහන්සේව උපහාරයට ලක්‌ කරනවා. මේ ප්‍රදේශයේ උන්වහන්සේගේ පය නොගැටුණු තැනක්‌ නැති තරම් බවයි. මට දැනගන්න ලැබුණේ. පළාතේ මං මාවත්, පාසල්, ජල විදුලිය වගේ බොහෝ සම්පත් හාමුදුරුවන්ගේ මැදිහත්වීම නිසයි ලැබිලා තියෙන්නේ.

සියම් මහා නිකායේ අස්‌ගිරි පාර්ශ්වයේ අනුනායක නාරම්පනාවේ ආනන්ද, මල්වතු පාර්ශ්වයේ අනුනායක දිඹුල්කුඹුරේ විමලධම්ම, පැපිලියාන සුනේත්‍රාදේවි මහා පිරිවෙන් පරිවේනාධිපති මැදගොඩ අභයතිස්‌ස, ඌව වෙල්ලස්‌ස දෙදිසාවේ උප ප්‍රධාන සංඝනායක කන්දඋඩපංගුවේ සුධම්ම, අස්‌ගිරි පාර්ශ්වයේ මොනරාගල ප්‍රධාන සංඝනායක ගල්ටැම්වත්තේ ශ්‍රී චන්ද්‍රජෝති නායක ස්‌වාමීන් වහන්සේලාද අනුශාසනා පැවැත්වූහ.

සුමේධා ජයසේන, ගාමිණී විජිත් විජයමුණි සොයිසා, ජගත් පුෂ්පකුමාර, එම්. කේ. ඩී.එස්‌. ගුණවර්ධන යන ඇමැතිවරුන් ද, ඌව පළාත් ප්‍රධාන ඇමැති ශෂීන්ද්‍ර රාජපක්‍ෂ, ඌව ආණ්‌ඩුකාර නන්ද මැතිව්, මොණරාගල දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් බේරුගොඩ යන මහත්ම මහත්මීන් ඇතුළු පළාත් සභා, ප්‍රාදේශීය සභා මැති ඇමැතිවරුන් රැසක්‌ මෙම අවස්‌ථාවට එක්‌වූහ.


යුද ජයග්‍රහණයෙන් ලැබූ නිදහස නිසා ලෝකය ඉදිරියේ අභිමානයෙන් සිට ගැනීමට හැකිවුණා

ඓතිහාසික උරුමයෙන් අපට ලැබුණු ජාතිකාභිමානයෙන් තිස්‌ වසරක යුද්ධය නිමා කිරීමට හැකිවුණා
- ජනපති මහින්ද රාජපක්‍ෂ

බඩල්කුඹුර - රවීන්ද්‍ර ගුණතිලක, මොණරාගල - නයන ඉහළගෙදර
http://www.divaina.com/2013/03/06/news18.html


[
සබැඳි ලිපි -
දඹුල්ල අනවසර පල්ලිය, මුහුදු මහා විහාරය ඩෝසර් කිරීම, කූරගල බොදු බිම ආදිය පිළිබඳ මුස්ලිම් අන්තවාදයේ නිරුවත සැකෙවින්...
http://denethharinna.blogspot.com/2012/07/blog-post.html
අන්තවාදයෙන් වැනසෙන බොදු උරුමය, අරාබි තෙල් සහ මුස්ලිම් ව්‍යාපාර වර්ජනය පිලිබඳ කාලීන විග්‍රහයක්...
http://denethharinna.blogspot.com/2012/10/blog-post_23.html
දඹුල්ලේ බොදු උරුමයේ ඇත්ත මොකක්ද?
http://denethharinna.blogspot.com/2012/05/blog-post_45.html
මුහුදු මහා විහාරය ඩෝසර් කිරීම
http://denethharinna.blogspot.com/2012/06/blog-post.html
අක්කරෙයිපත්තුවේ වැනසූ ඉපැරණි දාගැබ (මොට්‌ටයාගල දාගැබ) - මුස්ලිම් අන්තවාදයේ ඊළඟ ගොඳුර කුමක්ද?
http://denethharinna.blogspot.com/2012/09/blog-post_11.html
http://denethharinna.blogspot.com/2012/09/2.html
අන්තවාදයේ නවතම බිල්ල - මුසල්මානුවන් වැනසූ අනුරපුර සෙනවිරත් පිරිවෙන
http://denethharinna.blogspot.com/2012/09/blog-post_8.html
]

0 comments: