Pages

Friday, May 9, 2014

ඉන්දියානු ජනමතය, බීඡේපී විදේශ පිළිවෙත හා ශ්‍රී ලංකාව

ඉන්දියානු මහ මැතිවරණයේ අවසාන අදියර මේ මස දොළොස්‌වැනිදා පැවැත්වෙන අතර, ඡන්ද ගණන් කිරීම 16 වැනිදාට යෙදී ඇත. ආසන 572 කින් සමන්විත ලෝක්‌ සභාවේ අඩක්‌ අසුන් දිනා ගැනීමට මෙවර කිසිදු පක්‌ෂයක්‌ අපොහොසත්වන ලකුණු පෙනුන ද භාරතීය ජනතා පක්‌ෂය (බීඡේපී) ප්‍රමුඛ සන්ධානය ආසන 200 කට වැඩි සංඛ්‍යාවක්‌ හිමි කරගනු ඇතැයි අපේක්‌ෂා කෙරේ. බීඡේපී නායකත්වයට නම්කර ඇති ගුජරාට්‌ ප්‍රාන්තයේ ප්‍රධාන ඇමැති නරේන්ද්‍ර මෝඩි මහතා මීළඟ අගමැති වනු ඇතැයි විවිධ සමික්‌ෂණ වාර්තා සනාථ කරයි.

බීඡේපී ප්‍රමුඛ සන්ධානයට ආසන 272 ක්‌ හිමි වුවහොත් ඉදිරි පස්‌ වසරේ නවදිල්ලියේ ශක්‌තිමත් රජයක්‌ බලාපොරොත්තු වීමට පුළුවන. එහෙත් එම ප්‍රමාණය නොලැබුණහොත් වෙනත් පක්‌ෂ එකක්‌ හෝ කිහිපයක්‌ සමග සන්ධාන ආණ්‌ඩුවක්‌ පිහිටුවීමට මෝඩිට සිදුවනු ඇත. දැනට පෙනෙන පරිදි ජාතික පක්‌ෂ අතුරින් කොන්ග්‍රස්‌ පක්‌ෂයට ආසන සියයක්‌ පමණ හිමිව විරුද්ධ පක්‌ෂයේ අසුන් ගැනීමට සිදුවනු ඇත. මෙවර ආසන වැඩි සංඛ්‍යාවක්‌ බෙදී යන්නේ ප්‍රාන්ත පක්‌ෂවලට සහ සුළු පක්‌ෂවලටය. ප්‍රාන්ත කිහිපයක බලය සහිත වාමාංශික පෙරමුණට ආසන 50 ක්‌ පමණ ලැබෙතැයි සමීක්‌ෂණ පෙන්වා දෙන නමුත් ඔවුන් බීඡේපී රජයකට එක්‌වේයයි සිතිය නොහැක.

සුළු පක්‌ෂ අතරින් ඉදිරියෙන් සිටින්නේ බටහිර බෙංගාලයේ මමතා බැනර්ජිගේ "ත්‍රීණමූල් කොන්ග්‍රස්‌" තමිල්නාඩුවේ ජයලලිතා ජයරාම්ගේ "ඒඅයිඒ ඩීඑම්කේ පක්‌ෂය", උත්තර් ප්‍රදේශයේ මුලායන් සිං යාදව් ගේ "සමාජවාදී පක්‌ෂය", බිහාරයේ නිතිෂ් කුමාර්ගේ "ජනතා දාල්", ඔරිස්‌සාවේ නවීන් පට්‌නායක්‌ගේ "ඔරියා පක්‌ෂය". ජම්මු සහ කාශ්මීරයේ ඔමාර් අබ්දුල්ලාගේ "ජාතික සමුළුව", කරුණානිධිගේ "ඩීඑම්කේ පක්‌ෂය" සහ ආන්ද්‍රවේ තෙලිඟු දේශම් සහ සීමාන්ද්‍ර හෙවත් තෙලිංගානා නමින් නව ප්‍රාන්තයක්‌ ඉල්ලා සිටින පක්‌ෂත්ය. මේ පක්‌ෂ සෑම එකකටම ආසන 10 ත් 25 ත් අතර සංඛ්‍යා හිමිවීමට බෙහෙවින් ඉඩ ඇත.

නරේන්ද්‍ර මෝඩිට තනිව බීඡේපී රජයක්‌ පිහිටුවාගත නොහැකි වුවහොත් ඔහුට ඉහතකී එක්‌ පක්‌ෂයක්‌ හෝ වැඩි සංඛ්‍යාවක්‌ සමඟ එක්‌වීමට සිදුවේ. මැතිවරණ ව්‍යාපාරයේදී මෝඩි සහ ජයලලිතා අතරත් සෙසු නායකයින් අතර උණුසුම් වාද විවාද අපහාස, චෝදනා එල්ල වූ නමුත් දේශපාලනයේදී සදාකාලීක සතුරන් නැත යන සත්‍යය මත බීෙ-පී රජයකට මේ ඕනෑම කණ්‌ඩායමක්‌ සමග එක්‌වීමට හැකියාවක්‌ තිබේ. එක්‌වීමට නොහැකි තරම් ප්‍රතිවිරෝධී අදහස්‌ තිබෙන්නේ මෝඩි සහ ඔමාර් අබ්දුල්ලා අතරත් මෝඩි සහ නිතිෂ් කුමාර් අතරත් පමණි.

ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව සම්බන්ධ ප්‍රශ්න ගැන සලකා බැලීමේදී මෙරටට සෑහීමකට පත්විය හැකි වන්නේ ශක්‌තිමත් බීඡේපී රජයක්‌ තනිව පත්වුවහොත්ය. බීෙ-පී රජයක ශ්‍රී ලංකාවට ඇති අවදානම නම් එම සන්ධානය යටතේ තරග කරන එම්ඩීඑම්කේ නායක වී. ගෝපාලස්‌වාමි හෙවත් වයිකෝ හෝ පීඑම්කේ නායක එස්‌. රාම්දොස්‌ ජයගතහොත්ය. ඒඅයිඒ ඩීඑම්කේ, ඩීඑම්කේ සහ කොන්ග්‍රස්‌ ප්‍රතිවාදීන් පරදා රාම්දොස්‌ට ජයගත හැකි යයි සිතිය නොහැකි නමුත් තමාට විශාල සහායක්‌ සහිත ශිවකාසි කොට්‌ඨාසයේ තරග කරන වයිකෝට ජය ගැනීමට තරමක ඉඩකඩක්‌ ඇත.

බීඡේපී සන්ධානයට එක්‌ සුළු පක්‌ෂයක පමණක්‌ සහාය ලබා ගැනීම ප්‍රමාණවත් වුවහොත් ඔවුන් පළමුව බලාපොරොත්තුව තබනු ඇත්තේ ත්‍රිණමූල් කොන්ග්‍රසය කෙරෙහිය. එහෙත් ආසන 25 ක්‌ පමණ ජය ගැනීමට ඉඩ ඇති ජයලලිතාගේ ඒඅයිඒ ඩීඑම්කේ පක්‌ෂය බීඡේපී සන්ධානයකට එක්‌ වුවහොත් ශ්‍රී ලංකා ප්‍රශ්නයේදී රජයට බලපෑම් කිරීමට ඔවුන්ට අවස්‌ථාවක්‌ ලැබෙනු ඇත.

කලින් කොන්ග්‍රස්‌ පක්‌ෂයේ සන්ධානයේ සාමාජිකයකු වූ මුතුවෙල් කරුණානිධිගේ ඩීඑම්කේ පක්‌ෂය මෙවර තරග කරන්නේ තනිවමය. තමිල්නාඩුවේ ආසන 39 න් වැඩි සංඛ්‍යාව පසුගියවර හිමි වුවද ඩීඑම්කේ පක්‌ෂයට මෙවර ආසන 15 කට වඩා ජය ගැනීම දුෂ්කර වනු ඇත. එම පක්‌ෂයට බොහෝවිට කොන්ග්‍රසය සමඟ විපක්‌ෂයේ අසුන් ගැනීමට සිදුවනු ඇත.

මෙවර ඉන්දියානු මහ මැතිවරණයේ නවතම සාධකය වී ඇත්තේ අර්වින්ද් කෙඡ්රිවාල් ගේ ආම් ආද්මි පක්‌ෂයයි. අල්ලස්‌ දූෂණ විරෝධී බලවේගයක්‌ ලෙස බිහිවූ එම පක්‌ෂය තරග කරන්නේ සීමිත ආසන සංඛ්‍යාවකටය. මහත්මා ගාන්ධිතුමාගේ මුණුපුරෙකු වනු රාඡ්මෝහන් ගාන්ධි ආම් ආද්මී පක්‌ෂයේ ප්‍රමුඛ තරගකරුවකු වන අතර, දිල්ලි ප්‍රාන්තයේ ආසන බහුතරයක්‌ එම පක්‌ෂයට හිමි වීමට ඉඩ ඇත. ආම් ආද්මී පක්‌ෂයට ඇති විශාලම පාඩුව නම් අල්ලස්‌ දූෂණ විරෝධී උද්ඝෝෂණයේ නිර්මාතෘ අන්නා සහාරේ මෙවර දේශපාලන වේදිකාවට එක්‌වීම ප්‍රතික්‍ෂේප කිරීමය.

ලෝක්‌ සභාවේ වැඩිම නියෝජනයක්‌ සහිත උත්තර ප්‍රදේශයේ පවතින්නේ ත්‍රිකෝණ සටනකි. ඒ බීඡේපීය, ප්‍රාන්තයේ පාලක සමාජවාදී පක්‍ෂය සහ කොන්ග්‍රස්‌ පක්‍ෂය අතරය. කලින් බලයේ සිටි ප්‍රධාන ඇමැතිනී මායාවතී ගේ බහුජන සමාජ පක්‌ෂය මෙවර පසුපසට තල්ලු වී සිටී.

ඉන්දියාවේ මෙන්ම එතෙරද ආගමික සහජීවනයට ලැදි පිරිස්‌ නරේන්ද්‍ර මෝඩිගේ හින්දුත්ව ප්‍රතිපත්තිය ගැන බිය පළ කරති. මුස්‌ලිම් විරෝධී බීඡේපීS පිළිවෙතක්‌ ඉන්දියාවේ ආගමික සහජීවනයට පමණක්‌ නොව කලාපීය ස්‌ථාවරත්වයටද හානිකර වනු ඇතැයි ඇතැමෙක්‌ සිතති. එහෙත් අතීතයේ කොන්ග්‍රස්‌ නොවන රජයන්ගේ විදේශ ප්‍රතිපත්ති විග්‍රහ කරනවිට එය කොන්ග්‍රස්‌ විදේශ පිළිවෙතට දුරස්‌තර නොවූ බව පෙනේ. මොරාජි දේසායි, චරන් සිං, චන්ද්‍රසේකර්, වී. පී. සිං, අයි. කේ. ගුජරාල් සහ දේව ගවුඩා යන අගමැතිවරුන් අනුගමනය කළේ කොන්ග්‍රස්‌ විදේශ ප්‍රතිපත්තියට බෙහෙවින්ම සමාන නොබැඳි පිළිවෙතකි.

ඉන්දියාවේ සාර්ථකම අගමැතිවරයකු ලෙස නම දිනාගත් අටල් බිහාරි වඡ්පායි 1950 සහ 60 දශකයේදී සාමාජිකත්වය දැරුවේ උග්‍ර දක්‍ෂිණාංෂික හින්දු පක්‌ෂයක්‌ වන ජන සංග් පක්‍ෂයේය. එහෙත් 1977 දී මොරාඡ් දේසායි රජයේ විදේශ ඇමැති පදවියට පත් වඡ්පායි තමා මුස්‌ලිම් විරෝධියකු නොවන බව ජනතාවට ඔප්පු කළේ පකිස්‌තානය සමග සුහද සබඳතාවක්‌ ගොඩනගා ගැනීමෙනි. එම ආගමික සහජීවන ප්‍රතිරූපය මත ව-පායි පසුව ඉන්දියාවේ අග්‍රාමාත්‍ය ධුරයට ද පත්වූයේය. පස්‌වසරක්‌ සම්පූර්ණ කළ එකම කොන්ග්‍රස්‌ නොවන රජය වඡ්පායිගේ බීඡේපී රජයයි.

එබැවින් පුළුල් දෘෂ්ටියක්‌ සහිත නරේන්ද්‍ර මෝඩි වැනි කෘතහස්‌ත දේශපාලනඥයෙකු බලයට පත්වීමෙන් පසු පටු ආගමික අන්තවාදියෙකු වේ යයි සිතිය නොහැක. ඔහුගේ අභිප්‍රාය වනු ඇත්තේ තමා රටේ සෑම ජන කොටසකටම මෙන්ම විවිධ ආගම් අදහන ජනතාවට පිළිගත හැකි ජන නායකයකු බව ක්‍රියාවෙන් ඔප්පු කිරීමටය.

සුගීස්‌වර පී. සේනාධීර
http://www.divaina.com/2014/05/09/feature01.html

0 comments: