Pages

Sunday, May 18, 2014

"සිගරට්‌ ඔබට නියත මරණය ලඟා කරනවා. ඒ සඳහා හොඳම නිදසුන මම. අපේ දරුවන් මේ උවදුරින් බේරාගන්න" | රූපමය අවවාද - 80% ඉලක්කයට යමු!

"සිගරට්‌ ඔබට නියත වශයෙන්ම මරණය හිමිකර දෙනවා. ඒ සඳහා හොඳම නිදසුන මම. අපේ දරුවන්වත් මේ උවදුරින් බේරාගන්න"

මෙම ප්‍රකාශය විශේෂය. මල්බරෝ සිගරට්‌ සඳහා ප්‍රචාරණයෙන් දායක වූ සුප්‍රකට නිරූපණ ශිල්පී වෝන් මැක්‌ලරන් දුම්වැටි දැන්වීම් සඳහා උජාරුවට සිගරට්‌ උරමින් පෙනී සිටි චරිතයක්‌ විය. එය ඔහුගේ ජීවන අංගයක්‌ ද විය. දැන්වීම් සඳහා පෙනී සිට පරපුරක්‌ සිගරට්‌ මරුවා වෙත යෑවීමට ගත් උත්සාහයේ පාපය සහ ඔහු විසින් සිගරට්‌ ඉරීමේ ප්‍රතිඵලය එකට මුසු වී අඩු වයසින්ම මැක්‌ලරන් මිය ගියේය.

ඔහු විසින් මරණ මංචකයේ සිට කරන ලද ප්‍රකාශය දැන්වීමක්‌ නොවූවත් සත්‍යය විය.

මේ වන විට ප්‍රසිද්ධ සිගරට්‌ දැන්වීම් සඳහා පමණක්‌ වැටක්‌ බැඳ තිබේ. ඒ පොදුවේය. නමුත් ඒකපුද්ගල සන්නිවේදන ආකෘතිය යටතේ සිගරට්‌ සමාගම් විසින් කරන ප්‍රචාරයත්, වංගු ගසමින් කරන ප්‍රචාරයත් ප්‍රබල ලෙස ක්‍රියාත්මක වෙමින් තිබේ.

මේ නිසා සිගරට්‌ ප්‍රචාරණය වැට බැඳි පමණකින් එහි පරිභෝජනය සම්පූර්ණයෙන්ම නවතින්නේ නැත. ඒ සඳහා ප්‍රති ප්‍රචාරණයක්‌ ද කළ යුතු තත්ත්වයක්‌ පවතී. කලකට පෙර පෞරුෂත්වයේ ලකුණ ලෙස පිරිමින් අතර සිගරට්‌ ඉරීම තහවුරු කර තිබිණි. නළු රජුන් විසින් සිගරට්‌ උරමින් රිදී තිරය මත දමන සෙල්ලම් ආදියෙන් ඒ සඳහා අවශ්‍ය වගු ප්‍රචාරණය සිගරට්‌ සමාගම් මගින් දෙන ලදී. ප්‍රතිප්‍රචාරණය හා අමද්‍යප සංවිධාන ක්‍රියාකාරිත්වය හේතුවෙන් මේ වන විට එම තත්ත්වය අනෙක්‌ පැත්තටම කරකවා තිබේ. එසේ වුවත් ඇබ්බැහියක්‌ ලෙස තවමත් සිගරට්‌ටුවට රැවටුණු චරිත, සමාජයේ නැත්තේ නොවේ. ඔවුනට තමන්ගේ පාඩුවේ සිගරට්‌ බොන්නට ඉඩ දිය නොහැක්‌කේ එය තනි පුද්ගලයකුගේ පරිභෝජනයක්‌ ලෙස ලඝූ කළ නොහැකි නිසාය. තමන් "සිගරට්‌ බී රටට බදු ගෙවනවා" යෑයි වංචනික සාධනයකට මෙම පුද්ගලයන් පැමිණ තිබේ. ඔවුන් පිළිකාවට ගොදුරු වූ විට ඒ සඳහා මිල අධික බෙහෙත් හේත් ලබාදීමට එම බදු මෙන් කිහිප ගුණයක්‌ වුවමනාය. එසේම අක්‍රීය දුම්පානයත්, තවත් පුද්ගලයකුට එමගින් සිගරට්‌ ඉරීමට ලබාදෙන තල්ලුවත් නිසා එක්‌ පුද්ගලයකුගේ සිගරට්‌ බීම ද සමාජ ව්‍යසනයක්‌ ලෙස ගත යුතුව තිබේ.

සිගරට්‌ පැකට්‌ටුව මතට රූපමය අවවාද දැමිය යුතුය යන සංකල්පය පැමිණෙන්නේ මේ අනුවය. තහනමින් නොව පාඩමෙන් සිගරට්‌ ඉරීම නැවැත්වීමේ ක්‍රියාදාමය අනුව ලෝකයේ රටවල් බොහොමයක්‌ සිගරට්‌ පැකට්‌ටුවට මෙම අවවාදය ඇතුළත් කර තිබේ.

සමහරු ප්‍රශ්න කරන්නේ, තනි ලෙස සිගරට්‌ මිලදී ගන්නා හෙයින්, බහුල ලෙස සිගරට්‌ උරන පිරිස මෙම අවවාදය නොදකින බවය. මෙම ප්‍රශ්නය නඟන්නේ රූපමය අවවාදවලට එරෙහිව සිටින පිරිසය. රූපමය අවවාදය ඇතුළත් කළ පමණින් සියල්ල නිවැරැදි නොවේ. එය ඇතුළත් කළ පසු ද කළයුතු කාර්යයක්‌ තිබේ. ඒ අතරේම කිවයුත්තේ සිගරට්‌ අසුරා එන්නේ ශෝභමාන ලෙසය. ඒ තුළ මහත් ව්‍යසනයක්‌ තිබෙන බව නොපෙනෙන්නට කවරයෙන් සියලු වෑයම් දරා තිබේ. එම කවරය දකින වාරයක්‌ පාසා "අවවාදය දැකීම" නිසා තමන් කරන කාර්යය පිළිබඳව යම් චිත්‍රයක්‌ පාරිභෝගිකයාට මතුවී එයි. එසේම සිගරට්‌ කිහිපයක්‌ ගත් තැනැත්තා ද එය භාවිත කරන්නේ පැකට්‌ටුවක්‌ තුළ දමාගෙනය. සිගරට්‌ටුවෙන් සිගරට්‌ටුවට පැකටය විවෘත කරන විට රූපමය අවවාදය ඔහු දකියි. මේ ක්‍රමවේදය මනෝ විද්‍යානුකූලව නිවැරැදි බව පර්යේෂකයන් ඔප්පු කර තිබේ.

බ්‍රසීලයේ, සිගරට්‌ පැකට්‌ටු මතට රූපමය අවවාද ඇතුළත් කිරීමෙන් පසුව එම ක්‍රියාවලිය නිසාම 60% ක්‌ වැනි විශාල පිරිසක්‌ සිගරට්‌ ඉරීම අතහැර දමා තිබිණි. කැනඩාවේද රූපමය අවවාද හේතුවෙන් 44% ක්‌ පමණ පිරිසක්‌ සිගරට්‌ ඉරීම නවතා තිබිණි.

ශ්‍රී ලංකාව තුළ සිගරට්‌ පැකැට්‌ටුව රූපමය අවවාද ඇතුළත් කිරීම යුද්ධයක්‌ බඳු තත්ත්වයකට පත්ව තිබේ. පොදුවේ රටම පිළිගන්නා සත්‍යයකට හා වුවමනාවකට පිටුපාන්නට තරම් දුම්කොළ සමාගම බලවත් වී තිබේ.

රජයක්‌ ලෙස සිගරට්‌ ඉරීමට එරෙහිව ගත හැකි ප්‍රබලම මට්‌ටමක්‌ ලෙස රූපමය අවවාද භාවිතය හඳුන්වා දිය හැකිය. මතට තිත වැනි සංකල්ප නැති ඔස්‌ටේ්‍රලියාව වැනි රටක්‌ රූපමය අවවාද තුළින් ලබාගෙන තිබෙන ජයග්‍රහණ දෙස අප බැලිය යුත්තේ එයින් ලබාගත හැකි ආදර්ශය නිසාය. ඔස්‌ටේ්‍රලියාවේ නීතියෙන්ම සිගරට්‌ පැකට්‌ටුව මත 90% ක්‌ ආවරණය වන සේ රූපමය අවවාද සනිටුහන් කර තිබේ.

විදුසර සඟරාවේ පළ වූ ලිපියක කැනඩාවේ වෝටර්ලු විශ්වවිද්‍යාලයේ සෞඛ්‍යය පිළිබඳ මහාචාර්ය ඩේවිඩ් හැමන්ඩ් විසින් කරන ලද අධ්‍යයනයක්‌ වාර්තා කර තිබිණි.

මහාචාර්ය හැමන්ඩ් සිය අධ්‍යයනය මගින් පෙන්වා දුන්නේ ග්‍රැෆික්‌ උපදේශන ඇතුළත් අවකාශයේ ප්‍රමාණය විශාල වන්නට වන්නට දුම්පානයෙන් ඉවත් වන ප්‍රවණතාවද ඉහළ යන බවයි. ඔහු පෙන්වා දුන් තව කරුණක්‌ වූයේ හුදෙක්‌ වචන පමණක්‌ යෙදූ පණිවුඩවලට වඩා රූපමය පණිවුඩ බලවත්වූ බවයි. මහාචාර්ය හැමන්ඩ්ගේ උපදේශකත්වයෙන් හා සාරා හිච්මන් හා ජෙෆ්රි ෆෝන්ග් යන දෙදෙනාගේ සහභාගීත්වයෙන් සිදු කළ මේ අධ්‍යයනය පිළිබඳ තොරතුරු "බුලටින් ඔෆ් වර්ල්ඩ් හෙල්ත් ඕගනයිශේෂන්" හි පළවිය.

ඔවුන් තම අධ්‍යයනය සඳහා රටවල් විශාල ගණනකින් දත්ත ලබා ගැනීම කළ අතර එම රටවල සිගරට්‌ පැකට්‌වල ග්‍රැෆික්‌ උපදේශනයේ වර්ගඵලය හා දුම්පානය අඩුවීමේ ප්‍රතිශතය සංසන්දනය කර තිබිණි.

මේ අධ්‍යයනය මෙහෙයවූ හැමන්ඩ් පෙන්වා දෙන තව වැදගත් කරුණක්‌ වන්නේ රාජ්‍ය මට්‌ටමෙන් දුම්පානයට එරෙහිව ක්‍රියාත්මක වන වැදගත්ම යාන්ත්‍රණය ද මෙය බවයි. එසේම 2012 දී මහාචාර්ය හැමන්ඩ්, ඡේම්ස්‌ එෆ් ක්‍රෂර්, එඩ්නා සැන්ටිලන් හා රවුල් සන්සෝරීස්‌ යන අය හා එක්‌ව මෙවැනි තවත් අධ්‍යයනයක්‌ කළහ.

මෙහිදී අධ්‍යයනය සඳහා යොදා ගත් පුද්ගලයන්ගේ සංඛ්‍යාව 530 ක්‌ විය. තරුණ වියේ පසුවූ මේ අයගෙන් 259 ක්‌ දුම් නො බොන්නන් වූ අතර 271 ක්‌ දුම් බොන්නෝ වූහ. දුම් බොන අය අතරින් 60 % ක්‌ම පවසා තිබුණේ ග්‍රැෆික්‌ චිත්‍රවලින් දුම්බීම අතහැරීම ගැන පෙලඹවීමක්‌ ඉන් ලැබුණු බවයි.

අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් සෞඛ්‍ය අමාත්‍ය තනතුර භාර ගැනීමත් සමග ශ්‍රී ලංකාවේද සිගරට්‌ පැකැට්‌ටු මත රූපමය අවවාද ඇතුළත් කිරීම කළ නීතිගත කිරීමේ සංවාදය ආරම්භ විය. අනේකවිධ බාධක මධ්‍යයේ අමාත්‍යවරයා මෙම සටන ආරම්භ කළේය. සිගරට්‌ පැකැට්‌ටුවෙන් 80 % ක්‌ ආවරණය වන්නේ රූපමය අවවාද ඇතුළත් කිරීම සඳහා වන ගැසට්‌ නිවේදනය 2012 අගෝස්‌තු 8 වැනිදා නිකුත් කෙරුණේ ඒ අනුවය. ඒ අනුව එම වසරේ නොවැම්බර් අට වැනිදා සිට එම නීතිය බලාත්මක කිරීමට කටයුතු යොදා තිබිණි. අදාළ ගැසට්‌ නිවේදයට එරෙහිව දුම්කොළ සමාගම අධිකරණයේ පිහිට පැතීම නිසා එය ක්‍රියාත්මක වීම නැවතුණි.

අධිකරණ ක්‍රියාමාර්ගය අතරේදී මෙම ගැසට්‌ පත්‍රය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විවාදයක්‌ ඇති විය.

අදාළ ගැසට්‌ පත්‍රය හඳුන්වනු ලබන්නේ දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ පනතට අදාළ අති විශේෂ ගැසට්‌ පත්‍රය ලෙසය. මෙමගින් දුම්කොළ නිෂ්පාදනයන් සඳහා නීති රැසක්‌ පනවා තිබිණි. සිගරට්‌ භාවිතයෙන් පිටවෙන දුම නිසා සෞඛ්‍ය සිදුවන හානි පිළිබඳව අසත්‍ය හෝ නොමග යවන සුළු රැවටිලි සහගත පණිවුඩ සිගරට්‌ පැකට්‌ටුවේ හෝ පාර්සලයක ප්‍රදර්ශනය නොකළ යුතු ය. එසේම "අඩු" "සැර නැති", "අධික සැර නැති", "මෘදු" හෝ "අමතර" යන වචන අඩංගු විස්‌තර වෙළෙඳ ලකුණු හෝ රූප සිගරට්‌ පැකැට්‌ටුවේ අඩංගු නොවිය යුතුය.

එමෙන්ම ගැසට්‌ පත්‍රයේ දක්‌වා ඇති රූපමය සෞඛ්‍ය අවවාදයන් අතරින් එකක්‌ සිගරට්‌ අඩංගු සෑම පැකැට්‌ටුවකම හෝ පාර්සලයකම දෙපැත්තේම මුද්‍රණය කළ යුතුය. එය සිගරට්‌ පැකැට්‌ටුවේ ඉඩ ප්‍රමාණයෙන් සියයට අසූවකට වඩා අඩු නොවන ලෙස දෙපැත්තේම මුද්‍රණය විය යුතුය. එමෙන්ම සෑම සිගරට්‌ පැකැට්‌ටුවකම ඒ තුළ ඇති සිගරට්‌වල අඩංගු නිකොටින්, තාර මෙල්ඩිහයිඩ් හා අනෙකුත් විෂ ද්‍රව්‍යය ඇතුළු එහි සංඝටක සහ විමෝචන පිළිබඳ අදාළ විස්‌තර අඩංගු කළ යුතුයි. එමෙන්ම සෑම සිගරැට්‌ පැකැට්‌ටුවකම අදාළ නිෂ්පාදනයේ නිෂ්පාදිත දිනය, මාසය හා වර්ෂය සඳහන් කළ යුතු අතර රූපමය සෞඛ්‍ය අවවාදයන් වෙනත් සලකුණු හෝ පින්තූර මගින් සැඟවීම නොකළ යුතුය. කලු පසුබිමේ සුදු අකුරින් හෝ සුදු පසුබිමේ කලු අකුරින් භාෂා තුනෙන්ම මෙම අවවාද මුද්‍රණය කළ යුතු අතර ගැසට්‌ නිවේදනයේ දක්‌වා ඇති රූපමය සෞඛ්‍ය අවවාද ප්‍රභේද අතරින් එකක්‌ පමණක්‌ මුද්‍රණය කිරීමට විවිධ වෙළෙඳ නාම යටතේ සිගරැට්‌ නිපදනවන නිෂ්පාදකයන් වග බලා ගත යුතුය. මෙම රූපමය සෞඛ්‍ය අවවාද සෑම මාස හයකට වරක්‌ ම මාරු කිරීම ද කළ යුතුය.

පාර්ලිමේන්තුවේ විවාදයෙන් පසු ඓතිහාසික කැමැත්තක්‌ හෙවත් පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් මෙම ගැසට්‌ පත්‍රය සම්මත විය.

එසේ තිබියදී පසුගියදා අභියාචනාධිකරණයෙන් මේ සම්බන්ධව ලබා දුන් තීන්දුව වූයේ සිගරට්‌ පැකට්‌ටුව මත 50% - 60% ක්‌ අතර ප්‍රමාණයට රූපමය අවවාද පල කරන ලෙසය. මේ සම්බන්ධයෙන් අදහස්‌ පල කරමින් ඇමැති මෛත්‍රිපාල සිරිසේන කියා තිබුණේ, ජනාධිපතිවරයා, කැබිනට්‌ මණ්‌ඩලය සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225 දෙනාම දුම්වැටි පැකැට්‌ටු සඳහා 80% ක රූපමය අවවාද ඇතුළත් කළ යුතු යෑයි අනුමැතිය ලබාදී තිබියදීත්, එය 50%-60% අතර ප්‍රමාණයකට ඇතුළු කරන්නැයි අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුව සම්බන්ධයෙන් තමා සෑහීමකට පත් නොවන බවය. 80% සඳහා වන සටන තමා අත නොහරින බවද ඇමැතිවරයා සඳහන් කර තිබුණි.

රූපමය අවවාදයක්‌ ඇතුළු කර ගන්නට ගත් උත්සාහය වසර ගණනාවක සටනකි. 80% ට එරෙහිව අභියාචනාධිකරණයට ගිය දුම්කොළ සමාගමට එයින් යම් සහනයක්‌ ලැබිණි. 40% ක ප්‍රමාණයක්‌ වෙළෙඳ සළකුණ ප්‍රදර්ශනය සඳහා අවශ්‍ය බවට මෙහිදී අධිකරණය තීන්දු කර තිබිණි. වෙළෙඳ සලකුණු ආඥ පනත අනුව වෙළෙඳ සලකුණු සඳහා අවම වශයෙන් 20% ක ප්‍රමාණයක්‌ ඇසුරුමෙන් වෙන් කළ යුතුය. එහෙත් මෙම ප්‍රමාණය අදාළ නඩුවට පාදක වූ කරුණ සම්බන්ධයෙන් වැඩිවිය යුතු බව අධිකරණය සඳහන් කර තිබිණි.

දැනට තත්ත්වය එසේය. සිගරට්‌ උවදුරට ගොදුරු වී මේ මොහොතෙත් රටේ කොතැන හෝ පුද්ගලයකු මිය යනවා ඇත. ලැබෙන බදු ආදායම වන හානියෙන් 10% කටවත් වගකිව හැක්‌කක්‌ නොවේ. එසේ තිබියදී තවමත් සටන එතැනමය.

මනෝජ්
http://www.divaina.com/2014/05/18/feature18.html

සබැඳි ලිපි කිහිපයක් -
[
සිගරැට්‌ පැකට්‌ටුවේ රූපමය අවවාද - 80% ඉලක්කයට යමු!http://denethharinna.blogspot.com/2014/05/80_17.html
උණ සෙම්ප්‍රතිෂ්‍යාව තරමටම පිළිකා රෝගයත් වර්ධනය වෙලා. තර්ජනවලට බයේ දුම්වැටියට එරෙහි සටන නවත්වන්නේ නැහැ - මෛත්‍රිපාලhttp://denethharinna.blogspot.com/2014/05/blog-post_8960.html
සිගරැට්‌ රූපමය අවවාදය : අධිකරණ තීන්දුව ගැන මා තෘප්තිමත් නැහැ. 80% දිනනතුරු සටන අතහරින්නේ නැහැ - මෛත්‍රිපාලhttp://denethharinna.blogspot.com/2014/05/80.html
මාරක දුම්කොල සමාගම් වෙනුවෙන් නි.ඇමති මුස්තාපා සමඟ බහුතර මුසලු නීතීඥයන් - දුම්වැටි රූපමය අවවාද - 80% ඉල්ලීම ඉවතට. 50-60% අවසරhttp://denethharinna.blogspot.com/2014/05/50-60.html
ගැහැට දුක්‌ මැද්දෙන් සිගරැට්‌ පැකට්‌ටුවට රූපමය අවවාද එයි!
http://denethharinna.blogspot.com/2014/02/blog-post_4342.html
රට රැකුණේ මහා සංඝරත්නය නිසා - මතින් තොර සමාජයක්‌ යටතේ සඟ රුවනට සුව දැහැත් වට්ටියක් - මෛත්‍රීhttp://denethharinna.blogspot.com/2014/02/blog-post_5164.html
එංගලන්තයේ සහ ඇමෙරිකාවේ සුදු මහත්වරුන්ට අයිති සමාගම් අපේ අධිකරණයට ඇවිල්ලා සාකච්ඡා කරනවා. ගැසට් නිවේදනයට දෙයියන්ගේ පිහිටයි – මෛත‍්‍රීhttp://denethharinna.blogspot.com/2013/11/blog-post_5398.htmlදුම්කොළ අධිරාජ්‍යයේ යටත්වැසියන් වන අපි...http://denethharinna.blogspot.com/2013/11/blog-post_9187.htmlමේ ලෝකෙ පාලනය කරන්නෙ දේශපාලකයෝ නොවේ, බහු ජාතික සමාගම්! - මතට එරෙහි සටනේ රජරට විරුවා මෛත්‍රිපාලhttp://denethharinna.blogspot.com/2013/10/blog-post_8370.html80%ක් දුන්නොත් වෙළඳ ලකුණ පේන්නෙ නැහැලු. නියෝගය ඉවත්කරන්න. මුස්තාපාගෙන් ගල් පැලෙන තර්ක. සිගරට් සමාගම් වෙනුවෙන් ෆායිස් මුස්තාපා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලයි. 80% නියෝගය ශේ්‍රෂ්ඨාධිකරණය අත්හිටුවයි!http://denethharinna.blogspot.com/2013/09/80-80-80.htmlසිගරැට්‌ පැකට්‌වල රූපමය අවවාද ප්‍රදර්ශනය කිරීම ඉක්‌මන් කරන්න - ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_5670.htmlහැම අතකම සිගරැට්‌ - ඇත්ත සඟවන දුම්වැටි මාෆියාව - දිවයින කතුවැකියhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_9229.htmlදුම්වැටි විරෝධී සටන ජාතික අරගලයක් කරන සටනේ නායකයා මමයි - රටරටින් බිහිවූ දෙවන විශිෂ්ට මෛත්‍රීපාලයන්http://denethharinna.blogspot.com/2013/09/blog-post_6542.html
]

0 comments: