Pages

Tuesday, May 27, 2014

වැව් බැඳි රටේ ක්ෂේම භුමිය - රිටිගල (අරිට්ඨ පබ්බත)

මුහුදු මට්‌ටමේ සිට මීටර් 766 ක උසින් රිටිගල කන්ද තවත් කඳු වළල්ලක්‌ එනම් ඖෂධ කන්ද - කොඩිගල කන්ද - උණ කන්ද - ආඬියා කන්ද - පළතුරු කන්ද - අමරාපති කන්ද - උල්පත් කන්ද යන කඳු හතක්‌ පරිවාර කඳු වශයෙන් වට කරගෙන පිහිටි ස්‌වභාව ධර්මයේ අපූර්වතම නිර්මාණයකි. මහාවංශය රිටිගල කන්ද දකින්නේ "අරිට්‌ඨ පබ්බත" ලෙසය. අරිට්‌ඨ පබ්බත යන්නෙන් අර්ථවත් වන්නේ "ආරක්‍ෂිත පච්ච" යන්නය. ක්‍රිස්‌තු පූර්ව 3 වැනි සියවසේදී ලක්‌දිව වැඩ විසුවේ යෑයි සැලකෙන පළමුවැනි මහරහතන් වහන්සේ ලෙස පිදුම් ලැබූ අරිට්‌ඨ මහ රහතන් වහන්සේ වැඩ විසූ ස්‌ථානය "අරිට්‌ඨ පව්ව" ලෙස ව්‍යවහාරයට එක්‌වී පසුව එය උච්චාරණයේ පහසුව සලකා රිටිගල බවට පරිවර්තනය වූ බව ඉතිහාසඥයන්ගේ තවත් මතයකි.

11 වැනි සියවසට පෙර රිටිගල ආරණ්‍යවාසී භික්‍ෂූන් වහන්සේ වෙනුවෙන් පැවැති සේනාසන සංකීර්ණයකි. චෝල ආක්‍රමණයේදී මෙම ආරණ්‍ය සේනාසන විනාශ වී යැම හේතුවෙන් රිටිගල මහ මූකලානක්‌ බවට පත්විය. මෙසේ වනබත්ව පැවැති රිටිගල "ෙ-ම්ස්‌ මාර්ක්‌ ටේල්" නමැති බ්‍රිතාන්‍ය පුරාවිද්‍යාඥයා විසින් 1872 දී සිදු කරන ලද ගවේෂණ නිසා යළි කල එළියට පත්විය. මීට අමතරව "ඡේ. බී. එම්. රිච්වුඩ්" නමැති මිනින්දොරුවරයා විසින් රිටිගල අගය විවරණය කරමින් ආසියාතික සඟරාවකට සපයන ලද රිටිගල පිළිබඳ ලිපිය ලෝක විද්වතුන්ගේ අවධානය යොමුවීමට තවත් ප්‍රබල හේතුවක්‌ විය. රිටිගල පිළිබඳ මෙම අවදිකිරීම නිසා පුරාවිද්‍යා ලෝකයේ ලෝක ප්‍රකට විශේෂඥයෙකු වූ "එච්. සී. පී. බෙල්" මහතා රිටිගල අධ්‍යයනයට හා ගවේෂණයට පැමිණියේය. ඔහුගේ ගවේෂණයෙන් ඉක්‌බිතිව රිටිගලට අදාළව අගනා වාර්තා දෙකක්‌ නිකුත් විය.

1. ප්‍රථම පර්යේෂණ වාර්තාව (1893)
2. දෙවැනි සමීක්‍ෂණ වාර්තාව (1893)

මෙකී වාර්තා දෙක රිටිගල පිළිබඳව දේශීය හා විදේශීය පුරා විද්‍යාඥයන්ගේ දැඩි අවධානය යොමු කිරීමට සමත් විය.

අතීතයේදී අපේ රටේ පැවැති අස්‌පර්ශ උරුමයන්ගෙන් නිර්මාණය වූ රිටිගල පිහිටි වාපි හා වාරි පද්ධතීන් සුවිශේෂි වටිනාකමකින් යුක්‌ත බව 1933 දී "ආර්. සී. බ්‍රොහියර්" ලෝක ප්‍රකට විද්‍යාඥයා විසින් සම්පාදිත ශ්‍රී ලංකාවේ අතීත වාරි ශිල්පය (දේශීය වාපි විද්‍යාව) නමැති ග්‍රන්ථයෙන් විවරණය කර තිබේ. මෙම පෙළඹවීම් නිසා රිටිගල ජාතික සම්පත සංරක්‍ෂණය කිරීමේ ජාතික අවශ්‍යතාවය ප්‍රබල ලෙස ඉස්‌මතුවීම හේතුවෙන් එවකට පුරාවිද්‍යා කොමසාරිස්‌ ධූරය දැරූ ආචාර්ය රාජා ද සිල්වා මහතා 1941.11.07 දින අංක 8809 දරණ රජයේ ගැසට්‌ නිවේදනය නිකුත් කරමින් රිටිගල කන්දේ වර්ග කිලෝමීටර් 5.28 ක්‌ වූ භූමි ප්‍රදේශය දැඩි ආරක්‍ෂිත කලාපයක්‌ බවට ප්‍රකාශයට පත් කරන ලදී. අනුරාධපුර හිටපු දිසාපතිවරයකු වූ ආර්. ඩබ්. අයිවර්ෂ් මහතාද කලක්‌ රිටිගල කන්දේ නවාතැන් ගෙන සිටි බවට වාර්තා වී තිබේ.

පිහිටීම

උතුරුමැද පළාතේ පිහිටි උසම කන්ද රිටිගලය. උතුරු අක්‍ෂාංශ 8".07 - 9".49 සහ නැගෙනහිර දේශාංශ 80".39 - 19".34 අතර පිහිටා ඇති රිටිගල කඳුකර භූමිභාගය හෙක්‌ටයාර් 1528 ක්‌ පුරාවට පැතිරී පවතී. රිටිගල කන්දේ වාර්ෂික වර්ෂාපතනය මි.ලී. 1000 සිට මි.ලී. 2000 දක්‌වා පවතී. උෂ්ණත්වය සෙල්සියස්‌ අංශක 27 කි.

රිටිගල ආශ්‍රිත ජනප්‍රවාද හා ඓතිහාසික මූලාශ්‍ර

එකල විසූ ලංකේශ්වර රාවණ විසින් තමන්ට කළ මදිපුංචිකමට ප්‍රතිචාරයක්‌ ලෙස ඉන්දියාවේ රාම රජුගේ බිසව වූ සීතා දේවිය පැහැරගෙන විත් ලංකාවේ සුරක්‍ෂිතව රඳවා තැබූ අතර ඇය සොයා පැමිණි රාම රජුගේ සහෝදර ලක්‍ෂ්මන් කුමරු අතර මඟදී රෝගාතුරවීම නිසා - ඒ සමඟ පැමිණ සිටි හනුමන්තා රෝගයට අවශ්‍ය ඖෂධ සපයා ගැනීම පිණිස හිමාල කන්දෙන් අඩක්‌ම කඩාගෙන පැමිණි බවත් ඒ කඳු කොටසින් කොටසක්‌ කැඩී ගොස්‌ රිටිගල කන්දට යාව පිහිටි ඖෂධ කන්ද නිර්මාණය වී ඇති බවත් එක්‌ ජනප්‍රවාදයකින් කියෑවේ. ගාල්ල වරායට යාව පිහිටි රූමස්‌සල කඳුගැටය ද රට මැද පිහිටි දොළු කන්ද ද මෙසේ කඩා වැටුණ තවක්‌ කඳු කෑලි බව ජනප්‍රවාදයෙහි පවතී.

ලංකේශ්වර රාවණ යක්‍ෂයකු නොවේ. "රා" යනු සූර්යයාය. "වණ" යනු වංශයයි. රාවණ යන්නෙන් අර්ථවත් වන්නේ "සූර්යවංශික" යන්නයි. අදත් රජරට පුංචි දරුවන්ගේ ආරක්‍ෂාව සඳහා ගෙල පළඳින පංචායුධය රාවණා රජුගේ රාජ්‍ය සංකේතයයි. ඔහු අධි බලසම්පන්න රජෙකි. ඔහුගේ බලය දෙවැනි කොට රාම කුමරුගේ බලය ඔසවා තබන්නට වෑයම් කළ රාමායණය ලියූ කතුවරයා ඔහුගේ නිර්මාණය හරහා මෙවැනි අද්භූත ජනප්‍රවාද රාශියක්‌ සමාජයට මුදා හැර තිබේ.

දුටුගැමුණු රජුගේ දස මහ යෝධයකු වූ ගෝඨයිම්බර සමඟ ද්වන්ධව සටනක යෙදුන රිටිගල ජයසේන ද ජාතික වීරවරයෙකු ලෙස ජනප්‍රවාදයට එක්‌වී ඇත. ධාතුසේන රජුගේ මාමණ්‌ඩිය වූ මහානාම හිමි සිංහලයේ මහාවංශය රචනා කිරීමේදී රිටිගල කන්ද හා සම්බන්ධිත බොහෝ තොරතුරු හෙළි කර තිබේ. මහානාම හිමි පවසන අන්දමට පරසතුරු ආක්‍රමණවලදී අපේ රජවරුන් සේනා සංවිධානය කිරීමට රිටිගල කඳුකරය යොදා ගෙන තිබේ. අදත් රිටිගල ප්‍රදේශයේ පවතින සේනාදිරියාගම වැනි ඓතිහාසික ග්‍රාම නාමවලින් මේ බව සනාථ වෙයි.

ක්‍රිස්‌තු පූර්ව තුන්වැනි සියවසේදී ජෙට්‌ඨතිස්‌ස කුමරු සේනා සංවිධානය කළේ රිටිගල කඳු වලල්ලේ දීය. නැවත පණ්‌ඩුකාභය කුමරු සිය මාමාවරුන්ට එරෙහිව සේනා සංවිධානය කළේ ද රිටිගල කඳු යායේදීය. එසේම එළාර රජුට එරෙහිව යුද වැදුණ දුටුගැමුණු කුමරු සේනා සංවිධානය කර ඇත්තේද රිටිගල පරිසරයේදීය. මේ අතර වරින් වර විසූ සිංහල රජ දරුවන් රිටිගල පරිසරයේ පූජනීය ස්‌ථාන ඉදිකිරීමට ද මුල්වී ඇත. ල-ජතිස්‌ස රජු විසින් ක්‍රි. පූර්ව (59 - 50) වැන්නේදී අරිට්‌ඨ විහාරය ද සූරතිස්‌ස රජු විසින් ක්‍රි. පූර්ව (187 - 177) වැන්නේදී රිටිගල පාමුල සංඛ හෙවත් ලංකා විහාරය ද පළමුවැනි සේන රජු විසින් ක්‍රි. පූර්ව (835 - 833) වැන්නේදී භික්‍ෂූන් වහන්සේ සඳහා ආරාමයක්‌ ද ඉදිකරන ලද බව ඓතිහාසික තොරතුරුවලින් හෙළිවේ.

පුරාවිද්‍යාත්මක සහ ඓතිහාසික අගය

රිටිගල තුළ තවමත් නැසෙමින් පවත්නා පුරාවිද්‍යාත්මක නටබුන් හා ඓතිහාසික සාධක දෙස්‌ විදෙස්‌ පුරාවිද්‍යා විශේෂඥයන්ගේ දැඩි අවධානයට යොමු වී ඇත. ලක්‌දිව ප්‍රථම මහ රහතන් වහන්සේ ලෙස පූජ්‍යත්වයට පත්ව සිටි අරිට්‌ඨ මාහිමියන් ප්‍රමුඛ 500 ක්‌ වූ සංඝරත්නය රිටිගල සේනාසනවල ආරණ්‍යවාසීව වැඩ විසූ බව මහාවංශයේ අවධාරණය කර තිබේ. උන් වහන්සේලාගේ ආගමික ගති පැවැතුම් සඳහා හෙළ රජදරුවන් විසින් ඉදි කොට සඟ සතු කරනු ලැබූ විහාරාරාමයන්හි නටබුන් අදටත් පවතී. කටාරම් කොටන ලද ගල්ලෙන් 74 ක්‌ද බ්‍රාහ්මි අක්‍ෂරවලින් ලියන ලද ශිලා ලේඛන 152 ක්‌ද පුරාවිද්‍යාත්මක අගයක්‌ ඇති විවිධ ගොඩනැඟිලි 140 ක පමණ නටබුන්ද එසේම අති පැරණි ආයුර්වේද රෝහලක නටබුන්ද අදටත් රිටිගල දී දැක බලා ගැනීමට පුළුවන.

පුරාවිද්‍යා අංශය මගින් කැණීම් කිරීමේදී "පඨානඝර" කීපයක්‌ම හමු වී ඇති අතර ඒවායේ ඉදිරිපස කොටස ධර්මානුකූලව කටයුතුවලට ද - පසුපස කොටස භික්‍ෂුන්ගේ වාසයට ද යොදා ගන්නට ඇතැයි සැලකේ. මෙම පඨානඝර හා සම්බන්ධ ශෛලමය ස්‌ථම්භ මුදුනේ පියස්‌සක්‌ පැවැති බවට සලකුණු පවතී. මෙම මහාර්ඝ පුරාවස්‌තූන් සමුදාය නිසා රිටිගල ආශ්‍රිත අක්‌කර 690 ක බිම් පෙදෙස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පාලනය තුළ පවතී. මෙම භූමියට ඇතුළුවීමේදී හමුවන ශෛලමය නිර්මාණයක්‌ වූ අතිවිශාල පොකුණ "බන්දා පොකුණ" ලෙස නම් කර තිබේ. දකුණු ආසියානු කලාපයේ පවත්නා අති විශාලතම පොකුණ ලෙස මෙම "බන්දා පොකුණ" පුරාවිද්‍යාඥයන් විසින් හඳුනා ගෙන ඇත. ලෝකයට නම යන්නට අදටත් වඩා අද්භූත - විශ්මය ජනක ආශ්චර්යවත් නිර්මාණ හා ඉදිකිරීම් හෙළ රජ දවස සිදු වී ඇති බවට බන්දා පොකුණ හොඳම සාධකයකි. ආරණ්‍යවාසීව වැඩ වාසය කළ පන්සියයක්‌ සංඝරත්නයේ පැන් පහසුව සඳහා මෙම බන්දා පොකුණ එකල රජ දරුවන් විසින් ඉදි කරන්නට ඇත. මීට අමතරව ගල්පාලම් - පියගැට පේළි - කවාකාර ශෛලමය වේදිකා - ඔප දැමූ සුවිසල් ගල් පුවරු_ සෙල්මුවා පහණ - තටාක - බෙහෙත් ඔරු - සලපතළ මළු - විවිධාකාර ගිමන්හල් ආදී විශ්මය ජනක ගල්වැඩ රිටිගල පුරාවිද්‍යා බිම පුරාවට පැතිරී ඇත. එදා ගල් වඩුවන් රිටිගල පියසේ ඉදි කර ඇති ශෛලමය වූ විශ්මය ජනක නිර්මාණ තුළ සැඟවී ඇත්තේ අපේ ජාතියේ අස්‌පර්ශ උරුමයයි. රිටිගල පුරාවට පැතිරී ඇති වාරි - වාපි - ශෛල ශිල්පීන් පිළිබඳ අස්‌පර්ශ උරුමය වර්තමාන පුරපුරට හෙළිකර ගත හැකි නම් - රට හා ජාතිය ප්‍රතිසංවර්ධනයේ දී ඒ තරම් පිංකමක්‌ තවත් නැති තරම්ය. මේ වන විට රිටිගල පරිසරය සංස්‌කෘතික ත්‍රිකෝණයට අයත් පෞරාණික ස්‌ථානයක්‌ හැටියට ප්‍රකාශයට පත්කර ඇතත් එපමණකින් රිටිගල සැඟවී ඇති ඓතිහාසික අස්‌පර්ශ උරුමය ගරු කළා නොවෙන්නේය, විශේෂයෙන් එහි ඇති ශෛලමය අස්‌පර්ශ උරුමයන් රටට හෙළිකර ගත හැකි නම් එය මේ යුගයේ එක්‌ ප්‍රාතිහාර්යයක්‌ වනු ඇත. විශේෂයෙන් රිටිගල නිදන්ගත වී ඇති වාපි හා වාරි සංස්‌කෘතිය - ශෛලමය නිර්මාණ ශිල්පය - සෛලමය ඉදිකිරීම් ශිල්පය හා සංස්‌කෘතික වටිනාකම් ඇති තවත් බොහෝ දේ හා සම්බන්ධ අස්‌පර්ශ උරුමයන්ගේ සැබෑ කථාව අපට හෙළිකර ගත හැකි නම් රිටිගල පූර්වාදර්ශයක්‌ කරගෙන ජනවිඥනය පෝෂණය කරමින් එම ඓතිහාසික ශක්‌තීන් රටේ සංවර්ධනයට යොදාගැනීමට බැරිකමක්‌ නැත.

රිටිගල පවත්නා සුවිශේෂත්වය

ජෛව විවිධත්වය හා ශාක විවිධත්වය

රිටිගල කඳුවැටිය ආශ්‍රිතව ප්‍රථම වරට උද්භිද විද්‍යාත්මක වටිනාකම් පිළිබඳව අධ්‍යයනයක්‌ කරමින් කතිකාවතක්‌ ඇති කළේ ඉංග්‍රීසි ජාතික "හෙන්රි රිචිමන්" මහතාය. ඒ 1887 දීය. උපරිම ජෛව විවිධත්වයක්‌ ඇති රිටිගල රක්‍ෂිතයේ මේ වන විට ශාක විශේෂ 337 ක්‌ රැඳී පවත්නා බව වාර්තා වේ. එයින් ශාක 57 ක්‌ ම අපේ බිමේ සහජාත ඒවා වේ. රිටිගල කඳුවැටිය තුළ එකිනෙකට වෙනස්‌ වූ පරිසර පද්ධතින් 3 ක්‌ පවතී.

(අ) කඳුවැටියේ පහළම කොටසේ (බිම් අඩවිය) වියලි, මිශ්‍ර, සදාහරිත වනාන්තරමය ලක්‍ෂණ පවතී. මෙම ප්‍රදේශයේ මොර, හල්මිල්ල, කලුවර, වීර, පලු, නා වැනි රජරටට ආවේණික ශාක වර්ග පවතී.

(ආ) කඳුවැටිය මධ්‍යතලය තුළ දකින්නට ඇත්තේ තෙත් කලාපීය වනාන්තර ලක්‍ෂණය. මෙම පියසේ ඇටඹ, කුඩුදවුලා, ඕමාර, කැන්ද, නා වැනි ශාක සුලභව දක්‌නට ලැබේ.

(ඇ) කඳු මුදුනේ දකින්නට ලැබෙන්නේ කඳුකර කලාපීය වනාන්තරවල ස්‌වභාවයයි. නෙලු, බිනර, කැකුණ, දුම් වැනි ශාක වර්ග මෙහි පවතී.

රිටිගල ජෛව විවිධත්වය සමීපව අධ්‍යයනය කිරීමේ දී රිටිගලටම ආවේණික වූ ශාක විශේෂ 05 ක්‌ එහි පවත්වා බව පෙනේ. රිටිගල තම්බජියා, ගල් කප්පර වල්ලිය, නෙලු, උණ, මී යන ශාකයන් සුවිශේෂි ශාක වර්ග ලෙස හඳුනා ගෙන තිබේ. මීට අමතරව වෙනත් ප්‍රදේශවල නැති සුවිශේෂී ඖෂධීය ශාක එනම් ඉරරාජ, සඳරාජ, වනරාජ, නගා මැරු අල, වෙල්ලංගිරිය, බිම් කොහොඹ, ජටා මකුල, රුදන්ති වැනි දුර්ලභ ඖෂධ ශාක සුලභව දකින්නට ලැබේ. හනුමන්තා ගෙන එන විට කඩා වැටුනේයෑයි ජනප්‍රවාදයේ පවතින දොළු කන්ද මුදුනේ ද මෙම ශාක වර්ග අදටත් පවතී. මෙසේ සමාන ඖෂධ ශාක පැවැතීමේ හේතුවෙන් රිටිගල කන්දට යාව පිහිටි ඖෂධ කන්දත් - දොළු කන්දත් හනුමන්තා දඹදිවින් ගෙනා කන්දේ කෑලි යෑයි කියන්නට ජනප්‍රවාද පෙළ ගැසුනේදැයි වෙනම විමසා බැලිය යුතුය.

අනුරාධපුර මහා දිසාපති - මහින්ද සෙනෙවිරත්න, ගොනු කළේ- එප්පාවල රත්න බී.ඒකනායක
http://www.divaina.com/2014/05/27/feature01.html

0 comments: