Pages

Sunday, May 18, 2014

බුදු දහමෙන් උගනිමු! පවුලේ ආර්ථිකය සරිකර ගනිමු! පවුලේ ආර්ථික දියුණුවට බුදු දහමෙන් උපදෙස්‌

මේ වෙසක්‌ සතියේදී බුදුදහම පිළිබඳ නොයෙකුත්, කතිකාවන්, සංවාදයන් සිදු වෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇති කරුණු අතර ආර්ථික කරුණු කාරණාවලට ද හිමිවන්නේ සුවිශේෂී තැනකි. බුද්ධ දේශනාව තුළ අන්තර්ගත මේ වටිනා ආර්ථික අදහස්‌, බෞද්ධ ආර්ථික විද්‍යාව ලෙසද ඇතැමුන් හඳුන්වයි. බුදුරජාණන්වහන්සේ ලොව පහළ වූයේ ආර්ථික විද්‍යාඥයකුගේ කාර්යභාරය ඉටු කිරීමට නොවුණත්, උන්වහන්සේ දේශනා කළ ධර්මයේ අති විශාල ආර්ථික දැක්‌මක්‌ ද අන්තර්ගතව තිබේ. එම ආර්ථිකමය උපදේශයන් තුළින් අපගේ ගෘහස්‌ත ජීවිතය සාර්ථක කර ගැනීමට ගත හැකි ප්‍රයෝජනය ද ඉමහත් ය. මේ අනුව, මේ ලිපියෙන් අප අවධානය යොමු කරන්නේ පවුලක ආර්ථික ශක්‌තිය රැක ගැනීම ගැනයි. 

ගෘහස්‌ත ජීවිතයක්‌ ගත කිරීමේදී ගිහියාට ධනය අවශ්‍ය බව බුදුදහම බැහැර නොකරයි. බුදුදහමින් පෙන්වා දෙන්නේ ධාර්මිකව ධනය උපයා ගන්නා අතරම, එසේ උපයා ගන්නා ධනය ආරක්‍ෂා කර ගැනීමත් අවශ්‍ය බවයි. කිසියම් පවුලක දියුණුවට, සාමකාමී පැවැත්මට එම පවුලේ ආර්ථික තත්ත්වය බෙහෙවින්ම බලපානු ලබන්නකි. ඒ නිසා නිරන්තරයෙන්ම පවුලේ දියුණුවට මෙන්ම පවුලේ සතුට රැක ගැනීමට නම්, එම පවුලේ ආර්ථික ශක්‌තිය පිරිහීමට නොදී රැක ගැනීමද අත්‍යවශ්‍යය. මේ සඳහා ඉතා වැදගත් උපදේශයන් රැසක්‌ අංගුත්තර නිකායේ චතුක්‌තක නිපාතයේ එන කුල සූත්‍රයේ සඳහන් වේ. ගෘහස්‌ත ජීවිතයේ ආර්ථික ශක්‌තිය පිරිහීමට හේතුවන ප්‍රධාන කරුණු හතරක්‌ බුදුරජාණන් වහන්සේ මෙහිදී පෙන්වා දෙයි. ඒවා මෙසේයි.

1. නැති වූ දෙය සොයා නොබැලීම 

2. දිරාපත් වූ දේවල් පිළිසකර නොකිරීම.
3. ආහාරපාන, ඇඳුම් පැළඳුම් යනාදියට අසීමිතව වියදම් කිරීම සහ
4. සිල්වත් නොවූ ස්‌ත්‍රියක හෝ පුරුෂයකු පවුලේ ප්‍රධානත්වයට පත්වීම.

මේ කරුණු අපි සැකෙවින් පැහැදිලි කර ගනිමු. මෙහි සඳහන් පළමු කරුණට අනුව කිසියම් පවුලක්‌ සතුව ඇති දේ නැති වන විට, ධනය වියදම් වන විට ඒ පිළිබඳව සොයා බලා, ඒ සඳහා අලුතින් රැස්‌ කිරීම් කළ යුතු වේ. නැවත නැවතත් ධනය ඉපැයීම කළ යුතුවේ. එසේ නොකළහොත් එම පවුලේ ආර්ථික ශක්‌තිය පිරිහීමට පත්වේ.

මෙහි සඳහන් දෙවැනි කරුණ "දිරාපත් වූ දේවල් පිළිසකර නොකිරීම" යන්නයි. එනම් දිරාපත් වූ දේවල් කලට වේලාවට ප්‍රතිසංස්‌කරණය නොකළහොත් පසුව එම තත්ත්වයට පිළියම් යෙදීම සඳහා විශාල ධනයක්‌ අවශ්‍ය වීමට පුළුවන. ඒ තුළින් සිදුවනුයේ ඔබේ ආර්ථික ශක්‌තිය දුර්වල වීමයි. ඔබේ නිවසේ වහළය දිරාපත් වී, උළු බිඳී නිවස තුළට වතුර වැටේ යෑයි සිතන්න. එය කඩිනමින් පිළිසකර නොකළහොත් සිදු වන්නේ කුමක්‌ද? එනම් එවිට මුළු වහළයම දිරාපත් වී, අවසානයේ වහළ කඩා වැටී මුළු නිවසම විනාශ වී යැමට ඉඩ තිබේ. ඒ තුළින් ඔබට ඉන්න හිටින්නට තැනක්‌ නොමැති තත්ත්වයක්‌ ද ඇති වන්නට පුළුවන. අලුතින් ගෙයක්‌ සෑදීමට හෝ අලුතින් මුළු වහළයම ප්‍රතිසංස්‌කරණයට විශාල මුදලක්‌ ද අවශ්‍ය වෙයි. සිදුවූයේ නියපොත්තෙන් කඩන්නට තිබුණු දේ පොරොවෙන් කපන තත්ත්වයට වර්ධනය වීමයි. වරද ඇත්තේ අප තුළමය. මුලදීම වහළය පිළිසකර කළා නම්, බිඳී ගොස්‌ තිබූ උළු කැට කිහිපය ඉවත් කොට අලුතින් උළු කැට දැමුවා නම් මෙවැනි අභාග්‍ය සම්පන්න තත්ත්වයකට මුහුණ දීමට ඔබට සිදු වන්නේ නැත. ඒ නිසා දිරා ගිය දේවල් කලට වේලාවට ප්‍රතිසංස්‌කරණය කිරීමට වග බලා ගන්න.

ආහාරපාන, ඇඳුම් පැළඳුම් යනාදියට අසීමිතව වියදම් කිරීම ද පවුලේ පිරිහීමට හේතු වන බව ඉහත සඳහන් තුන්වැනි කරුණින් පෙන්වා දෙයි. ජීවත් වීමට ආහාරපාන අවශ්‍ය බව බුදුරජාණන් වහන්සේ ද ප්‍රකාශ කර ඇත. ඒ නිසා අපට ජීවත් වීමට ආහාරපාන අවශ්‍ය වන නමුත් ඇතැම් අය ජීවත් වන්නේම කෑමට සහ බීමට බව පෙනේ. හෙට මැරුණත් හිතට සැපයි අද ජොලි කරලා යන සංකල්පයේ සිටින ඇතැමුන් ආහාරපාන සඳහා අධික ලෙස මුදල් වැය කරයි. එහෙත් අප උපයන සියලු ධනය හෝ ඉන් වැඩි ප්‍රමාණයක්‌ මෙසේ ආහාරපාන සහ ඇඳුම් පැළඳුම් වැනි පරිභෝජන අවශ්‍යතා වෙනුවෙන් වැය කළහොත් වන්නේ ආයෝජනයට හෝ ඉතිරි කිරීම්වලට මුදල් නොමැති තත්ත්වයක්‌ උද්ගත වීමයි. උපයන ධනයෙන් කොටස්‌ දෙකක්‌ ආයෝජනයට වැය කළ යුතු බව බුදුන් වහන්සේගේ උපදෙසයි. එහෙත් පරිභෝජන අවශ්‍යතාවලට වැඩියෙන් ධනය වියදම් කිරීම නිසා ආයෝජනයට මුදල් නොමැති වීමෙන් අනාගත ආර්ථික ශක්‌තිය පිරිහීමට ලක්‌ වෙයි. එසේම හදිසි අවස්‌ථාවකදී පවා වියදමට මුදල් නොමැති වෙයි. ණය වීමටද සිදු වෙයි. ඒ නිසා පරිභෝජන අවශ්‍යතා වෙනුවෙන් අසීමිතව ධනය වැය නොකොට තමන් උපයන ආදායමේ පමණ දැන ඒ අනුව පරිභෝජන වියදම් සැලසුම් කර ගත යුතුය. එවිට පවුලේ ආර්ථික ශක්‌තිය පිරිහීමෙන් වැළකේ.

ඉහත සඳහන් හතරවන කරුණින් පෙන්වා දෙන පරිදි සිල්වත් නොවූ ස්‌ත්‍රියක හෝ පුරුෂයකු පවුලේ ප්‍රධානත්වයට පත්වීමද පවුලේ ආර්ථික ශක්‌තියට පිරිහීමට හේතු වේ. එවැනි දුසිල්වත් අය පරස්‌ත්‍රී හෝ පරපුරුෂ සේවනයට ලොල් වන්නේ නම්, සුරාවට සූදුවට අධික ලෙස ගිජුකමක්‌ දක්‌වනවා නම් එවැනි අයගේ ධනය බලා සිටියදීම පිරිහීමට ලක්‌ වේ. එසේ දුක්‌ මහන්සියෙන් උපයන ධනය විනාශ වූ විට අඹු දරුවන් පෝෂණය කිරීමට නොහැකි වෙයි. පවුලේ නොයෙකුත් ප්‍රශ්න අඩදබර ඇති වෙයි පවුලේ සමගිය නැති වෙයි. මත්පැන් පානයට ලොල් වීමෙන් විවිධ ලෙඩ රෝගවලට ගොදුරු වන අතර ඒ නිසා තම රැකියාව හෝ වෙනත් ජීවනෝපාය කටයුතු ද සුපුරුදු පරිදි කිරීමට අපහසු තත්ත්වයක්‌ උද්ගත වේ. එවැනි අය බීමත්කම නිසා තම පවුලේත්, දරුවන්ගේත් අනාගතය ද විනාශ කර දමයි. ලෙඩ වී රෝහල් ගත වීමට සිදුවීමෙන් ඒ සඳහා ද වියදම් දැරීමට සිදුවේ. බොහෝ විට මේ අය රජයේ රෝහලකට ඇතුළත් වුවහොත්, එම සෞඛ්‍ය වියදමේ බර පැටවෙන්නේ රටේ බදු ගෙවන ජනතාව මතය. එවැනි දුසිල්වත්, බේබදු පුද්ගලයන් නිසා පවුලේ ආර්ථික ශක්‌තිය විනාශ වීමට අමතරව, එම පුද්ගලයා රටේ ආර්ථිකයට ද බරක්‌ වේ. මේ නිසා පවුලේ ප්‍රධානත්වයට දුසිල්වත් අයකු පත්වීම පවුලේ ආර්ථික දියුණුවට බාධාවක්‌ වන බැවින් එවැනි අය, දුර්ගුණවලින් ඈත්වී ගුණවත්, සිල්වත් ජීවිත ගත කිරීමට යොමු විය යුතුය. තම පවුලේත්, දරුවන්ගේත්, අනාගතය යහපත් වනු ඇත්තේ එවිටය. 

ශ්‍යාම් නුවන් ගනේවත්ත
http://www.divaina.com/2014/05/18/feature13.html

Pic Source

0 comments: